නෙත තුටු විය සිත සැනසිය මේ     දසුන
ඔබ පැමිණිය යුතු නැරඹිය මැණික්‌  දෙන

"ලංකාද්වීපය නම් මිහිබට සුරපුරයි" යන කියමන පුරාණ දේශාටකයන් කිහිපදෙනකුම ලියාඇති අගනා සංචාරක සටහන් රැසකම සඳහන් වන්නකි.

14 වැනි සියවසේ විසූ ප්‍රකට දේශ ගවේෂක ඩී. මාපිගෝලි ඉන් ප්‍රමුඛයෙකි. පාරාදීසය මහපොළෙවෙහිම දක්‌නට හැකිය. එය පෙරදිග සාගරයෙන් වටවූ ඉන්දියාවට ඔබ්බෙන් වූ සීලන් නම් රටේ කඳුකරයේ පිහිටන්නේය. පාරාදීසයේ උල්පත්වලින් වැගිරෙන ජලයෙන්ද..... තුරු ලතාවන්ගෙන්ද එය විචිත්‍රවත් යෑයි ඔහු ලියා ඇත්තේය.

පුනර්භවය සත්‍ය නම් තමා මතු දිනෙක සිලෝන් නමැති දේශයේ උපත ලබනට කැමැති බව අපරදිග ශ්‍රේෂ්ඨ චින්තකයකු වූ බර්නාඩ් ෂෝ පවා වරෙක කියා ඇත්තේ මෙරට පාරිසරික සුන්දරත්වය දැන සිටිනිසාම විය හැකිය.

ක්‍රි.ව. 411 මෙහි පැමිණි පාහියන් ක්‍රි.ව. 1293 සංචාරයේ යෙදුණු මාකෝ ෙµලෝ මෙන්ම ක්‍රි.ව. 1344 දී පැමිණි ඉබන් බතුතා වැනි විදෙස්‌ සංචාරකයන් සියල්ලන්ම පාහේ මෙරට සොබා සෞන්දර්යයේ චමත්කාරය මොනවට වර්ණනා කොට තිබෙනු දැකගත හැකිය.

"දිවයින" පාඨක ඔබට අද හඳුන්වා දෙන්නේද එවන් වැදගත් පුණ්‍යභූමියකි. එක්‌ පසෙකින් එය ශ්‍රී ලාංකීය බුද්ධ ශාසනයේ විශිෂ්ටතම කේන්ද්‍රස්‌ථානයකි. බෞද්ධ සංස්‌කෘතියේ අගනා කඩඉම් රැසක්‌ මෙහි සටහන්ව ඇති අතර අනෙක්‌ අතින් එය සොබා සෞන්දර්යය තක්‍ෂලාව වන් බිම් කඩකි.

නමින් දැන් එය මැණික්‌දෙන පුරා විද්‍යා භූමිය වන අතර මැණික්‌දෙන වෘකෙත්දතනය ලෙසද හැඳින්වෙයි.

සුප්‍රකට ඒ- නවය මාර්ගයේ පැමිණ පන්නම්පිටිය මංසන්ධියෙන් හැරී කි.මී.5 ගිය තැන හමුවන මැණික්‌දෙන පූජාභූමියට කුරුණෑගල-දඹුල්ල මාර්ගයෙන්ද පැමිණිය හැකිය. ඒ දඹුල්ල ආසන්නයේ පිහිටි තලකිරියාව හන්දියෙන් හැරී ඇතාබැඳිවැව පාරේ කි.මී. 8 ක්‌ ගමනේ යෙදීමෙන්ය.

බුදුදහමත් පරිසරයත් අතර ඇත්තේ අවියෝජනීය සබඳතාවකි.

යම් ජන කොටසක්‌ මල්පල උයන් වතු වවන්නෝද පියවි වන වගාකොට දෙත් ද ඒ දඬු පාලම් තනත්ද පැන්හලුත්, පැන් පොකුණුත් ආවාසත් සාදයිද ඔවුනට දහවලුත් රැයෙහිත් සැමකල්හිත් කුසල් වැඩේ යන වනරෝප සූත්‍රයේ එන බුදුවදන් වලින් ඒ බව මනාව වටහා ගත හැකිය.

මැණික්‌ දෙන වෙත පා තබන කාගෙත් සිත් නිමෙන්නේය. ගත සැනහෙන්නේය. රුදුරු සිතැත්තෙකු පවා ඒ දැක සන්සුන්වනු නිසැකමය. මෙහි පවතින පුරාවිද්‍යාත්මක නටඹුන් හා අහස සිඹින තුරුලතා දැක වශීකෘත නොවන්නකු නම් සිටිය නොහැකිමය.

අප මැණික්‌දෙන පුරාවෘත්තය සොයා බලමු. දැනට ලැබී ඇති සාක්‍ෂි අනුව මෙම පුණ්‍ය භූමිය 3-4 වන සියවස්‌ දක්‌වා දිවයන කීර්තිමත් අතීතයකට හිමිකම් කියයි. කිත්සිරිමෙවන් රජ දවස (555-573) මෙය ආගමික මධ්‍යස්‌ථානයක්‌ ලෙස වඩාත් තහවුරු වූ බව පොත පතෙහි සඳහන්ය.

විජයබාහු රජ දවස (1110-1111) මෙම ස්‌ථානය ආශ්‍රිතව මුරපොළක්‌ පැවැති බවටද සාක්‍ෂි ලැබී තිබේ.

මැණික්‌දෙන පුරාණයේ "බුද්ධගාම" ලෙස හඳුන්වා තිබේ. මේ අනුවද පෙනී යන්නේ ඈත අතීතයේ සිටම භික්‍ෂුන් වහන්සේ උදෙසා කැපවූ විහාරාරාම, භික්‍ෂු අධ්‍යාපනික මධ්‍යස්‌ථාන, ගිලන්හල්වලින් යුක්‌ත අංග සම්පූර්ණ විහාර සංකීර්ණයක්‌ මෙහි පැවැති බවය.

අද දවසේද එහි යන ඔබට එකී විශිෂ්ට බෞද්ධ ශාසනික උරුමයේ ස්‌වර්ණමය නටඹුන් රැසක්‌ විරාජමානව තිබෙනු දැකගත හැකිය.

දුටුවන් විස්‌මයට පත්කරවන මහා කළුගල් කුළුණින් සුසැදි ධර්මශාලාවද, උපෝෂථාගාරයද, ස්‌පයද බෝධිඝරයද, අතීත ශ්‍රී විභූතිය ලොවට කියාපාන මාහැඟි දායාදයන්ය.

ඒ අතරින් ඇවිද යන කාහටත් විරාජමාන ශ්‍රී ලාංකීය ගෘහ නිර්මාණ කලාවේද, පාරිසරික භාවිතාවේද මුළුලොව පැරැදූ ගල්කැටයම් කලාවේ සහ තාක්‍ෂණයේ අපූර්වත්වය අත්විඳිය හැකිමය.

එය භාවනාවට කෙම්බිමකි. චිත්ත විමුක්‌තිය පතන හදවත් වලට අනඟි සිත ගිමන්හලකි. සුළඟ පවා මිනිස්‌ ජීවිතයට රමණීයත්වය කියාදෙයි. මානසික සංහිඳියාවේ රමණීයත්වය කියාදෙයි. මානසික සංහිඳියාවේ චිත්ත විවේක්‍රාශ්‍රමය එය යෑයි යන කාහටත් හොඳින් අවබෝධ කොටගත හැකිය.

දුම්බර කඳු පන්තියෙන් උතුරට විහිඳ ගොස්‌ දඹුල්ල ලෙන් විහාරයෙන් නිමාවට පත්වන අසිරිමත් කඳු පංතියේ නිකුලකන්දේ (දුමකොට පබ්බත) වයඹ බෑවුමේ මේ බිම පිහිටයි. වෘකෙත්දපානීය සහිත මුළු බිම්කඩ අක්‌කර 40-50 ත් අතරය. ඉන් ඔබ්බෙහි ඇත්තේ දර්ශනීය වූත් වියළි කලාපීය සදාහරිත තෙත් වන බිමකි. එයද ඈත අතීත රජ දරුවන් රැසකගේ රාජකීය අවස්‌ථා රැසකට උරුමකම් කියූ බිම් කඩවල්ය.


අරංගල, ලෙනදොර, දඹුල්ල ඒ වටා පිහිටි ඓතිහාසිකව වැදගත්කම් ඇති ස්‌ථානයන්ය.

1995 සිට ආචාර්ය මැග්ඩන් ජයසූරිය මහතා ප්‍රමුඛ උද්භිද විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණ වලට අනුව, වෘකේත්දහනය භූමිය තුළ 110 කට අයත් ගස්‌ වර්ග 500 පමණ හඳුනාගෙන තිබේ. ජෛව විවිධත්වයේ අපූර්වත්වය මෙන්ම ආවේණික ශාක හා සත්ව ප්‍රජාවේ කෝෂ්ඨාගාරයක්‌ බඳු මැණික්‌දෙන අධ්‍යාපනයේ යෙදෙන සිසු සිසුවියනට මෙන්ම මෙරට වැසි කාගේත් අවධානය යොමුවිය යුතුම ස්‌ථානයක්‌ බව කිව හැකිය. ජෛව විද්‍යාත්මක පාරාදීසයක්‌ ලෙස සැලකිය හැකි මැණික්‌දෙන ශ්‍රීලාංකීය අනන්‍යතාව, සංස්‌කෘතිය මෙන්ම බෞද්ධ ජීවන මාර්ගයද විදහාපෙන්වන කැඩපතක්‌ බව කිව හැකිය.

මැණික්‌දෙන පුරා විද්‍යා භූමිය ඉදිරිපිටම මැණික්‌දෙන වැව පිහිටයි. ඒ ආසන්නයේ ඇතාබැඳි වැව ඇතුළු තවත් ලොකු කුඩා වැව් රාශියකි.

කෙසේ වුවද අද ඒ ආසන්නයේ සුවිශාල වෑමැඩිල්ල ජලාශය දැකගත හැකිය.

වසර පුරා විචිත්‍රවූත් සමනල් රංචුද උදේ හවා කුරුළු කූජනයද එහි නිරතුරු දැකිය ඇසිය හැකි සොබා දායාදයන්ය.

මහනුවර ටි්‍රනිටි විද්‍යාලයීය පුරාවිද්‍යා සංගමය පෙර වසර කීපයක්‌ මෙම ස්‌ථානය නඩත්තු කොට සංවර්ධනය කිරීම පිණිස අගනා මෙහෙයක්‌ සිදුකොට ඇති බව කෘතවේදීත්ව සඳහන් කළ යුතුය. වර්තමානයේ එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය සහ ආරක්‍ෂාව යටතේ පවතී.

කෙසේ වූවද මැණික්‌දෙන සම්බන්ධව ජනශ්‍රැති රැසක්‌ පවතින බව ඒ අසල ගැමියෝ අප හා කීහ. ඉන් එකක දැක්‌වෙනුයේ ලංකාවේ වැඩසිටි අවසන් රහතන් වහන්සේ වූ මලියදේව හිමියන් මෙම ස්‌ථානයේ වැඩසිටි බවය. ඒ හිමියන්ගේ ආදාහනෝත්සවය සඳහාද මෙම ස්‌ථානය යොදාගත් බවටද තවත් මතයක්‌ ඇතැයි අසල විදුහලක ගුරුභවතකු අප හා කීය.

මැණික්‌දෙන සැබවින්ම සොබාදහමේද බෞද්ධ ශාසනික විශිෂ්ටත්වයේද අගනා සංකේතයකි. දැක දැක නෙත සිත පහදවාගත යුතු පින් බිමකි. විඳ විඳ නෙක නෙක තුරුලතාවන්හි ආශ්චර්යය ලැබිය යුතුම වන ගොමුවකි. ඒවා අහිංසකය. භක්‌තිමත්ය. මෛත්‍රියෙන් අපදෙස බලනු දැනේ. බුදුරදුන් කීවා සේ තමාට එරෙහිව පොරව ගත් අයට පවා කරුණාවෙන් සලකන තුරු ලතාවන්හි අපරිමිත කරුණා දයාව අපට එහිදී දැකගත හැකිය.

ශ්‍රී ලාංකීය මිතුරනි, එහි යන්න වරක්‌ හෝ මැණික්‌දෙන දැකගන්න. නමුත් අන් සෑම පරිසර පද්ධතියකදී මෙන්ම එම ස්‌ථානයේදීත් සංවරව හැසිරෙන්න. පා සටහන් මිසක මේ බිම අන් කිසිවක්‌ රඳවා නොඑන්න. උපන් දා සිට කරනු පව් නැත වරක්‌ වැන්දොත් කැලණියේ මෙන්ම උපන් දා සිට කරගත් චිත්ත විපත් සනහාගන්නට මැණික්‌දෙන අගනා ඖෂධාලයක්‌ම බවද කිව හැකිය.

නිමල් කණහැරආරච්චි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.