සමනළ ගිර රකිනා සමන් දෙවියෝ

බුදුන් වහන්සේගේ වම් සිරිපතුලෙහි සලකුණ තබා ඇති ශ්‍රී පාද කන්දට අධිපති දෙවියන් වශයෙන් සමන් දෙවියන් සලකති. මෙම දේව වාසස්‌ථානය වන ශ්‍රී පාදය පිළිබඳව ක්‍රි.පූ. යුගයේ සිටම ඓතිහාසික ග්‍රන්ථවල සඳහන්ව තිබේ. එයින් එක්‌ අවස්‌ථාවක්‌ වන්නේ විජය ඇතුළු 700 ක්‌ පිරිස ලංකාවට පැමිණෙන විට සාගරයේදීම සමන්ගිරි පර්වතය දුටු බව පූජාවලියෙහි සඳහන් වීමයි. තවද ක්‍රි.ව. 9 වැනි ශතවර්ෂයෙහි විසූ ඉබන් චුර්දාද්බේ නම් අයෙකු ලක්‌දිවට පා තැබීමට දින 20 කට ප්‍රථම සමනළ කූටය දුටු බව කියයි. ක්‍රි.ව. 1340 දී ලංකාවට ආ ඉබන් බටූතා ද ලංකාවට ගොඩ බැසීමට දින 9 කට ප්‍රථම සමනළ කන්ද දුටු බව කියයි. ද්‍රවිඩ ග්‍රන්ථයක්‌ වූ මණිමේඛලා නම් ග්‍රන්ථයෙහි ද සමන්ගිර පිළිබඳව සඳහන් කොට තිබේ. මේ නයින් බලන විට දේශීය ජනයා අතර පමණක්‌ නොව විදේශිකයන් තුළද ඈත අතීතයේ සිටම සමනළ කන්ද පිළිබඳ මනා දැනුමක්‌ තිබූ බව පෙනේ.

මෙසේ කන්දට අධිපති වූ සුමන සමන් දෙවියන් වෙනුවෙන් ලොකු කුඩා දේවාල රට පුරාම දක්‌නට හැකිය. ඒවා අතර රත්නපුර, සමන්ගිර, දැරණියගල, බොල්තුඹේ හා මහියංගනය ආදි දේවාල ප්‍රධාන වේ. එයින්ද මහියංගනය සමන් දේවාලය විශේෂ වේ. මහියංගන සමන් දේවාලයේ ගැයෙන යාතිකාවකට අනුව සමන් දෙවියන්ගේ මූලස්‌ථානය මහියංගනය බව කියවෙයි. අනෙක්‌ විශේෂ ලක්‌ෂණය වන්නේ සමන් දෙවියන්ගේ සොයුරිය වශයෙන් සැලකෙන මහ ලොකු නමැති දේවතාවියක්‌ වැඳුම් පිඳුම් කිරීමයි. ලංකාවෙහි වෙනත් සමන් දෙවොලක සමන් දෙවියන් සමග මහ ලොකු දෙවඟන එකට වැඳුම් පිදුම් ලබන බවක්‌ නොපෙනේ.

ශ්‍රී පාද කඳු මුදුනේ සමන් දෙවොලට වැදගත් තැනක්‌ හිමි වන්නේය. එනම් වන්දනා සමය තුළ පමණක්‌ පුද පූජා පවත්වන දේවාලයක්‌ වීමයි. ශ්‍රීපාද වන්දනා සමය පටන් ගන්නා විට පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල පන්සලේ සිට පෙරහරින් සමන් දෙවිරුව ශ්‍රී පාද මළුවට රැගෙන යයි. රාජාවලියේ දැක්‌වෙන පරිදි මෙම සමන් දේවාලය පළමු පරාක්‍රමබාහු රජු විසින් ශ්‍රී පාද මළුවෙහි ඉදිකොට තිබේ. පරාක්‍රමබාහු රජ වන විටද ශ්‍රීපාද වන්දනාව ප්‍රචලිතව තිබිණ. ඔහුට ප්‍රථම ලංකාවෙහි පාලකයා වූ මහා විජයබාහු ද ශ්‍රී පාද වන්දනා කොට නා නා විධ පූජෝපහාරයන් කළ බව ඔහුගේ අඹගමු ශිලා ලේඛනයෙහි සඳහන්ය. එහෙත් එහි දේවාලයක්‌ පිළිබඳව සඳහන් නොවන බැවින් රාජාවලියෙහි සඳහන් ප්‍රකාශය පිළිගැනීමට හැකිය.

ඉන් අනතුරුව දඹදෙනිය රාජධානිය කොට ලංකාව පාලනය කළ ෂෂ වන පරාක්‍රමබාහු රජ ස්‌වකීය දේවපතිරාජ අමාත්‍යවරයා ලවා ශ්‍රීපාදයට කළ පූජාවන් පිළිබඳව පූජාවලියෙහි සඳහන්ය. ඒ අනුව සමන් දෙවි රුවක්‌ සකසා රන් රුවනින් ජිවමාන රුවක්‌ මෙන් අලංකාර කොට පෙරහරින් සමනල පව්වට රැගෙන ගොස්‌ මළුවෙහි තැන්පත් කළ බව කියෑවෙයි. එහෙත් පූජාවලියේ එම ප්‍රකාශයෙන් දෙවොලක්‌ ඉදිකිරීම පිළිබඳව සඳහන් නොවන බැවින් 1 වැනි පරාක්‍රමබාහු කළ දේවාලෙයහිම එය තැන්පත් කරන්නට ඇතැයි සිතිය හැකිය.

19 වැනි සියවසෙහි විවිධ විදේශිකයන්a සිරිපා කඳු මුදුනට නැඟ තිබේ. ඒ අතර එමර්සන් ටෙනන්ට්‌ හා ජෝන් ඩේව්ද වෙති. එමර්සන් ටෙනන්ට්‌ සිය "ලංකාව" නම් ග්‍රන්ථයේ දී ශ්‍රී පාදයේ පුද පූජා පවත්වන කුටියක්‌ ගැන සඳහන් කරයි. එය සමන් දෙවොල විය හැකිය. තවද ක්‍රි.ව. 1817 අප්‍රේල් 15 දින ශ්‍රී පාද කඳු මුදුනට ම ගිය ඡේdන් ඩේවි එහිවූ සමන් දේව කුටිය පිළිබඳව පැහැදිලිව සඳහන් කරයි. ඒ අනුව බලන කළ ශ්‍රී පාද කඳු මුදුනේ ඇති සමන් දෙවොල වසර 800 කට වඩා ඉතිහාසයකට උරුමකම් කියයි.

සමන් දෙවියන් පිළිබඳව ඓතිහාසික ග්‍රන්ථවල ප්‍රථමයෙන්ම සඳහන් වන්නේ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය පිළිබඳව දැක්‌වීමේදීය. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ අවස්‌ථාවේ දී මහානාග වනය වූ වත්මන් මහියංගන භූමියේ දී සමන්කුල වැසි සුමන දෙවියන් සෝවාන් ඵලයට පත්වූ බව එහි සඳහන්ය. සුමන සමන් දෙවියන්ට අමතරව තවත් සමන් දෙවියකු පිළිබඳව සඳහන්ය. බුදුන් වහන්සේගේ දෙවැනි ලංකාගමනයේ දී උන්වහන්සේ සමග පැමිණි ෙ-තවන දොරටුවෙහි රැකවලෙහි යෙදී සිටි සමිද්ධ සුමන නම් දෙවියෙකි. මෙම සුමන දෙවියන් සමනළ කන්දට අධිපති සමන් දෙවියන් නොවන බව පැහැදිලිය. එහෙත් ගම්පොළ යුගයේ දී පමණ රචනා වූ නිකාය සංග්‍රහයෙහි ලංකාව ආරක්‌ෂා කරන සිව්වරම් දෙවිවරුන්ගෙනන් එක්‌ අයෙකු වශයෙන් සමන් දෙවියන් හඳුන්වන අතර ඔහු සමන් බොක්‌සල් වශයෙන් නම් කොට තිබේ. සමන් දෙවියන් පිළිබඳව The God of Adams Peak වශයෙන් පර්යේෂණාත්මක කෘතියක්‌ කරන සෙනරත් පරණවිතාන මහතා බොක්‌සල් යන්නෙහි බෝගසාලින් යන අර්ථය ඇති බව කියයි. තවද එහි සමිද්ධි යන්නෙහිම අර්ථය ඇතැයි ද කියයි. වංශකථාවට අනුව නම් අප සාකච්ඡා කරන සුමන සමන් හා සමිද්ධි සුමන යනු දෙවිවරුන් දෙදෙනෙකි.

යම රඡ්ජුරුවෝ හා සුමන සමන් දෙවියන් යනු එකම දෙවියකු වශයෙන් ද පරණවිතාන මහතා සලකා තිබේ. එම අදහස සනාථ කිරීමට පරණවිතාන භූරිදත්ත ජාතකයෙන් ද සාධක ලබා ගනියි. එනම්, භූරිදත්ත ජාතකයේ දැක්‌වෙන වෛදික දෙවියන් අතර

ධාතා විධාත වරුණේ කුවේරෝ
සෝමෝ යමෝ චන්දිමෝ වායු පුරිසෝ
එතෙහි යඤ්ඤං පුථුසො යජිත්වා අප්ඣායතනං අථසබ්බකාමො"
යනුවෙන් සඳහන් කොට තිබීමයි. පන්සිය පනස්‌ ජාතක පොතෙහි ඉහත දෙවිවරුන් පහත පරිදි සඳහන් කොට තිබේ.

"ධෘතරාෂ්ඨ නම් දිවිය රජ්ජුරුවෝද කුවේර නම් දිවිය රජ්ජුරුවෝද සුමන නම් දිවිය රජ්ජුරුවෝද, චන්ද්‍ර දිවිය පුත්‍රයෝද, සූර්ය දිවිය පුත්‍රයෝද යන මේ සියලු දිවිය රජ්ජුරුවෝ..."

පාලි භාෂාවෙන් යමෝ වශයෙන් හඳුන්වා ඇති දෙවියන් ජාතක පොතෙහි "සුමන" වශයෙන් සිංහලට නඟා තිබීම පරණවිතානගේ ඉහත නිගමනයට බලපා තිබේ. තවද පරණවිතාන පෙන්වා දෙන පරිදි ධර්මරාජ යනුද එම දෙවියන්ට යෙදෙන පරියාය පදයකි. ශ්‍රී පාදයට නඟින විට හමුවන ධර්මරාජ නම් ස්‌ථානයට එම නම ලැබී ඇත්තේ යම රජු පදනම් කොටගෙන යෑයි කියනු ලැබේ. එමෙන්ම ලාංකික ප්‍රතිමා කලාවටද යම දෙවියා එකතුවි තිබේ. පොළොන්නරුව වෛශ්‍යභුජංග මණ්‌ඩපයේ දොරටුවෙහි කැටයම් කළ අලංකාර රූප දෙකම යම රූ කම් යෑයිද පරණවිතාන කියයි.

ඒ කෙසේ වුවද යම හා සමන් දෙවියන් පිළිබඳ ජන සමාජයේ ආකල්ප ඉඳුරාම එකින් එකට වෙනස්‌ය. සුමන සමන් බුදුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් වූ අයෙකි. සුමන සමන් දෙවි නාමය සමග හැඟී යන්නේ මෘදු, ධාර්මික යහගුණයෙන් පිරිපුන් දෙවියෙකි. එහෙත් "යම" නාමය සමග බිහිසුණු, කෲර පුද්ගලයකු සිතෙහි චිත්‍රණය වේ. ඒ සාමාන්‍ය ජනයා සුමන හා යම හඳුනාගත් ආකාරයයි. යමගෙන් කිසිදා කිසිවෙක්‌ යහපත් දෙයක්‌ අපේක්‌ෂා නොකරති. ඒ අනුව යම හා සුමන යනු එකම දෙවියෙකු වශයෙන් ජන සමාජය පිළිගත් බව නොපෙනේ. සමන් දෙවියන් යම වශයෙන් පමණක්‌ නොව ලක්‍ෂ්මණ වශයෙන්ද හඳුන්වා ඇත. රාමායණයෙහි සඳහන් පරිදි ලක්‍ෂමණ කුමරුට දේවාත්මය ලැබීමෙන් පසුව හින්දු ජන ඇදහිල්ලට ඇතුල්වූ ලක්‍ෂමණ සහ සමන් දෙවිඳු එක්‌ අයෙකු බව පෙනේ. එහෙත් බෞද්ධ භික්‌ෂුවක්‌ විසින්ම රචිත ජිනකාලමාලි නම් ග්‍රන්ථයෙහි සමන් හා ලක්‍ෂමණ දෙවිවරුන්ගේ නම් වෙන වෙනම සඳහන් කරයි. ඒ සියම් රටේ රෝච රාජ නම් පාලකයා සිරිධම්ම නුවර සිරිධම්ම නම් රජු සමග කළ සාකච්ඡාවේදී ලංකා ආරක්‌ෂක දෙවිවරුන් අතර සුමන, රාම, ලක්‌ඛණ, චක්‌කතාම යන දෙවිවරුන් සිටි බව කියයි. එහිදි සාකච්ඡා කෙරෙන ලක්‌ඛණ හා ලක්‍ෂමණ යනු එක්‌ අයෙකු විය හැකි මුත් සුමන යනු ලක්‍ෂමණ නොවන බව ජිනකාලමාලියෙහි සුමනගේ හා ලක්‌ඛණගේ නම් දෙකම සඳහන් වීමෙන් පෙනේ. සමන් දෙවියන් ලක්‍ෂ්මණ වශයෙන්ද හැඳින්වීම ආරම්භ වූයේ බ්‍රාහ්මණ බලපෑම් නිසා යෑයි මහාචාර්ය අභය ආරියසිංහ මහතා කියයි. කෝට්‌ටයේ සවැනි පරාක්‍රමබාහු රජුද සමන් දේවාලය ප්‍රතිසංස්‌කරණය කොට එය "ලක්‍ෂ්වීමන් ලක්‍ෂමන් මහා දේවාලේ" වශයෙන් හඳුන්වා තිබේ. කෝට්‌ටේ යුගයේ දි රාජ්‍යය අනුශාසනාවෙහි බ්‍රාහ්මණයන් නියෑලි සිටි බැවින් බ්‍රාහ්මණ බලපෑම් සිංහල සමාජයට ඇතුල්වීම අරුමයක්‌ නොවේ.

සමන්තභද්‍ර යනු මහායාන බෝධි සත්වවරයෙකි. සමන්තභද්‍ර යනු සමන් දෙවියන් යෑයි ඇතැම්හු ප්‍රකාශ කරති. ලක්‌දිව මහායාන අදහස්‌ නම් ග්‍රන්ථයේ දි මොරටුවේ ශාසනරතන හිමියෝද මෙම අදහස ඉදිරිපත් කරති. පියුෂීන් නමැති බෝධිසත්වයෝ චින වැසියෝ ඔව්ෂාන් කන්දේ වාසය කරන බව කියති. පියුෂින් යනු ලංකාවේ සමන්තභද්‍ර යෑයි ඇතැම්හු කියති. සුමන දෙවියන්ද ලාංකිකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ දෙවියෙකි. ඔහුද සමනළ කන්දෙහි වාසය කරයි. ඒ අනුව සමන්තභද්‍ර හා සුමන දෙවියන් අතර සමානකම් තිබේ. එබැවින් මෙම දෙවිවරුන් දෙදෙනාම එක්‌ අයෙකු වශයෙන් සැලකීමට හැකිය. එහෙත් ලංකා ශාසන ඉතිහාසය අධ්‍යයනයේ දි ලංකාවට මහායාන දර්ශන පැමිණීමට බොහෝ කලකට ප්‍රථම සිට සමන් දෙවියන් පිළිබඳ විශ්වාසය ලාංකික ජන සමාජය තුළ තිබුණු බව පෙනේ. එබැවින් සමන් හා සමන්තභද්‍ර යනු එකම දෙවියෙකු බව පිළිගැනීමට නොපුළුවන.

සමන් දෙවියන් හඳුනා ගැනීමේ දී ඉහත දැක්‌වූ ආකාරයේ විවිධ අදහස්‌ ඉදිරිපත් වන අතරම සමන් දේව ඇදහිල්ල ලංකාවට බුදු දහම පැමිණි මුල් අවධියේ සිට අද දක්‌වා පැවැත එන බව පෙනේ. අනුරාධපුර හා පොළොන්නරු යුගයේ දි සමන් දෙවි ඇදහිල්ල වඩා ජනප්‍රිය නොවුණද දඹදෙණි හා කෝට්‌ටේ අවධිවලදි එය ජනප්‍රිය ඇදහිල්ලක්‌ව පැවැති බව දැකිය හැකිය.

රංජිත් ගොඩකුඹුර

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.