බුදු පියාණනි,
මාද ඒ සුරම්‍ය පෙම් මගට යොමු කළ මැනවි !


ආනන්ද හිමියෝද ඡේතවනාරාමයට නුදුරු වෙනත් ගමක පිඬු සිඟා වඩින්නාහු ආපසු ඒමට තරමක්‌ ප්‍රමාද වූහ. උන්වහන්සේගේ සද්ධිවිහාරක භික්‌ෂුහු එයින් තරමක්‌ කැළඹීමටද පත්වූහ. ඒ සඳහා ප්‍රමාණවත් හේතුද විය. එකක්‌ නම් ඒ වන විට බුදුන් වහන්සේට හා බුදුදහමට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබුණු කුමන්ත්‍රණ හා සතුරු ක්‍රියාකාරකම්ය. බුදුන් වහන්සේට ලැබෙන කිත් පැසසුම් අන් ආගම්වල ක්‍රියාකාරීන්ට දරා ගත නුහුණු විය. ඔවුහු නිබඳවම කුමක්‌ හෝ නොතරම් දෙයක්‌ කිරීමට වෑයම් කළහ. බුදුන්ටද සංඝයාටද අවමන් ගැරහුම් කිරීමට නොයෙක්‌ ප්‍රබන්ධ කතා ගොතා ප්‍රචාරය කළහ. ෙ-තවනාරාමයට පවා මාගම්සෝලී චෝදනා එල්ල කළහ. එහෙත් ඒ කිසිවකින් පලක්‌ නොලද්දහ. බුදුන් වහන්සේ වෙත යන ඕනෑම කෙනෙක්‌ ප්‍රසාදයට පත් වීමත්, බුදු දහම පිළිගැනීමත් බොහෝ ආගම් නිකායන්හි වෛරයට හේතු වී තිබුණි.

එකල දඹදිව සිටි ඇතැම් න්‍යායාචාර්යවරුද ඔවුන්ගේ අනුගාමිකයෝද බුදුන් සමඟ වාදයට පැමිණ පරාජයටද පත්ව සිටියහ. ශ්‍රමණ භවත් ගෞතමයන් දණ ගස්‌වන්නෙමියි මැත දොඩා ගිය අය බුදුන්ගේ පා මුළ වැටුණාහ.

"මගේ ඉගැන්වීම වාදයක්‌ හෝ දෘෂ්ටියක්‌ නොවේ. එය මනෝමය අනුමානයක්‌ද නොවේ. එය මවිසින් අතැඹුලක්‌ සේ පසක්‌ කර ගන්නා ලද්දකි. මගේ දැක්‌ම නම් සියල්ල අනිත්‍ය බවය. මේ ලොව මැවුම්කරුවෝ නොවෙති. මා අත්දුටු සත්‍යය ඔබටද නුවණින් දැක ගත හැක්‌කෙහිය. මම ඒ සඳහා මාර්ගය පෙන්වන්නෙක්‌මි.

වරක්‌ බුදුහු දීඝනක සමඟ වදාළහ.

අන්‍යාගමික රැහැණින් බැඳුණු සමාජයක එබඳු නිදහස්‌ චින්තනයක්‌ අරභයා නැගෙන අභියෝගයද සුළු පටු නොවේ. ෙ-තවනාරාමයට පැමිණ බුදුන් දැක දහම් ශ්‍රවණය කිරීම භාග්‍යයක්‌ ලෙස බොහෝ දෙනෙක්‌ සිතීමද ඇතැම් අයට හිස රදයක්‌ම විය.

මේ සියලු තතු බුදුහු ඉඳුරා දත්හ. බුදුන් වහන්සේ ඒ පිළිබඳව උපේක්‍ෂාවෙන් බලන ලෙස නිතරම අවවාද අනුශාසනාද කළහ. එහෙත් ඇතැම් පුහුදුන් භික්‌ෂුහු ඒවා විඳදරා ගැනීමට අසමත් වූහ. ආනන්ද හිමියන් පිඬු සිඟා ගොස්‌ පෙරළා නොපැමිණීම වඩාත් ප්‍රශ්නකාරී වූයේද ඒ භික්‍ෂූන් වහන්සේලාටමය.

කෙසේ හෝ ඒ දිනවල භික්‌ෂුන් වහන්සේලාට දානය ලැබීමද සීමා විය. පරිසරයද ගිනියම් විය. ගහ කොළ නිසරු විය. වැසි ඉතා මඳ විය, ඇතැම් දිනවල ගමට පිණ්‌ඩපාතය සඳහා වැඩම කළ භික්‌ෂුහු හිස්‌ පාත්‍ර රැගෙන ආපසු පැමිණියහ. මහතෙරවරු පැන් ස්‌වල්පයක්‌ පානය කර උපවාස සීලයෙන් වැඩ උන්හ. ඒ බව දත් බුදුන් වහන්සේ වදාලේ ආහාර ප්‍රශ්නය ධනීන් කීප දෙනෙකුට හැර ජනතාවටම බලපාන්නක්‌ බවය. වරක්‌ භික්‌ෂුවක්‌ අශ්ව වෙළෙන්දෙකු ගෙන් ලැබුණු "යව" ස්‌වල්පයක්‌ වැළඳුවේය.

බුදුන් වහන්සේ එලෙස යව වැළ» භික්‌ෂුව තමන් වහන්සේ වෙත කැඳවා ප්‍රශංසාවක්‌ද කළ සේක. තමන් වහන්සේ විසින් දුෂ්කර ක්‍රියා කළ සමයෙහි අනුදත් ආහාර රටාව පිළිබඳ විග්‍රහයක්‌ද කළ සේක. ඒ තතු ඇසූ භික්‌ෂුව වඩාත් දිරිමත් විය.

අනතුරුව ආනන්ද හිමියෝ කොහි සිටිත්දැයි දිවැසින් බැලූ බුදුන් වහන්සේ එහිමියන් නිරුපද්‍රිතව වැඩ සිටින බව තහවුරු කර ගත් සේක. එසේම උන්වහන්සේ එගම මායම්කාර ලියකගේ දැලකට හසුවීමේ අනතුරකට ළං වෙමින් සිටින අයුරුද බුදුහු පසක්‌ කළහ.

ආනන්ද හිමියෝ මේ කියන ගම පිඬු සිඟා වඩිමින් සිටියහ. එය සාමාන්‍යයෙන් දිළිඳු ගම්මානයක්‌ විය. ගොවිතැනින් හෝ වෙනත් කුලියකින් හෝ ජීවිකාව කරගත් එගම්වැසියෝ තුනුරුවන් කෙරෙහිද මහත් ප්‍රසාදයට පත්ව සිටියහ. එහෙත් එගම සම්මත කුලහීන ගමකි. කුලවාදය යනු එකල ව්‍යාප්තව තිබුණු බිහිසුණු උමතුමකි. කුලහීන කතකට මඟ තොට බැස යැමද තහනම් විය. එසේ යන්නී නම් තමන් අබියසට එන කිසිවකුගේ දැසට හසු නොවීමටද වග බලා ගත යුතු විය. යම් කුලවතෙක්‌ හෝ කුල කතක්‌ ඒයන මඟ වෙත් නම් ඔවුන්ගේ ඕනෑම දඬුවමකට යටත් වීමටද කුලහීනයන්ට සිදුවේ.

බුදුහු ඉඳුරාම කුලවාදය බැහැර කළහ. නිවන් මගට ජාති, කුල භේදය ප්‍රශ්නයක්‌ නොවන බවද අවධාරණය කළහ. ආනන්ද හිමියෝද ඒ බුදු වදන් හිසින්ද හිතින්ද දරාගත්හ. එනිසා එගම කෙබඳු ගමක්‌දැයි ආනන්ද හිමියෝ නොවිමසූහ. බිමට නමා ගත් හිසින් යුතුව සන්සුන්ව වඩිමින් සිටි අනඳ හිමියන්ට දැඩි පිපාසයක්‌ දැනුණි. දෙපස විමසිල්ලෙන් නිරීක්‍ෂණය කළද පේන මානයක පැන් තොටක්‌ හෝ පැන් තලියක්‌ නොදුටුවේය. විමසිල්ලේ තවත් ස්‌වල්ප දුරක්‌ ගමන් කළ ආනන්ද හිමියෝ අසල ළිඳක පැන් පුරවමින් සිටි යොවුන් ලියක්‌ දුටහ. සිය පිට දිගට වරලස මුදා හළ ඇය ළිඳට නැමී කඹයකින් දිය අදින ආකාරයද උන්වහන්සේ දුටහ.

එසඳ යොවුන් ලිය සිතන්හී මේ ශ්‍රමණ තෙමේ මා කෙරෙහි ලොබින් මදෙස බලන්නෙහිය. රන්වන් සිරුරැති ඔවුන්ගේ රුව කහ සිවුරට වඩාත් උද්දීපනය වී පෙනේ. ශාන්ත නුවන් ද වැඩුණු දෙබැමද සිත් බඳනා සුළුය. එහෙත් හේ මා පහත් කුළ ලියක්‌ බව නොදන්නා සෙයකි.

ආනන්ද හිමියෝ මොහොතක්‌ නතරවී නැගණිය මම දැඩි සේ පිපාසිතව සිටිමි. ඉඳින් ඔබට හැකිනම් මෙම පාත්‍රයට පැන් ස්‌වල්පයක්‌ දුන මැනැවැයි කීහ.

එවිට යොවුන් ලිය කියන්නී,

ඔබ මෙගම තතු නොදන්නා ආගන්තුකයෙක්‌ බව පෙනේ. අපි ඉතා කුලහීන අය වන්නෙමු. අපට අපගේ කුලයෙන් බැහැර අයෙක්‌ සමඟ අල්ලාප සල්ලාව තබා වචන මාත්‍රයක්‌ හෝ පැවසීම තහනම්ය. යම් හෙයකින් මා මෙසේ ඔබ සමඟ සිටින වගක්‌ දැනගත හොත් මට මහත් වනසකි. ඉතින් කෙසේ නම් පැන් ලබා දිය හැකිද?

අනන්ද හිමියෝ යළිත් ඇයට මෙසේ කීහ.

නැගණිය මම බුද්ධ ශ්‍රාවකයෙක්‌මි. බුදු සසුනෙහි කිසිදු කුල හෝ ජාතිභේදයක්‌ නැත. ඇත්තේ සමානතා ගුණය පමණි. උස්‌ පහත් හෝ ධනවත් දුප්පත් ප්‍රභේදයක්‌ද නැත්තේය. ඔබ මගේ පිපාසයට පැන් පොදක්‌ දෙන්නෙහි මගේම ඉල්ලීම අනුවය. එනිසා ඔබට නපුරක්‌ වීමට ඉඩක්‌ද නැත. යම් හෙයකින් එබඳු දොසක්‌ එල්ල වුවහොත් මම ඉදිරිපත්ව ඔබ සපුරා නිදොස්‌ බවද කියන්නෙමි.

ආනන්ද හිමියන්ගේ කාරුණික වදන් ඇසූ ඕ තවත් උන්වහන්සේ කෙරෙහි බැඳුණි. තමන්ට ජීවිතයෙහි කිසි දිනක මෙබඳු මුදු මොළොක්‌ ප්‍රතිචාරයක්‌ නොලැබුණු බව සිහිපත් කළ ඕ බෙහෙවින් උද්දාමයටද පත් වූවාය. උන්වහන්සේ මා කෙරෙහි මේසා ප්‍රේමණීය වන කල්හි මට එයට පිටුපාන්නට හේතු නැත්තේය. දිවි ගියත් උන්වහන්සේට ජලය දෙන්නෙමි යි සිතද දැඩි කර ගත්තාය.

ආනන්ද හිමියෝ ඇය තුළ වූ මෙම වැරදි අවබෝධය නොදන්හ. උන්වහන්සේ ඇගේ ක්‍රියාව මහත් සේ අගයන්නේද එහෙයින්මය. යොවුන් ලිය විසින් ලබා දෙන ලද පැන් සිත්සේ වැළ» උන්වහන්සේ පාත්‍රයද පැන්වලින්ම පුරවා ගෙන සක්‌මනින්ම ඉදිරියට ඇදුණු සේක.

එදින රාත්‍රිය එම යොවුන්ලිය ගෙවන ලද්දී අපූර්ව චමත්කාර සිතිනි. ඇය දහවල් වූ සියල්ල එකින් එක සිහි කරන්නට වූවාය. ආනන්ද හිමියන්ගේ රූ සොබා සිතින් සිත්තම් කරන්නටද වූවාය. උන්වහන්සේගේ පැහැපත් සිරුර ඇය අබියස මැවුණි. මුළු රැයම නිදි වර්ජිතව ගෙවූ ඇය සිතින් එහිමියන් සමඟ රිසි සේ හිස හැරුණු හැරුණු පටු මාවත් දිගේත්, වෙල් එළියේත් ඇවිද ගියාය. මිහිරි ගී ගයමින් නටන්ටද වූවාය.

තම දියණිය තුළ අලුත් වෙනසක්‌ ඇති බව ඇගේ මවද දුටුවාය. එහෙත් ඇය කිසිවක්‌ නොදොඩා විමසිල්ලේම සිටියාය. පසු දින වේලාසණින්නම ඇය ළිඳ වෙත යන අයුරුද මව දුටුවාය. ඇය ළිඳ අද්දරට වී පටු මාවත දෙසට නෙත් යොමා සිටියද උන්වහන්සේ දැක ගත නොහැකිව මහත් තැවුල් සිතින් ආපසු පැමිණියාය. නිවසට පැමිණි ඕ නොකා නොබී වැතිර සිටියාය. එසඳ මව ඇය අමතා කුමක්‌ හෙයින් මෙලෙස උපවාස කරන්නීදැයි විමසා සිටියාය. එවිට ඇය සියලු තතු මවට කීවාය. යම් හෙයකින් ආනන්ද හිමියන් නොලැබෙන්නේ නම් නිරාහාරව මිය යන බවද ඕ දැඩි සේ කියා සිටියාය.

මෙම තරුණියගේ මව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යනාදියෙහිද ශුර වැන්දඹුවකි. කුමක්‌ හෝ උපක්‍රමයකින් ආනන්ද හිමියන් නිවසට කැඳවා සිය දියණියගේ අභිමතාර්තය ඉටු කර දිය යුතු යෑයිද ඕ දැඩිව සනිටුහන් කර ගන්නීය. පසුව ඇය සිය දියණිය අමතා ඒ බව දැනුම් දී දුක්‌ නොවී ආහාර අනුභව කරන ලෙසද ඉල්ලා සිටියාය. එහෙත් ඇය තුළ කිසියම් පසු බෑමක්‌ද විය. බුද්ධ ශ්‍රාවකයෝ යනු කිසි දින ස්‌ත්‍රී පාර්ශ්වයෙහි නොබැඳෙන්නෝය. ජීවිතය දුකක්‌ සේ ගෙන එයින් එතෙර වීම සඳහා බවුqන් වඩන්නෝය. එහෙත් මේ හසරක්‌ නොදත් දියණියට ඒ තතු පහදා දිය නොහැක්‌කේය. ඕ ප්‍රේමාතුරව සිටින්නී එහිමියන් කෙරෙහි බිඳවා ලීමටද නොහැක්‌කේය. එනිසා පළමුව මඟට ගොස්‌ උන්වහන්සේ සමඟ කතිකා කර, දනට ඇරයුම් කරන අයුරින් කැඳවා මුළාවට පත්කරවා දියණියට සරණ පාවා දිය යුතු යෑයිද සිතුවාය.

ආනන්ද හිමියන්ට මුහුණ පෑමට සිදුවන උවදුර දිවැසින් දුටු බුදුහු වහාම ඒ ගමට තවත් භික්‌ෂුන් වහන්සේ නමක්‌ පිටත් කරවා උන්වහන්සේ සමඟ ආපසු එන ලෙසට උපදෙසක්‌ද දුන් සේක.

භික්‌ෂුන් වහන්සේද නොලස්‌ව ඒ ගමට ගොස්‌ ආනන්ද හිමියන් සොයමින් යන්නේ ඒ නිවස අසලටම ළඟාවිය. තම නිවස ඉදිරිපිට තවත් භික්‍ෂූන් වහන්සේ නමක්‌ රැඳී සිටින අයුරු තරුණියගේ මව දුටුවාය. අනතුරුව ඇය නිවසින් පිටතට පැමිණ උන්වහන්සේ සමඟ කතා කළාය. තව ස්‌වල්ප වේලාවකින් ආනන්ද හිමියන් තම නිවසෙහි දහවල් දානය සඳහා වඩින බවද උන්වහන්සේටද ඒ සඳහා ආරාධනා කරන බවද මව කීවාය.

ඉනික්‌බිති ආනන්ද හිමි සහ අනෙක්‌ භික්‍ෂුවද ඒ නිවසේ දන් වැළ»හ. එකල්හි මව සිතන්නී දැන් කිසිසේත් ආනන්ද හිමියන් රඳවා ගත හොත් නපුරකි. මේ ආගන්තුක භික්‍ෂුව ඉදිරිපිට එබඳු දෙයක්‌ද කළ නොහැක. එනිසා උන්වහන්සේගෙන්ද මෙයට පිහිටක්‌ අයෑද සිටීම මැනැවයි සිතා මෙසේ කීවාය.

මේ සිටින්නී මගේ එකම දියණියය.s ඇය ඔබගේ මිත්‍ර මේ ආනන්ද හිමියන් කෙරෙහි ප්‍රේමයෙන් පසු වන්නීය. ගිහිගෙය හැර දමා සිටින එහිමියන්ට පෙම් කිරීම නිසරු දෙයක්‌ බව කීවත් ම දියණිය එය නොපිළිගන්නීය. අද ඔබ වහන්සේ මෙතැනට නොපැමිණියේ නම් මේ හිමියන් සිවුරු හරවා හෝ දියණියන්ට පාවා දිය යුතුය යන දැඩි සිතක්‌ මා තුළ විය. එහෙත් එය නොහොබිනා වග දැන් මම දනිමි. මගේ දියණිය කෙරෙහි අනුකම්පා කර ඇය ඉන් මුදා ගත හැකි උපදෙසක්‌ දිය හැකි නම් අගේය.

ඒ ඇසූ භික්‌ෂූන් වහන්සේ ඉතා සන්සුන්ව මෙසේ කීහ.

"මෑණියනි මේ ගැටලුව මට විස¹ දිය නොහැක්‌කේය. එයට වඩා සුදුසු වන්නාහු අපගේ බුදු පියාණෝය. බුදුහු නම් මේ බව දුකට අසම සම වෙදැදුරෙක්‌ සේ වෙතී. මෙ සසර වසනා සියලු සතුන්ට එලෙස පිහිට වන කිසිදු දෙවියෙක්‌, බඹෙක්‌ හෝ වෙනත් බලයක්‌ නොවෙති. අප සිව් දෙනාම ෙ-තවනාරාමයට ගොස්‌ මේ බව සැළකර බුදුන් වහන්සේගෙන්ම උපදෙසක්‌ පතමු.

මුළදී නම් යොවුන් ලිය ඒ යෝජනාවට එතරම් ප්‍රිය නොවූවාය. ඇයට වුවමනා වූයේ එතැන්හිම සියල්ල විස¹ ගැනීමය. පසුව ආනන්ද හිමියෝද බුදුන් වහන්සේ ඉදිරිපත් කරන විසඳුමක්‌ බාර ගැනීමට එකඟ බව කීහ. එවිට ඇය මව සමඟ බුදුන් වහන්සේ වෙත යැමට කැමැත්තද පල කළාය.

ආනන්ද හිමියන් ඇතුළු පිරිස ඡේතවනාරාමයට එද්දී හවස්‌ වී තිබුණි. ඡේතවනාරාම පරිශ්‍රයෙහි තෙල් පහන්ද දැල්වෙමින් තිබුණු අතර බුදුන් වහන්සේ දම් සභාවෙ හිම අසුන් ගෙන වැඩ සිටියහ. ඒවේලෙහි උන්වහන්සේ වැඩ සිටියේද ඒ පිරිස අපේක්‍ෂා වෙන්මය. ශාලාවේ පැතිර තිබුණේ දැඩි නිහඬතාවකි. බුදුහු අමුතුවෙන් කිසිවක්‌ නොවිමසාම යොවුන් ලියගෙන් මෙසේ විචාළහ.

ඔබ මේ ආනන්ද හිමියන්ට දැඩි සේ ප්‍රේම කරනවා නේද? ඒ ප්‍රේමය නිසා ඔබට ජීවිතයත් එපා වී තිබෙනවා නේද? මා කැමතියි ඔබට පිහිටවීමට.

යොවුන් ලිය ඒ අසා මහත්සේ පුමුදිත වූවාය. බුදුන් වහන්සේගේ කාරුණික විලාසයද ප්‍රසන්න බවද ඇයගේ සිතට තදින් කාවැදී ගියේය.

එසේය බුදු පියාණනි, මම මගේ ජීවිතයටත් වඩා ආනන්ද හිමියන්ට ප්‍රේම කරන්නෙමි. උන්වහන්සේ මගේ යොවුන් හද කුල්මත් කර, මගේ ජීවිත ආශාවන් අප්‍රමාණව වැඩි කළා. උන්වහන්සේගේ දැසීන් ගලා යන ප්‍රේමය මා හද නිවා සුවපත් කරවන සිසිලසක්‌ වගේ. එහි මිහිර, චමත්කාරය මට වචනයෙන් කිව නොහැකියි.

අනතුරුව බුදුහු මෙසේ විමසූහ.

හොඳයි ඔබ ප්‍රේම කරන්නේ උන්වහන්සේගේ වචනවලටද? සිරුරටද? නැතහොත් සිතටද? නුඹගේ සිත ඒ සා දැඩිව බැඳගත් ගුණය කුමක්‌ද?

අනේ බුදුහිමියනි. ඒවා එකින් එක විග්‍රහ කරන්ට බෑ. මං ඒ හැමදේකටම දැඩිව ප්‍රේම කරනවා. මට වුවමනා ඒ සියල්ල පමණයි. අනිත් එක ඒ ප්‍රේමය අහිමි වන්නේ නම් මගේ ජීවිතය රැකෙන්නේත් නෑ.

හොඳයි. ඔබ සිතනවාද ආනන්ද හිමියන්ගේ ප්‍රේමය ඔබටම පමණක්‌ කියා.

මං හිතනවා ඒ ප්‍රේමය මට පමණයි කියලා. ඒ පෙම් කුසුම කවදාවත් වෙන කෙනෙකුට නොපුදන බව මට සහතිකයි.

බුදුහු ඇය පත්ව සිටින පෙම් උමතුව දුටුහ. එහෙත් සියුම්ව ඇගේ සිත වෙනස්‌ කළ යුතු බවද නිශ්චය කර ගත් සේක.

ඔබ ඔබගේ මවට ප්‍රේම කරනවාද? ඔබ ඔබට ප්‍රේම කරනවාද?

එසේය බුදු පියාණනි. මම මට මෙන්ම මගේ මවටද ප්‍රේම කරන්නෙමි. එහෙත් ඒ සියල්ලටම වඩා ආනන්ද හිමියන්ට ප්‍රේම කරන්නෙමි.

ඔබ දන්නවාද ආනන්දගේ ප්‍රේමය ඔබට වගේම මේ ලොව සියලු සත්ත්වයන් උදෙසාම වූවක්‌ බව.

නැත බුදු පියාණනි.

එසේනම් ඔබත් ආනන්ද හිමියන් වගේම හැම සත්ත්වයකුටම ප්‍රේම කරන්න පුරුදු උනොත් ඔබට ලේසියෙන්ම ඒ හිමියන් සමග එක්‌විය හැකියි. ප්‍රේමය යනු එකම මඟක යන එක්‌ රේඛාවක්‌. එහි බෙදීම්, නැහැ එය පිවිතුරුයි. සුන්දරයි. රම්‍යයි, සුරම්‍යයි.

යොවුන් තරුණියගේ සිත බුදුන්ගේ ඒ වදන්වලින් මහත්සේ විකසිත විය. ප්‍රේමයේ ස්‌වභාවය පිළිබඳව ඇය ආත්මීය සීමාවෙන් පිටතට ගොස්‌ බලන්නටද වූවාය. තමන් සිරව සිටින්නේ ප්‍රේමයේ මායා ලොවක බවද ඇයට හැඟෙන්ට විය.

බුදු පියාණනි මටත් ඒ පෙම් ලොවට යන්නට වරම් ලද හැකිද? මා පෙලන මේ පෙම් වියෝගය දුරලිය හැකි මඟක්‌ මට පෙන්වා දුන මැනවි. ආධ්‍යාත්මය සුවඳ කරන එවන් නිර්මල ප්‍රේමයක්‌ මම අපේක්‍ෂා කරමි. බුදු පියාණනි මා දිළිඳු කුලහීන ලියක්‌මි. එවන් මා හට පිහිට වන්නේ කෙසේද?

බුදුහු ඉතා කාරුණිකව ඇය අස්‌වසාලූහ. ප්‍රේමයේ වියෝගයද ප්‍රේමයේ විශ්වීය ගුණයද ඇයට පසක්‌ කර දුන්සේක. ඇගේ මොහඳුර දුරු විය. ඇය දෙදණ බිම ඇණ දෙඅත් හිස මුදුනට රැගෙන බුදුන්වහන්සේට නමස්‌කාර කළාය.

ඇය නිවුණු අයුරු දුටු ඇගේ මවද මහත් සේ සතුටු වූවාය. ඇයද බුදුන් වහන්සේට නමස්‌කාර කළාය. ධර්මශාලාවේ සිටි සියල්ලෝ විස්‌මයට පත්ව සිටියහ. බුදුන් වහන්සේ යොවුන් ලිය භික්‌ෂුණියක්‌ වෙතට යොමු කළහ. ආනන්ද හිමියෝ බුදු පාමුළ වැටී සමාව අයෑද සිටියහ.

එහෙත් උන්වහන්සේ අතින් සුළු හෝ වරදක්‌ සිදුවී නැති බවද බුදුහු ප්‍රසිද්ධියේම වදාළහ. අනතුරුව උන්වහන්සේ එම සිද්ධිය උපමා කරමින් බ්‍රහ්මචාරීව විසීමේ අසීරු බව හා අගය පිළිබඳ අනුශාසනාවක්‌ද කළහ.

තව කොටසක්‌ ලබන සතියේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.