සතිය ඔබට

මේෂ

රැකී රක්‍ෂා, ව්‍යාපාර ආදියෙහි විශේෂ වෙනසක්‌ ඇති නොවේ. වියදම් අධික වීම නිසා සමහරවිට ණයතුරුස්‌ වීමටද සිදුවනු ඇත. අධ්‍යාපන කටයුතු පිළිබඳව පෙර පැවැති උනන්දුව හීන කරයි. පෙම් සබඳතා වලින් ඈත් වී සිටීමෙන් හොඳ හිත රැකගත හැකිවෙයි. ගේදොර කටයුතුවල විශේෂ සමගියට බාධා ඇතිවිය හැකිය. කැපීම් - කෙටීම් ආදී තුවාල සිදුවීමට ඉඩ ඇති නිසා පරෙස්‌සම් වීම මැනවි. බලාපොරොත්තු වන කටයුතු ඉටුකර ගැනීමට බලවත් උත්සාහයක්‌ ගැනීමට සිදුවිය හැකිය. විදේශ ගමනක්‌ පිළිබඳව පැවැති බලාපොරොත්තු ඉක්‌මනින් ඉටුකර ගැනීමට අපහසු තත්ත්වයක්‌ උදාවීමට ඉඩ ඇත. පොදු කටයුතු සඳහා සුබ දවස 24

වෘෂභ

ගේදොර කටයුතු කෙරෙහි උනන්දුව අඩුවිය හැකිය. විවාහකයනට නෑගමන් පිළියෙල වැඩි වීමට පිළිවන. පවත්නා රෝගාබාධ සඳහා නව ප්‍රතිකාර ක්‍රම සෙවීමට පෙළඹෙයි. වැඩ කටයුතු වැඩිවන සැටියක්‌ද, ඒවා නිසි ලෙස ඉටුකර ගැනීමට නොහැකිව නොසන්සුන් බවක්‌ මතුවන සැටියක්‌ද පෙන්නුම් කරයි. ඇතැම් කටයුතු සාර්ථක වීමත් ඇතැම් කටයුතු අසාර්ථක වීමත් සිදුවිය හැකි නිසා සාර්ථක කරගත හැකි කටයුතු කෙරෙහි පමණක්‌ වැඩි උත්සාහයක්‌ දැරීම මැනවි. ජීවනෝපාය මාර්ගයන්හි වෙනසක්‌ ඇතිවිය නොහැකිය. අධ්‍යාපන කටයුතුවල වෙනසක්‌ ඇතිවිය නොහැකිය. පෙම් කරන්නන් තුළ ඉක්‌මන් විවාහ අපේක්‍ෂා ඇතිවීමට පිළිවන. පොදු කටයුතු සඳහා සුබ දවස 19

මිථුන

බලාපොරොත්තු නොවූ ආර්ථික ගැටලුවකට මුහුණපාන්නට සිදුවනු ඇත. සමහරවිට මිතුරියන්ගෙන් හා මිතුරන්ගෙන්ද අතමාරු ගැනීමටද සිදුවීමට පිළිවන. සෑම දෙයක්‌ පිළිබඳවම සිතා මතා විමසිල්ලෙන් යුතුව කටයුතු කළයුතු සේ පෙනේ. සමහරවිට කළ හොඳ පස්‌සෙන් එළවන්නාක්‌ වැනි කරදරවලටද මුහුණපෑමට සිදුවිය හැකිය. ඇතැම් මිතුරන් සතුරු වීමට ඉඩ ඇත. සොරසතුරු බිය ඇතිවිය හැකිය. එදිනෙදා කටයුතු වලටත් ජීවනෝපාය මාර්ග ආදියටත් බාහිර කරදර නිසා අවහිර ඇතිවීමට පිළිවන. අධ්‍යාපන කටයුතු පිළිබඳව ගුරු දෙගුරුන්ගෙන් දොaෂාරෝපණ ලැබීමට පිළිවන. රහස්‌ පෙම් සබඳතා හෙළිවීමෙන් සමහරවිට ආරවුල් - ගැටුම් ආදිය ඇතිවීමට ඉඩ තිබේ. පොදු කටයුතු සඳහා සුබ දවස 18

කටක

අතිරේක ආදායම් මාර්ග සඳහා ඉඩකඩ ඇතිවීමට පිළිවන. විදේශ සබඳතාවක්‌ සාර්ථක වන ලකුණු පහළ විය හැකිය. ඥතීන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට සිදුවන සැටියක්‌ පෙනෙන්නට තිබේ. අධ්‍යාපන කටයුතු සඳහා වැඩිහිටියන්ගේ ආධාර උපකාර ලැබීමට පිළිවන. පෙම් කරන්නන් තුළ ඉක්‌මන් විවාහ අපේක්‍ෂා ඉදිරිපත් විය හැකිය. සෙම් කෝප රෝගාදිය වැළැඳීමට පිළිවන. දැනුම් තේරුම් ඇති තැනැත්තන්ගේ ඇසුර ලැබීමට අවස්‌ථා සැලැසේ. තම දක්‍ෂකම් එළිදැක්‌වීමෙන් ගරු බුහුමන් ලැබීමටත්, ආර්ථික ලාභ ප්‍රයෝජන සලසා ගැනීමටත් පිළිවන් විය හැකිය. ජීවනෝපාය මාර්ග ස්‌ථානයන්හි පරිසරය යහපත් වෙයි. පොදු කටයුතු සඳහා සුබ දවස 20

සිංහ

ස්‌ථාන ප්‍රශ්නයක්‌ සතුටුදායක අයුරින් තීරණය වෙයි. අධ්‍යාපන කටයුතු නවමගකට යොමු කිරීමට පෙළැඹෙයි. ජීවනෝපාය මාර්ග දියුණු වෙයි. තත්ත්වයේ උසස්‌වීමක්‌ බලාපොරොත්තු විය හැකිය. භූගත වස්‌තු පිළිබඳ ව්‍යාපාරයන්හි යෙදෙන්නන්හට වාසි ලැබෙන සැටියක්‌ පෙනෙයි. ඥති - මිත්‍රාදීන් අතර හොඳ හිත වර්ධනය වෙයි. බොහෝ කටයුතු නිරවුල්ව කිරීමේ හැකියාව ඇතිවෙයි. පෙම් පැතුම් මල්ඵල ගැන්වෙනු ඇත. දැහැමි සිතිවිලි පහළ වෙයි. ඒ වෙනුවෙන් කාලයත් ධනයත් කැප කිරීමට ඉදිරිපත් වනු ඇත. සිතේ සහනය ගෙන දෙන සතියක්‌ යෑයි කිව හැකිය. පරිසරය යහපත් අතට හැරෙයි. ජීවන මාර්ගවල දියුණුවක්‌ දකින්නට ලැබෙනවා ඇත. පොදු කටයුතු සඳහා සුබ දවස 21

කන්‍යා

අධික වියදම් බර නිසා සමහරවිට ණයතුරුස්‌වීමට සිදුවිය හැකිය. අනුන්ගේ කටයුතු කරට ගැනීමෙන් කරදරවලට මුහුණ දෙන්නට සිදුවිය හැකි සැටියක්‌ පෙනෙයි. විදේශ ගමනක්‌ පිළිබඳව පැවැති බලාපොරොත්තු කඩ කර ගැනීමට හෝ පමා වීමට හෝ හේතු ඇතිවෙයි. අධ්‍යාපන කටයුතුවල වෙනසක්‌ ඇතිවිය නොහැකිය. ගේදොර කටයුතු පිළිබඳව පෙර පැවැති උනන්දුව අඩුවීමට ඉඩතිබේ. අසල්වැසි සබඳතාවනට හානි පැමිණීමට කරුණු යෙදෙනු ඇත. බලාපොරොත්තු ඉටුකර ගැනීමට නොහැකිවීම නිසා සමහරවිට එදිනෙදා කටයුතු කෙරෙහිද කලකිරුණු ස්‌වභාවයක්‌ ඇතිවීමට පිළිවන. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක්‌ දකින්නට ලැබෙයි. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. පොදු කටයුතු සඳහා සුබ දවස 18

තුලා

ඇසුරු කරන්නන් තුළින්ම කුමන්ත්‍රණ ඇතිවීමට පිළිවන. උරුම හිමිකම් ප්‍රශ්න නිසා ඥතීන් අතර අමනාප නොමනාපකම් ඇතිවීමට කරුණු යෙදේ. සමාජ කටයුතුවලදී තමනට ලැබිය යුතු නිසි තැන නොලැබෙන්නට පිළිවන. අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නන්ගේ සිත් විෂයයන් මාරුවකට හෝ ආයතන වෙනසකට හෝ යොමුවීමට ඉඩතිබේ. පෙම් කරන්නන්හට වැඩිහිටි අනුකූලතාව පළවිය හැකිය. තම ශක්‌තියෙන් සැබෑ ප්‍රතිඵල ලබාගන්නට උනන්දු නොවේ. සමාජයේ පැසසුමට ලක්‌වන කීර්ති ප්‍රශංසා ලැබීමට ආර්ථික ලාභ ප්‍රයෝජන ලැබීමට බොහෝ අවස්‌ථා උදා වුවද එයින් ප්‍රයෝජනයක්‌ ගැනීමට උනන්දු නොවෙයි. පිටස්‌තර අයගේ විශේෂ අනුග්‍රහයක්‌ ලැබෙන බව පෙනේ. පොදු කටයුතු සඳහා සුබ දවස 19

වෘශ්චික

අඹු සැමි සෙනෙහස තරවෙයි. නිවෙසේ කලඑළි ස්‌වභාවයක්‌ ඇතිවිය හැකි අතර නෑ හිතවතුන්ගේ පැමිණීම මුදල් ලැබීම අතින් ඉතා හොඳ වාතාවරණයක්‌ යෙදෙන බව පෙනේ. අතපසු වෙමින් පැවැති යුතුකම් කිහිපයක්‌ ඉටු කළහැකි තත්ත්වයක්‌ මතුවේ. නැතිවූ අයිතිවාසිකම් ලබාගැනීමේ කටයුතු පිළියෙල වන බව පැවසිය හැක. උත්සාහයන් සාර්ථක වෙයි. නිරෝගීතාවත් ශක්‌තිවර්ධනයත් ඇති වේ. සමාජ කටයුතුවලට යොමුවීමට සිදුවෙනවා පමණක්‌ නොව ඒ යටතේ ප්‍රසිද්ධියට පත් කරන බවද පෙනේ. අධ්‍යාපන කටයුතු වලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබෙයි. ව්‍යාපාර කටයුතුවලට හවුල්කරුවන්ගේ නොමඳ සහාය ලැබෙයි. වන්දනා, විනෝද ගමන් ආදිය පිළියෙල විය හැකිය. පොදු කටයුතු සඳහා සුබ දවස 24

ධනු

අතමිට සරුවන සැටියක්‌ පෙනෙන්නට ඇත. පරිසරය යහපත් වෙයි. ලිපි ලේඛන කටයුතුවල යෙදෙන්නන්හට යහපත්ය. අලුත් අලුත් දැ නිර්මාණය කිරීමේ සිත් පහළ වෙයි. සමාජ සේවා කටයුතු කෙරෙහි නැඹුරු වෙයි. එවැනි අවස්‌ථාවලදී නායකත්වයත් කීර්ති, ප්‍රශංසා ආදියත් හිමිවීමට පිළිවන. විශේෂ අධ්‍යාපන කාර්යයකට සිත් යොමු විය හැකිය. නිවසේ කාර්යයන්වල ක්‍රමවත් භාවයක්‌ දක්‌නට ලැබෙනවා ඇත. ඈත සිටින ඥතියකුගේ ආධාර උපකාර ලැබීමෙන් ලාභ ප්‍රයෝජනයක්‌ ලැබෙන ලකුණු පෙනෙයි. සිහින සැබෑ කරමින් ඒ පිළිබඳව තීරණයකට එළැඹීමට පිළිවන් වෙනවා ඇත. වැදගත් බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකිවීම නිසා පවුලේ සියලුදෙනා සමඟම සතුටුවීමේ අවස්‌ථාව ඇතිවිය හැකිය. පොදු කටයුතු සඳහා සුබ දවස 22

මකර

තම ශක්‌තිය, සහජ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්‌ථා සැලසේ. එයින් කීර්ති - ප්‍රශංසා ආදියත්, ආර්ථික වාසියත් බලාපොරොත්තු විය හැකිය. ජීවනෝපාය මාර්ගයන්හි දියුණුවක්‌ හෝ අමතර ආදායම් මාර්ගයක්‌ හෝ පෑදීමට ඉඩඇති සැටියක්‌ පෙනෙයි. පැරණි පෙම් සබඳතා අලුත් විය හැකිය. අධ්‍යාපන කටයුතු වලට වැඩිහිටියන්ගේ ආධාර උපකාර ලැබීමෙන් උනන්දුව වැඩිකෙරේ. පවත්නා රෝගාබාධ සඳහා නව පිළියම් ක්‍රම සෙවීමට පෙළඹේ. නිවෙසේ කලඑළි ස්‌වභාවය වැඩිවෙයි. නෑ මිතුරන්ගේ පැමිණීම හෝ සුහද හමුවක්‌ හෝ ඇතිවිය හැකිය. සිතේ නොසන්සුන්තාවය ඇති කරමින් මෙතෙක්‌ ගැටලුවක්‌ව පැවැති ප්‍රශ්නයක්‌ සතුටුදායක අන්දමින් නිරාකරණය වීමේ ප්‍රීතිය භූක්‌ති විඳීමට ලැබෙන සැටියක්‌ පෙනෙන්නට ඇත. පොදු කටයුතු සඳහා සුබ දවස 23

කුම්භ

එකක්‌ විසඳා අවසන් වීමටත් පෙර නව කරුණු කිහිපයකට සම්බන්ධවීමට සිදු වේ. තැන්පත් මුදල් පවා ක්‌ෂය වෙන තැනට කරුණු යෙදේ. ගෙදර දොර කටයුතු ගැන ස්‌වකීයයන් ගැන සමාජ ප්‍රශ්න ගැන දැඩි ඕනෑකමින් යුතුව ක්‍රියා කළ නිසා බලාපොරොත්තු වන කටයුතු සෑහෙන පමණකින් සාර්ථක කරගැනීමට හැකිවෙයි. හිතමිතුරු සහයෝගය නොමඳව ලැබිය හැකිය. අතපසු වෙමින් පවතින කටයුතු කෙරෙහි අවධානය යොමුවෙයි. ජීවනෝපාය මාර්ග පිළිබඳව විශේෂ වෙනසක්‌ නොපෙන්වයි. රැකීරක්‌ෂා බලාපොරොත්තුවෙන් සිටින තැනැත්තන්ගේ අදහස්‌ ඉටුවීමට ඉඩ ඇත. අභිනව ආදර බන්ධන ඇතිකර ගැනීමේ අවස්‌ථා ඇතිවිය හැකිය. ගේදොර පරිසරය යහපත්ය. පවත්නා සෞඛ්‍ය තත්ත්වයේ වෙනසක්‌ නොපෙන්වයි. පොදු කටයුතු සඳහා සුබ දවස 23

මීන

ඇතැම් බලාපොරොත්තු ඉටුවිය හැකි අතර සමහර බලාපොරොත්තු ඉටුකර ගැනීමට අවහිර ඇතිවීමට පිළිවන. ආදායම් තත්ත්වය යහපත් අතට හැරෙයි. ස්‌වකීයයන්ගේත්, හිතමිතුරන්ගේත් හොඳ හිත දිනා ගැනීමට හැකි වෙනවා ඇත. නීතිමය ප්‍රශ්නයකින් නිදහස්‌ වන බවක්‌ පෙනෙයි. උත්සව අවස්‌ථාවකට හෝ ඥති මිත්‍ර හමුවකට සම්බන්ධ වීමට හෝ සිදුවිය හැකිය. හිත මිතුරු සබඳතා දියුණු වෙයි. පවත්නා රෝගාබාධ සුව අතට හැරෙයි. ගුරුවරුන්ගේත් වැඩිහිටියන්ගේත් ආදර කරුණාව ලැබෙයි. අලුත් දෑ නව නිර්මාණ ඉදිරිපත් කිරීමෙන් කීර්ති, ප්‍රශංසා සමග ආර්ථික වාසියක්‌ ලැබෙන්නට පුළුවන. පොදු කටයුතු සඳහා සුබ දවස 22.

විජයසිරි විද්‍යාරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.