"අ" සිංහල හෝඩියේ මුලට ඇයි?
එය මළපත අකුරද?


මහාචාර්ය
බන්දුසේන ගුණසේකර


කිසිදු ගැටලුවක්‌ නැතත් ඇතැම් විද්වතකුට ගැටලුවක්‌ වන කරුණක්‌ කෙරෙහි පාඨක අවධානය යොමු කරමින්, පිරිහී යන සිංහල භාෂාවේ හා සංස්‌කෘතියේ වර්තමාන පැවැත්ම නැවත නැවත කියාපෑමේ අවශ්‍යතාව පෙනීයන හෙයින්, මෙයින් වසර කිහිපයකට පෙර "දිවයින" බදාදා අතිරේකයේ පළවූ සිංහල හෝඩිය දැනගත් ඉඳුරා ලිපි පෙළෙහි කරුණු කිහිපයක්‌ අවධාරණය කිරීමට අදහස්‌ කෙළේ අදට ගැළපෙන එක්‌ ලිපියක්‌ උපුටා දක්‌වන්නටය.

සිංහල භාෂාව යනු හෙළදිව වැසියන්ගේ තවත් ලෙසකින් කියතොත් සිංහල ජනතාවගේ භාෂාවයි. සිංහල දිවයිනේ හෙවත් ශ්‍රී ලංකා ද්වීපයෙහි වෙසෙන සිංහල නොවන පුරවැසියන් ද සිංහල භාෂාව උගත යුතුය. එමගින් වර්ග භේදය තුනී වෙයි. කා අතරත් සමඟිය - සාමය - සහයෝගය තහවුරු වෙයි.

තුන් සිංහලයෙහි ඒකීය භාවයට එක්‌සේසත් බවට ශ්‍රී ලාංකිකයනට අවස්‌ථාව සැලැසෙන්නේ එමඟිනි. එක කොඩියක්‌ සෙවණේ ජීවත්වීම තරම් ම එක භාෂාවක්‌ භාවිතයට ගැනීම වැදගත්වේ. එමඟින් පාලන කාර්යයද පහසු වෙයි.

"සිංහලය රාජ්‍ය භාෂාව විය යුතුය" යන්නෙහි මේ ගැඹුරු අරුත අපේ බොහෝ දෙනෙකුට වැටහී නැත. අපේ පාලකයන්ද තේරුම්ගෙන නැත. එම බොහෝ දෙනෙකුගේ අධිරාජ්‍යවාදී ගැති කමත්, ඒ ගැති මනසත් වෙනස්‌ වී නැත. තුන් සිංහලය එක්‌ සේසත් ව සිංහ ධජය යටතේ ඒකරාශි වන මෙවක සිංහල භාෂාව ද යථාතත්ත්වයට පත් කර ගැනීමේ වැදගත්කමත් අවශ්‍යතාවත් අවධාරණය කළ යුත්තකි.

එතැනට සිංහල භාෂාව ගෙන ඒමේ ව්‍යාපාර අපේ විද්වතුන්ගෙන් ආරම්භ විය යුතුය. "දිවයින" බදාදා අතිරේක සති 38 ක්‌ද අඛණ්‌ඩව පළවූ "සිංහල හෝඩිය දැනගත් ඉඳුරා" ලිපි පෙළ ගැන අපට සිහි ගැන්වීම වුවමනා කළේ මේ වැදගත් මෙහෙය ගැන අපේ භාෂා ළැදියනට හා උගතුනට මතක්‌ කිරීමටය.

ඉහත සඳහන් ලිපි පෙළ පොතක්‌ ලෙස මුද්‍රණය වී එහි අභිනව සංස්‌කරණය එළිදැක්‌වීමේ උළෙල ද මේ කරුණේලා අප උනන්දු කළ බව සඳහන් කළ යුතුය.

මෙහිලා ඇතුළත් වන්නේ ඉහත සඳහන් මාතෘකාවට හා තේමාවට ගැළපෙන ලෙස ලිපි පෙළෙහි තැනින් තැනින් උපුටාගත් කරුණු බව සලකන්න.

සාක්‍ෂරතාව මිනිස්‌කමේ ලක්‍ෂණයකි. ප්‍රඥවේ සලකුණ ද වෙයි. පුද්ගලයකු සතූ විය යුතු දැනීම්, දක්‍ෂකම්, පුරුදු, ආකල්ප ඇතුළත් ආනතියෙහි දීප්තිය ද එමගින් ඇති වේ. යහපත් චරිත ලක්‍ෂණ සඳහා එය වැදගත් වෙයි. විශිෂ්ට පුරවැසි භාවයේ ලක්‍ෂණ ද එයින් වර්ධනය වෙයි.

සාක්‌ෂරතාව යනු මළපත අකුර දැන සිටීම පමණක්‌ නො වේ. අක්‌ෂර හා බැඳුණු දැනීම් සම්භාරයට දායක වීම එයින් අපේක්‍ෂිත ය. භාෂා ඥනය දියුණු කර ගැනීම ඒ සඳහා අවශ්‍ය ය. පුද්ගලයාගේ ප්‍රෙෘඪත්වය මෙන් ම සමාජ ප්‍රෙෘඪත්වය සඳහා එය ප්‍රබල ලෙස බලපායි.

සිංහල භාෂාව පිළිබඳ අපේ දැනුම අල්ප ය. එහෙයින් ම බුද්ධිය ළඟා කර ගැනීමේ හා ප්‍රඥව සොයා යැමේ මාර්ග අප වෙතින් ඈත් ව තිබේ. එපමණක්‌ නොව සිංහල ජාතිය සතු උදාර සංස්‌කෘතිය, ප්‍රෙෘඪත්වය, පෞරුෂය, ජයග්‍රාහී සටන් ඉතිහාසය අපේ ඇස්‌ හමුවෙන් බැහැර කොට ජාතියක්‌ වශයෙන් අපේ ඉදිරි ගමන වැළලීමේ රහසිගත ව්‍යාපාරයකට අපි මැදි වී සිටිමු. දැන හෝ නොදැන හෝ අපේ රජය ද එම ව්‍යාපාරයට සම්බන්ධ වී ඇතැයි සිතෙන්නේ භාෂා ශාස්‌ත්‍රීය කටයුත්තෙහි හා සිංහල ජාතික උරුමයන් කෙරෙහි දක්‌වන උදාසීන ආකල්ප හෙයිනි.

මෙ තැන දී ජාතික ඉදිරි ගමන යනුවෙන් අදහස්‌ කරන්නේ හුදෙක්‌ සිංහල ජාතිය පමණක්‌ නො වේ. සමස්‌ත ලංකාවාසී සියලු ජාතීහු ම එහි ලා ගැනෙති. ජාතියක්‌ වශයෙන් අපට ඉදිරියට යා හැක්‌කේ එම ජාතික සමඟිය පදනම් කොට ගෙන ය. එහි ලා සිංහල භාෂාව මුල් කොට ගැනීම අවශ්‍යතම ප්‍රමුඛ කාර්යය බව කීම තර්ක ගෝචර ය. සියලු ජාතීන් එක ම ජාතියක්‌ වශයෙන් නැඟී සිටීමේ දී යෝජිත භාෂාවක්‌ තුළ සංවිධානය වීම හා තෝරා ගත් ධජයක්‌ වෙත ඒකරාශී වීම අනිවාර්ය වෙයි.

මේ හෙයින් සිංහල භාෂාව පිළිබඳ ප්‍රබුද්ධ ආකල්ප ඇති කිරීම, එම භාෂා ඥනය දියුණු කිරීම, එමඟින් විශිෂ්ට සමාජ පෞරුෂයක්‌ ගොඩනැඟීම හා ජාතික පරිහානිය වළකා ගැනීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග යෙදීම විද්වතුන්ගේ කාර්යභාරය වී තිබේ.

කවර භාෂාවක්‌ වුව ද එම භාෂාව සතු සංකේත (අක්‌ෂර) මත ර¹ පවතී. ශිෂ්ට මනුෂ්‍ය වර්ග අතර ව්‍යාවහාර භාෂාවන්ගේ හෝඩිවල මේ සංකේත, වර්ණ. අක්‍ෂර හෙවත් අකුරු නමින් හැඳින්වේ. වර්ණයකින්, අකුරකින් උච්චාරණය වන ශබ්දයක්‌ වෙයි. එම ශබ්දය හඟවන ලකුණු අක්‍ෂර සංකේත වෙයි.

භාෂාවක්‌ පිළිබඳ නිවැරදි පුළුල් දැනුමක්‌ ලබා ගැනීමේ දී එහි අක්‍ෂර මාලාව මැනවින් හඳුනා ගත යුතු වේ. එහි පැවැත්ම හඳුනා ගැනීම එම භාෂාවේ ඉතිහාසය අවබෝධ කර ගැනීම වෙයි.

නූතන සිංහල භාෂාව වූ කලී සහස්‍ර වර්ෂ තුනකටත් වඩා අධික කාලයක සිට ඒ ඒ අවදිවල සිදු වූ ආර්ථික, දේශපාලන, සාමාජික හා සංස්‌කෘතික විපරිණාමයන්ට අනුරූප වෙමින් හැඩගැසී ආ එකක්‌ වන අතර, ඉදිරියේ පරිණාමයට පත් වීමේ නම්‍යතා ඇති එමෙන් ම ඒ සතු පොහොසත් වර්ණ මාලාවක්‌ ද ඇති භාෂාවක්‌ හෙයින් එය මහවැලි නදිය මෙන් ඒ මේ අතට හරවා අරෝවක්‌ කරන්නට යෙදෙතොත් මනෝඥ නො වේ යයි සඳහන් කරනු කැමැත්තෙමු.

සිංහල භාෂාව හා අක්‍ෂර මාලාව විෂයෙහි ක්‍රි.ව. 8 වන සියවසේ දී ඇරැඹුණු මහ පෙරළිය එය වර්තමානයට හැඩගැසීමේ බුද්ධිමය, ශිල්පීය හා නිර්මාණාත්මක ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි. සිංහල අක්‍ෂර ශිල්ප පරම්පරා කිහිපයක අත්දැකීම් බාහිර ආභාසයන් හා තන්වැසි නුවණ ඒ සඳහා උපයෝගී වූ ආකාරය ද අපට විමසා දත හැකි ය. අද යතුරු ලියනය, මුද්‍රණ යන්ත්‍රය, පරිගණකය හා වෙනත් විද්යුත් යන්ත්‍රයන් සඳහා එය මැනැවින් ගළපා ගෙන තිබේ.

දහනව වන සියවසේ අග භාගයෙහි මුද්‍රණ යන්ත්‍රයට ගැළපෙන සිංහල අකුරු හැඩගසා ඉදිරිපත් කරන ලද්දේ ගාල්ලේ බුලත්ගම නායක හිමිපාණන් විසිනි. සිංහල භාෂාවට අලුතෙන් එක්‌ වූ ,F, ඉංග්‍රීසි ශබ්දයට අවශ්‍ය සංකේතය "ෆ" සිංහලයට අවේණික පරිදි හැඩගසා ගැනීමට මැන්දිස්‌ ගුණසේකර ආදීන් 19 වැනි සියවසේ දී සමත් වූ සැටි ද මෙහි දී අවධාරණය කළ යුතුය.

අභිනව සහස්‍ර වර්ෂයට සූදානම් වන්නවුන්ගේ අදහස අනුව සිංහල අක්‍ෂර මාලාවෙහි අක්‍ෂර සංඛ්‍යාව අධික ය. ඉංග්‍රීසියෙහි අකුරු 26 කි. සිංහලයෙහි අකුරු හැට එකකි. "න, ණ, ල, ළ" අකුරු හතරෙන් දෙකක්‌ කපා හරින්නට ද යෝජනා එයි. මහාප්‍රාණ අකුරු සිංහල කටින් නො කියවෙන නිසා ඒවා ද ඉවත් කිරීමේ වරදක්‌ නැතැ යි කෙනෙක්‌ කියයි. සංස්‌කෘත අක්‍ෂර වන "ඓ, ඖ, සෘ, සෲ, è, èෘ" ඉවත් කිරීමෙන් භාෂාවේ පැවැත්මට හානියක්‌ නැතැ යි පවසන අය ද සිටිති වර්ගාන්ත හෙවත් අනුනාසික සියල්ල ඉවත් කොට ඒ වෙනුවට අනුස්‌වාරය හෙවත් බිංදුව යොදා ගැනීමේ කවර වරද දැ යි එකෙක්‌ ප්‍රශ්න කරයි. රේඵ, රකාරාංශ, යංශ ඉවත් කොට ඒ සඳහා සම්පූර්ණ "ර, ය" යොදා ගැනීමෙන් භාෂාව කොතරම් ලිහිල් කොට ගත හැකි දැ යි නැඟෙන තවත් ප්‍රශ්නයකි. විසර්ගය බැහැර කළ යුතු ය. ඒ සඳහා "හ්" යොදා ගත හැකි ය.

එහෙත් ලේඛනයේ සම්මතය වෙනස්‌ කිරීම. අව්‍යක්‌ත කිරීම හෝ හිතුවක්‌කාර ලෙස විකෘති කිරීම කොතරම් හානිදායක ද යන්න මේ සහස්‍ර වර්ෂ කාරයනට නො වැටහීම පුදුමයක්‌ නො වන්නේ ඔවුන්ගේ භාෂා ඥනය ගැන සැක ඇති වන හෙයිනි. ඉතින් අපට වුවමනා නම් ඕනෑ ම අදහසක්‌ පළ කළ හැකි ශුද්ධ සිංහලයෙහි - හෙළ බසේ අකුරු දෙතිස (32) භාවිත කළ හැකි නො වේදැ යි කෙනෙකු නඟන ප්‍රශ්නය තර්ක ගෝචර ය.

සිංහල භාෂාවට පදනම් වූ වර්ණ හෙවත් අක්‍ෂර මාලාවේ වෙනස්‌කම් හඳුනා ගැනීම සඳහා එහි සාම්ප්‍රදායික පැවැත්ම හදාළ යුතු ය. ඒ පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොර ව එම සාහිත්‍යය යථා පරිදි තේරුම් ගන්නේ කෙසේ ද? කෙනෙකුගේ සිත් හසර විශද වන්නේ, කල්පනාවක්‌ නිවැරදි ව පහළ වන්නේ, නිරවුල් ව අදහස්‌ ප්‍රකාශ කළ හැකි වන්නේ ඔහු ලබා ගන්නා භාෂා ශක්‍යතාවනට අනුව ය.

බුද්ධි වර්ධනය, ඥන වර්ධනය, තියුණු කල්පනා ශක්‌තිය හා ප්‍රබුද්ධතාව කෙරෙහි මව්බස තරම් බලපාන අනෙක්‌ කරුණක්‌ නැත. කෙනෙකුට ස්‌වකීය පෞරුෂය හා ස්‌වීයත්වය ගොඩනඟා ගැනීමට ද භාෂාව බෙහෙවින් පිටුබල වන බව ඉහතින් සඳහන් කෙරිණි.

බුද්ධිමත් සමාජයක්‌ ගොඩනැඟීමේ අරමුණ ඇතොත්, නිර්මාණශීලී තරුණ පිරිසක්‌ ජාතිය බිහි කර ගැනීමේ කැමැත්ත ඇතොත්, ජාතිය වෙනුවෙන් ප්‍රබුද්ධ ගුණ ගරුකතාවෙන් හෙබි ජනතාවක්‌ ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාවක්‌ වෙතොත් එහි ලා මව්බස මුල් කොට ගත යුතු ය. අපේ ජනතා නායකත්වයට, නියෝජිතයනට එම අවශ්‍යතාව නැති ද?

වර්තමාන අර්බුද රාශියක ආරම්භය, වර්තමාන පරිහානියට මූලික හේතුව, අද්‍යතන අසහනකාරී පැවැත්මෙහි මූලාශ්‍රය සිංහල භාෂාව පිළිබඳ නො සැලකිල්ල යෑයි කියතොත් ඊට විරුද්ධ ව තර්ක කළ හැක්‌කේ කාට ද?

සිංහලයා ඒ නමින් හැඳින්වෙන්නේත් සිංහල ජාතිය අනෙක්‌ මිනිස්‌ සංහතියෙන් අනන්‍ය වන්නේතේ සිංහල භාෂාව හෙයිනි. කවර ජාතියක වුව ද අනන්‍යතාව පළ කෙරෙන ප්‍රධාන ලක්‍ෂණය එම ජාතියට උරුම වූ භාෂාව ය. එමෙන් ම කවර ජාතියකට වුව ද පරපුරින් පරපුරට ප්‍රවේණි ව පැවත එන සංස්‌කෘතික ආදි පාරම්පරික දායාදයන් ඊළඟ පරපුරට පාවා දීමේ දී භාෂාව උපයෝගී වෙයි. එහෙයින් භාෂාව හැදැරීම අපේ පාරම්පරික ඥන සම්භාරයට සමීප වීම සඳහා අත්‍යවශ්‍ය වෙයි. සාක්‍ෂරතාව වැදගත් වන්නේ එහෙයිනි.

අකුරක්‌ පිළිබඳව සරලව මෙන්ම සංකීර්ණව කෙතරම් ගැඹුරින් විමසිය හැකි දැයි අපි සිංහල අක්‍ෂර මාලාවේ පළමු වන අක්‍ෂරය ගෙන විමසමු. සිතට සතුටත් රසයත් ගෙන දෙන ආස්‌වාද ජනක මානසික ව්‍යායාමයක එමඟින් යෙදිය හැකිය.

අපි "අ" යන්න ලියමු. එය ශබ්ද නඟා කියවමු. කියූ හඬ අපට ඇසේ. හඬ ඇසුණ විට රූපයත් රූපය දකින විට හඬත් අපේ සිතට නැඟේ. සෑම අකුරක්‌, වචනයක්‌, වැකියක්‌ පිළිබඳ ධර්මතාව එයයි.

"අ" යන්න සිංහල හෝඩියේ මුල් අකුරයි. මුලින්ම අකුරු කියවන බිළින්දාට නමෝ බුද්ධාය ස්‌වස්‌ති සිද්ධම් යනුවෙන් ඇසෙන්නට සලස්‌වා ඉක්‌බිති කියවන්නේ "අ" යන්නයි. ලියවන්නේ ද "අ" යන්නය. කියන්නට ඉතා ලෙහෙසි වුව ද ලියන්නට ඉතා අමාරු අකුර "අ" යන්නයි.

සිංහල භාෂාවේ පමණක්‌ නොව වෙනත් පෙර අපර දෙදිග භාෂා බොහෝවකට අක්‌ෂර මාලාවන්හි මුලට යෙදෙන්නේ "අ" යන්නයි. නැත්නම් එයට සමාන හඬක්‌ ඇති අකුරකි. මෙසේ "අ" රූපය අක්‍ෂර මාලාවේ මුලට යොදා ඇත්තේ ඇයි? සිංහල අක්‍ෂර මාලාවේ මුලට "අ" යන්න යෙදීමේ හේතු කිහිපයක්‌ තිබේ. අනෙක්‌ හැම අකුරකටම වඩා සරල පිරිසිදු කේවල උච්චාරණයක්‌ එයට තිබීම ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැකිය.

උච්චාරණ ඉන්ද්‍රිය පන්තියේ ප්‍රධාන හා මුල්ම අවයවය වන කණ්‌ඨයෙන් (උගුරෙන්) උපදින කේවල ශබ්දය ද එයයි. එහෙයින් අක්‍ෂර මාලාවේ මුලටම එය යෙදීම හේතු සහගතය.

"අ" ශබ්ද කරන්න. දත් සමඟ දෙතොල් විවෘත වීම හැරෙන්නට වෙනත් කිසිම ස්‌ථාන කරණ කිසිවක උදව්වක්‌ නැතිව කණ්‌ඨයෙන් එන ශබ්දය අවහිරයක්‌ නැතිව "අ" හඬින් නිකුත් වෙයි. වෙන කිසිදු ශබ්දයක්‌, ස්‌වරයක්‌, ව්‍යංජනයක්‌ මෙතරම් පහසුවෙන් නිකුත් නොවේ.

කණ්‌ඨය උච්චාරණ ඉන්ද්‍රිය පන්තියේ ප්‍රධාන අවයවය වෙයි. අනෙක්‌ ශබ්ද නිකුත් කිරීම සඳහා දිව තොල් තල්ල මුදුන දත් ස්‌ථාන හා කරණ වෙයි. "අ" යන්න එබඳු අවහිරයක්‌ නැතිව නිකුත් වන හෙයින් එහි සරල හඬ පැහැදිලිය.

කායික විද්‍යාත්මකව එසේ ප්‍රමුඛ ස්‌ථානයක්‌ ගන්නා අතර ශබ්ද විද්‍යාත්මකව ද "අ" නෙත්තියෙහිම සිටී. සියලු ස්‌වරයන් නිපදෙන්නේ "අ" ශබ්දය පදනම් කොට ගෙන යෑයි කිව හැකිය. උගුරෙන් එන "අ" ශබ්දය දිව තල්ලට බර කොට කියූ විට "ඇ" හඬ නැඟෙයි. දිව මඳක්‌ උස්‌ කොට කට ඇතුළතින් පුළුල් කොට කියූ විට "එ" වෙයි. තොල් උල් කොට පිටකරන "අ" යන්නේ හඬමය "උ" වශයෙන් නිකුත් වන්නේ. ඒ හඬම තොල් මඳක්‌ විවර කොට කට පුළුල් කොට කියූ කල්හි "ඔ" වෙයි. එහෙයින් "අ" යන්න ස්‌වර මාලාවේ නොහොත් සිංහල අක්‍ෂර මාලාවේ මුලටම සඳහන්වීම හේතු සහගත බව හැඟී යයි.

එමෙන්ම "අ" ඒකජාක්‍ෂරයකි, කණ්‌ඨජාක්‍ෂරයකි. ස්‌වරයකි. හෙවත් පණකුරකි. වෙනත් ස්‌වර සඳහා ස්‌වර, ව්‍යංජනාරූඪ වීමේදී යෙදෙන පිල්ලම් ඇතත් "අ" යන්නට පිල්ලමක්‌ නැත. ව්‍යංජනාක්‍ෂරයෙහි ඇති හල්පිල්ල "අ" එකතු වත්ම නැතිව යෙයි.

"ක්‌ + අ } ක" නිදසුනකි.

"අ" යන්න වර්ණ මාලාවේ මුලට යෙදීමට වෙනත් හේතුවක්‌ විය හැකිද? ඒකජ ද්විජ දෙවර්ගයෙන් ඒකජය මුලට යෙදීම සිරිතය. "අ" යන්න ලඝූ අකුරකි. ලඝූ ගුරු දෙකෙන් ලඝූ මුලට යෙදෙයි.

"අ" යන්නේ උච්චාරණ ස්‌වරූප තුනකි. "අ, ආ, ආ" යනුවෙනි. හ්‍රස්‌ව, දීර්ඝ, ප්ලුත යනුවෙන් හැඳින්වේ. උදාන්ත අනුදාන්ත ස්‌වරිත නමින් සංස්‌කෘතියෙහි මෙය සඳහන් වෙයි.

"අ" යන්න සානුනාසික නිරනුනාසික යනුවෙන් ද දෙ ආකාර වෙයි.

සිදත් සඟරාව අනුව "අ" යන්න අපායක්‍ෂරයකි. කව් ලකුණු මිණි මල "අ" හඳුන්වන්නේ බ්‍රාහ්මණ අක්‍ෂරයක්‌ ලෙසයි. ස්‌වර ශාස්‌ත්‍රයෙහි "අ" යන්න ජීවාරක්‍ෂරයකි. සිංහලයෙහි මේ අකුර මුලට යෙදුණු විට අශුභ පල ගෙන දෙයි. අපේ ජාතික ගීයෙහි "අප ශ්‍රී ලංකා මාතා" වෙනස්‌ කොට "ශ්‍රී ලංකා මාතා" යනුවෙන් වෙනස්‌ කළේ මේ නිසාලු.

ස්‌වර සංයෝග සෑදෙන ක්‍රම

එහෙත් ද්‍රවිඩ ව්‍යාකරණයෙහි "අ" යන්න අමෘතාක්‍ෂරයකි. මුලට යෙදුණු විට සුබ පල දෙයි. සංගීත ශාස්‌ත්‍රයෙහි "අ" යන්න සෝම දේවතාවාට හිමිය. ශුභ ඵල ගෙන දෙයි.

"අ" සංකේතයේ වෙනසක්‌ නොවී උච්චාරණයෙහි ප්‍රභේද දෙකක්‌ වෙයි. සංවෘත විවෘත යනුවෙනි. "මම" යන වචනයෙහි මුල "ම" යන්නේ ඇති හඬට වඩා දෙවන "ම" යන්නේ ඇති හඬ වෙනස්‌ය.

"ම් + අ = ම" යන්නේ "අ" යන්න විවෘතය. දෙවැන්නේ "අ" යන්න සංවෘතය. මේ වෙනස හඳුන්වන්නට කිසියම් සංකේතයක්‌ භාවිත කළ යුතු යෑයි කෙනෙක්‌ කියති.

ම් + අ = මම (විවෘත)

ම් + අ = මම (සංවෘත)

මුනිදාස කුමාරතුංග සූරීන් ඇතුළු පිරිසක්‌ සංවෘත "අ" ලෙස සලකනුයේ, අන්‍යයන් විවෘත "අ" ලෙස සලකන "අ" යන්නය. විවෘත "අ" ලෙස සලකනුයේ සංවෘත "අ" යන්නය.

"අ" යන්නෙහි හඬ දෙකයි

විවෘත නම් එකෙක්‌ වෙයි

අනෙක නම් සංවෘතයි

අර කියුව දෙකම එයි



සංවෘත යෑ මුල "අ" යනු

"ර" යන්නෙහි වූ දෙවනු

විවෘත නම් වෙතියි දනු

වෙනස මේ ලෙසින් වනු



ගල බිලය වූ විවෘත

විවෘත අකුරේ උපත

එය හකුළුවා කියත

"අ" යනු වේ යෑ සංවෘත

අවධාරණයට නිසිය. කෙනෙකු මේ භේදය සලකනුයේ හඬෙහි වෙනස අනුවය.

එහෙත් මේ සඳහා සංකේතයක්‌ අවශ්‍ය නොවේ. ව්‍යාංජනාරූඪ අක්‍ෂරයන්ගේ මේ වෙනස සාම්පදායිකව අපට පුරුදු වී ඇත. එහෙයින් ඒ සඳහා වෙනම සංකේතයක්‌ අවශ්‍ය නොවූවද ඉංග්‍රීසි සිංහලෙන් ලියා දැක්‌වීමේදී දීර්ඝ සංවෘත "අ" යන්න සඳහා සංකේතයක්‌ යොදා ගැනීම අවශ්‍යය. මහාචාර්ය මලලසේකර මහතා ඒ සඳහා යොදා ගන්නා සංකේතය මඳක්‌ වෙනස්‌ කොට භාවිත කළ හැකිය.

"අ" යන්නේ වර්තමාන රූපය අද තහවුරු වී ඇතත් එය අවුරුදු දහස්‌ ගණනක්‌ තිස්‌සේ විකාශනය වූවකි. ක්‍රි.පූ. යුගයෙහි සිංහල "අ" රූපය යෙදුනේ නොපිට හැරවූ ,ණ, අකුරේ හැඩයෙනි. අක්‌ෂර ඉතිහාසය විමසන විට එම බ්‍රාහ්මී අක්‍ෂරයන් ශතවර්ෂ පහළොවක පමණ කාලයක්‌ තිස්‌සේ වෙනස්‌ වෙමින් හැඩගැසුණු සැටි විමසිය යුත්තකි.

"අ" අක්‍ෂරයේ විකාශනය

පැරණි රහස්‌ කතා ක්‍රමවලදී ද "අ" යන්නට විශේෂ තැනක්‌ ලැබිණි. න්‍යාස කළ යුත්තේ දිව ස්‌පර්ශ කිරීමෙනියි වීජ නිගන්ඩුවේ සඳහන් වෙයි. අතීතයේ ලංකාවේ භාවිත වූ හස්‌ත මුද්‍රd භාෂාවක "අ" යන්නට නියම වූයේ නළල මැදයි.


"අ" යනු නළල මැද

"ඉ" යනු බැමය දනු

"උ" යනු ඇසට

නාසෙට "එ" යනු

ආදී වශයෙන් ඒ බව සඳහන් වේ.

"අ" යන්න සෑම විටම වචනයක මුලට පමණක්‌ යෙදේ. එසේ යෙදෙමින් වචනවල අරුත් ප්‍රබල කරයි. විටෙක බාල කරයි. තවත් විටෙක විරුද්ධාර්ථ නඟයි. සමානාර්ථ නඟනු ද වෙයි. "අ" යන්න තනි වචනයක්‌ සේ යෙදෙමින් අරුත් නඟන අවස්‌ථා ද වෙයි.

සමහරු "අ" යන්න මළපත අකුරක්‌ ලෙස හඳුන්වති. මුල්පොත අකුර මළපත අකුරක්‌ වී ඇතැයි අදහස්‌ දක්‌වතත් එහි තර්ක ගෝචර බවක්‌ නැත.



"ආ" යන්න සිංහල අක්‍ෂර මාලාවේ දෙවැනි අක්‍ෂරයයි. එය "අ" ස්‌වරයෙහි දීර්ඝයයි. "අ" යන්න හ්‍රස්‌ව අක්‍ෂරයක්‌ වන අතර "ආ" යන්න එහි දීර්ඝාක්‍ෂරයයි. ලඝූ ගුරු නමින් ද මේ භේදය හැඳින්වේ. කාව්‍ය නිර්මාණයේ යෙදෙන්නන් මෙන්ම ගීත රචකයන් ද මේ වෙනස හඳුනා ගත යුතුය. ප්ලුත භේදය ද ඔවුනට වැදගති. හ්‍රස්‌ව, දීර්ඝ, ප්ලුත යනුවෙන් "අ" යන්නේ ශබ්දත්‍රයකි.

අ, ආ, ආ

සංස්‌කෘතියෙහි මේ භේදත්‍රය හැඳින්වෙනුයේ උදාත්ත, අනුදාත්ත, ස්‌වරිත යනුවෙනි. "ආ" යන්න සානුනාසික, නිරනුනාසික වශයෙන් ද උච්චාරණය සලකා දෙවැදෑරුම් කොට සැලැකෙයි.

"ආ" කාරය කණ්‌ඨයෙන් උපදී එහෙයින් කණ්‌ඨජාක්‍ෂරයකි. එය උච්චාරණය වන්නේ එකම ස්‌ථානයක්‌ ආශ්‍රිතවය. එහෙයින් ඒකජාක්‍ෂරයකි. "අ" යන්නේ රූපයට ඇලපිල්ලක්‌ යෙදීමෙන් "ආ" රූපය ලැබේ. "ආ" ස්‌වරය ව්‍යංජනාරූඪ වීමේදී ද යෙදෙන්නේ මෙම ඇලපිල්ලයි.

ක + ආ = කා

ග් + ආ = ගා,

ට්‌ + ආ = ටා ආදී වශයෙනි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.