සංස්‌කරණය : නාරද නිශ්ශංක

එන්න......සුභාවිත ගීතයට පෙම් බඳිමු......
විජය සිරිවර්ධන පොලොන්ඕවිටගේ "උණ පඳුරක මල් පිපිලා"

දොරට වැඩුම දෙසැම්බර් 17 දා...

සුභාවිත ගීතයට පෙම් බඳින සංගීත රසකාමීන්ට නවමු අද්දැකීම් සමුදායක්‌ එක්‌කරමින් වසර ගණානාවක්‌ සංගීත ලෝකයේ සැරිසැරූ ගේය පද රචකයකු, ස්‌වර නිර්මාණවේදියකු, සංගීතඥයකු සහ ගායන ශිල්පියකු ද වන විජය සිරිවර්ධන පොලොන්ඕවිටයන්, සිය ආදරණීය සුවහසක්‌ වූ රසික කැළ වෙතට පුදන එදා මෙදා තුර ඔහු ගැයූ ජනප්‍රිය ගීත මෙන්ම, නව නිර්මාණ ද අන්තර්ගත කළ "උණ පඳුරක මල් පිපිලා" කුළුඳුල් සංයුක්‌ත තැටිය, දොර වැඩුමට ඇවැසි කටයුතු මේ වන විට සම්පාදනය කොට ඇත.

පොලොන්ඕවිටයන්ගේ මධුර මනෝහර හඬින් සහ යුග ගායන සහයෙන් එක්‌වූ නිර්මලා රණතුංග, විශාරද මාලනී බුලත්සිංහල ගායන ශිල්පිනියන්ගේ දායකත්වය එක්‌කොට ඇති "උණ පඳුරක මල් පිපිලා" සංයුක්‌ත තැටියේ ගී 16 ක්‌ ඇතුළත්ය.



මේ මස 17 වැනිදා සෙනසුරාදා සවස 5.00 ට පැපිළියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙණේදී විහාරාධිපති පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන "උණ පඳුරක මල් පිපිලා" දොරට වැඩුමේ උළෙලට ආරාධිතයින් ලෙස සංස්‌කෘතික කටයුතු පිළිබඳ ඇමැතිතුමාගේ ලේකම් විමල් රූපසිංහ, විශාරද වික්‌ටර් රත්නායක, සංගීත් නිපුන් සනත් නන්දසිරි, රෝහණ වීරසිංහ, මහාචාර්ය සුනිල් ආරියරත්න, තිලකරත්න කුරුවිට බණ්‌ඩාර, විශාරද අමරසිරි පීරිස්‌, විශාරද සුදත් සමරසිංහ, විශාරද නන්දසේන කටුවාවල සහ ගායන ශිල්පිණීන් වන මල්කාන්ති නන්දසිරි, නිර්මලා රණතුංග සහ නෙරංජලා පීරිස්‌ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්‌ සහභාගි වීමට නියමිතය.

පාසල් අවධියේ පටන් නාට්‍ය, සංගීත සහ කවි ගායනයන්ට දක්‌ෂතා දැක්‌වූ පොලොන්ඕවිටයන්, ශ්‍රී ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වී සිරි අයියා, කරුණාරත්න අබේසේකරයන් සහ එච්. එම්. ගුණසේකරයන්ගේ "ළමා පිටිය" සංගීත වැඩසටහනට එක්‌ වී ගීත ගායනා කොට ඇත. "ආධුනික පැය" නම් වූ දීපව්‍යාප්ත ගායනා තරගයෙන් ප්‍රමුඛ ස්‌ථානය දිනාගත් ඔහු "තරු හමුව" ජයග්‍රාහක පෙළ පාලිය යන සංගීත වැසටහන්වලට එක්‌ව ගී ගයමින් සංගීත ක්‍ෂේත්‍රයට පිවිසුණි.

එවකට බී. සී. සී. සමාගම පවත්වන්නට යෙදුණු දීපව්‍යාප්ත ගායන පරික්‍ෂණයට පෙනී සිටි විජය සිරිවර්ධන තරුණයා ඉන් ජයග්‍රහණය ලැබ, ගුවන් විදුලියේ පැවැත්වූ ගායන පරික්‍ෂණයට පෙනී සිටිමින් ඒ ශ්‍රේණියේ ගායන ශිල්පියකු ලෙස තේරී පත් විණ, නිෂ්පාදිකා ජී. එස්‌. බී. රාණි පෙරේරා කලා ශිල්පිනියගේ විශේෂිත වැඩසටහනක්‌ වූ "ගීත තරගංනී" හා එක්‌වීමට වරම වාසනාව ලද ඔහු එතැන් පටන් භාවාත්මක ගීත 960 ක්‌ පමණ තැටිගත කර ඇති අතර අදද ඒවා ගුවන් විදුලිය තැටි ගබඩාවේ සුරක්‌ෂිතව සංරක්‍ෂණය කොට ඇත.

බුදු ගුණගැයෙන "වන්දේ වන්දේ සමිදේ තිලෝගුරු" ගීතය, විජය සිරිවර්ධනයන්ගේ තැටිගත කළ මුල්ම ගීතයයි. මෙහි පදමාලාව ලලිත්. එස්‌. මෛත්‍රිපාලයන්ගේය. ප්‍රේමකීර්ති ද අල්විස්‌, කේ. ඩී. කේ. ධර්මවර්ධන වැනි ප්‍රවීන ගීත රචකයන්ගේ ගී පදමාලාවන්ට ද ඔහු සිය ලයාන්විත හඬ මුසුකොට ඇත.

විශාඛාව ඔබ මා දුටු බුදුසිරිතේ, උණ පඳුරක මල් පිපිලා, සෙනෙහේ පියුම් විලේ යන එදා ඔහු ගැයූ ගීත අදද ඉතාමත් ජනප්‍රියතාවයකින් පවතී. කිසිඳු සංගීත භාණ්‌ඩයක්‌ උපයෝගී නොකොට ගී තනු නිර්මාණය කිරීමේ විරල වූ සහජ හැකියාවන් සතුවූ ඔහු ඊට හොඳම නිදසුන් සපයනුයේ ඉහත සඳහන් කළ ඉතා ජනප්‍රිය ගීත හරහාය.

ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ "ජනේලය" නම් වූ ප්‍රසිද්ධ වේදිකා නාHයෙහි ඔහු රංගනයෙන් හා ගායනයෙන් දායකත්වය සපයා ඇත. ඊට සමගාමීව, ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන්ගේ සහ සුගතපාල ද සිල්වා සූරීන්ගේ "සමනලයෝ" නම්වූ සංගීතමය චිත්‍රපටියේ සංගීතය අධ්‍යක්‍ෂණය කළ, පොලොන්ඕවිටයන්, ගීත ගායනයෙන්ද ඊට දායක වී ඇත. මෙම චිත්‍රපටයේ ගීත 12 ක්‌ අන්තර්ගතය. ලතා වල්පොල, ධර්මදාස වල්පොල, සුජාතා අත්තනායක, මිල්ටන් පෙරේරා, එච්. ආර්. ජෝතිපාල යන ප්‍රවීණ ගායන ශිල්ප ශිල්පීන් මෙහිදී ගීතවත් වී ඇත. පද රචනයෙන්, ඔගස්‌ටස්‌ විනයාගරත්නම් හා සිරිල් බී. පෙරේරා එක්‌වී ඇත.

සුගතපාල ද සිල්වා සූරීන්ගේ "අපේ කට්‌ටිය" මිතුරු එකතුවේ සාමාජිකයෙකු වූ, පොලොන්ඕවිටයන්, ඔහුගේ නිල් කට්‌රොල් මල්" නම් වූ ඉතා ජනප්‍රිය සංගීතමය නාටකයේ සංගීත අධ්‍යක්‍ෂවරයාය. මෙහි අන්තර්ගත ගීත 40 ක්‌ පමණ නිර්මාණය කරන ලද්දේද පෙලොන්ඕවිටයන්ය. වැඩිම ගීත සංඛ්‍යාවක්‌ අඩංගු වූ නාටකය ලෙස තවමත් නොබිඳුණු වාර්තාවක්‌ "නිල් කට්‌රොලු මල්" සතුය. මර්සි එදිරිසිංහ, මල්කාන්ති නන්දසිරි, පොලොන්ඕවියන්ගේ සොයුරියන් වූ විමලා සහ ශ්‍රියානී, සුමනා අමරසිංහ, පද්මිණි දිවිතුරුගම, අතුල හා ලලනි සෝමසිරි, ඩබ්. ඩබ්. ජයසිරි, ටෝනි රණසිංහ හා මාක්‌ ඇන්තනී ප්‍රනාන්දු මෙහි ප්‍රධාන නළු නිළියන්ය. සුගතපාල සූරීන්ගේ "දුන්න දුනු ගමුවේ" හරිම බඩු හයක්‌ යනාදී බොහෝ නාට්‍යයන්හී පොලොන්ඕවිටයන් සංගීතය සැපයීමෙන් සහ රංගනයෙන් එක්‌ව සිට ඇත.

සංගීත ක්‍ෂේත්‍රයට කළ සේවය අගයමින් "කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන්ද පුද ලද පොලොන්ඕවියන් ගුවන් විදුලි සහ රූපවාහිනි නාලිකා රැසකදීම ගීත කතිකා සඳහා ද එක්‌ව සිය අදහස්‌ ප්‍රකාශ කොට ඇත.

තව නොබෝ දිනකින් එළි දකින. "උණ පඳුරක මල් පිපිලා" සංයුක්‌ත තැටිය නිර්මාණයේදී ඔහුට සහය වූ ආචාර්ය රෝහණ වීරසිංහ, විශාරද නන්දසේන කටුවාවල, යන මහත්වරුන්ගේ ස්‌වර රචනාවන්ට ද, කුලරත්න ආරියවංශ, බන්ධුල නානායක්‌කාරවසම්, ප්‍රේමකීර්ති ද අල්විස්‌, කේ. ඩී. කේ. ධර්මවර්ධන, දේශකීර්ති පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි, වෛද්‍ය යසනාත් ධම්මික බණ්‌ඩාර, යන ප්‍රවීණයන්ගේ පද රචනයටත්, නිෂ්පාදන දායකත්වය දැරූ ඩබ්. ඒ. ගයාන් චමින්ද විඡේරත්න, නව සංගීත සංයෝජනය සිදු කළ ජයන්ත රත්නායකටත්, ගීත පටිගත කිරීම හා නාද ශික්‌ෂණය කළ සුනන්ද මෙත්තසිංහයන්ටත්, යුග ගායනයෙන් සහය වූ නිර්මලා රණතුංග, මාලනී බුලත්සිංහල, සහෝදර ගායන ශිල්පිනියන්ටත් ඡායාරූප සහ කවර නිර්මාණය කළ දුන් සිසිර විඡේතුංගයන්ටත්, ජයන්ත අමරතුංග රංගිරි දඹුලු ශ්‍රී ලංකා ගුවන් විදුලියේ අනුරාධ රෝහණ කපුකොටුව මහතාටත්, සැමදා සෙවනැල්ලසේ රැඳෙමින් සියලු කාර්යයන් හිදී සෙනෙහබර සහය ලැබදෙන ආදරණීය බිරිඳ අමරා ධම්මිකා කුමාරි හෙට්‌ටිආරච්චි මහත්මියත් කෘතවේදීව සිහිපත් කරනු ලබන බව ඔහු පවසයි.

ඔහුගේ ජනප්‍රිය ගීත මෙන්ම නව නිර්මාණයන් ද අන්තර්ගත වූ "උණ පඳුරක මල් පිපිලා" සංයුක්‌ත තැටියෙහි ඔහු විසින්ම සැකසූ ස්‌වර රචනාද ඇතුළත්ව ඇති අතර, විවිධ ශෛලීන් උපයෝගී කොට ගනිමින් සෑම තරාතිරමකම වෙසෙන ගී රසකාමීන්ට උපරිම වින්දනීය අත්දැකීම් සමුදායක්‌ මෙහි අඩංගු සුභාවිත ගීතයන්ගෙන් ලැබෙන බව නිශ්චිතය.

පටු ලාභ අපේක්‍ෂාවෙන් තොරව, සංගීතයට පෙම් බඳිමින් කලාව පෝෂණය කරන, විජය සිරිවර්ධන පොලොන්ඕවිට කලා ශිල්පියාණන්ට දිවයින සිනමා කලා මෙසේ සුබ පතන අතර නො. 156/1 විද්‍යාල මාවත, පැපිලියාන, බොරලැස්‌ගමුව ලිපිනයත්, දු. අ. 0779296963 සටහන් කරනු ලබනුයේ ඔහුගේ ගීයට පෙම් බඳින ඔබට ඔහු පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම උදෙසාය.

සුජීව තත්සර

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.