කුල දරුවන් සඟ සසුනට
පූජා කිරීම බලගතු පින්කමක්‌
එගොඩමුල්ලේ අමරමෝලී නාහිමි

ධර්මසේන වැලිපිටිය - බර්නාඩ් චන්ද්‍රසේකර - දෙහිවල

ලංකාවේ බුදු දහම ඉතාමත් දිළිඳු තත්ත්වයේ පවතින අවධියක සම්බුද්ධ ශාසනායේ පැවැත්ම සඳහාත්, සඟ සසුන ආරක්‍ෂා කිරීම සඳහාත් කුල දරුවන් පැවිදි කර සම්බුද්ධ ශාසනයට පූජා කිරීම මහා පිංකමක්‌ බව පූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලී නාහිමිපාණෝ පැවසූහ.

නාහිමියන් එසේ පැවසුවේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ගල්කිස්‌ස සමුද්‍රසන්න මහා විහාරයේ කුල දරුවන් 20 දෙනකු පැවිදි කිරීමේ පැවැති පිංකමකදීය.

එහිදී කුල දරුවන් 20 දෙනකු පැවිදි කිරීම මහා සංඝරත්නය ඇතුළු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

එහිදී වැඩිදුරටත් අනුශාසනා කළ අමරමෝලී නාහිමියෝ දැනට අපේ ලංකාවේ බුදු දහමට විවිධ ආකාරයේ පීඩා ඇති කරන සමයක්‌ වෙලා. ඒවා නැති කරන්න නම් මහා සංඝරත්නයේ දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතුයි. ඒ වගේම ගිහි බෞදධයෝත් නිතරම අවධියෙන් කටයුතු කළ යුතුයි. බුදු දහම ආරක්‍ෂා වෙන්න නම් මහා සංඝරත්නය අවශ්‍යමයි. ඒ නිසා හැකිතාක්‌ කුල දරුවන් සඟ පරපුරට පූජා කරන ලෙස සියලුම බෞද්ධයන්ගෙන් උන්වහන්සේ ඉල්ලා සිටිනවා.

එහිදී එම විහාරස්‌ථානයේ විහාරාධිපති ගිරිකොළ නන්දන හිමියන් අනුශාසනාවක්‌ කරමින් බුදු දහම ලෝකයේ ප්‍රචලිත කිරීම සඳහාත් දහම් අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් හා වෙනත් භාෂාවලින් පැවැතිය යුතු බව උන්වහන්සේ අවධාරණය කර සිටියහ. ඉංග්‍රීසි භාෂාව අනිවාර්යයෙන්ම භික්‍ෂූන් වහන්සේට අවශ්‍යයි. ඒ තුළින් මුළු ලෝකයටම අපේ බුදු දහම ගෙන යා හැකි බවද පැවැසූහ.

එහිදී කිරම විමලජෝති නාහිමියන් අදහස්‌ දක්‌වමින් බුදුදහමට තර්ජන ගර්ජන ඇති කාලයක භික්‍ෂූන් වහන්සේලා සසුන් ගත කිරීම කාලෝචිත ක්‍රියාවක්‌ බවද සඳහන් කළහ.

එහිදී දෙහිවල - ගල්කිස්‌ස මහ නගරාධිපති ධනසිරි අමරතුංග මහතා පැමිණ සිටි සියලු දෙනා පිළිගැනීමෙන් තම බල ප්‍රදේශයට මෙවැනි භික්‍ෂු මධ්‍යස්‌ථානයක්‌ පැවැතීමත්, කුල දරුවන් 20 දෙනෙක්‌ සසුන් ගත කිරීම තමාගේ බලවත් සතුටට කරුණක්‌ බවද සඳහන් කළේය.

නාගරික මන්ත්‍රී රුවන් ලියනගුණවර්ධන මහතාද කතා කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.