නම ගිය මරණ රැසක්‌ කර ගැසූ
"මිනී නොකන" මිනිසා


සල්ලි දෙවියන්ගේ මල්ලි යෑයි කීවේ අතීතයේදීය. වර්තමාන සමාජය තුළ සල්ලි දෙවියන්ගේ මහප්පා වී සිටී. අද පවතින්නේ ධනය, පදවිය, බලය උදෙසා උමතු වූ සමාජයකි. එකිනෙකා ඇනකොටා ගනී. අවුල් වියවුල් ඇති කර ගනී. තාවකාලික සැප වෙනුවෙන් මුළු අනාගතයම බිලි දෙයි. එවැනි වල්මත් වූ නිසරු සමාජයක "මුදල" ජීවිතය නොකරගත් මිනිසුන් ද නැතුවාම නොවේ. එවැනි අපූරු මිනිසකු පසුගිය දිනක අපට හමුවූයේ බොරැල්ල කනත්ත අසලදීය. ඒ ඔහු කොළඹ පොලිස්‌ මෘත ශරීරාගාරයේ හඳුනානොගත් මළ සිරුරු මිහිදන් කිරීමට මළ සිරුරු කිහිපයක්‌ රැගෙන ආ අවස්‌ථාවකදීය.

1978 වර්ෂයේ සිට මේ දක්‌වා කාලය පුරාවට කොළඹ පොලිස්‌ මතෘ ශරීරාගාරයේ හඳුනානොගත් මළසිරුරු මිහිදන් කිරීමේ කොන්ත්‍රාත්කරු ඔහුය. පොලිස්‌ මෘත ශරීරාගාරයේ මෙන්ම බොරැල්ල කනත්තේ ඔහු හඳුන්වන්නේ ලංකා පෙරේරා යනුවෙනි. එහෙත් ඔහු පදිංචිව සිටින මහරගම ප්‍රදේශයේ මිනිසුන් ඔහු හඳුන්වන්නේ උපුල් අයියා කියා ය.

දවස ආරම්භයත් සමග පටන් ගත් චුරු චුරු වැස්‌ස තවමත් ඇද හැළෙමින් තිබේ. හිරු අඩ නින්දේය. එහෙත් කාලය නම් වේගයෙන් ගලා යයි. මේ අපූරු මිනිසා ඔහුගේ අතීත මතකය අප ඉදිරියේ මෙසේ ආවර්ජනය කළේය.

කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වර්ෂයක්‌ පාසා ටෙන්ඩර් මගින් මෙම කොන්ත්‍රාත්තුව ලංකා පෙරේරා භාරගනු ලැබේ. එක්‌ මෘත දේහයක්‌ මිහිදන් කිරීමට කොළඹ මහ නගර සභාව වර්තමානයේ ඔහුට ගෙවන මුදල රුපියල් 2275 කි. එහෙත් ඔහු එක්‌ මෘත දේහයක්‌ භුමදානය කිරීමට රුපියල් තුන්දහසක්‌ වැනි මුදලක්‌ වැය කරයි. ව්‍යාපාරිකයෝ පාඩු ලැබීමට ව්‍යාපාර නොකරයි. එහෙත් ඔහු මේ දේවල් කරන්නේ පාඩු විඳගෙන බව අපි ඔහුගේ කතාවෙන් අවබෝධ කරගත්තෙමු. අතුරු ප්‍රශ්න දමා ගලා යන කතාවට බාධා කිරීමට අපි මැලි වීමු. එහෙත් ඔහුගෙන් මේ පැනය ඇසිය යුතුම යෑයි කියා මගේ සිත මට පෙරැත්ත කළෙමි.

"ඇයි ඔබ අතිනුත් වියදම් කරගෙන මේ දේවල් කරන්නේ. ඔබට පුළුවන්නේ මේ ටෙන්ඩර් එක නොගෙන ඉන්න..."

"මුදල් ගැන විතරක්‌ හිතන්න හොඳ නැහැ. මනුස්‌සකම කියලා දේකුත් තියෙනවා නේ. මම මේ දේවල් කරන්නේ සමාජයට සේවයක්‌ විදිහටයි. මම ජීවත් වෙලා ඉන්නකම් මේ දේ කරන්න උත්සාහ කරනවා."

ඔහුට තවත් නැති වීමට දෙයක්‌ ඉතුරු වී නැත. 1977 දේශපාලන පලිගැනීමේ අවිය ඔවුන්ගේ ව්‍යාපාරවලට හීයක්‌ මෙන් එල්ල විය. ඒ වකවානුවේදී ඔවුන්ට විඳින්නට වූ දුක්‌ගැහැට අප්‍රමාණය. අවසානයේ ඔවුන්ට දිවි ගැට ගසාගැනීමට ඉතුරු වූයේ ඔහුගේ පියා පවත්වාගෙන ගිය ඩීන්ස්‌ පාරේ මල්ලිකා මල්ශාලාව පමණි. දේශපාලන පලිගැනීම්වල අවසානය ඔහුගේ පියා දරුණු ලෙස රෝගාතුර වීම ය. එසේ ටික දිනක්‌ රෝගාතුරව ජීවත් වූ ඔහුගේ පියා මේ විෂම සමාජයෙන් සදහටම සමුගෙන ගියේය. පියාගේ වියෝවෙන් පසු මල්ලිකා මල්ශාලාව ලංකා පෙරේරා මල් ශාලාව නමින් අලුත්වැඩියා කිරීමට ලංකා පෙරේරා කටයුතු කළේය.

"මගේ තාත්තා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙක්‌. මහරගම පමුණුව, කෝට්‌ටේ, ගල්කිස්‌ස ගම්සභාවේ අවුරුදු 15 ක්‌ විතර සභාපතිකම් කළා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලයේත් වෘත්තීය සමිති නායකයකු ලෙස කටයුතු කළා. පියාගේ දේශපාලන කටයුතු නිසා අපේ පවුලේ අඟහිගකම් තිබුණා. ඒ දවස්‌වල මම ඉස්‌කෝලේ ඇරිලා කෙළින්ම දුවන්නේ සීයාගේ මල් සාප්පුවට. වැඩි හරියක්‌ දවස ගෙවන්නෙ එතැනයි. මම පුංචි කාලේ ඉඳලා මල්ශාලාවක්‌ තුළ වෙන දේවල් දැක්‌කා. මමත් මල්ශාලාවක්‌ පටන් ගන්නවා කියලා හිතුවේ පුංචි කාලේම තමයි. මම මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙනවට අම්මගෙන්, තාත්තාගෙන් බාධාවක්‌ තිබුණෙත් නැහැ. ඒ අයත් කැමැති වුණා. මොකද හරියට කළොත් හොඳට ලාබ ලබන්න පුළුවන් ව්‍යාපාරයක්‌ නේ." ලංකා පෙරේරා ඔහුගේ ළමා කාලය එසේ ආවර්ජනය කළේය.

1984 අවුරුද්දේ කොළඹ ඩීන්ස්‌ පාර පුළුල් කිරීමේදී ඒ මාවතේ තිබූ අවමංගල්‍ය ආයතන දෙකම ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාව කටයුතු කළේ ඔවුන්ට බොරැල්ල කනත්ත ඉදිරිපිටින් ඉඩම් දෙන පොරොන්දුව මතය. එහෙත් ඩීන්ස්‌ පාරේ පවත්වාගෙන ගිය අනෙක්‌ මල්ශාලා හිමිකරුට පොරොන්දුව මත ඉඩම් ලබා දුන්නද, ලංකා පෙරේරාට එසේ ඉඩම් නොලැබිණි. ඔහුට අයිති ඉඩම් කැබැල්ල එවකට පැවති රජයේ ඇමැතිවරයකුගේ වන්දිබට්‌ටයකුට ලබාදී ඇත. ඩීන්ස්‌ පාරේ පවත්වාගෙන ගිය අනෙක්‌ මල්ශාලාවේ හිමිකරු බොරැල්ල කනත්ත අසල නව මල්ශාලාවක්‌ ආරම්භ කළේය. ඔහුට එවකට පැවති ආණ්‌ඩුවේ උපරිම සහයෝගය ලැබිණි. ඔහුගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු විය. එහෙත් ලංකා පෙරේරාට ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යැමට ස්‌ථානයක්‌ නොමැතිව අසරණ විය.

"කවදාවත් මම වැඩි සල්ලි පස්‌සේ ගියේ නැහැ. ඒ නිසයි මම හැමදාම මෙහෙම ඉන්නේ. ඉන්දු-ලංකා ගිවිසුම කාලේ, ත්‍රිමා විතාන ඝාතනය කරපු වේලවේ කොළඹට ගෙනැවිත් රජයේ වෛද්‍ය විද්‍යාලයට දේහය සකස්‌ කර දුන්නේ මගේ පුද්ගලික වියදමෙන්. ඒ කාලේ කොළඹ නව නගර සභාවේ දරුවන් අතුරුදන් වූ දෙමාපියන්ගේ රැස්‌වීමක්‌ තිබුණා. ඒකට රටේ විවිධ පළාත්වලින් මව්පියෝ ආවා. හේවාහැට ප්‍රදේශයේ ඉඳලා රැස්‌වීමට ආපු තාත්තා කෙනෙක්‌ මිය ගියා. ඒ දේහය මාගේ පෞද්ගලික වියදමින් මම හේවාහැට ගෙනිහින් දුන්නා. තුල්හිරිය රෙදි කම්හල අසල දී ජනතා විමුක්‌ති පෙරමුණේ අය ලංගම බසයකට වෙඩි තිබ්බා. ඒ සිද්ධියේදී අසල සිටි බඩදරු අම්මා කෙනෙක්‌ වෙඩි වැදිලා කොළඹ මහ රෝහලට ඇතුළත් කළා. පස්‌සේ ඒ ගෑනු කෙනා නැති වුණා. ඒ මළ සිරුරත් මගේ වියදමින් මම පොල්ගහවෙළට ගෙනිහින් දුන්නා. මම සමාජයට කරපු සේවය අද තිබෙන කිසිම අවමංගල්‍ය ආයතනයකින් කරන්නේ නැහැ. අද ව්‍යාපාරිකයන් මුදලට ගිජු වෙලා මනුස්‌සකමත් හඳුනන්නේ නැති විදිහට වැඩ කරන්නේ." ලංකා පෙරේරාගේ හඬ එසේ ගලා යයි.

අසරණ වූ ජනතාවට ඔහු කොතෙක්‌ පිහිටට සිටියද, අවසානයේ ඔහුට ජීවත් වීමට පාරට බැසීමට සිදු විය. මහ රෝහල හන්දියේ තැපැල් කන්තෝරුව ළඟ සිට මහ රෝහලෙන් එළියට එන මරණ අයිතිකරුවන්ට තැරව්කාර සේවය කළේය. අද මෙන් එදා ද කපුටෝ වගේ මිනී බ්‍රොaකර්ලා නොසිටියාම නොවේ. සෙල්ලා, ධර්මලිංගන්, දඩුසිරිසේන, ගුණසේකර (කිලුට්‌ටා), නානායක්‌කාර, ධර්මසේකර (පෘතුගිසිකාරයා) එකල සිටි බ්‍රොaකර්වරුන්ගෙන් කිහිප දෙනෙකි. මේ බ්‍රොaකර්වරු මල්ශාලාවකට ඇනවුමක්‌ භාරදීමට 15% ක කොමිස්‌ මුදලක්‌ අය කරති. දැන් මේ බ්‍රොaකර් සේවයට අලුත් පිරිසක්‌ ද එකතු වී සිටිති. ඒ රෝහල් සේවකයන් සහ පොලිස්‌ නිලධාරීන්ය. හදිසි මරණ පරීක්‍ෂණවලදී ඔවුන් පෙන්වන මල්ශාලාවකින් මිනී පෙට්‌ටිය ගන්නේ නම් ඉතා ඉක්‌මණින් මරණ පරීක්‍ෂණ කටයුතු අවසන් කර දේහය ඥතීන්ට ලබා දෙන බව ද ලංකා පෙරේරා කියයි.

"කාලයක්‌ තිබුණා අපේ මල්ශාලාවට මාසෙකට මරණ හැටක්‌ විතර එනවා. ඒවායින් දුප්පත් මිනිස්‌සුන්ගේ මරණ දහයක විතර සල්ලි ගන්නේ නැතුව නිකං කරලා දෙනවා. ඒ කාලේ මම දවල් කෑමට යන්නේ ඩීන්ස්‌ පාරේ සුදුවැල්ල හන්දියේ හෝටලයකට. මම කෑමට යන හැම දවසකම වයසක අය කිහිප දෙනෙක්‌ කෑම කන්න එනවා. මම ඒ අයගේ කෑම බිලත් ගෙවනවා. ඒක බලාගෙන හිටපු හෝටලේ අයිතිකරු ඒ හෝටලය වහලා දලා මල්ශාලාවක්‌ ආරම්භ කළා. පස්‌සේ එකෙන් අපේ මල්ශාලාවටත් බිස්‌නස්‌ අඩු වුණා." උපුල්ගේ මතකය එසේ අවදි වෙයි.

1983 වර්ෂයේ ජූලි කෝලාහල සමයේදී වැලිකඩ හිරගෙදර එල්.ටී.ටී.ඊ. සිරකරුවන් පනස්‌ පස්‌ දෙනෙකු ඇතුළුව දෙමළ ජාතීන් අසූඅට දෙනෙකු ජාතිවාදීහු විසින් ඝාතනය කළහ. යුද හමුදාවේ සහ පොලිසියේ ආරක්‍ෂාව යටතේ සිරගෙදර ලොරි රථයකින් සහ නගර සභාවේ ලොරි රථයකින් මධ්‍යම රාත්‍රි 11 න් පසු ඒ දේහයන් බොරැල්ල කනත්තට රැගෙන ආවේය. කොන්ත්‍රාත්කරුවකු හැටියට ඒ මිනී මිහිදන් කිරීමට සිදු වූයේ ලංකා පෙරේරාට ය. ඉන්දු-ලංකා ගිවිසුම් සමයේදී වෛද්‍ය පීඨයේ ඇනටොම් ශාලාවේදී නාඳුනන තුවක්‌කුකරුවෝ පනස්‌ නව දෙනෙකු වෙඩි තබා ඝාතනය කළහ. ඒ අතර සිටි එක්‌ අයෙක්‌ පිටකොටුවේ නාට්‌ටාමි කෙනෙකි. අනෙක්‌ මිනී පනස්‌ අටම භූමදානය කිරීමට ලබාදුන් කාලය පැය තුනකි. මරණය කරට ගැනීම තහනම් කෙරිණි. වළ සමතලා කිරීමට නියෝග ලැබිණි.

"රෝහණ විඡේවීර මහතා ඝාතනය කර පුළුස්‌සා දැම්ම කාලයේ බොරැල්ල කනත්තේ පාලකයා හැටියට කටයුතු කළ පුද්ගලයා අද පැවිදි වෙලා භික්‍ෂු ජීවිතයක්‌ ගත කරයි. ඒ වගේම ආදාහනාගාරයේ සේවය කරපු සේවකයන් දෙදෙනාගෙන් එක්‌කෙනෙක්‌ විශ්‍රාම ගිහිල්ලා. අනෙක්‌ සේවකයා විශ්‍රාම ගිහිල්ලා රෝමානු කතෝලික අංශයේ දැනටත් සේවය කරනවා. බොරැල්ල කනත්තේ ඒ වගේ හොඳ මිනිස්‌සුත් හිටියා. හැබැයි වැඩියෙන්ම ඉන්නේ හොරු. බොරැල්ල කනත්ත කියන්නේ මහ අමුතු තැනක්‌. එතැන තනිකරම ව්‍යාපාර ලෝකයක්‌. ඒ ගැන වෙනම කතා කරන්න ඕනෑ දෙයක්‌ මහත්තයෝ.

විජය කුමාරතුංග ඝාතනය කිරීමෙන් පස්‌සේ වෝර්ඩ් පෙදෙසේ හදිසි අනතුරු අංශයේ සිට µ්‍රeන්සිස්‌ පාරේ පොලිස්‌ මෘත ශරීරාගාරයට මරණය ගෙන යන්න මට පැවරුණා. මම එතැනට යනකොටත් පළාතම එකම හිස්‌ ගොඩක්‌. අපහසුවෙන් එතුමාගේ මෘත දේහය මම අවමංගල්‍ය රථයේ තැන්පත් කරගත්තා. එක පාරටම පැමිණි ජනප්‍රිය නළුවෙක්‌ දේහය බදාගෙන හඬන්න පටන් ගත්තා. කොහෙත්ම ඔහුව ඉවත් කරන්න බැරි වුණා. පස්‌සේ මම ඔහුත් සමගම දේහය පොලිස්‌ මෘත ශරීරාගාරයට සෙනඟ අතරින් ගෙනවා. ඒ කාලේ රටම හඬවපු සිද්ධියක්‌ තමයි මතුගම සමන් කුමාර දරුවාගේ මරණය. ඒ මරණයත් කොළඹ පොලිස්‌ මෘත ශරීරාගාරයේ ඉඳලා මතුගම පාන්තිය ප්‍රදේශයට ගිහින් ඥතීන්ට භාර දුන්නේ මමයි. මරණය දවස්‌ ගාණක්‌ පරණ නිසා සීල් කරන්න වුණා. මගේ පපුවත් හෝස්‌ ගලා පිච්චිලා ගියා. පොඩි දරුවෙක්‌ නේ. මම ඒ ගෙදරට යනකොට පාර දෙපැත්ත මිනිස්‌සු අඬ අඬා සිටියා. එදා මුළු මතුගම මළගමක්‌ වෙලා තිබුණා. ඒ වගේ සිද්ධි නම් මගේ මතකයේ ඕනෑ තරම් තියෙනවා. මම ජිවිතයේ විවිධ මිනිසුන් ඇසුරු කරලා තියෙනවා. පුද්ගලයෙක්‌ මැරුණට පස්‌සේ මරණ අයිතිකරුවන් මල් ශාලාවලට ලක්‍ෂ ගණන් මුදල් ගෙවලා හොඳ පෙට්‌ටි ඉල්ලනවා. ලස්‌සනට කර දෙන්න ඕන කියනවා. ඒ එයාලගේ තත්ත්වය, ආඩම්බරකම ලෝකයට පෙන්වන්න. සමහර අවමංගල්‍ය ගෙවල් මඟුල් ගෙවල් වගේ. බීලා නටන්නේ නැති එක විතරයි නොකරන්නේ. අනිත් සියලුම දේවල් කරනවා. කෙනෙක්‌ ආදාහනය කරන අවස්‌ථාවේ ආදාහනාගාරයේ දුම් බටයෙන් පිට වන දුම් දෙස බලන්නේ හිනා වෙවී නේද. එදත් අදත් කියලා ඒකෙ වෙනසක්‌ නැහැ. මේක තමයි සමාජ ක්‍රමය.

මම ඕන තරම් මිනී එම්බාම් කරල තියෙනවා. මිනී තියාගෙන මල් ශාලාවේ නිදාගෙන තියෙනවා. ඒත් කිසිම දවසක ඔය කියන හොල්මන්වලට මම බය වෙලා නැහැ. එහෙම දෙයක්‌ නැහැ. හෝල්මන් කියන්නේ බොරුවක්‌. එක එක මගෝඩි වැඩ කරන්න තමයි හෝල්මන් තියෙනවා කියලා මිනිස්‌සුව බය කරන්නේ. නැතුව මැරිච්ච මිනිස්‌සුන්ට නම් හෝල්මන් කරන්න බැහැ.

තව දෙයක්‌ තමයි සමහර මිනිස්‌සු කියනවා ඇඟ රත් කරගන්නේ නැතුව එම්බාම් කරන්න බැහැ කියලා. එහෙම කියන්නේ බොන්න පොටක්‌ පාදගන්නයි. නැතුව තමන්ගේ රැකියාව කරන්න බොන්න ඕනෑ නැහැනේ. මම කවදාවත් අරක්‌කු බීලා නැහැ. මිනී ගෙවල්වලට ගිහින් දුන්නාම ඒ මරණ අයිතිකරුවන් අපිට ඕනෑ තරම් අරක්‌කු බෝතල් දෙනවා. මම ඒ අරක්‌කු බෝතල් කවමදාවත් අරගෙන නැහැ.

මේ දේ කියන්නම ඕනෑ. අපි ජීවතුන් අතර ඉන්නකොට කරන පින්දහම් අනුව තමයි මැරුණ වේලාවට මරණය ලස්‌සන වෙන්නේ, කැත වෙන්නේ. සමහරක්‌ මරණවලට බෙහෙත් ගල්වලා කොච්චර හැඩ වැඩ දැම්මත් දවසක්‌ ගෙවිලා ගියාට පස්‌සේ කළු වෙනවා. ඒක නවත්වන්න බැහැ. සමහර මිනී එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ එයලා කරපු පින් පව් අනුව තමයි. මේ සමාජය ගමන් කරන්නේ මුළාව දෙසටයි. අපි කිසිවකුට එය නිවැරැදි මාර්ගයට ගන්න කොහෙත්ම බැහැ. ඒ නිසා අපි කළ යුත්තේ අපි නිවැරැදි මඟක්‌ සොයාගැනීමයි. ඒකට තමයි පින්දහම් කරන්න ඕනේ. අදත් මම ගෙදර මල්ශාලාවක්‌ පවත්වාගෙන යනවා. දුප්පත් මිනිසකුගේ මරණයක්‌ වුණොත් අදත් මම ශතයක්‌වත් නොගෙන ඒ කටයුතු ටික කරලා දෙනවා. ජීවත් වෙලා ඉන්නකම් පින්දහම් කරනවා. වෙන මොනව කරන්නද?

තරංග රත්නවීර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.