නුවර යුගයේ රාජ්‍ය පාලනය - 23
රාජ්‍ය පාලනය හා බැඳුණු කුල ක්‍රමය

"දෙවියන් වහන්සේ ශුද්‍රයනට නියම කළ එක්‌ යුතුකමක්‌ වන්නේ කෙඳිරි නොගා සෙසු කුලයනට සේවය කිරීමය"යි මනුස්‌මෘතියේ සඳහන් වෙයි. ඉන් පෙනී යන්නේ අතීතයෙහි සිටම පාලක පන්තිය අරබයා සෙසු සමාජ පන්තීන් ස්‌වභාවයෙන්ම පෙළ ගස්‌වා තබන ලද බවකි. බ්‍රාහ්මණයෝ උපදේශකයෝ ද ක්‍ෂත්‍රීයයෝ පාලකයෝ ද සෙසු අය ගොවි සහ අනෙකුත් සේවා කරන්නෝ ද වශයෙන් සමාජය සංවිධානයව කොටගෙන පැවති භාරතයේ සංයුතිය මූලික වශයෙන් මෙරට ද දක්‌නට ලැබිණි. මහනුවර යුගය වන විට මෙරට කුල කාර්යාංශයන් ද රාජ්‍ය පාලනයට අවශ්‍ය ලෙස නිල නාමකරණයෙන්ම සකස්‌ව පැවැති බව පෙනේ. සමහර ග්‍රාම නාම පවා එකී කුලයනට අදාළ වනසේ නම් කර ඒ ඒ කුලවල ජනයා පදිංචිකොට රාජ්‍යයේ අවශ්‍යතා සපුරාලන ලද බවට නිදසුන් අදත් පවතී. ලංකාවේදී ගොවි වංශය හා අනෙකුත් "කාර්යාංශ" ලෙස වෙන්වූ අඩු කුලිකයන්ගෙන් සමාජය සකස්‌ව පැවතිණි. ගොවි වංශය ද ප්‍රභේද ලෙස බෙදී ඇත ද සමස්‌තයක්‌ ලෙස එය උසස්‌ යෑයි පිළිගන්නා ලදී. නොක්‌ස්‌ සඳහන් කර ඇති ආකාරයට ගොවි වංශය "හන්දුරු" පෙළැන්ති ලෙස සෙසු කුලිකයන් විසින් හැඳින්වීය. හෝකාර්ට්‌ සඳහන් කරන්නේ ගොවි වංශයේ උපකුල වල අය නිශ්චිත වූ රාජකාරි ඉටු කරන ලද බවයි. ඒ අනුව ගොවි වංශය ද පැවරුණු කාර්යයට අනුව කුලයේ උස්‌ පහත් ප්‍රභේද අනුව සමාජගතව රාජ්‍ය පාලනයේ අවශ්‍යතා ඉටු කරමින් සිටියෝය. රාජ්‍ය පාලනයට සම්බන්ධ කාර්යයන්හි නියුතුවෙමින් සිටි කුලිකයන් වුවද ගොවි වංශයට අයත් වූ නිසා විවාහාදිය වැඩිවශයෙන් සිදුවූයේ ඔවුනොවුන් අතරම වුවද ඉන් පිට සිදුවූ අවස්‌ථාව ද විය. සමහර කුල රජයේ අවශ්‍යතාව අනුව ඇතිවන අතර සමහර ඒවා අභාවයට ගිය බව මහනුවර යුගයේදී දක්‌නට ලැබිණි.

ගොවි වංශයේ මධ්‍යම පන්තිය "රටේ ඇත්තන්" ලෙස හැඳින්වුණ අතර ඔවුන් ද යම් යම් ප්‍රභේද වශයෙන් සංවිධානය වී සිටියහ. "හන්දුරු" පෙළැන්තිය ලෙස හැඳින්වූ මොවුන්ගේ නම් අගට "අප්පු" යන ගෞරව පදය එක්‌විය. "අප්පුහාමි" යන්න මෙකල මහනුවර යුගයේ ගරු නාමයක්‌ ලෙස සලකන ලද්දකි. රජු විසින් තානාන්තර පිරිනමන ලද්දේ මෙම උසස්‌ යෑයි පිළිගත් පන්තියේ අයට වූ අතර ඒවා රාජ්‍ය පාලනය හා බැඳුන විශේෂ රාජකාරි ඉටු කිරීම් සඳහා දෙන ලද වරප්‍රසාද විය. මෙසේ දුන් ගෞරව පටබැඳි නාම බොහෝවිට "මුදියන්සේ" වැනි ඒවා වූ අතර නාමයක අගට එකතු කර එය කුල නාමයක්‌සේ භාවිතයට ගන්නා ලදී. රත්නායක මුදියන්සේ, ජයවීර මුදියන්සේ, ගුණසේකර මුදියන්සේලාගේ ආදී ලෙසින් පසු කලෙකදී භාවිත වූයේ මේවා විය. මෙවැනි දීමනා මහනුවර යුගයේදී ඉහළින් සලකන ලද අතර ඔවුන් පරම්පරාවෙන්ම රජය හා බැඳ තබන සේවකයෝ බවට පත්විය. මහනුවර කාලයේදී මෙම මුදියන්සේ නිල නාමය රන් නළල් පටක්‌ රජු අතින් බැඳ දෙන ලද්දක්‌ වුවද පසු කාලය වන විට අඩු කුලිකයන්ට දීමෙන් හෑල්ලුවට පත්විය. මහ මුදියන්සේ යන යෙදුමට අමතරව කුඩා මුදියන්සේ හා කුරුවෙ මුදියන්සේ වැනි යෙදුම්වලින් එය පෙනේ. මුල් කාලයේ රාජ්‍ය සේවාවට බැඳ තබා ගැනීම පිණිස මෙසේ තානාන්තර ප්‍රදානය කළේ අවංක සෘජු ගුණ ඇති පුද්ගලයන් හා ඔවුන් සමාජයේ පිළිගන්නා උස්‌ස පවුල්වලින් පැවතෙන්නන්වීම නිසාය. එබඳු පරම්පරාවල අය ලාභ ප්‍රයෝජන තකා හීන දීන වැඩ නොකරනු ඇතැයි විශ්වාසයක්‌ පැවැති අතර කුල දූෂණයෙහි නොයෙදීමට ද උසස්‌ කුලවල අය වගබලා ගත්හ. "රදළ පේරුව" ලෙස සලකා රාජ සේවයේ යොදවා ගන්නා ලද්දේ රටේ මෙබඳු පිරිස්‌ විය. රදළවරු, මුදලිවරු හා රටේ උදවිය යනුවෙන් වර්ග තුනක්‌ මහනුවර යුගයේ සිටි බව උඩරට ගිවිසුමේ ද දැක්‌වේ.

මෙම තනතුරු උදෙසා මහනුවර යුගයේ ජනයා දැක්‌වූ කැමැත්ත නිසාම උපන් නැකතට තබන ලද නම භාවිතයට නොගන්නා හා නොදන්නා එකක්‌ බවට පත්කොට තනතුරු නාමය භාවිතය සඳහා යොදා ගැනීමට හුරු වූවෝය. අප්පු, බණ්‌ඩා, මුදියන්සේ වැනි නම්බුනාම පද අගට යොදමින් "පුංචි අප්පු", ලොකු අප්පු, පොඩි අප්පු, කිරි අප්පු, අප්පු හාමි, අප්පු සිඤඤො, කිරි මුදියන්සේ, සුදු බණ්‌ඩා වැනි නම් එබඳු ඒවා විය. වාසගම භාවිත කළේ ද වෙනත් නම් ඇතුළත්කොට විය. උසස්‌ තනතුරු ලද්දෝ ගමේ නමින් ප්‍රසිද්ධ වූවෝය. පිළිමතලාවේ, මීගස්‌තැන්නේ, ඇහැළේපොල ඊට නිදසුන් විය. යුද වීරත්වය සම්බන්ධ කොටගෙන දෙන ලද ගරු නම්බු නාම පරම්පරා නාම බවට පසුකාලයකදී පත්වනු පෙනේ. රාජ්‍යය වෙනුවෙන් කරන ලද සේවය උදෙසා ඒවා දුන් බව පෙනේ. ජයග්‍රහණයේ සූරයා ජයසූරිය, ජයග්‍රහණයේ වීරයා ජයවීර ආදිය සේම, රණවීර, රණසිංහ, රාජසූරිය, රාජසිංහ වැනි නම් ද රට හා බැඳි ඒවා විය. එසේම රාජ්‍ය පාලන දාමයේ ඉහළ සිට පහළටම නාමකරණය තනතුර හා බැඳ තබන රටාවක්‌ දක්‌නට විය. විශේෂයෙන් මහනුවර යුගයේ රාජ්‍ය පාලන ක්‍රියාවලිය හා බැඳී එන නම් අදත් ව්‍යවහාරයේ පවතී. අතපත්තු, මොහොට්‌ටි, කොඩිතුවක්‌කු, කොඩිකාර, පළිහවඩන, අතාවුද ආදී කොට බොහෝ පරම්පරා නාම මෙසේ පැවත එන ඒවා වෙයි. මේ පරම්පරා ධූරාවලීන් දිගටම තනතුරුධාරීන් ලෙස රාජ්‍යයට බැඳ තබන ලද බව පෙනේ. නිල නාමයන් ද සමග ලබාගත් රාජතාන්ත්‍රික පිළිගැනීම හේතුවෙන් ජනතාව අතර ගෞරවයක්‌ ඔවුන් වටා ගොනු විය. උසස්‌ තනතුරුධාරීන් ලෙස නින්දගම් ලද්දෝ වඩාත් රාජපාක්‍ෂික වූ අතර ඔවුන් මහත් බලයක්‌ හා තේජසක්‌ ඇති උදවිය වූහ. රජු ඔවුන් ලවා බොහෝ සේවා ඉටු කරගත් අතර ඔවුහු ද රජුගේ සිත් දිනා ගනිමින් වරප්‍රසාද ලදහ. රාජ්‍ය පාලන රටාව ඉහළ සිට පහළටම මෙසේ තනතුරු හා නිල නාම දාමකින් බැඳ තමන ලද්දේ විය.

සෙසු කුල පෙළගැස්‌වී තිබුණේ ද ඒ ඒ කුලවලට වඩා උසස්‌ කුලයන්ට සේවය කිරීමේ පිළිවෙළට වෙයි. ඒ අනුව කුඹල් ජනයා රදා කුලයට වඩා කුල ධූරාවලියේ ඉහළින් සිටි පිරිස වන බැවින් රජකයින් රෙදි ඇපිල්ලුවේ කුඹල් කුලය දක්‌වා ඉහළ අයට පමණි. ඊට පහළ කුලවල අයට රෙදි අපුල්ලන ලද්දේ "පලි" නමැති තවත් පහත් කුලයක අයයි. බෙරවායින් තමන්ට වඩා ඉහළ කුලවලට බෙර වැයීමේදී බෙරය හිසෙන් ඇඟලන අතර පහළ කුලවලට වැයීමේදී පයින් ඇඟලන ලදී. මහනුවර දළදා මාළිගාවේ සේවය ද කුල පදනම අනුව සංවිධානය වී පැවතිණි. සාමාන්‍ය සමාජයේ වුවද ගොවි වංශයට සේවය කිරීම සඳහා පනික්‌කියෝ, බඩහැලයෝ, හේනයෝ, හතුරෝ, බෙරවායෝ, සන්නාලියෝ, කින්නරයෝ, පද්දෝ වැනි කුලවල අය සිටියහ.

මෙකී කුලවල අය එම කාර්යාංශ සිය ජීවනෝපාය කොටගත් අතර රජවාසලට බැඳී සිටි ඔවුහු සිය සේවය රජතුමා සඳහා ද ලබාදෙන ලදී. ඒ හැර එම කුලවල අය තම කුලය අරබයා වූ අභිමානයකින් කටයුතු කළෝ ද වූහ. ඔවුන් කුලය මදිපුංචිකමක්‌ ලෙස නොසලකන ලද බව පෙනේ. ආචාරී හා හේනයන් වැනි කුලිකයන් සමාජයට නැතුවම බැරි සේවා සපයන්නෝ වූ බැවින් ගොවි වංශයේ බොහෝ පන්තීන්හි උදවිය ඔවුන් හිතවතුන් සේ සලකන ලදී. මේ පිළිබඳ නොක්‌ස්‌ දක්‌වන විස්‌තරවලින් ඒ බව සනාථ වෙයි. කුල අනුව ඇඳුම් ඇඳීම ද නියම විය. රැවුල කොණ්‌ඩය අරබයා ද සම්මතයන් පැවතිණි. උසස්‌ කුලිකයන් ඇමතීම සඳහා භාවිත කළ යුතු වචන නියම වී තිබිණි. ඉතා පහත් රොඩී වැනි කුලිකයින් "දෙයියෝ" "උතුමෝ" "හාමුදුරුවෝ" වැනි පද උසස්‌ කුලිකයන් ඇමතීමට යොදා ගත්හ. රජයේ නිලයන් දරන්නන් උදෙසා කතාබස්‌ කිරීමේදී අප්පු, රාළ, විදානේ යන තනතුරු නාම ඔවුනොවුන් අතර වහර විය. එතනා, ළමාහාමි, කුමාරිහාමි වැනි පද උසස්‌ කුල කතුන් උදෙසා යොදා ගැනුණි.

අතීතයේ සිට රාජ්‍ය පාලනය අරබයා සමාජයේ පිළිගත් ප්‍රභූ පෙළැන්තියක්‌ නිර්මාණයව සිට අතර ඔවුන් සිය පෙළ පතේ ගෞරවය නසා නොගත්තෝ වූහ. බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යනුවෙන් අතීත භාරත සමාජයේ පවා සමාජය ස්‌ථර කීපයකට බෙදී පැවති අතර රාජ්‍ය පාලනය හිමිව පැවැති ක්‍ෂත්‍රීයයෝ කුල දූෂණය කරගත්තේ කලාතුරකිනි. මෙසේ සමාජයේ කුල පදනම පිළිබඳ ජනතාව තුළ පවතින විශ්වාසය පලුදු නොකිරීමට හා එකී කුල පරම්පරාවනට අයත් සමාජ යුතුකම පැහැර නොහැරීමට ද ඔවුහු වගබලා ගත්තෝය. රජු හෙවත් රටේ පාලකයා විය යුත්තේ කුමන වංශිකයන් ද යන්න ජනතාව දුරාතීතයේ සිට පිළිගෙන සිටියහ. එසේම රාජ්‍යත්වය හා බැඳුණු රජු ළඟ සිට ප්‍රාදේශීය මට්‌ටමේ විදානේ හෝ ආරච්චි තනතුරු දක්‌වා විවිධ මට්‌ටම් වලින් කුල පරම්පරා සම්මතව පැවැති අතර ඔවුන් කෙරේ ජනතාවගේ විශ්වාසය ද එසේම නොබිඳී පැවතුන බව මහනුවර යුගයේ රාජ්‍ය පාලනය සියුම්ව විමසා බැලීමේදී පෙනේ.


මතු සම්බන්ධයි

ගුණපාල ජයතිස්‌ස

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.