පුරාණ අනුරාධපුරයේ මාර්ග පද්ධතිය

ඩී. තුසිත මැන්දිස්‌

අදින් අවුරුදු 5900 කට පූර්වයේදී ආරම්භ වන අනුරාධපුර මානව ජනාවාසවීම අඛණ්‌ඩව ක්‍රි.ව. 12 වන සියවස දක්‌වා ම ක්‍රියාත්මක වීම හඳුනාගත හැකිය. ප්‍රාග් ඓතිහාසික අවධියේදී ආරම්භ වූ මෙම ජනාවාසවීම සංස්‌කෘතික පරිවර්තනයන් සමඟ නාගරීකරණය හා බද්ධවීම සිදුවේ. (Deraniyagala 1992( 700, 709-713) මේ තත්ත්වය ආරම්භවීම සඳහා අනුරාධපුරය ඇසුරින් සිදු වූ සමාජ ක්‍රියාකාරිත්වය බලපා තිබේ. ඒ සමඟම නගරය හා බද්ධ වූ මාර්ග පද්ධතියක්‌ බිහිවීම සිදු වේ. දැනට සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව සිව් දිශාවෙන්ම අනුරාධපුරය නගරය හා බද්ධ වූ මාර්ග පද්ධතියක්‌ පැවැති බවට අනුරාධපුර නගරයෙන් පර්යන්ත ප්‍රදේශවල පිහිටි සම්පත් ක්‍රි.පූ. 800 සිට අනුරාධපුරයට පරිවහනය කර තිබීමෙන් හඳුනාගත හැකිය. ඇතුළුපුරයේ සිදුකොට තිබෙන පර්යේෂණ අනුව නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි සේරුවිල තඹ නිධියේ අමුද්‍රව්‍ය භාවිතා කොට නිෂ්පාදනය කරන ලද ලෝහ උපකරණ සහ නිෂ්පාදනයෙන් පිටවන අපද්‍රව්‍ය වන ලෝහ බොර කැණීම්වලදී හඳුනාගෙන තිබේ. (Deraniyagala 1972:Senaviratne 1994. මෙම කාලයේ සිට අඛණ්‌ඩව අනුරාධපුර ග්‍රාමය හා නැගෙනහිර ප්‍රදේශයේ මධ්‍ය යාන් ඔයේ පිහිටි පූර්ව ඓතිහාසික ග්‍රාමීය සමාජ පුරා මාර්ග පද්ධතිය ආශ්‍රිත සම්පත් හුවමාරු කිරීමේ කාර්යයෙහි නියෑලෙන්නට ඇති බව මෙම ද්‍රව්‍යමය සාධකවලින් පැහැදිලි වේ.

එක්‌ අතකට නැගෙනහිර පර්යන්ත ප්‍රදේශය හා සම්බන්ධ වූ මාර්ගය මෙන්ම දකුණු ප්‍රදේශයෙන් මලය රට දක්‌වා සම්බන්ධ වූ මාර්ගයක්‌ ද පූර්ව ඓතිහාසික අවධියේ සිට ක්‍රියාත්මක වූ බව හඳුනාගත හැකිය. අනුරාධපුරයේ සිට පහත් කඳුකර කලාපය දක්‌වා සන්දනම්කුලම, ඉට්‌ටිකට්‌ටිය, දිගම්පතහ, ඉබ්බන්කටුව, රොටවැව, ආනකටාව, කන්දලම සහ සීගිරිය ආදී ප්‍රදේශවල ක්‍රි.පූ. 700 පමණ සිට පූර්ව ඓතිහාසික ජනාවාස මුල්බැස ගනු ලබයි. කඳුකරයේ වූ ඛනිජ සම්පත් අත්පත් කරගැනීම සහ ඒවා අනුරාධපුරය දක්‌වා පරිවහනය කිරීම මෙම ජනාවාස ඇසුරෙන් සිදුකොට ඇති බව ක්‍රි.පූ. 600 න් පසු ඇතුළුපුර ජනාවාසයේ මැණික්‌ ගල් ඇතුළු ඛනිජ ද්‍රව්‍යවල විවිධත්වය වැඩිවීමෙන් හඳුනාගත හැකිය. (Deraniyagala1972: Senaviratne 1996. එසේම කඳුකර කලාපයට බද්ධ වූ මේ මාර්ගය නගරයෙහි බටහිර දිගින් පැමිණි සම්පත් කඳුකරය දක්‌වා පරිවහනය කිරීමට ද භාවිතා කොට තිබේ. ඉන්දියාවේ සම්භවය ලබන කානිලීයන් ඇගේට්‌ වැනි අර්ධ මාණික්‍යමය ඛනිජ වර්ග මාන්තායි සිට ක්‍රි.පූ. 700 පමණදී කඳුකරයට ගමන් කොට තිබේ. මෙම මාර්ගය දිගේ හක්‌බෙල්ලන් සහ මුතු ඇතුළු මුහුදු ආශ්‍රිත ද්‍රව්‍යයන් ද අනුරාධපුරයට පැමිණ තිබෙන අතර නගරයෙහි උතුරින් පිහිටි පුරාණ මාර්ගය ද යාපන අර්ධද්වීපය දක්‌වා පූර්ව ඓතිහාසික අවධියේ මැද භාගයේදී සැකසී තිබෙන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. භෞතික සංස්‌කෘතික තොරතුරු ඇසුරෙන් අනුරාධපුරයේ මාර්ග පද්ධතිය පූර්ව ඓතිහාසික අවධියේ ක්‍රියාත්මක වූයේ කෙසේදැයි හඳුනාගත හැකි වුවද නිශ්චිත ලෙස ම මාර්ග පද්ධතියක්‌ සම්බන්ධ පුළුල් අවබෝධයක්‌ ලබාගත හැක්‌කේ මුල් ඓතිහාසික අවධියෙන් පසුවය.

මුල් ඓතිහාසික අවධියේදී අනුරාධපුරය නගරය වර්ධනය සඳහා සිව්දෙසින්ම සම්බන්ධ වූ මාර්ග ජාලය ද අතිශයින්ම වැදගත් වී තිබේ. මූලාශ්‍රගත හා පුරාවිද්‍යාත්මක තොරතුරු අනුව නගරය හා සම්බන්ධ වූ මාර්ග ජාලය පිළිබඳව අධ්‍යයනයේදී සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වන තොරතුරු පිළිබඳව විමර්ශනය කළහොත් අනුරාධපුර නගරයෙන් දකුණු දෙසට දිවයන මාර්ගය මහාමේඝ වනයේ නැගෙනහිර දොරටුව ඉදිරිපසින් තිසාවැව, ඉසුරුමුණිය, වෙස්‌සගිරිය හා කඳුරටට දිවගොස්‌ තිබේ. (සද්ලං(539) මුල් ඓතිහාසික අවධියේ ආර්ථික හා දේශපාලන වශයෙන් සුවිශේෂ කාර්යභාරයක්‌ මෙම මාර්ගය ඔස්‌සේ සිදුවී ඇති බව පුරාවිද්‍යා හා සාහිත්‍ය මූලාශ්‍ර අනුව හඳුනාගත හැකිය. විශේෂයෙන්ම ඛනිජ සම්පත් පරිවහනය සම්බන්ධ තොරතුරු ඇතුළත් අභිලේඛන රාශියක්‌ රුසිගම, දෙමඩඔය, දඹුල්ල, තෝනිගල ආදී ස්‌ථානවලින් ලැබෙන බැවින් එම ප්‍රදේශ ඔස්‌සේ මෙම මාර්ගය පිහිටා ඇති බව සිතියමක්‌ අධ්‍යයනය කිරීමෙන් දත හැකිය. (JC.Vol. i. 1970: (Map. 01) නගරයට දකුණින් ස්‌ථානගත වූ මේ මාර්ගය ආසන්නයේ විවිධ නිෂ්පාදන කටයුතු සිදු වූ ග්‍රාම ස්‌ථානගතව තිබූ බව ද මූලාශ්‍රගත තොරතුරුවල සඳහන් වේ. පණ්‌ඩුකාභය රාජ යුගයේදී පිහිටුවනු ලැබූ ද්වාරගාම (මව X 88) මුල් ඓතිහාසික අවධියේ ඇතිවන සමාජ, ආර්ථික, දේශපාලන තත්ත්වය මත වෙළෙඳපොළක්‌ දක්‌වා වර්ධනය වන්නට ඇති බව අපට උපකල්පනය කළ හැකි සාක්‍ෂි ගණනාවක්‌ තිබේ. ඒ සඳහා වන කාරණා අතරින් නුවරින් දකුණු ප්‍රදේශය (වර්තමාන ෙ-තවන භූමිය) ආශ්‍රිත භෞතික සංස්‌කෘතිය අධ්‍යයනය වැදගත් වේ. ෙ-තවන භූමිය මල්වතුඔයේ වම් ඉවුරේ උස්‌ බිම් කඩක පිහිටා ඇත. විශේෂයෙන් ම බාහිර දුරකතර ප්‍රදේශවලින් ඇදී එන භාණ්‌ඩ හුවමාරු කර ගැනීමේදී මුලින් ද්වාරා ගාම වශයෙන් පිහිටවූ මෙවැනි ගම් පසුව නිගම එසේත් නැතහොත් වෙළෙඳපොළ දක්‌වා වර්ධනය වූ බව ලබුඇටබැඳිගල ශිලා ලිපියේ EZගඪදකගසසසග EZ.Vol.iii. 1928-) තෝනිගල ශිලා ලිපියේ (එම: No 17) හා වෙස්‌සගිරි පර්වත ලිපියේ සඳහන් නිගම (සේනානායක 2008(93) පිළිබඳ විස්‌තරවලින් පැහැදිලි වේ. දීපවංසයේ මෙවැනි භාණ්‌ඩ හුවමාරු වන ස්‌ථාන හඳුන්වා ඇත්තේ අන්තරාපන ලෙසය. (දිව ix :36) නගරයෙන් දකුණු දෙසින් වූ භාණ්‌ඩ හුවමාරු කරගතයුතු වෙළෙඳපොළක්‌ (නිගම) දකුණු ගමන් මාර්ගය හා සම්බන්ධ වී තිබිය යුතුය. එවැනි ස්‌ථානයක්‌ ලෙස අපට අද හඳුනාගත හැක්‌කේ වත්මන් ෙ-තවන භූමියයි. මුල් ඓතිහාසික අවධියේ ෙ-තවන භූමිය හඳුන්වා ඇත්තේ නන්දන උයන ලෙසය. (මව. xvv දිව. xiii 02: සපා. xxxiii71) නන්දන උයන එක්‌තරා ආකාරයකට මාර්ගවලින් වට වූ භූමියක්‌ ලෙස එවකට පිsහිටා තිබූ බව මූලාශ්‍ර තොරතුරුවලින් පැහැදිලි වේ. මහාවංසයේ එක්‌ සඳහනක මල්වතුඔය බටහිර ඉවුරට සමාන්තරව දිව ගිය මාර්ගයක්‌ පිළිබඳ විස්‌තර කර ඇත. මහා සීමාව සලකුණු කරන විස්‌තරයේ ද මෙම මාර්ගය පිළිබඳව සඳහන් වේ. (මව. xv 209-211) එසේම නන්දන වනයේ දකුණු දිගින් පැමිණි මිහිඳු මහ රහතන් වහන්සේ මහාමේඝ වනයේ නැගෙනහිර දොරටුව තුළින් මහමෙව්නා උයනට ඇතුළු වී ඇත. (එම( 03) නන්දන උයන වටා වූ මාර්ගය හා දකුණු දිග ප්‍රධාන මාර්ගය එකිනෙකට සම්බන්ධ වූ බව ඉන් පැහැදිලි වන අතර මෙම මාර්ගය දුටුගැමුණු එළාර යුද්ධයේදී ද භාවිත වූ බව මූලාශ්‍රවල සඳහන් වේ. (එම xxv 68-70) නගරය හා සම්බන්ධ වූ දක්‍ෂිණ ප්‍රධාන මාර්ගය නන්දන උයන වටා වූ මල්වතුඔය බටහිර ඉවුර දිගේ ගිය මාර්ගයට සම්බන්ධ ව තිබූ බව සුමන සාමණේර හිමි දකුණු අකු ධාතුව රැගෙන ඒමට භාවිතා කිරීමෙන් පැහැදිලි වේ. (එම. xvii 29-30) මෙම මාර්ග පද්ධතියේ පිහිටීම අනුව අනුරාධපුර නගරයේ දක්‍ෂිණ දිග ප්‍රදේශය එක්‌ පසෙකින් දකුණු ප්‍රධාන මාර්ගය සම්බන්ධ වූ අතර එම මාර්ගය හා බද්ධ වූ උප මාර්ග පද්ධතියකින් ද සම්බන්ධව තිබූ බව මූලාශ්‍ර කරුණු අනුව වටහාගත හැකිය. 1960 වසරේදී ඇතුළුපුරයේ දකුණු ප්‍රාකාරයේ සිදුකළ කැණීමකදී අඩි 57 ක්‌ පළල උතුරු දකුණු දිශානුගත ව දිවෙන මාර්ගයක්‌ හඳුනාගෙන ඇත. (ASCAR. 1960: 69) එම මාර්ගයේ විහිදීම දකුණු දොරටුවෙන් දකුණු දෙසට වන බව මාර්ගයේ විහිදීම අනුව හඳුනාගත හැකිය. දක්‍ෂිණ ස්‌තූපය ආසන්න ස්‌ථානයක සිදුකළ කැණීමකදී දකුණු මාර්ගය සම්බන්ධ තවත් තොරතුරු හඳුනාගෙන තිබේ. (ASCAR. 1978:07)ග එසේම මහාවංසයේ විස්‌තර වන ආකාරයට නගරයේ දකුණු දෙසට විහිදෙන මාර්ගය රජ වීථිය වශයෙන් හඳුන්වා ඇත. (මව xx40-41) හේම රත්නායකගේ මතය වන්නේ ද මහාවංසයේ සඳහන් රජ වීදිය 1960 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැණීමකින් අනාවරණය කරගත් මාර්ගය විය හැකි බවය. (Ratnayake 1984:08)

මහාවංසයේ විස්‌තර වන ආකාරයට දකුණු දිග මාර්ගය විවිධ කටයුතු සඳහා උපයෝගී කොටගෙන ඇත. ඒ අතරින් දුටුගැමුණු රජු සාම්ප්‍රදායික ජල උත්සවයකට සහභාගිවීම සඳහා තිසාවැවට ගමන් කිරීමට මෙම මාර්ගය භාවිත කොට තිබේ. (මව. xxvi7-8) මහාවංසයට පසුකාලීන මූලාශ්‍රයක්‌ වන සද්ධර්මාලංකාරයේ ද අනුරාධපුර නගරයේ දකුණු ගමන් මාර්ගය තිසාවැව, ඉසුරුමුණිය හා වෙස්‌සගිරිය පසුකොට මලය රට දක්‌වා ඇදී ගිය බව සඳහන් කර තිබේ. (සද්ලං. 539), මූලාශ්‍රවල සඳහන් මෙම මාර්ගය පිළිබඳ පුරාවිද්‍යාත්මක තොරතුරු කඳුකර කලාපයට ආසන්නම කලාඔය හරහා ඉදිකර ඇති පාලම් මගින් ද තහවුරු වේ. එම පාලම් අතර පාලන්කඩවල ගල් පාලම, ගිරිබාව දැව පාලම, දෙහිල්ගමුව අසළ ගල් පාලම, කටියාව අසළ රදාතොට පාලම, මහඉලුප්පල්ලම දැව පාලම දකුණුදිග ගමන් මාර්ගය මලය රට දක්‌වා විහිදී ගිය බවට ලැබෙන පුරාවිදාත්මක සාධක ලෙස පෙන්වා දිය හැකිය.

අනුරාධපුර නගරයට දකුණින් කඳුකර කලාපය දක්‌වා දිවගිය මෙම ගමන් මාර්ගය නිසා තදාශ්‍රිත ප්‍රදේශවල විවිධ කාර්යයන් පෙරදැරි කරගත් නිෂ්පාදන ක්‍රියාවලීන් සිදුවී ඇති බව සාහිත්‍ය මුලාශ්‍ර හා පුරාවිද්‍යාත්මක සාධකවලින් හඳුනාගත හැක. මහාවංසයේ සඳහන් වන ආකාරයට නගරයට දකුණු දෙසින් දැකගත හැකි වූ මාර්ගය ආසන්නයේ කුම්බකාර ග්‍රාමය ස්‌ථානගත වී තිබේ. (MvT48; ථූව( 213) අනුරාධපුර නගරයේ දක්‍ෂිණ මාර්ගය ආසන්නයේ ක්‍රියාත්මක වූ කුම්බකාර ග්‍රාමය පිළිබඳ විස්‌තර දුට්‌ඨගාමිණී රාජ යුගයට අදාළ කතා පුවත්වල ද අන්තර්ගත වී තිබේ. එයින් එක්‌ විස්‌තරයක දුටුගැමුණු රජුගේ වේළුසුමන යෝධයා මැටි බඳුනක්‌ ලබාගැනීම සඳහා කුම්බකාර වීදිය දිගේ ගිය බව සඳහන් වේ. එසේම දුටුගැමුණු එළාර යුද්ධයේදී දුටුගැමුණු රජු විසින් එළාර රජු දක්‍ෂිණද්වාරයට ආසන්න ස්‌ථානයකදී අල්ලාගත් බව විස්‌තර කොට ඇත. (එම xxv 68)ග එම ස්‌ථානය අනුරාධපුර දකුණු දිග භාගයේ කුම්බකාර ග්‍රාමයට බටහිර පසින් වූ එළාර සොහොනට (වත්මන් දක්‍ෂිණ ථූපයට) නැගෙනහිරින් වූ ස්‌ථානයක්‌ බව සඳහන් වේ. (MvT487)ග

දුට්‌ඨගාමිණී රාජ්‍ය කාලය තුළ දකුණු දිග ගමන් මාර්ගය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධ තොරතුරු අතර පුරයෙන් දකුණු දිග අට යොදුන් ගිය තැන වූ ලෙනක තිබූ රිදී ලබා ගැනීම හා එම රිදී ගැල් මගින් අනුරාධපුරයට ප්‍රවාහනය කිරීම පිළිබඳව සඳහන් වේ. (Mv.xxviii 20-23) මෙම ගමන් මාර්ගය මලය දේශයට සම්බන්ධ වූ බව මූලාශ්‍ර තොරතුරු අනුව හඳුනාගත හැකිය. විශේෂයෙන්ම දකුණු මාර්ගය ඔස්‌සේ අනුරාධපුරයට ආයාත කළ වටිනා ඛනිජ ද්‍රව්‍ය හා ලෝහයන් පිළිබඳව තොරතුරු සඳහන් වේ. ඒ අතර අම්බට්‌ඨකෝලයෙන් රිදී ලැබීමේ පුවත ඉතා වැදගත් වේ. මූලාශ්‍රයන්හි අම්බට්‌ඨකෝලය වශයෙන් හඳුන්වා ඇත්තේ වර්තමාන නාලන්ද ප්‍රදේශයයි. නාලන්ද ප්‍රදේශය ආශ්‍රිතව ඉතා මෑතදී සිදුකරනු ලැබූ භූ සමීක්‍ෂණ මගින් රිදී සහ රත්‍රන් පවතින බව සොයාගෙන තිබීමෙන් පුරාණයේ සිට මේ ප්‍රදේශය ලෝහ සම්පත් ලබාගැනීමට ආකර්ෂණය වූ ප්‍රදේශයක්‌ වශයෙන් හඳුනාගෙන තිබේ. (සෙනෙවිරත්න 1996(194) මෙම කරුණු සනාථ වන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතර බඹරගලින් ලැබෙන ක්‍රිස්‌තු පූර්¨ව යුගයේ බ්‍රහ්මී ලිපියක කොළගම පිළිබඳව සඳහන්වීම ද පෙන්වා දිය හැකිය. ((IC.Vol.i. 1970ථ 815) සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇති අකාරයට කොල් යන ද්‍රවිඩ වචනයෙන් ලෝහ කර්මාන්තයේ යෙදෙන ශිල්පීන් හඳුන්වා තිබේ. එබැවින් මුල් බ්‍රාහ්මී ශිලා ලිපිවල කොළගම පිළිබඳ සඳහන් වීමෙන් පෙන්නුම් කරන්නේ එය ලෝකුරුවන් නිවැසි ගමක්‌ බවය. එවැනි ශිල්ප ගම්මාන ආශ්‍රයෙන් සිදුකර ඇති පුරාවිද්‍යා අධ්‍යයන අනුව ග්‍රාමීය මට්‌ටමේ නිෂ්පාදන ඔවුන් ඒ ප්‍රදේශ ඇසුරෙන් සිදුකර තිබෙන බව හඳුනාගෙන ඇත. (සෙනෙවිරත්න 1996(195), අභිලේඛන හා සාහිත්‍ය මූලාශ්‍ර කරුණුවලින් පෙනෙන ආකාරයට අනුරාධපුර නගරයෙන් දකුණු ප්‍රදේශයේ පිsහිටි ඛනිජ හා ලෝහ සම්පත් පරිහරණය දකුණු ගමන් මාර්ගය ඇසුරෙන් සිදුවී තිබේ. 2000 වර්ෂයෙන් පසු ඡේතවන භූමියේ ස්‌තරායනය අධ්‍යයනය සඳහා සිදුකරනු ලැබූ පර්යේෂණ කැණීම් රාශියකදී මුල් ඓතිහාසික අවධියට සම්බන්ධ ජනාවාස ස්‌ථරවල ලෝහ හා ඛනිජ පාෂාණ ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ බොහෝ සාධක හඳුනාගෙන තිබේ. (මැන්දිස්‌ 2009( 19- 21) එම පුරාවිද්‍යා සාධකවලට අනුව ඡේතවන භූමිය ඇසුරින් යම් නිෂ්පාදන ක්‍රියාවලියක්‌ සිදුවී ඇති බව ග්‍රහණය කරගත හැකිය.

මලය රට මුල් ඓතිහාසික අවධියේදී අනුරාධපුර නගරය සිදුකරනු ලැබූ ගනුදෙනු හා හුවමාරු ක්‍රියාවලියේදී ඛනිජ හා ලෝහ සම්පත් පමණක්‌ නොව කුළුබඩු ආශ්‍රිත ක්‍රියාවලිය සිදු වූ බව ද හඳුනාගත හැකිය. ඇතුළුපුරයේ දකුණු දොරටුව ආසන්නයේ සිදු කරනු ලැබූ පුරාවිද්‍යාත්මක කැණීමකදී එම දොරටුව ආශ්‍රිතව තිබූ වෙළෙඳ සල්පිල් වශයෙන් අනුමාන කළ හැකි ස්‌ථාන තුළ තිබී පුවක්‌, කොත්තමල්ලි, ගම්මිරිස්‌ යන පාෂාණිභූත වූ කුළුබඩු හඳුනාගෙන තිබේ. (Ratnayake 1984(05). හේම රත්නායක ප්‍රකාශ කොට ඇත්තේ මෙම කුළුබඩු වර්ග අනුරාධපුර දකුණු මාර්ගය ඔස්‌සේ පැමිණි ද්‍රව්‍ය වන බවය. (එම) අනුරාධපුර නගරයේ පැවැති වෙළෙඳපොළවල් තුළ ක්‍රිස්‌තු පූර්ව යුගයේ සිට ක්‍රි.ව. 10 වන සියවස දක්‌වාම අඛණ්‌ඩ වෙළෙඳ කටයුතු සිදු වූ ස්‌ථානයක්‌ බව ii වන උදය (ක්‍රි.ව. 952) රජුගේ ශිලා ලිපියක සඳහන් වේ. එහි සඳහන් වන ආකාරයට නගරයේ නැගෙනහිර වෙළෙඳපොළේ ආදායම් මැදිරිය රෝහලට ලබා දී තිබේ. (EZ.Vol. v:327) මෙම කාරණා දෙස විමර්ශනාත්මකව බැලීමේදී නගරයේ සිව්දිගින් වූ ගමන් මාර්ග නගරයේ නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ වූ මුල් ඓතිහාසික අවධියේ සිට සක්‍රීය දායකත්වයක්‌ සපයා ඇති බව හඳුනාගැනීමට අවකාශ සැලසේ.

අනුරාධපුරයේ මුල් ඓතිහාසික අවධියේ භූ දර්ශනය ගොඩනැගීම සඳහා නගරයේ නැගෙනහිර දෙසින් ක්‍රියාත්මක වූ මාර්ගය ද වැදගත් වී ඇත. මෙම මාර්ගය භාතිකාභය රජු දවස මල්වතුඔය සිට මිහින්තලය දක්‌වා අලංකාරව සකසා තිබූ බව මහාවංසයේ සඳහන් වේ.(මව. xxxiv: 78-79)ග අනුරාධපුරයේ සිට විහිදුණු නැගෙනහිර ගමන් මාර්ගය මහාචාරිකා මග්ග වශයෙන් හඳුන්වා ඇති බව සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇත. (Seneviratne 1995: 130)ග අනුරාධපුරයේ නගරයේ නැගෙනහිරින් වූ මහාතඹක නිගම (EZ. Vol.iii. 1928-247:253) සිට සේරුවිල දක්‌වා ගමන් ගත් මේ මාර්ගය සේරු නුවරදී ගන ද්වාර ග්‍රාහ නමැති ලෝහ නිෂ්පාදිත ගමකට සම්බන්ධ වූ බව සෙනෙවිරත්නගේ මතය වී ඇත. (Seneviratne 1995ථ130)ග මෙම මාර්ගය සම්බන්ධ පුරාවිද්‍යාත්මක සාධක වශයෙන් ඉපැරණි ගල්පාලම් කිහිපයක්‌ මල්වතුඔය, කනදරාඔය හා යාන්ඔය ඇසුරින් හඳුනාගෙන තිබේ. මෙම මාර්ගයේ සිදු වූ සම්පත් පරිවහන ක්‍රියාවලිය ඉතා සෘජු ලෙස මුල් ඓතිහාසික අවධියේ අනුරාධපුර නාගරික භූ දර්ශනය ගොඩනැගීමට බලපා තිබේ.

අනුරාධපුර නගරයේ සිට උතුරු ප්‍රදේශයට සම්බන්ධ වන ප්‍රධාන ගමන් මාර්ගය නගරයේ උතුරුපස පිහිටි වෙළෙඳපොළට සම්බන්ධ වන්නට ඇති බව උපකල්පනය කළ හැකිය. ඇතුළුපුරයෙන් උතුරු දිගින් මල්වතුඔය හරහා සහ හාල්පානු ඇල හරහා ඉදිකර ඇති පැරණි ගල් පාලම් කිහිපයක්‌ තිබේ. (ASCAR 1907ථ77)ග එම ගල් පාලම් මතින් ගමන් ගත් උතුරු මාර්ගය කනදරාඔය එතෙර කොට ගමන් කොට තිබෙන බව කනදරාඔය හරහා ඉදිකර ඇති නටබුන් වූ ගල් පාලමෙන් ද පැහැදිලි වේ. උතුරින් පිහිටි මෙම මාර්ගය ඉතා පහසුවෙන්ම ප්‍රධාන වරායයන් දෙකක්‌ වූ මාතොට වරායට හා ජම්බුකෝල පට්‌ටන වරායට සම්බන්ධ වීමට පුළුල් අවකාශයක්‌ තිබේ. වත්මන් තුලාවෙල්ලියේ සිට මන්නාරම දක්‌වා ගමන් ගන්නා මාර්ගය වූ කලී මාතොට වෙත ළඟාවිය හැකි ආසන්නතම ගමන් මාර්ගයයි. එය මැදවච්චියට බටහිර දෙසින් මාතොට දක්‌වා ගමන් ගනී. තුලාවෙල්ලියේ දැකගත හැකි නටබුන් අනුව එම ස්‌ථානය පුරාණයේදී යම් ගනුදෙනු ක්‍රියාවලියක්‌ සිදු වූ ස්‌ථානයක්‌ වශයෙන් හඳුනාගත හැකිය. වර්තමාන තුලාවෙල්ලිය වශයෙන් ව්‍යවහාර වන ගමේ නාමය සකස්‌ වූ ආකාරය පිළිබඳව එහි ගැමියන් අතර පවතින ජනප්‍රවාදය වන්නේ රජ දවස අනුරාධපුරයට මල් පරිවහනය කිරීමේදී තම ගමේ මල් කිරන ලද නිසා එම නම තම ගමට ලැබී ඇති බවය. ජනප්‍රවාදය කුමක්‌ වුවත් එහි ඇති වැදගත්කම වන්නේ මෙම භූමිය ආශ්‍රයෙන් යම්කිසි වාණිජ ක්‍රියාවලියක්‌ සිදුවී ඇති බව එමගින් පැහැදිලි වන බැවිනි. තුලාවෙල්ලිය ගමෙහි පිහිටීම අනුව එම ස්‌ථානය යාපනයට හා මන්නාරමට ගමන් කළ හැකි ප්‍රධාන සන්ධිස්‌ථානයක්‌ ලෙස භාවිතා කළ හැකිය. මෙම මාර්ගය ඔස්‌සේ වානිජ කටයුතුවලට සම්බන්ධ වූ ක්‍රියාවලියක්‌ පුරාණයේදී සිදුවන්නට ඇති බව විශ්වාස කළ හැකිය.

තුලාවෙල්ලිය ප්‍රදේශයේ සිට මාන්තායි දක්‌වා ගමන් ගත් මාර්ගයට අමතරව අනුරාධපුර ඇතුළුපුර බටහිර ද්වාරයේ සිට මහකනදරාඔය පසුකොට ගම්බිරිස්‌ගස්‌වැව, දිවුල්වැව හරහා මහාතිත්ථ වරායට ගමන් කොට ඇති තව මාර්ගයක්‌ පැවැති බවට සාධක තිබේ.

බටහිර ද්වාරයේ සිට මහාතිත්ථයට සම්බන්ධ වූ මෙම ගමන් මාර්ගය පිළිබඳ තොරතුරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මාන්තායි වරාය නගරයේ නැගෙනහිර ද්වාරයේ සිදුකරන ලද කැණීම්වලදී හඳුනාගෙන ඇත. (ASCAR 1950ථ115) මෙම මාර්ගය පුල්ලිඅඩි තෙක්‌කම් අමුණ පසුකෙට යෝධ වැවට දකුණු දෙසින් මහාතීර්ථයට ගමන් කොට ඇති බව 1924 පුරාවිද්‍යා පාලන වාර්තාවේ සඳහන් වේ. (ASCAR 1924ථ8) මහාවංසයේ සඳහන් වන ආකාරයට බටහිර දිගින් යොදුන් 5 ක්‌ දුරින් උරුවෙල දනව්වෙන් දුට්‌ඨගාමිණී රාජ යුගයේදී කොරල් හා මුතු ලැබුණ බව දක්‌වා තිබේ. (ඵඪ ඞඞඪෂෂෂථ 36-38) මේවා බොහෝ විට මාන්තායි දක්‌වා විහිදුණු පැරණි මාර්ගය දිගේ අනුරාධපුරයට පැමිණෙන්නට ඇත. එසේම අනුරාධපුරයෙන් උතුරු දිගට ගමන් ගත් මාර්ගය වව්නියාවෙන් කිලෝමීටර් 12 ක්‌ ඉහළින් හසුවන බූඔය හරහා ඉදිකර තිබෙන පාවක්‌කුලම ප්‍රදේශයේ ගල් පාලම එතෙර කොට යාපනය දෙසට ගමන් කොට තිබේ. මහාවංසයේ දැක්‌වෙන ලෙස දුටුගැමුණු රාජ යුගයේදී උතුරුදිගින් යොදුන් 7 ක්‌ දුරින් පේළිවාපිsක ගමින් මැණික්‌ ලැබුණු බව සඳහන් කොට තිබේ. මෙම පේළිවාපික වැව පාවක්‌කුලම ප්‍රදේශයේ පිහිටන්නක්‌ විය හැකි අතර ඒ හා බැඳුණු ගමන් මාර්ගය අඛණ්‌ඩව දිගු කලක්‌ ක්‍රියාත්මක වන්නට ඇත. මේ ආකාරයට අනුරාධපුරය හා බද්ධ වූ මාර්ග පද්ධතිය නගරය තුළදී සහ නගරයෙන් පිටත ඉතා විධිමත් ආකාරයේ සමාජ ක්‍රියාකාරිත්වයන් හා බද්ධ වී වර්ධනය වූ බව පෙන්වා දිය හැකිය.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.