රත්මලාන මැලිබන් හංදියේ සිට වැල්ලවත්ත
දක්‌වා විශේෂ රථවාහන සැලැස්‌මක්‌


චමින්ද සිල්වා

රත්මලාන මැලිබන් හංදියේ සිට වැල්ලවත්ත පාලම දක්‌වා අද (12 වැනිදා) සිට විශේෂ රථවාහන සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන මහතාගේ අධීක්‌ෂණය යටතේ ගල්කිස්‌ස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී හේමන්ත අධිකාරි මහතාගේ උපදෙස්‌ මත මෙම විශේෂ රථවාහන සැලැස්‌ම පෙරවරු 6.45 සිට 7.45 දක්‌වා පැවැත්වේ.

රථවාහන සැලැස්‌ම තුළදී මැලිබන් හංදියේ සිට කොළඹ දෙසට ගමන් කරන මංතීරුවට අමතරව කොළඹ සිට මොරටුව දෙසට ගමන් කරන මං තීරුවේ කොටසක්‌ද රත්මලානේ සිට කොළඹ දෙසට ගමන් කරන වාහනවලට වෙන් කරනු ලබයි. මෙම වේලාව තුළ දෙහිවල ගුවන් පාලම මතින් කොළඹ දෙසට ගමන් කරන වාහන පමණක්‌ ගමන් කරවන බව නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන මහතා පැවසීය.

රත්මලානේ සිට කොළඹ දෙසට වාහන ගමන් කිරීමේදී දෛනිකව අධික මාර්ග තදබදයක්‌ ඇතිවන අතර අත්හදා බැලීමක්‌ ලෙස පෙරේදා (10 වැනිදා) නව සැලැස්‌ම සාර්ථක වූ බවද විඡේගුණවර්ධන මහතා කීය. සවස්‌ වරුවේද කොළඹ සිට මොරටුව දෙසට ගමන් කරන වාහන සඳහාද වාහන සැලැස්‌මක්‌ ක්‍රියාවට නංවා තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.