පුවතක පසුබිම
සාර්ක්‌ සංවිධානය උගත යුතු පාඩම්

දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය (South Asian Association for Regional Co-operation)) හෙවත් සාර්ක්‌ සංවිධානය (SAARC) බිහිවූයේ 1957 දී යුරෝපා සංගමය බිහි වී වසර 28 ට පසු එනම්, 1985 දෙසැම්බර් 28 වැනි දින ය. මෙකී සංවිධානයන් දෙක බිහිවීම සඳහා තුඩුදී ඇත්තේ එකිනෙකට සමාන අරමුණු ය. යුරෝපා සංගමය 1957 මාර්තු 25 වැනි දින රෝමයේදී අත්සන් කරනු ලැබූ යුරෝපා ආර්ථික ප්‍රජාව නම් වූ ගිවිසුම (Treaty of European Economic Community) හා ඊට සමාන්තරව අත්සන් කරන ලද යුරෝපා පරමාණු බලශක්‌තිය පිළිබඳ ගිවිසුම (Treaty of European Atomic Energy Community)  මත පදනම්ව ආරම්භ කරන ලද්දේ ගිවිසුම් පාර්ශ්වකරුවන් අතර ආර්ථික සහයෝගිතාවය වර්ධනය කිරීමේ අරමුණින් ය. සාර්ක්‌ සංවිධානය ද බිහිවූයේ යුරෝපා සංගමය මෙන් ආර්ථික වශයෙන් එය අනිවාර්ය කෙරුණු සාධක යටතේ වේ. එය ස්‌ථාපිත වූ තැන් පටන් එහි මූලික අරමුණ වී ඇත්තේ ද ගිවිසගත් සහයෝගී ක්‍ෂේත්‍රයන් තුළ සාමූහික කටයුතු ඔස්‌සේ සාමාජික රාජ්‍යයන්ගේ ආර්ථික හා සමාජයීය සංවර්ධන ක්‍රියාවලිය කඩිනම් කිරීමයි. සාර්ක්‌ සංවිධානය ආරම්භවී අද වන විට වසර 26 ක්‌ ඉක්‌ම ගොස්‌ ඇතත්, එය ආර්ථික සහයෝගිතා සංවිධානයක්‌ වශයෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය ඉතා සීමිත වේ. නමුත් මෙයට වෙනස්‌ව යුරෝපා සංගමය ආර්ථික වශයෙන් විශාල ප්‍රගතියක්‌ පසුගිය වසර 54 ක කාලය තුළ අත්පත් කරගන්නා ලදී. මෙම තත්ත්වය තුළ ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ යුරෝපා සංගමය ආදර්ශයට ගෙන ආරම්භ කළ සාර්ක්‌ සංවිධානය ආර්ථික සංවිධානයක්‌ කරා යන ගමනේදී යුරෝපා සංගමයෙන් ඉගෙන ගත හැකි පාඩම් රාශියක්‌ පවතින බවයි.

සාර්ක්‌ සංවිධානය ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකස්‌ කිරීමේ අරමුණින් යුතුව 1981 අප්‍රේල් 21 වැනි දින කොළඹදී පැවැති දකුණු ආසියාතික විදේශ ඇමැතිවරුන්ගේ රැස්‌වීමේදී ඉන්දියාව කලාපීය සහයෝගිතාව සම්බන්ධයෙන් මතභේදයට තුඩුදෙන දේශපාලන ප්‍රශ්න සාකච්ඡා කිරීම සාර්ක්‌ සංවිධානය තුළින් බැහැර කළ යුතු බවට යෝජනා කරන ලදී. මෙම යෝජනාවට අනෙකුත් සාමාජික රාජ්‍යයන් ද එකඟවෙමින් අනාගතයේදී පිහිටුවන දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයේ අරමුණුවලින් දේශපාලන විෂය ඉවත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයන ලදී.

මෙවැනි තත්ත්වයක්‌ ආරම්භයේදී යුරෝපා සංගමය තුළින් ද දැකගත හැකි විය. එනම්, යුරෝපා ආර්ථික ප්‍රජාව නම් වූ ගිවිසුමෙන් හා යුරෝපා පරමාණු බලශක්‌ති පිළිබඳ ගිවිසුමෙන් පාර්ශ්වකරුවන් අතර ආර්ථික සහයෝගිතාව වර්ධනය කිරීම ප්‍රධාන වශයෙන් අරමුණ q කරන ලදී. නමුත් යුරෝපා සංගමය වසර ගණනක්‌ ක්‍රියාත්මකවීමේදී සාමාජික රාජ්‍යයන් අවබෝධ කරගත් යථාර්ථය වූයේ දේශපාලනික සහයෝගිතාව මගින් ආර්ථික සහයෝගිතාව පහසුකරන බවය. ඒ අනුව 1986 දී සම්මත කරන ලද එකම යුරෝපයක්‌ පිළිබඳ පනත 1992 පෙබරවාරි 07 වැනි දින සම්මත කරන ලද මාස්‌ටි්‍රච් ගිවිසුම ඔස්‌සේ දේශපාලනික සහයෝගිතාව මගින් ආර්ථික සහයෝගිතාව ජය ගැනීම අරමුණු කරන ලදී. යුරෝපා පාර්ලිමේන්තුව, යුරෝපා කවුන්සලය සහ යුරෝපා අධිකරණය වැනි ආයතන පිහිටුවා මෙම අරමුණ ජයගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසන ලදී. මෙම ආයතන ඔස්‌සේ සංගමයේ සාමාජිකයන් අතර පවතින ගැටුම් පවා සාමකාමී ප්‍රවේශයක්‌ ඔස්‌සේ නිරාකරණයට අවශ්‍ය පසුබිම සකසන ලදී. උතුරු අයර්ලන්ත ගැටුම 1998 දී මහ සිකුරාදා ගිවිසුම (Good Friday Agreement) මගින් නිරාකරණයට පියවර ගැනීම නිදසුන් වේ. නමුත් සාර්ක්‌ සංවිධානය 1985 ආරම්භ වී 2011 නොවැම්බර් 10 සහ 11 වැනි දිනයන්හි මාලදිවයිනේදී පැවැත්වීමට නියමිත රාජ්‍ය නායක සමුළුවත් සමග සමුළුවාර 17 ක්‌ පවත්වා ඇතත් එම කිසිදු සමුළුවාරයක්‌ තුළදී දේශපාලන විෂය සංවිධානයේ අරමුණක්‌ බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන නැත. සාර්ක්‌ කලාපයේ සියලුම රාජ්‍යයන්, රාජ්‍ය අභ්‍යන්තර සහ රාජ්‍යයන් අතර පවතින කුමන හෝ ආකාරයේ ගැටුම් හා සම්බන්ධ වී ඇත. ඉන්දු-පාකිස්‌ථාන් ගැටුම, ඉන්දු-බංග්ලාදේශ ගැටුම, ජම්මු කාශ්මීර් ගැටුම, පංජාබ් ගැටුම, නාගලන්ත ගැටුම, හින්දු - මුස්‌ලිම් ගැටුම, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම, චිතගොන් ගැටුම සහ නේපාලයේ මාඕවාදී ගැටුම නිදසුන් වේ. මෙවැනි ගැටුම් සහිත තත්ත්වය නිසා සාර්ක්‌ සංවිධානයට තම ආර්ථික අරමුණු මුදුන්පමුණුවා ගැනීමට මෙය විශාල බාධාවක්‌ බවට පත්ව ඇත. එබැවින් සාර්ක්‌ සංවිධානය ආර්ථික සංවිධානයක්‌ කරා යන ගමනේදී කළ යුතුව ඇත්තේ යුරෝපා සංගමය ආභාසයට ගනිමින් ආර්ථික අරමුණු මුදුන්පමුණුවා ගැනිමේ අරමුණින් දේශපාලන විෂය ද සංවිධානයේ ප්‍රමුඛ අරමුණක්‌ බවට පත් කිරීමයි. එමගින් කලාපයේ රාජ්‍යයන්ගේ ගැටුම් විස¹ ගැනීම සඳහා වේදිකාවක්‌ වශයෙන් සාර්ක්‌ සංවිධානය භාවිත කළ හැකි වේ. මේ සඳහා යුරෝපා සංගමයේ මෙන් සාර්ක්‌ කවුන්සලයක්‌, සාක්‌ පාර්ලිමේන්තුවක්‌ සහ සාර්ක්‌ අධිකරණයක්‌ ආරම්භ කළ යුතු වේ.

සාර්ක්‌ සංවිධානය තීරණ ගැනීමේදී සෑම සාමාජික රාජ්‍යයකම එකඟතාව අත්‍යවශ්‍ය වේ. නමුත් සාර්ක්‌ සංවිධානයේ සාමාජික රාජ්‍යයන් සියල්ලම පාහේ එකිනෙකා කෙරෙහි වූ අවිශ්වාසයෙන් කටයුතු කරනු ලබයි. මෙම අවිශ්වාසය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතරත්, ඉන්දියාව හා පාකිස්‌ථානය අතරත්, නේපාලය හා ඉන්දියාව අතරත්, ඉන්දියාව හා බංග්ලාදේශය අතරත්, බංග්ලාදේශය හා පාකිස්‌ථානය අතරත් වේ. මෙම නිසා ආර්ථික සංවිධානයක්‌ වශයෙන් සාර්ක්‌ සංවිධානයට අවශ්‍ය තීරණ ගැනීමේදී ඒකමතිකභාවයක්‌ ලබාගැනීමට අපහසු වී ඇත. නමුත් මෙයට වෙනස්‌ව යුරෝපා සංගමයේ තීරණ ගනු ලබන්නේ සුදුසුකම් ලද ඡන්ද සංඛ්‍යාව (Qualified Majority Vote) මතය. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් යුරෝපා සංගමයට ආර්ථික හා දේශපාලන සංගමයක්‌ වශයෙන් ඉදිරියට යැම සඳහා අවශ්‍ය බොහෝ තීරණයන් පහසුවෙන් ගත හැකි විය. නිදසුන් ලෙස එකම යුරෝපය පිළිබඳ පනත, 1992 මාස්‌ටි්‍රච් ගිවිසුම්, යුරෝපානු නිදහස්‌ වෙළෙඳ සංගමය සහ 1999 මූල්‍ය වෙළෙඳ පොළ කටයුතුවලදී නීත්‍යනුකූල ව්‍යවහාර මුදල ලෙස යුරෝ (EURO) භාවිතය දැක්‌විය හැක.

සාර්ක්‌ සංවිධානය ආර්ථික සංවිධානයක්‌ වශයෙන් ඉදිරියට යැම සඳහා අවශ්‍ය යෝජනාවක්‌ ගෙන එනු ලැබුවත්, ඒවාට සාමාජික රාජ්‍යයන්ගේ අනුමැතිය නොලැබීම නිසා ක්‍රියාවට නැංවීමේ අවස්‌ථාව උදානොවීය. මෙම නිසා සාර්ක්‌ සංවිධානය ආර්ථික සංවිධානයක්‌ කරා යන ගමනේදී යුරෝපා සංගමයේ ආභාසයෙන් සුදුසුකම් ලද ඡන්ද සංඛ්‍යාව මත තීරණ ගැනීම හෝ 5/8 ක ඡන්දයෙන් තීරණ ගැනීමට හැකි ක්‍රමවේදයක්‌ සකස්‌ කර ගන්නේනම් ඒ මගින් ලබාගත හැකි වාසි විශාල වේ. එමෙන්ම සාර්ක්‌ රාජ්‍ය නායක සමුළුවාර වසරක්‌ පාසා පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන සාර්ක්‌ ප්‍රඥප්තිය මගින් ගෙන තිබුණත්, ඇතැම් වර්ෂයන්වලදී සමුළුවාර කල්දමන ලදී. කලාපීය රාජ්‍යයන් අතර පැනනැගුණු දේශපාලන මතභේද නිසා තමන් සමග ගැටුමකට අවතීරණ වී ඇති රාජ්‍යයේ සමුළුවාර පැවැත්වීමට නියමිතව පවතින විට අනෙක්‌ රාජ්‍ය තම පැමිණීම ප්‍රතික්‍ෂේප කිරීම මෙයට හේතු විය. සාර්ක්‌ ප්‍රඥප්තිය මගින් සියලු සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් තොරව සමුළු වාර පැවැත්විය නොහැකිය යනුවෙන් විධිවිධාන සපයා තිබීම මෙයට බලපා ඇත. 1991 නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය නායක සමුළු වාරයට සහභාගිවීම ඉන්දියාව ප්‍රතික්‍ෂේප කිරීම නිදසුන් වේ. මෙයට වෙනස්‌ව රාජ්‍ය නායක සමුළුවාර පැවැත්වීම ඇතුළු අනෙකුත් සමුළුවාර පැවැත්වීම සඳහා නියමිත එක්‌ මධ්‍යස්‌ථානයක්‌ යුරෝපා සංගමය මෙන් ස්‌ථාපිත කරන්නේනම් එමගින් කලාපයේ ආර්ථික හා දේශපාලන ගැටලු සෑම වසරක්‌ පාසා සාකච්ඡාවට බඳුන් කොට අවශ්‍ය ප්‍රතිපියවර ගැනීමේ ඉඩප්‍රස්‌තා සැලසෙනු ඇත.

1995 දෙසැම්බර් 07 වැනි දින සිට දකුණු ආසියාතික වරණීය වෙළෙඳ විධිවිධාන ස්‌ථාපිතකොට ක්‍රියාත්මක කරන ලදී. දකුණු ආසියා කලාපය තුළ ආර්ථික සහයෝගිතාව වඩාත් ඵලදායී ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට නම් කලාපයේ රටවල් අතර සිදුවන වෙළෙ¹ම වර්ධනය කළ යුතු බවත්, එසේ කළ හැක්‌කේ කලාපය තුළ කෙරෙන වෙළෙඳ ගනුදෙනු වලදී දේශීය නිෂ්පාදනයන්ට පහර නොවදින ආකාරයෙන් කලාපයේ රටවල් අතර කෙරෙන ගාස්‌තු හා වෙනත් ගාස්‌තු අඩුකිරීමෙන් බවත් මේ ඔස්‌සේ අවධාරණය කරන ලදී. සප්තා පිහිටවූ මුල් කාලයේදී අනුගමනය කරන ලද "නිෂ්පාදනයෙන් නිෂ්පාදනයට ප්‍රවේශය" ඔස්‌සේ කාලය වැයවෙන තීරුබදු සාකච්ඡා හේතු කොටගෙන ඒ වෙනුවට "Rජු ප්‍රවේශය" යොදා ගන්නා ලදී. ඒ අනුව තීරු ගාස්‌තු හා සහන අඩු කිරීමට හෝ සම්පූර්ණයෙන් ඉවත් කිරීමට එකඟ වී ඇති භාණ්‌ඩ සංඛ්‍යාව 226 ක්‌ විය.

නමුත් මෙමගින් ඉන්දියාවට ලැබෙන වාසිසහගත තත්ත්වය නිසාත්, සංවේදී ලෙස සලකන ලද නිෂ්පාදන විශාල සංඛ්‍යාවක්‌ බැහැර කරනු ලැබීම නිසාත් මෙහි සඵලතාව අඩු වී ඇත. කලාපය තුළ වෙළෙ¹ම සැලකිය යුතු අන්දමින් පුළුල් වීමට ඉවහල් විය හැකි තරම් අඩුකොට නොමැති තීරුබදු අඩුකිරීම් ද විවේචනයට භාජනය වී ඇත. මේ සමගම කොළඹදී පවත්වන ලද දසවැනි සමුළුවාරයේදී රාජ්‍ය නායකයන් දකුණු ආසියාව නිදහස්‌ වෙළෙඳ කලාපයක්‌ බවට පත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කර, එය 2005 වසර වනවිට යථාර්ථයක්‌ බවට පත්කර ගැනීමේ අවශ්‍යතාවයත්, ඉන්පසුව එම අරමුණ 2011 දී ළඟාකර ගතයුතු බවත් තීරණය කරන ලදී. එමෙන්ම සප්ටා අරමුණ ලබාගත් පසුව මුළු දකුණු ආසියාවම ආර්ථික ප්‍රජාවක්‌ බවට පත් කළ යුතු බවට ද යෝජනා කරන ලදී. නමුත් මෙම අරමුණ කලාපයේ රාජ්‍යයන් අතර පවතින නොයෙක්‌ ගැටලු සහගත තත්ත්වය නිසාත්, ඉන්දියාවට මෙමගින් ලැබෙන වාසිදායක තත්ත්වය නිසාත් අසාර්ථක විය. නමුත් මෙයට වෙනස්‌ව යුරෝපා සංගමය යුරෝපය ආර්ථික ප්‍රජාවක්‌ බවට පත් කිරීමේදී කිසිදු පාර්ශ්වයකට අවාසියක්‌ නොවීමට අවශ්‍ය විධිවිධාන සපයන ලදී. නිදසුන් ලෙස තීරු ගාස්‌තු සහන සැලසීම සඳහා රේගු ගාස්‌තු සංගමයත් පිහිටුවීම, සාමාජික රාජ්‍යයන් අතර පොදු කෘෂිකාර්මික ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක කිරීම, සාමාජික රාජ්‍යයන් අතර පොදු බදු ප්‍රතිපත්තියක්‌ හඳුන්වාදීම, සාමාජික රාජ්‍යයන් යුරෝපා සංගමය හරහා එකම පරිපාලන රටාවකට ගෙනඒම, යුරෝපා දේශපාලන සහයෝගිතා මණ්‌ඩලය පිහිටුවීම, එකම මූල්‍ය ක්‍රමයක්‌ සහිත යුරෝපියානු මහා බැංකුවක්‌ ස්‌ථාපිත කිරීම සහ 2002 දී යුරෝ මුදල සංසරණයට අවශ්‍ය විධිවිධාන සැලසීම දැක්‌විය හැක. මෙම පියවර ඔස්‌සේ යූරෝපා සංගමයේ සාමාජිකයන්ගේ ආදායම ඉතා කෙටි කලකින් හයගුණයකින් වර්ධනය විය. එමෙන්ම ඇමරිකානු ඩොලරයට පසුව ලොව බලගතුම මුදල් ඒකකය බවට යූරෝ මුදල පත්විය. දකුණු ආසියානු රාජ්‍යයන් ද සප්තා, සප්ටා හා සාර්ක්‌ ආර්ථික ප්‍රජාව යථාර්ථයක්‌ බවට පත්කර ගැනීම සඳහා යුරෝපා සංගමයේ ඉහත අත්දැකීම් උපයෝගීකර ගන්නේනම්, ඒ ඔස්‌සේ කලාපයේ රාජ්‍යයන්ගේ දේශීය ආර්ථිකයේ වර්ධනය වේගවත් කිරීම, ශ්‍රම වෙළෙඳපළ සංචලනය කිරීම, තරගකාරීත්වය තුළින් වඩාත් ඉහළ මට්‌ටමේ නිමි භාණ්‌ඩ නිෂ්පාදනය වැනි වාසිසහගත තත්ත්වයන් ලබාගත හැකි වේ.

යුරෝපීය මූල්‍ය සංගමයට හා යුරෝපීය පොදු මුදල් ඒකකයටත් පදනම වැටුණේ 1992 මාස්‌ටි්‍රච් ගිවිසුමෙනි. මුලදී ඒකීය මුදල් ඒකකයකට දැඩි ලෙස බ්‍රිතාන්‍යය, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය වැනි සාමාජික රාජ්‍යයන් විරුද්ධ වුවද 2002 වර්ෂයෙන් පසුව ලැබුණු වාසිසහගත තත්ත්වය නිසා එම රාජ්‍යයන් ද එකඟකර ගැනීමට හැකි විය. යුරෝපීය මූල්‍ය සංගමයේ මුල් අරමුණු දෙකක්‌ වූයේ යුරෝපීය මධ්‍ය බැංකුවක්‌ සහ යුරෝපීය මුදල් ඒකකයක්‌ ඇතිකිරීමයි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස යූරෝ මුදල් ඒකකය බිහිවිය. මෙසේ යූරෝව පොදු මුදල් ඒකකයක්‌ බවට පත්කර ගැනීමත් සමග ලොව දෙවැනි විශාලම මුදල් ඒකකය බවට යූරෝව පත් වූ අතර එය දෙවැනි වූයේ ඇමරිකානු ඩොලරයට පමණි. ඒ අනුව ආර්ථික වශයෙන් ප්‍රබල රාජ්‍යයන් එකට එක්‌ කරන දම්වැලක්‌ බවට යූරෝ මුදල් ඒකකය පත්විය. එමෙන්ම 2005 න් පසුව ලොව ආර්ථික ක්‍රමය මෙහෙයවන ප්‍රබල සංවිධානය බවට යුරෝපා සංගමය පත් විය. යුරෝපා සංගමයේ සාමාජිකයන්ට සාපේක්‍ෂව ගත් කල සාර්ක්‌ සංවිධානයේ රාජ්‍යයන් ආර්ථික වශයෙන් ලොව බලවතුන් නොවුවත්, 2008 න් පසුව ඉන්දියාව ලෝක බලවතකුගේ තත්ත්වයට පත්ව ඇති බැවිනුත්, ලෝක වෙළෙ¹මෙන් 20% ක්‌ සාර්ක්‌ කලාපය තුළ සිදුවන බැවිනුත්, සාර්ක්‌ රාජ්‍යයන් යුරෝපා සංගමයේ සාමාජිකයන් මෙන් පොදු මුදල් ඒකකයක්‌ ලෙස රුපියල පත් කරන්නේනම් කලාපයේ ආර්ථික වර්ධනය වේගවත් කළ හැකි වේ. එමෙන්ම එය යථාර්ථයක්‌ බවට පත් කිරීමට සාර්ක්‌ මධ්‍ය බැංකුවක්‌ ස්‌ථාපිත කරන්නේනම් එය දකුණු ආසියානු රාජ්‍යයන්ගේ ආර්ථික වර්ධනයට විශාල බලපෑමක්‌ කරනු ඇත.

2008 ජුලි 28 සිට අගෝස්‌තු 01 දක්‌වා කොළඹ පැවැති 15 වැනි සාර්ක්‌ රාජ්‍ය නායක සමුළුවේදී මෙම යෝජනාව ඉදිරිපත් විය. නමුත් මේ වනතෙක්‌ එය ක්‍රියාවට නැඟීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයා නැත.

යුරෝපා සංගමය ගතහොත් එහි සාමාජික රාජ්‍යයන් සියල්ලම පාහේ ලොව ආර්ථික වශයෙන් දියුණු රාජ්‍යයන් වේ. නමුත් මෙයට වෙනස්‌ව සාර්ක්‌ සංවිධානයේ සාමාජික රාජ්‍යයන් වන ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්‌ථානය, බංග්ලාදේශය, මාලදිවයින, භූතානය, නේපාලය සහ ඇµaගනිස්‌ථානය ලොව දිළිඳුම රාජ්‍යයන් නියෝජනය කරයි. මෙම නිසා සාර්ක්‌ සංවිධානයේ සාමාජිකත්වය බලවත් රාජ්‍යයන්ට විවෘත කළ යුතුය. එනම් චීනය, ඉරානය, රුසියාව, දකුණු කොරියාව, ජපානය හා ඕස්‌ටේ්‍රලියාව වැනි රාජ්‍යයන්ට සංවිධානයේ සාමාජිකත්වය ලබාදී ඒ ඔස්‌සේ සාර්ක්‌ සංවිධානය බලවත් සංවිධානයක්‌ බවට පත්කළ යුතුය. යුරෝපා සංගමය 1957 දී ආරම්භ වූයේ සාමාජික රාජ්‍යයන් හයකින් වුවත්, පසුව ලොව ආර්ථික වශයෙන් බලවත් රාජ්‍යයන් වූ බ්‍රිතාන්‍යය, පෝලන්තය, ජර්මනිය, ප්‍රංශය වැනි රාජ්‍යයන් එකතු කරගනිමින් 2009 වනවිට සාමාජික සංඛ්‍යාව 27 ක්‌ දක්‌වා වර්ධනය කරගන්නා ලදී. ඒ ඔස්‌සේ යූරෝ සංචිතය ද වර්ධනය කරන ලදී. මෙය ආභාසයට ගනිමින් සාර්ක්‌ සංවිධානය ද ඉහත සඳහන් කරන ලද රාජ්‍යයන්ට තම සාමාජිකත්වය විවෘත කරන්නේනම් සාර්ක්‌ සංවිධානය ආර්ථික සංවිධානයක්‌ ලෙස අසාර්ථක වීමට බලපා ඇති ප්‍රධාන හේතුවක්‌ වී ඇති සාර්ක්‌ මුදල් සංචිතයේ ප්‍රමාණය වර්ධනය කරගත හැකි වේ. නමුත් මෙවැනි ක්‍රියාමාර්ගයකට ඉන්දියාව තම කැමැත්ත නොදක්‌වන අතර සාර්ක්‌ ප්‍රඥප්තියට අනුව මෙවැනි රාජ්‍යයන්ට සාමාජිකත්වය ලබාදීමට සියලු සාමාජිකයන්ගේ එකඟතාවට අවශ්‍ය වී ඇත. නමුත් යුරෝපා සංගමය තුළ මෙවැන්නක්‌ දැකිය නොහැකි වේ. ඔවුන් කලක්‌ තම සතුරු රාජ්‍යයන් වූ නැගෙනහිර ජර්මනිය, හංගේරියා හා ස්‌ලොවැකියා වැනි රාජ්‍යයන්ට ද සංගමයේ සාමාජිකත්වය ලබාදෙන ලදී. සාර්ක්‌ සංවිධානය පසුගිය අවුරුදු 26 ක කාලය තුළ ඇµaගනිස්‌ථානයට පමණක්‌ තම සාමාජිකත්වය විවෘත කළ අතර එය ද ලොව දිළිඳුම රාජ්‍යයක්‌ වේ. යුරෝපා සංගමය ඇමරිකා එක්‌සත් ජනපදය හා සෝවියට්‌ රුසියාව වැනි රාජ්‍යයන් ද සංගමයේ සාමාජිකයන් බවට පත්කර ගැනීමේ අරමුණින් සාකච්ඡා පවත්වා ඇත. නමුත් එම සාකච්ඡා අසාර්ථක වී ඇත. මේ අනුව අවසන් වශයෙන් කිව හැක්‌කේ සාර්ක්‌ සංවිධානය ආර්ථික සංවිධානයක්‌ කරා යන ගමන සාර්ථක කරගැනීම සඳහා යුරෝපා සංගමය ආදර්ශයට ගනිමින් ඉදිරියට යා යුතු බවයි.


කථිකාචාර්ය
එච්. යූ. එස්‌. ප්‍රදීප්
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.