පාර්ලිමේන්තු සභා ගර්භයටත් පරිගණක පහසුකම් ලබාදෙයි

නිලන්ත මදුරාවල

පාර්ලිමේන්තු සභා ගර්භයට පරිගණක පහසුකම් ලබාදීමට කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ අවධානය යොමුවී තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්‌ මේ වන විට පවත්වා ඇති අතර නව තාක්‍ෂණය උපයෝගී කරගනිමින් අරපිරිමැස්‌මෙන් සහ කාර්යක්‍ෂමතාවෙන් කටයුතු කිරීම මෙහි අරමුණ වී ඇත. මින් ඉදිරියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තා සංයුක්‌ත තැටි (සී. ඩී.) වලට ඇතුළත් කර ඉදිරිපත් කළ යුතු බවට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 21 වැනිදා තීරණය කළේය. මෙම තීරණයට අනුව වාර්ෂික වාර්තා මුද්‍රණයට යන රුපියල් කෝටි ගණනක්‌ ඉතිරි කර ගත හැකි වන බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින" ට ඊයේ (25 වැනිදා) පැවැසීය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී මන්ත්‍රීවරුන්ට පරිගණක පහසුකම් ලබාගැනීමට හැකියාව ඇතත් සභා ගර්භයටම එම පහසුකම් ලබාදීම ඔවුන්ට තවත් පහසුවක්‌ වන හෙයින් කථානායකවරයා ඒ පිළිබඳ අවධානය යොමුකර ඇති බව ද ඉහත කරුණු දැක්‌වූ නිලධාරියා සඳහන් කළේය. ඊට අදාළ අධ්‍යයනයන් මේ දිනවල සිදු කෙරෙන බවත් හෙතෙම කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.