සංස්‌කරණය : නාරද නිශ්ශංක

ළමා නාට්‍ය උළෙල යළිත්

අපි ළමයින් වෙනුවෙන්ම නාට්‍ය කරමු!
- සෝමලතා සුභසිංහ

ළමයින් වෙනුවෙන් නාට්‍යයක්‌ කරනවාය. කියන කාරණය එතරම්ම පහසු එකක්‌ නොවෙයි. වැඩිහිටියන් වැඩි දෙනෙක්‌ නාට්‍ය හදන්නේ ළමයින් ගැන හිතලා නොවෙයි. ඒ අයගේ සිතුවිලි එක්‌ක ඒක කරන්න අමාරුයි.



ඒත් බොහෝම කාලයක ඉඳලා ප්‍රවීණ නාට්‍යවේදිනී, සෝමලතා සුබසිංහ මේ කාර්යය අපූරුවට තේරුම් ගත්ත කෙනෙකි. ඒ හින්දම ඇය ළමා හා යොවුන් නාට්‍ය රංග පීඨය සමඟ එකතුවෙලා වසර ගණනාවක්‌ පුරාවට ළමා නාට්‍ය උළෙලක්‌ පවත්වනවා.

මේ අවුරුද්දෙත් දෙසැම්බර් මාසයේ 7, 8, 9 දිනවල ලයනල් වෙන්ඩ්ට්‌ රඟහලේදී සවස 3.30 හා 6.30 ට මේ නාට්‍ය උළෙල වේදිකාගත කිරීමට නියමිතයි. එහිදී "පුංචි අපට දැන් තේරෙයි" "තොප්පි වෙළෙන්දා" හා "හිම කුමාරි" වේදිකා ගත කිරීමට නියමිතයි. ළමයින් ගැන අපූරුවට තේරුම් අරගෙන, අපූරු ළමා නාට්‍ය ගණනාවක්‌, ළමයින්ට විතරක්‌ නොවෙයි, වැඩිහිටියන්ටත් දැනෙන විදියට සෝමලතා සුබසිංහ අවුරුදු ගණනාවක්‌ පුරා වේදිකා ගත කරන්නේ, එය එතරම්ම සාර්ථක බවට සාක්‌කියක්‌ විදියටයි.

1979 සිට වර්තමානය වන තෙක්‌ වසර තිස්‌ දෙකකට ආසන්න කාලයක්‌ තිස්‌සේ මේ නාට්‍ය උළෙල පැවැත්වෙන්නේ එහි ඇති සාර්ථකත්වය හේතුවෙනි. එක්‌ යුගයක මේ නාට්‍ය රසවිඳි අය තමන්ගේ දරු මුණුපුරන්ද රැගෙන නාට්‍ය නැරඹීමට පැමිණීම විශේෂත්වයකි. වසර දෙකක පමණ කාලයක්‌ විදේශගතව සිටීම හේතුවෙන්, යම් කාලයක මේ නාට්‍ය උළෙල පැවැත්වීමට නොහැකි වූ බවද ඇය කියන්නීය. එහෙත් මෙවර මේ නාට්‍ය උළෙලේ විශේෂත්වයක්‌ තිබේ. මේ නාට්‍ය උළෙල පැවැත්වෙන්නේ "සෝමලතා සුබසිංහ" නම් ප්‍රවීණ ශිල්පිනිය වසර හැත්තෑපහක්‌ සපුරණ මොහොතෙහි වීමත්, ඇය නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිස වසර පනස්‌ තුනක්‌ සම්පූර්ණ වීමත්, හේතු පාදක කරගත් වැදගත්කමකින් යුක්‌තවය.

මේ නාට්‍ය උළෙලට විශාල පිරිසකගේ දායකත්වයක්‌ ලැබේ. ඒ අතර නාට්‍ය උළෙල සඳහා නිරන්තරයෙන් වෙහෙස වන සෝමලතා සුබසිංහ මහත්මියගේ දියණිය කෞෂල්‍යා ප්‍රනාන්දු, බෑණනුවන් වන චන්දන අලුත්ගේ පිළිබඳව ඇය සිහිපත් කරන්නීය.

මේ සියල්ලටම නිහඬවම සිය දායකත්වය ලබාදෙන සෝමලතා සුබසිංහ මහත්මියගේ සැමියා වන ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි මෙන්ම හිටපු තානාපතිවරයකුද වූ "ලයනල් ප්‍රනාන්දු" මහතාද මේ උළෙල වෙනුවෙන් වෙහෙසේ. සෝමලතා සුබසිංහ මහත්මියගේ වචනයෙන්ම කිවහොත් ඔහු ස්‌වේච්ඡාවෙන්ම ඇයගේ පෞද්ගලික ලේකම් තනතුර බාරගෙන සිටී."

පාසල් නිවාඩු කාලය එළැඹ ඇත. මේ කාලය තුළ දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද ඔළුවේ "බර" ටිකකට අයින් කරගෙන පොඩි උන් එක්‌ක ටිකක්‌ විනෝද වෙන්න, රසවත් වෙන්න අවස්‌ථාවක්‌ ආපසු ඇවිත් තියෙන බව නැවත මතක්‌ කරනවා. හැමෝගෙන්ම ඉල්ලන්නේ දෙසැම්බර් 7, 8, 9 දින ටික ලයනල් වෙන්ඩ්ට්‌ රඟහලට ගොඩවෙන්න වෙන්කරගන්න·

- උදේශ සංජීව ගමගේ
 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.