හිට්‌ලර් මරුවාටත් වංචා කළාද?

යුදෙව්වන් ලක්‍ෂ ගණනින් සංහාරය කර දෙවැනි ලෝක යුද සමය ලේ ගංගාවක්‌ බවට පත් කළ ජර්මනියේ ආඥාදායක ඇඩොල්ප් හිට්‌ලර්ගේ අවසානය කෙසේ වී ද?

සාමාන්‍ය පිළිගැනීම වන්නේ මිත්‍ර හමුදා විසින් ජර්මන් හමුදා ක්‍රමයෙන් පරදවාලමින් ඉදිරියට එන විට හිටලර් සිය බංකරයේදී හිසට වෙඩි තබාගෙන දිවි නසා ගත් බවත් ඔහුගේ බිරිඳ වූ ඊවා බ්‍රොන් සයනයිඩ් ගිල දමා මිය ගිය බවත් ය. අනතුරුව මේ දෙදෙනාගේ මළ සිරුරු නාසි සෙබළුන් විසින් පුළුස්‌සන ලද්දේය යන්නද තහවුරු වූ මතයකි. ඔවුන්ගේ මළ සිරුරු දුටු වෙනත් කිසිම පිටස්‌තර පාර්ශ්වයක්‌ නැත.

එහෙත් ඇඩොල්ෆ් හිට්‌ලර් සහ ඔහුගේ බිරිය මරණයට වංචා කළ බවත් තමන් දිවි නසා ගත් බව ප්‍රචාරය කර ආර්ජන්ටිනාවට පැන ගොස්‌ මහලු වනතුරු ජීවත් වූ බවත් ළඟදී නිකුත් වූ පොතක සඳහන් වේ. බ්‍රිතාන්‍ය ජාතික ජෙරාඩ් විලියම්ස්‌ සහ සයිමන් ඩන්ස්‌ටන් විසින් ලියන ලද මේ ග්‍රන්ථය මගින් හිට්‌ලර් සහ බිරිය පලා ගිය ආකාරය සවිස්‌තරාත්මකව හෙළිදරව් කර ඇත.

හිට්‌ලර් මියයන විට ඔහුගේ වයස අවුරුදු 73 ක්‌ බවත් හිට්‌ලර් සහ ඊවාට දියණියන් දෙදෙනකු සිටි බවත් කතුවරුන් දෙදෙනා සඳහන් කරති. කතුවරුන් දෙදෙනාගෙන් එක්‌ අයකු වූ ජෙරාඩ් විලියම්ස්‌ දෙවන ලෝක යුද සමයේදී යුද වාර්තාකරුවකු ලෙස කටයුතු කළේය. "අපට ඉතිහාසය අලුතින් ලියන්න අවශ්‍ය නැහැ. එහෙත් හිට්‌ලර් මරණයට වංචා කර පැනගොස්‌ ජීවත් වීම අපට නිකම්ම අත්හැර දමන්න බැහැ" ඔහු කියයි. "හිට්‌ලර්ගේ හෝ ඊවා බ්‍රොන් ආර්ජන්ටිනාවේදී මියගිය බවට අධිකරණ වෛද්‍ය විද්‍යානුකූල සාධක නැහැ. එහෙත් ඔවුන් ආර්ජන්ටිනාවේ ජීවත් වූ බවට ඇසින් දුටු සාක්‍ෂි තිබෙනවා.

හිට්‌ලර් හා ඊවා පැන ගියේ ඇමරිකන් ඔත්තු සේවා නිලධාරීන්ගේ අනු දැනුම මත බවත් ඒ වෙනුවට ජර්මානු හමුදා සතුව තිබූ යුද තාක්‍ෂණික ඥානය හිට්‌ලර් ඇමරිකාවට දුන් බවත් මෙම ග්‍රන්ථයේ කතුවරුන් සඳහන් කර තිබේ.

හිට්‌ලර්ගේ හිස්‌ කබලේ කොටස්‌ ලෙස හඳුනාගත් ඇට කැබලි කිහිපයක්‌ දැනට රුසියාව සතුව තිබේ. කතුවරුන් දෙදෙනා කියන්නේ එම හිස්‌කබල් කොටස්‌ හතළිස්‌ හැවිරිදි කාන්තාවකගේ බවය. හිට්‌ලර් සිය දිවි නසා ගැනීමෙන් මියගිය ද ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 56 කි.

කතුවරුන් දෙදෙනා මේ පොත ලිවීමට පෙර ආර්ජන්ටිනාවේ සංචාරය කර හිට්‌ලර් සහ ඊවා යුවළ ජීවත් වූ ස්‌ථානය සහ ඔවුන් දෙදෙනා ඇසින් දුටු අයගේ සාක්‍ෂි ලබා ගෙන ඇත. පෙරදී ආර්ජන්ටිනා ජාතිකයන් මේ කරුණු හෙළි කිරීමට උත්සුක නොවු බවත් ඒ රටේ හමුදා පාලනය ඉවත් වී ප්‍රජාතන්ත්‍රවාදය පැතිර ගොස්‌ ඇති මේ සමයෙහි හිට්‌ලර් යුවළ පිළිබඳ පෞද්ගලික විස්‌තර හෙළිදරව් කිරීමට උත්සුකව සිටින බවත් කතුවරු පෙන්වා දෙති.

තමන් ලියූ පොතට කරුණු එකතු කිරීම සඳහා හිට්‌ලර් යුවළ ඇසින් දුටු දෙදෙනකු සමඟ සාකච්ඡා කළ අවස්‌ථාවේදී කිසියම් පිරිසක්‌ එම දෙදෙනාට මරණ තර්ජන එල්ල කළ බව ද කතුවරු කියති.

හිට්‌ලර් සහ ඊවා යුවළ පණ පිටින් සිටිනු අවසන් වරට දැක ඇත්තේ බර්ලින් බංකරය තුළ සිටි ගුවන් විදුලි පණිවුඩ හා සංඥා භාර නිලධාරියා වන රෝමස්‌ ටිෂ් ය. ඔහුගේ වයස දැන් අවුරුදු 94 කි. හිට්‌ලර් සහ ඊවා මළ පසු ඒ සිරුරු දෙකත් තමන් දුටු බව ඔහු කියයි. "හිට්‌ලර් වෙඩි තබා ගන්නා විට මා හිටියේ අල්ලපු කාමරයේ. මට වෙඩි හඬ ඇසුනේ නැහැ. ඒත් මම ඔහුගේ මළ සිරුර දුටුවා. හිට්‌ලර් මේසයට ඔලුව තබාගෙන සිටින අයුරින් මිය ගොස්‌ සිටියා. හිට්‌ලර් හිඳ සිටි සෝෆාවේ පැත්තක ඊවා මැරී සිටියා. ඇගේ හිස හැරී තිබුණේ හිට්‌ලර්ගේ පැත්තටයි. ඊවා ඇඳ සිටියේ ලා නිල් පාට ඇඳුමක්‌. ඇය මියගොස්‌ සිටියේ දැතින් පපුව අල්ලාගෙනයි." ඔහු සඳහන් කරයි. මේ සංඥ බාර නිලධාරියා 'අවසන් සාක්‍ෂිකරු' යනුවෙන් පොතක්‌ ලියා තිබේ.

හිට්‌ලර් ආර්ජන්ටිනාවට පැන ගිය බව කියෑවෙන පොතේ ලේඛකයන් කියන පරිදි එදා බංකරය තුළ මැරී සිටියේ හිට්‌ලර් හා ඊවාගේ පෙනුමට සමාන වෙනත් දෙදෙනෙකි. හිට්‌ලර් හා ඊවා මුලින්ම ඩෙන්මාර්කයට පැන ගොස්‌ ඇති බවත් අනතුරුව යළිත් ජර්මනියට ආ බවත් පොතේ සඳහන් වෙයි. අනතුරුව ජෙනරාල් ප්‍රැන්සිස්‌කෝ ෆ්‍රැන්කෝ (ස්‌පාඤ්ඤයේ සිටි ඒකාධිපති නායකයා) ඔවුන්ට කැනරි දූපතට යැමට ගුවන් යානයක්‌ සපයා ඇත.

මේ සියල්ල සිදු වී ඇත්තේ 1945 අප්‍රියෙල් 30 වැනිදා හෙවත් හිට්‌ලර් හා ඊවා සිය දිවි නසාගත් බව හෙළිවුණ දවසට පෙරයි. හිට්‌ලර්ගේ හිතවතුන් හිට්‌ලර්ගේ පෙනුම ඇති පිරිමියකු හා ගැහැණියක මරා බංකරය තුළට දමා ගිනි තැබූ බව මේ ලේඛකයන්ගේ අදහසය.

හිට්‌ලර් නව ජීවිතයක්‌ පටන් ගැනීම සඳහා දකුණු ඇමරිකාවට පලාගිය බව කියමින් ඒ වකවානුවේදී ඇමරිකන් රහස්‌ ඔත්තු සේවා විසින් යවන ලද කේබල් පණිවුඩ කිහිපයක්‌ ද මේ දෙදෙනා ඉදිරිපත් කරයි. හිට්‌ලර් සහ ඊවා ආර්ජන්ටිනාවේ වෙරළට ගෙන ගොස්‌ බැස්‌ස වූ ගුවන් යානයේ නියමුවාගේ සාක්‍ෂියක්‌ ද මේ පොතට ඇතුළත් කර තිබේ.

හිට්‌ලර් සහ ඊවා ආර්ජන්ටිනාවෙන් ඉඩමක්‌ මිලට ගෙන ඇත්තේ බර්ලිනයෙන් සොරාගෙන ආ රන් තොගයක්‌ විකිණීමෙනි. 1962 පෙබරවාරි 13 වැනිදා හිට්‌ලර් මිය යන විට ආර්ජන්ටිනා ජාතික මිතුරන් විශාල පිරිසක්‌ ඔහු වටා සිටි බව ද පොතේ සඳහන් ය.

යුද්ධය පරාජයට පත් වීමෙන් පසු හිට්‌ලර්ගේ නාසි යුද ප්‍රධානීන් වන ඇඩොල්ľa අයික්‌මාන්, ක්‌ලවුස්‌ බාබි යනාදීන් පැන ගියේ දකුණු ඇමරිකාවටය. හිට්‌ලර් ද සිය සගයන්ගේ පිය සටහන් අනුව යන්නට ඇති බව විශ්වාස කෙරේ.


සංඛනාද වෙදගෙවත්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.