ප්ලාස්‌ටික්‌ කුඩ නීතියේ පාඩම!

එළවළු හා පලතුරු ප්‍රවාහනය සඳහා ක්‍රියාත්මක කරන ලද "ප්ලාස්‌ටික්‌ කූඩ" නීතිය රට පුරා ආන්දොaලනාත්මක ක්‍රියාදාමයකට මුල් වූ අයුරු අපි දිටිමු. ජනාධිපතිවරයා මැදිහත් නොවන්නට වෙළෙඳ අමාත්‍යාංශයේ නිල බලධාරීන්ට තවත් බොරු පණ්‌ඩිතකම් කියමින්ද, පුරසාරම් දොඩමින්ද තව තවත් ප්‍රශ්නය අවුල් කිරීමට ද ඉඩ තිබුණි. කෙසේ හෝ ජනාධිපතිවරයාගේ කාලීන මැදිහත්වීම ගොවි ජනතාවට සහනයක්‌ ද, සිද්ධියෙන් පීඩාවට පත් අයට ඇස්‌වැසිල්ලක්‌ද වූ බව නිසැකය.

ජනමනස හඳුනා නොගෙන ක්‍රියාත්මක කරන ඕනෑම නීතියක්‌ අර්බුදයක්‌ බවට පත්වන අයුරු මෙම සිද්ධියෙන් ද ලබාදී තිබෙන පාඩම බව අපගේ අදහසයි. එහෙත් දේශපාලනයේදී පාඩම් ඉගෙන ගැනීමට හෝ ජන හඬට සවන් දීමට හෝ බලධාරීන් දක්‌වන අකමැත්ත අප බොහෝ අවස්‌ථාවල දැක පුරුදු දෙයකි. පාර්ලිමේන්තුවේදී කතානායක චමල් රාජපක්‍ෂ මහතා කියා සිටියේ ද ප්‍රශ්නයක්‌ විසඳීමේදී එහි හැම පැත්තක්‌ම විමසා බැලිය යුතු බවත් එහි පහළ මට්‌ටමේ සිට ඉහළටම සාකච්ඡා කළ යුතු බවත්ය.

දේශපාලනය යනු ජනතාව සමගම යා යුතු ගමනක්‌ විනා බලය සමග හෝ බලයෙන් උදම් වී හෝ යා යුතු ගමනක්‌ නොවේ. තර්ජන ගර්ජන යනු නිතරම ජනතාව නිහඬ කළ හැකි දෙයක්‌ ද නොවේ. මෙම ප්‍රශ්නයේදී ගොවියන් හා වෙනත් වෙළෙන්දන් ඇතුළු බොහෝ දෙනෙක්‌ වීදි බසිමින් රජයට එල්ල කළ අභියෝගය ඉතා ප්‍රබලය.

වෙළෙඳ ඇමැතිවරයා සිය නීතිය ක්‍රියාත්මක කරන්නට තෝරා ගත් කාලසීමාව දෙස බලද්දීත් පැහැදිලි වන්නේ ඔහුට උපදෙස්‌ දුන් අයට එළඹෙන නත්තල් සමය හෝ උදාවන නව වසර පිළිබඳ හෝ අල්පමාත්‍ර හැඟීමක්‌වත් නොවූ බවය. මහජනතාවට වැඩිපුරම ආහාර ද්‍රව්‍ය වුවමනා කෙරෙන අවස්‌ථාවක්‌ මේ හිතුවක්‌කාර අත්හදා බැලීමකට තෝරා ගත්තේ ඇයි?

එළවළු හා පලතුරු ප්‍රවාහනයේදී දැනට භාවිත වන ක්‍රමය නිසා සිදුවන නාස්‌තිය වලක්‌වා ගැනීම අත්‍යාවශ්‍ය දෙයකි. වෙළෙඳ අමාත්‍යාංශයේ නව ක්‍රමයෙන් මේ නාස්‌තිය හා විනාශය වලක්‌වා ගත හැකි බවද ඇත්තය. එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් හෝ විධිමත් අවබෝධයක්‌ ගොවීන්ට හා වෙළෙඳුන්ට ලබාදී නොතිබුණි.

ඕනෑම කරුණක්‌ දේශපාලනයේදී අලෙවි කිරීමේ අමන පිළිවෙතක්‌ අපට තිබෙන බවද ඇත්තය. මෙකී විරෝධතාවලදීත් අපි එබඳු දේ දිටිමු. බලහත්කාරයෙන් ප්ලාස්‌ටික්‌ කූඩ ගිණි තැබූ බවක්‌ද සමහරු කීහ. කුමක්‌ වුවත් ඒවා මුග්ධ අමන ක්‍රියාකාරකම්ය.

ආණ්‌ඩුව විසින්ම අද දවසේ විපක්‍ෂයට ප්‍රයෝජනය සඳහා විවිධ අවස්‌ථා නිර්මාණය කරනු ලබන බවද පෙනේ. එහෙත් විපක්‍ෂයට අද ඒවා නිවැරදි දේශපාලන දැක්‌මකින් ජනතාව අබියසට ගෙන ඒමට නොහැකි බවද අප දකිමු. ඒ ඔවුන්ට ඔවුන්ගේ අර්බුද හා අවුල්වලින්ද ගොඩඑන මඟක්‌ නොමැති හෙයිනි.

අනෙක්‌ අතට කවුරුන් කෙසේ අර්ථ දැක්‌වුවත් මේ රටේ වැඩිපුරම පීඩාවට ලක්‌වන්නෝ ගොවියෝ හා පාරිභෝගිකයෝම වෙති. ගොවියාට සිය නිෂ්පාදනය සඳහා සහතික මිලක්‌ නැත. ගොවියාට තුට්‌ටු දෙකක්‌ ගෙවන අතරමැදියා එළවළු හා පලතුරු වෙළෙ¹ම තම අභිමථාර්තය පරිදි පවත්වාගෙන යයි. එනිසා ප්‍රවාහන ගැටලුව මෙන්ම ගොවි ජන ජීවිතය නඟාසිටුවීම ද රජයේ වගකීමකි.

කෙසේ හෝ මෙම ප්ලාස්‌ටික්‌ කූඩා ප්‍රශ්නය විසදා ගැනීමට ජනාධිපතිවරයාගේ පිහිට පැතීමට සිදුවීමෙන් අපට හැඟෙන්නේ පාර්ලිමේන්තුව තුළ මෙබඳු සරල කරුණක්‌වත් සාධනීය ලෙස විස¹ ගත නොහැකි බවද? ඇමැතිවරයකුට තමන්ගේ විෂය ක්‍ෂේත්‍රය තුළ නිසි උපදෙසක්‌ දෙන්නට ප්‍රාමාණිකයක්‌ නැති බවද?

වෙළෙඳ ඇමැතිවරයාගේ නිලධාරීන්ට "ප්ලාස්‌ටික්‌ කූඩ" සංකල්පයක්‌ තිබුණත් පරිසර ඇමැතිවරයාගේ නිලධාරීන්ට ඇත්තේ ප්ලාස්‌ටික්‌, පොලිතින් මේ පරිසරයෙන් ඉවත් කිරීමේ සංකල්පයකි. මෙයද එකම රජයේ ප්‍රතිචාර දෙකකි. දැනටමත් අප ප්ලාස්‌ටික්‌ කඳුවලට යටවීමේ අවදානමක්‌ තිබියදී මෙබඳු ප්ලාස්‌ටික්‌ කූඩා නීතියත් සමග සිදු විය හැකි අහිතකර තත්ත්වයක්‌ ද තිබිය යුතුමය.

ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන හා ප්ලාස්‌ටික්‌ බහලුම් සඳහා වැය වන පිරිවැයද සැළකිය යුතු එකක්‌ බව කියති. එනිසා ඊට වඩා පාරිසරිකව අපට ගැලපෙන ඇසුරුම් ක්‍රමයක්‌ තෝරා ගත හැකිද යන්නත් අවධානයට ගත යුතුය. දැනට පවතින ඇසුරුම් ක්‍රමය හා ප්‍රවාහනය නාස්‌තියට හා විනාශයට වැඩි ඉඩක්‌ තිබෙන බවද සැළකිල්ලට ගෙන සියලු අංශ සමග සාකච්ඡා කර මෙයට විසඳුමක්‌ සොයා ගැනීම උචිත බව අපගේ යෝජනාවයි.

හොඳ හිතින් කරන හොඳ දෙයකින් වුවද සිදුවන්නේ නරක හා අසහනයක්‌ නම් ඒ ගැන දෙවරක්‌ සිතිය යුතුය. එසේම ජනතාවට බලපාන ප්‍රශ්නවලදී ජනතා ප්‍රතිචාර පිළිබඳ සංවේදී නොවීමද රජයේ ස්‌ථාවරත්වය මෙන්ම ජනතාවගේ පැවැත්මට ද හානිදායකය. හිතුවක්‌කාර නිලධාරීහු මෙන්ම පුරසාරම් දොඩන ඇමැතිවරු ද ජනාධිපතිවරයා දෙසට හෝ හැරී ඒ පාඩම උගත යුතු වෙති. තර්ජන, ගර්ජන යනු ප්‍රජාතන්ත්‍රවාදයේ වෙමලම්ද නොවේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.