වාර්තාවට පමණක්‌ සීමාවූ
"කෝප්" නිර්දේශ!


වසරක්‌ පාසා පොදු ව්‍යාපාර කාරක සභා (කෝප්) වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙයි. ඒ සෑම කෝප් වාර්තාවකින්ම පාහේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් හෙළිදරව් කොට ඊට හේතු වූ කරුණු මෙන්ම එකී ආයතන ගොඩගැනීම සඳහා වන නිර්දේශද ඉදිරිපත් කරනු ලබයි. මේවාට පුවත්පත් ඇතුළු ජනමාධ්‍යයෙන් ද පුළුල් ප්‍රසිද්ධියක්‌ ලැබෙයි. එහෙත් කෙටි කලකින්ම මේ කෝප් වාර්තාව සහ එහි සඳහන් වු නිර්දේශ සියලු දෙනාටම අමතකව යයි. අලුත් කෝප් වාර්තාවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසු යළිත් සුපුරුදු පරිදිම සියලු දෙනා ඒ ගැන කතා කරන්නට පටන් ගනියි. එහෙත් අවසානයේ සිදු වන දෙයක්‌ තිබේද? වසරක්‌ පාසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන කෝප් වාර්තාවේ සඳහන් රාජ්‍ය ව්‍යවසාය ආයතන ගොඩගැනීමේ කෝප් නිර්දේශවලට සිදු වන්නේ කුමක්‌ද? මෙය අද ජන සමාජයේ කවුරුත් විමසන දෙයකි. ඒ නිසා වඩාත් වැදගත් වන්නේ කෝප් නිර්දේශ වාර්තාවකට පමණක්‌ සීමා නොවී ඒවා ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීමට පියවර ගැනීමයි. මේ පසුබිම තුළ අපි පසුගියදා (දෙසැ. 01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු අලුත්ම කෝප් වාර්තාව පිළිබඳව සාකච්ඡා කරමු.

කෝප් සභාවේ සභාපති අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසන පරිදි මෙවර කෝප් වාර්තාව සැකසීමේදී කෝප් කමිටුවේ විමර්ශනයට යටත්ව පවතින සියලු ආයතන (229) විමර්ශනයට ලක්‌ කර ඇත. මෙය සිදුව ඇත්තේ ප්‍රථම වතාවට ය. මීට පෙර අවස්‌ථාවල අදාළ සියලු ආයතන විමර්ශනය කිරීමට අවස්‌ථාව නොලැබිණි. මේ සඳහා මෙවර අනුගමනය කර ඇති ක්‍රමවේදය වන්නේ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් ප්‍රධාන කමිටුවට අමතරව තවත් අනුකමිටු තුනක්‌ද පත් කර, කෝප් සභාවේ විමර්ශනයට ලක්‌වන සියලු ආයතන එම කමිටුවලට බෙදා දීමට කටයුතු කිරීමයි. මේ අනුව ඩිව් ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් ප්‍රධාන කමිටුව මගින් ආයතන 92 ක්‌ පිළිබඳව ද, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සභාපතිත්වයෙන් යුත් අනුකමිටුව විසින් ආයතන 39 ක්‌ පිළිබඳවද, එජාප නියෝජ්‍ය නායක කරු ජයසුරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් අනුකමිටුව විසින් තවත් ආයතන 39 ක්‌ පිළිබඳව සහ ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් අනුකමිටුව විසින් ආයතන 59 ක්‌ පිළිබඳව ද විමර්ශන කටයුතු සිදු කර තිබිණි. මෙවර ආයතන 229 ම විමර්ශනයට ලක්‌ කළ නිසා මෙතෙක්‌ නිකුත් වූ කෝප් වාර්තා අතුරින් විශාලතම කෝප් වාර්තාව නිකුත්ව ඇත්තේ මෙවරය. එය පිටු 176 කින් සමන්විතය. කෝප් සභාවේ විමර්ශනයට යටත් කිසිදු ආයතනයක්‌ අත්නොහැර, ඒ සියලු ආයතන පිළිබඳව විමර්ශනයට ලක්‌ කිරීම හොඳ දෙයකි. ඒ නිසා ඒ සෑම ආයතනයකම පාහේ තිබෙන අක්‍රමිකතා, ගැටලු සහ ප්‍රශ්න හඳුනාගැනීමට මෙන්ම ඊට පිළියම් නිර්දේශ කිරීමටද මෙවර හැකිව තිබේ.

එහෙත් අපට ඇති ප්‍රශ්නය වන්නේ මේ කෝප් නිර්දේශ කොතෙක්‌ දුරට ක්‍රියාත්මක වන්නේද යන්නයි. අඩු තරමේ ඒ ගැන පොදු ව්‍යාපාර කාරක සභාව හෝ පසුවිපරමක්‌ කර තිබෙනවාද? කෝප් නිර්දේශ ක්‍රියාත්මක කර නැති අවස්‌ථාවකදී, ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා මාර්ගය කුමක්‌ද? ඊට එරෙහිව කෝප් කමිටුව ගන්නා පියවර කුමක්‌ද? එහිදී කෝප් කමිටුවට කළ හැකි දෙයක්‌ තිබේද? මෙවර නිකුත් වූ අලුත්ම කෝප් වාර්තාව සම්බන්ධයෙන්ද අපට මේ ප්‍රශ්න මතු වේ.

අතීත කෝප් වාර්තාවලින් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සිදුකළ නිර්දේශ ක්‍රියාත්මක කළා නම් දිගින් දිගටම සෑම වසරකම රාජ්‍ය ආයතන පාඩු ලබන්නේ කෙසේද? රාජ්‍ය ආයතනවල දිගින් දිගටම මෙතරම් අක්‍රමිකතා සිදු වන්නේ කෙසේද? මේ ප්‍රශ්න අපට මතුවේ. එසේ නම් කෝප් නිර්දේශ ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළක්‌ කෝප් කමිටුව විසින් දියත් කළ යුතුව තිබේ. එසේම එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද කෝප් සභාව විසින්ම කිසියම් පසුවිපරමක්‌ ද සිදු කළ යුතු බව අපේ හැඟêමයි. එහිදී අදාළ නිර්දේශ ක්‍රියාත්මක නොකරන ආයතන සම්බන්ධයෙන්ද ඊට හේතු විමසා සුදුසු පියවර ගත යුතුව තිබේ. කෝප් නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික අපහසුවක්‌ තිබේ නම් ඒවාද හඳුනාගෙන ඊට සුදුසු පියවර ගත යුතුය.

රටේ උත්තරීතරම සභාව පාර්ලිමේන්තුවයි. කෝප් යනු පාර්ලිමේන්තු කාරක සභාවකි. මෙය නියෝජනය කරන්නේ ආණ්‌ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මන්ත්‍රීවරුය. අදාළ රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳව විමර්ශනය කොට ඒවායේ අක්‍රමිකතා අනාවරණය කරමින් සිය නිර්දේශ ද ඇතුළත් කොට, මේ වාර්තාව නිකුත් කරන්නේ කෝප් කමිටුව නියෝජනය කරන ආණ්‌ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මේ සියලු මහජන නියෝජිතයන්ගේ එකඟත්වයෙනි. ඒ නිසා කෝප් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්‌ඩු පක්‍ෂය මෙන්ම විරුද්ධ පක්‍ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේද එකඟතාවක්‌ තිබේ. එසේ නම් මේ නිර්දේශ තවදුරටත් වාර්තාවකට සීමා වීමට ඉඩ නොතැබිය යුතුය. අපි මේ කියන්නේ කෝප් නිර්දේශ කිසිවක්‌ මෙතෙක්‌ ක්‍රියාත්මක වී නැති බව නොවේ. එහෙත් බොහෝ නිර්දේශ ක්‍රියාත්මක නොවන බවක්‌ අපට පෙනෙන්නට තිබේ. ඒ නිසා මුලින්ම කෝප් නිර්දේශ ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීමේ ක්‍රමවේදයක්‌ කෝප් කමිටුව විසින්ම සම්පාදනය කර ගත යුතු බවට අපි යෝජනා කර සිටිමු.

කෝප් සභාව විසින් මෙවර එහි විමර්ශනයට යටත් ආයතන සියල්ල විමර්ශනයට ලක්‌කර ඒවා ප්‍රධාන කාණ්‌ඩ 4 කට වර්ගීකරණය කර ඇත. එනම් (1) මූල්‍ය ස්‌ථාවරත්වයක්‌ සහිත ආයතන (2) ලාභ පාඩු නැති මට්‌ටමේ පවතින ආයතන (3) ආදායම අඩුවෙමින් පවතින ආයතන සහ (4) පාඩුපිට පවත්වාගෙන යන ආයතන වශයෙනි. මේවා අතුරින් කෝප් වාර්තාව මගින් වැඩි අවධානයක්‌ යොමු කර ඇත්තේ අදායම අඩුවෙමින් පවතින සහ පාඩුපිට පවත්වාගෙන යන ආයතන සබන්ධයෙනි. මෙහිදී ආදායම් අඩුවෙමින් පවතින ව්‍යාපාර ආයතන කිහිපයක නම් සඳහන් කර ඇති කෝප් වාර්තාව කියන්නේ 2009 වසරේදී එකී ආයතනවල ආදායම සියයට 90 කින් පමණ පහත වැටී ඇති බවයි. (කෝප් වාර්තාවේ 09 පිටුව) එහෙත් පසුගිය (2010) වසරේදී මෙකී ආයතනවල ලාභය හෝ ආදායම් තත්ත්වයට සිදු වුයේ කුමක්‌දැයි කෝප් වාර්තාවේ සඳහන් නොවේ. එය ගැටලුවකි. 2009 වසරේ දී සියයට 90 කින් පමණ ආදායම අඩුවුවත් ඊට පසු 2010 වසරේදී මේ ආයතනවල ආදායම් තත්ත්වය තවත් පහත වැටුණාද? එසේ නැතහොත් ලාභය හෝ ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට එම ආයතන සමත් වූවාද? කෝප් වාර්තාවට මේ ගැන කිසිවක්‌ අන්තර්ගතව නොපැවතීම අඩුපාඩුවකි. මෙවැනි එක්‌ ආයතනයක්‌ ලෙස කෝප් වාර්තාව සඳහන් කරන්නේ ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියයි. කෝප් වාර්තාව නිකුත් වීමෙන් පසු එම අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් බණ්‌ඩාර මහතා මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ මේ වසරේ (2011) නොවැම්බර් මස වන විට ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය රු. මිලියන 12 ක ලාභයක්‌ ලබා ගැනීමට සමත්ව ඇති බවයි. එය හොඳය. කවරක්‌ නමුත් අදාළ රාජ්‍ය ව්‍යවසාය ආයතනවල මේ වර්ෂයේ (2011) තත්ත්වය හෙලිදරව් කෙරෙන කෝප් වාර්තාව නිකුත් වන්නේ ලබන වසරේදීය.

මෙවර කෝප් වාර්තාවේ 09 සහ 10 වැනි පිටුවල සඳහන් කර ඇති පරිදි 2010 මූල්‍ය වර්ෂයේදී රාජ්‍ය ව්‍යවසායන් 48 ක්‌ පාඩු පිට පවත්වාගෙන යයි. එම ආයතන ලැයිස්‌තුව මේ ලිපියත් සමග පළ වේ. අතිරික්‌ත සේවකයින් සිටීම. දිගින් දිගටම වියදම් ඉහළ යාම, දුර්වල කළමනාකරණය සහ ප්‍රාග්ධන හිඟය යන කරුණු මෙකී ආයතන පාඩු ලැබීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇති බව කෝප් වාර්තාව සඳහන් කරයි. මේ තත්ත්වයන් නිවැරැදි කර ගනිමින් අදාළ රාජ්‍ය ආයතන ගොඩගැනීමට අතිරික්‌ත සේවකයන් ඉවත් කිරීම සඳහා විශ්‍රාම ගැන්වීමේ ක්‍රම ක්‍රියාත්මක කරන අතරම අදාළ ආයතන පුළුල් ප්‍රතිව්‍යුහගත කිරීමකට (radical restructuring) ලක්‌ කළ යුතු බවට ද කෝප් වාර්තාව නිර්දේශ කර තිබේ. රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් මහා භාණ්‌ඩාගාරයේ අධීක්‍ෂණය දුර්වල බවද කෝප් වාර්තාව කියයි. එම වාර්තාව පෙන්වා දෙන පරිදි රාජ්‍ය ව්‍යවසායන් පාලනය කරන ප්‍රධාන රජයේ දෙපාර්තමේන්තු දෙක වන්නේ මහාභාණ්‌ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුවයි. මේ දෙපාර්තමේන්තු දෙක විසින්ම රාජ්‍ය ව්‍යවසායන්හි යහපාලනය සඳහා විවිධ චක්‍රලේඛ සහ උපදෙස්‌ නිකුත් කරනු ලබයි. එසේම සෑම රාජ්‍ය ව්‍යවසාය ආයතනයකටම මහාභාණ්‌ඩාගාරය විසින් විශේෂයෙන් අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජිකයෙක්‌ද පත් කරනු ලබයි. කවරක්‌ නමුත් මහාභාණ්‌ඩාගාරය විසින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ හා උපදෙස්‌, අදාළ ආයතන විසින් අනුගමනය කරනවාද යන්න ගැන මහාභාණ්‌ඩාගාරයේ නිසි අධීක්‍ෂණයක්‌ නැති බව පොදු ව්‍යාපාර කාරක සභාව නිරීක්‍ෂණය කර ඇත. මේ තත්ත්වය මගහැරීම සඳහා මහාභාණ්‌ඩාගාරය විසින් රාජ්‍ය ව්‍යවසාය ආයතනවලට පත් කර ඇති අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජිකයින් තම රාජකාරි හා වගකීම් හරිහැටි ඉටු කරනවාද යන්න ගැන මහාභාණ්‌ඩාගාරය විසින් විශේෂ අවධානයට ලක්‌ කළ යුතු බවටද කෝප් වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින (දෙසැ. 01) පෙරවරුවේ එම කමිටුව නියෝජනය කරන පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ ද පැවැත්විණි. මෙහිදී කෝප් සභාවේ සභාපති ඩිව් ගුණසේකර මහතා විසින් කෝප් සභාවේ සියලු සාමාජිකයන් ඒකමතිකව ගත් ඉතා වැදගත් තීරණයක්‌ පිළිබඳව හෙළි කළේය. ඒ මෙසේයි.

"පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ කෝප් වාර්තාව ගැන අමාත්‍යාංශවල ප්‍රධාන ගිණුම් නිලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතුයි. මෙහි සඳහන් කරුණු ප්‍රවේශමෙන් අධ්‍යයනය කොට අවශ්‍ය පියවර ගන්නා බවට අමාත්‍යාංශ ලේකම්වරු පාර්ලිමේන්තුවට සහතික විය යුතුයි.

මෙය කෝප් නිර්දේශ, වාර්තාවට පමණක්‌ සීමා නොවී ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ඉවහල් වන තීන්දුවක්‌ වනු ඇති බව අපගේ හැඟêමය. කවරක්‌ නමුත් හිටපු කෝප් සභාපතිවරයකු වූ ජනාධිපති නීතිඥ විඡේදාස රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ, නාස්‌ති සහ අකාර්යක්‍ෂම පාලනය පිටු දැකීමට ගත යුතු පියවර එම ආයතනවල කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු කමිටුව විසින් නිර්දේශ කළ යුතු බවයි. එසේම රාජපක්‍ෂ මහතා තවදුරටත් කියා තිබුණේ රාජ්‍ය ආයතන කරන වැරදි අමාත්‍යාංශ ලේකම්වරුන් මත පැටවීම නොකළ යුතු බවත් සිදු වී ඇති දූෂිත ගනුදෙනු පසුපස සිටින පුද්ගලයන් හඳුනාගෙන දඬුවම් කළ යුතු බවත්යි.

රාජ්‍ය ආයතන විසින් සිදු කරන සියලු වැරදිවලට අමාත්‍යාංශ ලේකම්ට වගකිව නොහැකි බව ඇත්තය. අදාළ දූෂිත ගනුදෙනුවලට වගකිවයුත්තන්ට නීති මගින් දඩුවම් කළ යුතු බවද ඇත්තය. කවරක්‌ නමුත් කෝප් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවට අදාළ අමාත්‍යාංශ ලේකම්වරු පාර්ලිමේන්තුවට සහතික විය යුතු බවට ගෙන ඇති තීරණය මගින් එම කෝප් නිර්දේශ ක්‍රියාත්මක වීම සඳහා පුළුල් බලපෑමක්‌ සිදු වනු ඇති බැවින් මේ තීරණය හොඳ එකකි. එම තීරණය මගින් රාජ්‍ය ආයතනවල වැරැදි අමාත්‍යාංශ ලේකම්වරුන් පිට පැටවීමක්‌ ද සිදු නොවේ. මහජනතාවගේ පැත්තේ සිට සියලු බලධාරීන්ට අප අවධාරණය කර සිටින්නේ කෝප් නිර්දේශ වාර්තාවට පමණක්‌ සීමා වීමේ තත්ත්වයට දැන්වත් නැවතීමේ තිත තැබිය යුතු බවයි.


පාඩු ලබන රාජ්‍ය ආයතන - 2010


1. ශ්‍රී ලංකා තේ මණ්‌ඩලය

2. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය

3. තේ ශක්‌ති අරමුදල

4. ජාතික තරුණ සේවා සභාව

5. මානව සම්පත් සංවර්ධන මණ්‌ඩලය

6. ජාතික ළමාරක්‌ෂක අධිකාරිය

7. තුරුසවිය අරමුදල

8. ශ්‍රී ලංකා පදනම

9. ලංකා පිඟන් සංස්‌ථාව

10. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම

11. ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය

12. රාජ්‍ය වැවිලි සංස්‌ථාව

13. ශ්‍රී ලංකා කජු සංස්‌ථාව

14. කාර්මික සංවර්ධන මණ්‌ඩලය

15. රාජ්‍ය ඖෂධ සංස්‌ථාව

16. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්‌ථාව

17. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල

18. විජයකුමාරතුංග අනුස්‌මරණ රෝහල

19. ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය

20. ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව

21. පරමානු බලශක්‌ති අධිකාරිය

22. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

23. ජල සම්පත් මණ්‌ඩලය

24. ජාතික අන්තරායකර ඖෂධ පාලක මණඩලය

25. සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය

26. ශ්‍රී ලංකා පුවත්පත් මණ්‌ඩලය

27. ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය

28. නාවික පාරිසරික ආරක්‌ෂක අධිකාරිය

29. ශ්‍රී ලංකා එයාර්ලයින්ස්‌

30. මිහින් එයාර් සමාගම

31. ලංකා නැව් සංස්‌ථාව

32. සමුපකාර තොග වෙළෙඳ ආයතනය

33. වී අලෙවි මණ්‌ඩලය

34. රජයේ තොග වෙළෙඳ සමාගම

35. සමාජ ආරක්‌ෂණ මණ්‌ඩලය

36. ශ්‍රී ලංකා වරාය අධිකාරිය

37. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය

38. මාර්ග සංවර්ධන අධිකාරිය

39. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්‌ඩලය

40. ජාතික නිවාස හා සංවර්ධන අධිකාරිය

41. නාගරික සංවර්ධන අධිකාරිය

42. ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය

43. ජාතික ජල ජීවී සංවර්ධන අධිකාරිය

44. ලංකා ධීවර සංස්‌ථාව

45. ලංකා ධීවර වරාය සංස්‌ථාව

46. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය

47. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්‌ථාව

48. ශ්‍රී ලංකා උසස්‌ තාක්‌ෂණ අධ්‍යාපන ආයතනය

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.