පකිස්‌ පෙට්‌ටියේ ගමන් මඟ

පකිස්‌ පෙට්‌ටියකට යමක්‌ කළ හැකිද?

ලෝකයේ ලාබම ලී වර්ගය වන ඇල්බීසියා ලෑලිවලින් තනන පකිස්‌ පෙට්‌ටිය ඉතා බලසම්පන්න දේවල් කරන අවස්‌ථා තිබේ. උදාහරණයක්‌ මෙසේයá ජනයා ගැවසෙන අගනුවරක පාර අයිනේ පකිස්‌ පෙට්‌ටියක්‌ තබනු ලැබේ. අනතුරුව එය තැබූ එකා දින කිහිපයක්‌ ඒ මත හිඳ සිටී. අනතුරුව ඒ පෙට්‌ටිය මත බුලත් විට කිහිපයක්‌ සහ විස්‌කෝතු ටිකක්‌ තබාගෙන විකුණනු ලැබේ. දුප්පතාගේ එකී වෙළෙ¹මට කවුරුවත් විරුද්ධ නොවෙති. තවත් ටිකක්‌ කල් ගිය විට වැහි කාලය එයි. වැහි පොදෙන් බුලත් විටට කරදරයක්‌ නොවනමුත් විස්‌කෝතුවලට සෙම්ප්‍රතිෂ්‍යාව හැදෙයි. මේ නිසා පකිස්‌ පෙට්‌ටිය හතර වටෙන් කණු සතරක්‌ සිටුවා තාවකාලිකව ඉටිරෙද්දකින් වහලයක්‌ ගැසීම සිදුවෙයි. තවත් වසර කිහිපයකට පසු පකිස්‌ පෙට්‌ටිය වට කොට ලෑලිවලින් ද දෙවනුව ලෑලි ගලවා ගඩොල්වලින් ද ගොඩනැඟිල්ල සාදනු ලැබේ. ඒ ගොඩනැඟිල්ලට ලයිට්‌ හා වතුර ගනු ලැබේ. තවත් කලකට පසු කොන්ක්‍රීට්‌ ස්‌ලැබ් එකක්‌ දමා ඒ මත තව තට්‌ටුවක්‌ තැනීම සිදුවෙයි. කාලයාගේ ඇවෑමෙන් මේ ගොඩනැඟිල්ල තට්‌ටු පහක්‌ - හයක්‌ තරම උස්‌ වෙයි. ආණ්‌ඩුවේ ඉඩමක පකිස්‌ පෙට්‌ටියක්‌ තබා කළ හරිය මදිද?

රාජ්‍ය දේපළ සහ ජනශූන්‍ය දේපළ අත්පත් කරගෙන තමන්ගේ දේපළ ලෙස සලකා භුක්‌ති විඳින හෝ විකුණන පුද්ගලයන් මෙකල මේ රටේ බහුලය. ඊයේ "දිවයිනේ" කදිම පුවතක්‌ විය. ඒ වූ කලී වැලිකඩ හිරගෙදර විදුලි බිල ඉතා ඉහළ බැවින්, ඒ ගැන සොයා බලද්දී හිරගෙදර නිලධාරීන් හිරගෙදර සිට තමන්ගේ නිවාසවලට විදුලි කම්බි ඇදගෙන ආණ්‌ඩුවේ වියදමින් ලයිට්‌ පත්තු කරන බව හෙළිව තිබීමය. එක්‌දහස්‌ නවසිය අසූතුනේ ජූලි මාසයේදී හටගත් ජාතිවාදී කෝලාහලය නිසා කොළඹ සිටි දෙමළ ජනයා විශාල වශයෙන් පිටරටවලට පලා ගියහ. අවුරුදු දහයකට හෝ දොළහකට පසු ඒ ජනයා ආපසු ගම් බිම් බලා එන විට එම දේපළවල වෙනත් ජනයා පදිංචිව, ගෙවල් ලොකු කර, තාප්ප ගසාගෙන සිටියහ. ඔවුන් එම නිවාස මිලට ගෙන තිබුණේ එක්‌තරා දේශපාලනඥයකුගෙනි. දේශපාලනඥයා හොර ඔප්පු සාදා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉඩම් විකුණා තිබිණ. අන්තිමට දේපළවල නියම අයිතිකාරයන් දේපළ ඉල්ලන විට දේශපාලනඥයාගේ මිනිස්‌සු කැති පොලු, බෝම්බ හා පිස්‌තෝල ගෙන ඉදිරියට ආහ.

ඉහත සඳහන් කතා පුවත් දෙක අපට සිහිවූයේ ඊයේ (25 දා) "දිවයිනේ" පළවූ පුවතක්‌ දැකීමෙනි. පුත්තලමේ දේශපාලනඥයෙක්‌ අක්‌කර 50 ක රජයේ ඉඩමක්‌ බලෙන් අල්ලාගෙන ඇතැයි එහි සඳහන්ව තිබිණ. අක්‌කර 50 ක්‌ යනු සෙල්ලමක්‌ද? මෙසේ අල්ලාගන්නා ඉඩම් වැඩි කලබලයක්‌ නැතිවම කැබලි කර විකිණීමට පුළුවන. අට්‌ටිය පිටින්ම ඉඩම් වෙන්දේසිකාර මහතුනට වික්‌කොත් පියවරෙන් පියවර යන නිවාස යෝජනා ක්‍රමයක්‌ හැදීමට හැකිවන්නේය. පුත්තලමේ ලුණු ඇති බැවින් "සෝල්ට්‌ ලේක්‌ ගාඩ්න්" හෝ පුත්තලමේ කරවල වේලන බැවින් "ඩ්‍රයිෆිෂ් ගාඩ්න්" වැනි නමක්‌ එම නිවාස යෝජනා ක්‍රමයට දැමූ විට අත්තිවාරම දැමීමටත් කලින් ගෙවල් ටික විකුණා ගැනීමට හැකිවනවා ඇත.

රජයේ ඉඩම් ඇල්ලීම වැඩි කලබලයක්‌ නැතිව කළ හැකි කටයුත්තකි. සාමාන්‍යයෙන් මේ රටේ රජයේ ඉඩම් වැඩි වශයෙන් අයිතිව තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය, මහාමාර්ග දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව යන ආයතනවලටය. මෙයින් නාගරික සංවර්ධන අධිකාරිය සතුව ඉඩම් යායවල් තිබේ. මේ ඉඩම්වල පත්තිරු හෙවත් මුල් ලේඛන අවුරුදු සිය ගණන් පැරණි අතර දිරාගොස්‌ තිබේ. පත්තිරුවල කැබලි හැලෙන බැවින් ඒවාට අලුත් ඔප්පු තනා අයිති කර ගැනීම හොරුන්ට පහසු වී තිබේ. අපට දැනගන්නට ලැබී ඇති පරිදි නුවර නගරයෙහි ඇති ඉඩම්වලින් වැඩි හරියක්‌ දළදා මාලිගාවට අයත්ය. විවිධ බලපුළුවන්කාරයන් එදා සිට එම ඉඩම් අල්ලාගෙන සිටින නිසා මේ ඉඩම්වලට තමන් සතුව ඇති අයිතිය දළදා මාලිගාව පවා දන්නේ නැත. රත්නපුරේ මහ සමන් දේවාලය සතු ඉඩම් විශාල "ටී එස්‌ටේට්‌" බවට පත්වී ඇති බව කියනු ලැබේ. මේ ඉඩම් විහාර දේවාලගම් පනත යටතේ ඇති ඉඩම් ය. ඒවා පාලුවෙන්නට හැර තැබීම ගැන අපද එකඟ නැත. එහෙත් ඒවා පුද්ගලික අයිතියට නතු කරගෙන භුක්‌ති විඳීම ගැන අප අත්‍යන්තයෙන්ම විරුද්ධය.

භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන තුන මහජනතාව සන්තක විය යුතු බව කාල්මාක්‌ස්‌ කීවේය. මහජනතාව යනු පොදු අයිතියයි. පොදු අයිතිය යනු රජයේ අයිතියයි. නූතන සමාජය තුළ කාල්මාක්‌ස්‌ගේ පොදු අයිතිය පිළිබඳ සංකල්පය පවත්වාගෙන යා නොහැකි නමුත් රජයේ ඉඩම්වල අයිතිය රජයට තිබිය යුතුමය. පකිස්‌ පෙට්‌ටියකට විශාල දුරක්‌ යැමට හැකිවන්නේ මේ අයිතිය නැති විටය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.