සිරිලක හෙල්ලුම් කැවූ සතාසිවම් නඩුව

හිරු දීප්තිමත්ව බැබළෙමින් තිබුණි. සාගරයේ සිට හැමු නැවුම් සුළඟ සීතල හිමිදිරි වාතය පිරිසිදු කරමින් කොළඹ අංක. 7 ඇල්බන් ප්ලේස්‌හි ජයමංගලම් නිවස සිසාරා හමා යමින් තිබිණි. දිනය හරියටම වසර 60 කට පෙර 1951 ඔක්‌තෝබර් 09 වැනි අඟහරුවාදාය.

කලබලකාරී ගාලු පාරෙන් වැටී තිබුණු බොරළු ඇතිරූ බෑවුම් සහිත පටුමග දිවෙන්නේ බම්බලපිටියේ මුහුදු වෙරළටය. එහි සිට යාර කිහිපයක්‌ ඈතින් වූ පොලිස්‌ ස්‌ථානයට උතුරෙන් පිහිටියේ ජයමංගලම් නිවසය. විසිවන සියවසේ සංවේගාත්මක මිනීමැරුම් සිදුවූයේ මෙම නිවසේය. ඉතා ජනප්‍රිය ක්‍රිකට්‌ ශූරයකු වූ එම්. සතාසිවම් තම බිරිඳ මරා දැමූ බවට චෝදනා ලැබ සිටි අතර එම අපරාධය සිදුවූයේ මෙහිදීය.

ඒ පිළිබඳව පැවැති නඩු විභාගය මුළු ජාතියේම දැඩි අවධානයට යොමුවීමට තරම් සංවේගාත්මක විය.

ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ඊ. එෆ්. එන්. ගේ්‍රෂන් මුලසුන දැරූ බස්‌නාහිර පළාත් බද අධිකරණයේදී විශේෂ ජූරි සභාවක ඒකමතික තීරණයෙන් සතාසිවම් නිදහස්‌ වූ අතර බොරු කීමේ චෝදනාව යටතේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් තිදෙනකු බරපතල වැඩ සහිතව සිරගත කරනු ලැබිණි. මේ ජනප්‍රිය ක්‍රීඩකයා වෙනුවෙන් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා නඩුවට පෙනී සිටි අතර මාස 20 ක්‌ රිමාන්ඩ් භාරයේ සිටි සතාසිවම් පූර්ණ නිදහස ලැබ එළියට පැමිණියේය.

කුතුහලය, නාට්‍ය ස්‌වරූපය හා ආදරය සම්මිශ්‍රව ඇරැඹී මෙම ශෝකාන්තයේ අවසානය ඉතා බියකරුය.

ගෘහ සේවක විලියම් නඩු විභාගයේදී පැවසූ පරිදි සතාසිවම් තම දකුණු පාදය අඩි එකහමාරක්‌ උඩට ඔසවා තම බිරිඳගේ ගෙළ තදින් පාගා දැමුවේද? එසේ නැතහොත් නිදන කාමරයේදී බෙල්ල මිරිකීමෙන් පසුව පණ අදිමින් සිටි බිරිඳගේ උගුර ඔහු පාගා සිටියේද? මෙය සිදුවන අවස්‌ථාවේ නිවාසයේ සිට ඇත්තේ වයස අවුරුදු දෙකක්‌ සහ හතරක්‌ වයසැති දියණියන් දෙදෙනාය. අසල්වැසි අයකුට ඔවුන් පවසා ඇත්තේ මදක්‌ අසනීප ගතියෙන් සිටින තම මව ගරාජයේ නිදා සිටින බවය.

මෙම දියණියන්ගේ කතාව ඇසූ අසල්වැසි කාන්තාව වහාම එහි ගිය විට දක්‌නට ලැබුණේ බියකරු දර්ශනයකි. සතාසිවම් මහත්මිය උඩුබැලිව වැතිරී සිටි අතර වංගෙඩියක්‌ ඇයගේ බෙල්ල මත තිබිණි. ඔවුන්ගේ හිතවත් ගෘහ සේවිකාව වූ පොඩිහාමි ශාන්ත බ්‍රිජට්‌ කන්‍යාරාමයේ සිටි වයස හයක්‌ හා නවයක්‌ වූ ගැහැණු ළමුන් දෙදෙනා සමග එදින සවස එහි පැමිණි අතර වංගෙඩිය ඉවතට ගත් ඇය සතාසිවම් නෝනාගේ නාඩි අල්ලා බලා තම ස්‌වාමිදුව ළඟ වැතිර හඬන්නට වූවාය.

මෙම අපූර්වාකාර සිදුවීම් මධ්‍යයේ පිළිගත් සම්ප්‍රදායට වෙනස්‌වී ආදර්ශමත්ව මෙම පරීක්‍ෂණයට මැදිහත් වූ එවකට පොලිස්‌පති සර් රිචඩ් අළුවිහාරේ මෙවැනි විනිශ්චය මණ්‌ඩලයක්‌ සඳහා වූ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ අධිපති මහාචාර්ය ද සේරම් මෙම මරණ පරීක්‍ෂණය මෙහෙයවීම සඳහා යොදවනු ලැබීය. එවකට අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්‌තර පී. එස්‌. ගුණවර්ධනගේ කිසිම සහායක්‌ නොමැතිව ද සේරම් විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර ඔහුගේ නිගමනය වූයේ මරණයට හේතුව බෙල්ල මිරිකාගෙන සිටීම බව සහ මියගිය සතාසිවම් බිරිඳ හිටගෙන සිටිද්දී ඇගේ ඝාතකයා පිටුපසින් සිට බෙල්ල මිරිකා ඇති බවය.

මෙම නිගමනය නිසා එක්‌තරා සැකයක්‌ පහළ විය. එනම් 18 හැවිරිදි විලියම් නමැති ගෘහ සේවකයා විසින් මුළුතැන්ගෙයි ඇතුළතදී මෙම අපරාධය සිදුකර ඇති බවය. කෙසේ වුවද වයස හතරක්‌ වූ ගැහැණු ළමයා පොඩිහාමිට කියා සිටියේ මෑණියන් ඔසවාගෙන පැමිණි පියා, ඇයව (මව) ගරාජයේ දැමු බවය. ළමයාගේ වයස අනුව මෙය ස්‌වාභාවික ප්‍රකාශයක්‌ නමුත් පසුදින පැවැති මරණ පරීක්‍ෂණයේදී එම ප්‍රකාශය යළිත් කිරීමට ඇය අසමත් වූවාය.

ශ්‍රී ලංකාවට ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තත්ත්වය ලැබීමට බොහෝ කලකට පෙර 1940 දශකය අවසානයේදී ඔස්‌ටේ්‍රලියාව බලා යන මෙන්ම එහි සිට පැමිණි ලංකාව හරහා ගමන්ගත් එංගලන්ත, ඔස්‌ටේ්‍රලියා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම් සමග ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරග මෙහිදී පැවැත්විණි. සියලුම රටවල් ක්‍රිකට්‌ අතින් පරදවා සිටි ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ කණ්‌ඩායම කාගේත් කතා බහට ලක්‌ව ඉතා ජනප්‍රියව සිටි සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ඩ්ගේ නායකත්වය යටතේ ලංකාවට පැමිණි අතර ලංකාවේ කණ්‌ඩායම් නායකත්වය දැරුවේ සතාසිවම්ය. ඔහු ඉතාම දක්‍ෂ පිතිකරුවකු ලෙස මුළු ලෝකයම පිළිගෙන තිබිණි. සර් ඩොනල්ඩ් පවා එය පිළිගෙන තිබිණි.

වගඋත්තරකාර පක්‍ෂය තර්කාන්විතව කියා සිටියේ සතාසිවම් මහත්මිය මුළුතැන්ගෙට එද්දී විලියම් පොල් ගාමින් සිටි බවය. පහත්වී පොල් රැළි කිහිපයක්‌ පරීක්‍ෂාකර බැලූ ඇය එම පොල් රළු බව කියා ඇත. ඇයගේ සැමියාවූ නොසරුප් ලෙස හැසිරෙන පිතිකරු හරියටම ඒ අවස්‌ථාවේ ක්‌වික්‌ෂෝ ටැක්‌සියකින් පිටත්ව ගොස්‌ ඇත. එවිට වේලාව 10.30 ය. ටැක්‌සි රියෑදුරු සාක්‍ෂි දෙමින් පැවසුයේ සැමියා පිටත්ව යනු බැලීමට සතාසිවම් මහත්මිය දොර ළඟට පැමිණි බවය.

මෙම නඩුවේ වගඋත්තරකාර පක්‍ෂය විසින් මෙවැනි අපරාධ විනිශ්චයන් සඳහා ඉතා දක්‍ෂ මෙන්ම ප්‍රවීන විද්‍යාඥයෙකුවූ සර් සිඩ්නි ස්‌මිත් එංගලන්තයේ සිට මෙහි ගෙන්වනු ලැබීය. මහාචාර්ය ද සේරම් එඩින්බර්ග්හි සිටියදී ඔහුගේ ආචාර්යවරයා වූයේද සිඩ්නි ස්‌මිත්ය. ඔහු විසින් මෙම අපරාධය පිළිබඳව කරන ලද පරීක්‍ෂණ අනුව නිරීක්‍ෂණ වූයේ කිසිම තොරතුරක්‌ නොදන්නා මාතර පදිංචිව සිටි විලියම් නමැත්තෙකු මෙම සිද්ධියට දින 11 කට පෙර මෙම නිවසේ රැකියාව සඳහා යෙදූ බවය. ඒ අතරතුර එක්‌ දිනක ඇය ශරීරය විනිවිද පෙනෙන ඇඳුමකින් සැරසී සිටිනු දැක විලියම්ට රාගික හැඟීම් පහළ වී ඉන්පසු ඇයට විරුද්ධකම් කළ බවය.

ඇය තාලිකෝඩ් නම් වූ රන් පවුම් හතකින් නිමකරන ලද මාලයක්‌ ගෙළ පැළඳ සිටියාය. තවත් වටිනා ස්‌වර්ණාභරණ හා මුදල් ද නිවසේ ඇතැයි විලියම් සිතන්නට ඇත. මේ ඉතා හොඳ අවස්‌ථාවක්‌ යෑයිතම හදවතේ යක්‍ෂයා විසින් පොළඹවන ලද විලියම් සිතන්නට ඇත. ඒ අනුව ඔහු වහාම ක්‍රියාත්මක වූයේද? සතාසිවම් මහත්මියට පිටුපසින් පැමිණි ඔහු ඇයව දැතින්ම අල්ලා ගෙළ මිරිකා කුස්‌සියට හා ගරාජයට සම්බන්ධවූ පටු දොර අතුරින් ගෙන ගොස්‌ ඇයගේ ගෙළ පාගා වංගෙඩිය ඇගේ මුහුණ මත තබා සොරාගත් දෑ රැගෙන පලා ගියේද?

එසේ නැතහොත් ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ බිහිවූ ඉතා ප්‍රසිද්ධ ක්‍රිකට්‌ ශූරයා මෙන්ම ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායක මෙන්ම දරුවන් හතර දෙනෙකුගේ පියාවූ ඇගේ සැමියා තමාට විරුද්ධව බිරිඳ විසින් ගොනුකළ දික්‌කසාද වීමේ නඩුව ඉල්ලා අස්‌කර ගන්නා ලෙස තමා කළ ඉල්ලීම ඇය විසින් ඉවත දැමීම නිසා නිදන කාමරය තුළදීම ඒ දෛවෝපගත උදයේ 8.30 ට පමණ ඇයව මරා දැමීමට ඔහු තීරණය කළේය.

සැමියා සහ විලියම් යන දෙදෙනාවම සැකපිට සිර භාරයට ගනු ලැබිණි. සැමියාව සිර භාරයට ගත්තේ එදිනම සවසය. විලියම්ව සිර භාරයට ගත්තේ මාතර ප්‍රදේශයේදී දින නවයකට පසුවය. මෙවැනි අපරාධ නඩු පිළිබඳ විශේෂඥයන් සඳහන් කර ඇත්තේ ගෙළ මිරිකා මැරීමේදී බොහෝ අවස්‌ථාවලදී ඝාතකයාගේ දැත්වල සහ මුහුණේ සීරීම් තුවාල ඇතිවන බවය. දින 10 ක්‌ 12 ක්‌ ගත වීමෙන් පසුව විලියම් දැත්වල සහ මුහුණේ එවැනි තුවාල දැකගත හැකිවිය. එවැනි සැඟවුණ කතා හෙළිදරව් කරන තුවාල සතාසිවම්ගේ ශරීරයේ නොතිබිණි.

ලංකාවට නිදහස ලබා ගැනීම සඳහා පුරෝගාමී වූ සර් පොන්නම්බලම් රාමනාදන්ගේ මිණිබිරියවූ පරිපූර්ණම ආනන්දම් රාඡේන්ද්‍ර සමග සතාසිවම් 1941 වර්ෂයේදී විවාහ විය. ඇයට විශාල දේපළක්‌ උරුමවී තිබිණි. කෙසේ වුවද ඇයගේ විවාහ ජීවිතය ප්‍රීතිමත් එකක්‌ නොවූ අතර ඇයට වැඩි මහල් දියණිය ලැබීමෙන් පසුව දික්‌කසාද නඩුවක්‌ ගොනු කිරීමට ඇයට සිදුවූවාය. කෙසේ වුවද පවුලේ අයගේ මැදිහත් වීම නිසා මෙම නඩුව ඉල්ලා අස්‌කර ගත්තාය. සතාසිවම් දක්‍ෂ ක්‍රීඩකයෙක්‌ වූ නමුත් වර්තමානයේ මෙන් ඔහුට කිසිම ආදායමක්‌ නොලැබුණි. එමෙන්ම ඔහු කිසිම රැකියාවක යෙදී මුදල් උපයන්නෙක්‌ද නොවීය. ඔහු තම මවගෙන් යෑපුණ අතර ඔහුගේ අතිරේක වියදම් දරන්නට වූයේ බිරිඳටය.

මෙයට මාස කිහිපයකට පෙර සතාසිවම් එංගලන්තයේ නිවාඩුවක්‌ ගත කරමින් සිටියදී ඇයවිසින් ඔහුට ලිපි දෙකක්‌ එවූ අතර එහි සඳහන් වූයේ ඇය පත්වී සිටින අන්ත අසරණ හා කාලකන්නි තත්ත්වය ගැනය.

එම ලිපිවල සඳහන් වූ සමහර උධෘතයන් මෙසේය...

"අතිශයින්ම අව්‍යාජව බලාපොරොත්තු සුන්වීම සහ ජීවිතයේ තිත්ත ස්‌වභාවය තුළ කිමිද මේ ලිපිය ලියමි. ඔබ ස්‌ත්‍රීන්ගේ වචනයට යටත්වන පුද්ගලයෙක්‌ වීමට යන්නේ නැත. නමුත් මට මෙතරම් හිරිහැර කරන්නේ ඇයි. මා ඔබව මේ බන්ධනයෙන් නිදහස්‌ කරන්නෙමි. මක්‌ නිසාදයත් ඔබට මගෙන් ලැබෙනවාට වඩා හොඳ දෙයක්‌ අවශ්‍ය නිසා ඔබ මට ගෙදර ඉන්නට සලස්‌වා විනෝදය මුසු ප්‍රීතිමත් බව සඳහා විවිධත්වය උවමනාවෙන් යන බව මා දනිමි. රිදීමය මුව පැටවුන්, නාට්‍ය රංගන, ක්‍රීඩා කරන කාඩ්ස්‌, හැරලවා ලීම්, සුරාපානය, විවිධ වර්ගයේ ක්‍රීඩා මේවා මට දරාගත නොහැකිය. බිත්ති හතරක්‌ සහ මුදල් නිවසක්‌ තනයි. නමුත් එය ගෘහයක්‌ බවට පත් කිරීමට ආදරණීය ප්‍රීතිමත් බිරිඳක්‌ අවශ්‍යය.

බිරිඳ දික්‌කසාද කර තමාව විවාහ කර ගන්නා ලෙස සතා සිවම් රහසිගතව සම්බන්ධයක්‌ පවත්වාගෙන ගිය රූමතියක්‌ වූ ඉවෝන් ස්‌ටීවන්සන් නමැත්තියගේ ඉල්ලීම නිසා සතාසිවම් දිවි ගෙවූයේ පීඩනයක්‌ මධ්‍යයෙහිය. නමුත් බිරිඳගේ නීතිඥයන් වූ මැක්‌ සහ මැක්‌ දික්‌කසාදය පිළිබඳව සිතාසි ඔක්‌තෝබර් 08 වැනිදා එවූ විට සතාසිවම්ට එක්‌ කරුණක්‌ අවබෝධ විය. එනම් බිරිඳට දික්‌කසාද දීමනාවක්‌ මෙන්ම දරුවන් සඳහා නඩත්තු මුදලක්‌ද ගෙවීමට සිදුවන බවය. තවත් දෙයක්‌ නම් බිරිඳට අයිති වත්තෙන් තමාට අයිති කොටසද අහිමිවන බවය. මෙම කරුණු පිළිබඳව එකඟතාවයකට එළඹීම සඳහා මැදියම් රාත්‍රියේ ජයමංගලම් නිවස වෙත ගිය ඔහු රාත්‍රිය එහි ගත කළේය.

අද මෙන් නොව එදා ක්‍රීඩා කිරීමේ වරප්‍රසාද හිමිව තිබුණේ කොළඹ විශිෂ්ඨ ගණයේ ජනයාටය. උසස්‌ ගණයේ ක්‍රීඩකයන් අයත්ව සිටියේ බලසම්පන්න සමාජශීලී පන්තියටය. ක්‍රිකට්‌ ක්‍රීඩාවේදී සතාසිවම්ට එක්‌තරා උරුමයක්‌ හිමිවිය. එනම් අති ශේ්‍රෂ්ඨ ගණයේ ක්‍රීඩකයන්ගෙන් උපදෙස්‌ ලබා ගැනීමටය.

නඩු විභාගයේදී විත්තිය සහ පැමිණිලි පක්‍ෂයේ ශක්‌තිය බැලීමේදී දෙපාර්ශ්වයේම සැලකිය යුතු අඩු ලුහුඬුකම් තිබුණි. සැලකිය යුතු සමාන්තරය ගෙන බැලීමේදී භෞතිකව ශක්‌තිමත් අඩි හයක්‌ වූ සතාසිවම්ගේ හැකියාව අනුව මන්ද පෝෂණයෙන් දුර්වල ශරීරයකින් යුත් බිරිඳව මෙල්ල කළ හැකිය. විලියම් දිවුරා ප්‍රකාශ කළ සාක්‍ෂිය අනුව බිරිඳ නිදන කාමරය තුළ ඉතා අසරණව උඩුබැලි අතට වැටී සිටියදී සතාසිවම් තමවම් දණහිස ඇයගේ පපුවේ දකුණු පැත්තට දකුණු අතට සහ උරහිසට තදකොට සිටියේය. තම දකුණු සහවම් මහපටැඟිලිවලින් ඇගේ උගුර තද කළ ඔහු දැතම යොදා ඉතා වැරෙන් ඇගේ බෙල්ල මිරිකාගෙන සිටියේය.

"අල්ලපන් යකෝ" යනුවෙන් වූ සතාසිවම්ගේ අණට ප්‍රතිචාරය දැක්‌වූ විලියම් දඟලමින් සිටි ඇගේ සිරුර අල්ලා ගත් විට නිදහස්‌ව තිබූ ඇගේ දකුණු අතින් විලියම්ගේ අත සහ මුහුණ සීරුවාය. සානුකම්පිතව තම ආත්මාරක්‍ෂාව සඳහා ඇය එසේ කොට විනාඩි ස්‌වල්පයකදී එම ශෝකාන්තය අවසන් විය. විලියම් එය සිදුවූ ආකාරය විවෘත උසාවියේ පිළිබිඹු කළේය.

මාතරදී සිර භාරයටගත් විලියම් පොලිසියට ගෙන ඒමෙන් පසුව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ ඔහුට ඒත්තු ගැන්වූයේ මෙම අපරාධයේ වගකීම භාරගන්නා ලෙසය. ඔහු විසින් පොලිසියට කරන ලද පළමු ප්‍රකාශය ඒ අනුවය. සමාව දීමේ කොන්දේසියට යටත්ව ඔහු පසුව පැමිණිලෙaල් සාක්‍ෂිකරුවකු බවට පත්විය. විනිසුරු ජූරි සභාවට කළ දේශනයේදී ඔහුගේ දක්‍ෂතාවය සනාථ කරමින් ඉතා වැදගත් සැක සහිත කරුණු හුවා දැක්‌වීය.

තම වෘත්තිය අභිමානය රැකගෙන සිටි ප්‍රවීණ ශල්‍ය වෛද්‍යවරයෙක්‌ වූ මහාචාර්ය පෝල් සහ මහාචාර්ය පීරිස්‌ විසින් එතරම් දෙයක්‌ සඳහන් නොකළ අතර පැමිණිල්ලට වාසිවූ නිරීක්‍ෂණ ඉදිරිපත් කරනු ලැබිණි.

වගඋත්තර පක්‍ෂය මෙහෙයවූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාට සතාසිවම් නිදහස්‌ වීමේ හේතුව නිසා දේශපාලන වන්දියක්‌ ගෙවීමට සිදුවිය. එසේ වූයේ මෙම නඩුව අවසානවී මාස කිහිපයකින් මහ මැතිවරණය එළැඹී ඔහු වැල්ලවත්ත ගල්කිස්‌ස ආසනයට තරග කිරීමේදීය. ජනප්‍රිය මෙන්ම දේවත්වයෙන් සලකන මෙම සමසමාජ පාක්‍ෂිකයා දෙහිවල, ඕබන්සයිඩ් පෙදෙසට ඡන්දය අපේක්‍ෂාවෙන් කළ සංචාරයේදී එක්‌ කාන්තාවක්‌ ඔහුට කීවේ මේ තත්ත්වය අනුව බලද්දී නිදන ඇඳේ සිටින අප කාටවත් ආරක්‍ෂාවක්‌ නැත"යි කියාය. එයට ක්‍ෂණිකව පිළිතුරු දුන් කොල්වින් "මහත්මිය එය ඔබගේ සැමියාට විරුද්ධ දෝෂාරෝපණයක්‌" යෑයි පැවසීය.

ආචාර්ය කොල්වින් නඩුවෙන් දිනූ නමුත් ආසනයෙන් පරාද විය.

වෛද්‍ය මතය ප්‍රයෝජනයට ගනිමින් වගඋත්තරකාර පක්‍ෂය ඔප්පු කළේ මෙම මරණය උදේ 10.30 ට පසුව සිදුව ඇති බවය. මරණය ඊට පෙර සිදුවූවා නම් සතාසිවම් නිවසේ සිටි අතර එසේ නොවේනම් ඇයව මරන්නට ඇත්තේ විලියම්ය. ඊළඟට නිගමනය කළ යුත්තේ මෙම මිනී මැරුම සිදුවූ ස්‌ථානයය. එය නිදන කාමරයේද නැත්නම් කුස්‌සියේද? අවසානයේදී සැලකිය යුත්තේ තුවාල සිදුවූයේ කෙසේද? මේ සියල්ලම සැකයට තුඩුදුන් මූලික කරුණු විය.

ප්‍රසිද්ධ මිනීමැරුම් නඩු පිළිබඳව පොතක්‌ ලියා ඇති ඒ. සී. අලස්‌ විනිසුරු "සතා සිවම් මිනීමැරුම" ඡේදය යටතේ සර් සිඩ්නි ස්‌මිත් වෙත සඳහන් කර ඇත්තේ මෙසේය. "ප්‍රධාන වශයෙන්ම වෛද්‍ය නොවන හේතූන් මත ගොඩනඟා ඇති මෙම අපරාධය පිළිබඳව ඔහු විසින් කර ඇති නිර්දේශ පිළිගැනීමේ බරපතල දුෂ්කරතාවයක්‌ ඇති බව පෙනේ.

ඉතා ප්‍රසිද්ධ එංගලන්තයේ සිඩ්නි පොක්‌ස්‌ නඩුවේ මහාචාර්ය සිඩ්නි සිටියේ පරාජය වන පැත්තේය. එම නඩුවේදී මරණය සිදුවී ඇත්තේ බෙල්ල මිරිකීම නිසා නොව හෘදයා බාධයකින් යෑයි මහාචාර්ය සිඩ්නි කියා සිටි විට එම මතයට අභියෝග කළ විශේෂඥයෙකු වූ සර් බර්නාඩ් ස්‌පිල්බර් කියා සිටියේ එය එසේ නොවන බවය. ඔහුගේ මතය ප්‍රතික්‌ෂේප කළ ජූරි සභාව විත්තිකරු විසින් තම මව මැරීමට වරදකරු බවට තීරණය කළේය.

තමා විසින්ම ලියනලද ජීවිත කතාව තුළින් වැඩි වශයෙන්ම මිනීමැරුම් පිළිබඳව ගෙනහැර පාමින් කරුණු දැක්‌වූ සර් සිඩ්නි සතාසිවම් නඩුව පිළිබඳව නැවත නැවතත් කියා සිටියේ සතාසිවම් මහත්මිය මියගොස්‌ ඇත්තේ 11.30 ට පමණ බව සහ ඇගේ මිනීමරුවා විලියම් බවය.

විලියම් සාක්‍ෂි දෙමින් කියා සිටියේ කාන්තාව නොව සතාසිවම් උණුසුම් වචන හුවමාරුවකින් පසුව (තමාට මෙම දෙදෙනාගේ තදබල වචන හුවමාරුව ඇසුණ බව ඔහු සඳහන් කළේය.) උඩු මහලේ සිට කුස්‌සියට පැමිණ තම සැලැස්‌ම ක්‍රියාත්මක කිරීම සඳහා තමාට සහාය වන ලෙසය. එවිට වේලාව උදේ 9.00 බවය. බියට පත්වූ විලියම්ගේ අතින් අල්ලාගත් සතාසිවම් තම සැලසුම පිළිබඳව කියමින් උඩුමහලේ නිදන කාමරය වෙත ගියා නම් ඔහු එම අපරාධය සිදුකිරීමට අදහස්‌ කළේ ඇයි? දින 11 ක වැටුප පවා ප්‍රතික්‌ෂේප කොට එම නිවසින් වහාම දුවගෙන ඉවතට යැමට සූදානම් වූ විලියම් තමාව මුදාහරින ලෙස සතාසිවම්ට ඇවිටිලි කළේය. විලියම්ගේ අතින් අල්ලාගත් ග්‍රහණය තවත් තද කළ සතාසිවම් රන් බඩු විශාල ප්‍රමාණයක්‌ සහ මුදල්ද දෙන බවට පොරොන්දු විය.

විලියම්ගේ ප්‍රකාශය අනුව ඔවුන් දෙදෙනා නිදන කාමරයට ඇතුළු වෙද්දී කාන්තාව ඇඳ උඩ වාඩිවී සිටියාය. ක්‍ෂණයකින් ඇය වෙත කඩා පැන්න සතාසිවම් ඔහුගේ වම් අතින් ඇයගේ කොණ්‌ඩයෙන් ඇද දකුණතින් උගුරෙන් අල්ලා බිමට ඇද දැමීය.

ස්‌වාමියා (සතාසිවම්) ඇය පැළඳ සිටි තාලිකොඩිය, වළලු දෙක සහ දියමන්තියක්‌ ඔබ්බවා ඇඟිල්ලේ තිබූ මුද්ද ද ගලවා ඇගේ අත් බෑගයෙන් මුදල් නෝට්‌ටු කිහිපයක්‌ද ගෙන ඒවා විලියම්ට දී පොරොන්දුව ඉටු කළේය.

සතාසිවම්ව නිදහස්‌ කිරීමට තුඩුදුන් සැකයේ මූලික දේ නිර්මාණය කිරීමට සතාසිවම් තම සැලැස්‌ම අනුව ක්‍රියා කිරීම සඳහා විලියම්ගේ සහාය ලබා ගත්තේද?

මරාදමනු ලැබූ තම බිරිඳට අයත්ව තිබූ වත්තෙන් බාගයක නිත්‍යානුකූල හිමිකරුවූ සතාසිවම් විදේශගත වී තමා ඉතා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පෙම් කළ ආදරවන්තිය වූ ඉවෝන් ස්‌ටීවන්සන් සමග විවාහවී ලංකාව, මැලේසියාව හා සිංගප්පූරුව යන රටවල ක්‍රිකට්‌ ක්‍රීඩාව මෙහෙයවමින් නායකත්වය දරා ලෝක වාර්තාවක්‌ තැබීය.

වෛද්‍ය නීති සංගමය විසින් 1984 වර්ෂයේදී කොළඹ නව නගර ශාලාවේ පැවැත්වූ වාර්ෂික රැස්‌වීමේදී ප්‍රධාන දේශනය පැවැත්වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා න්‍යායවාදීව පැහැදිලි කළේ විලියම් විසින් කාන්තාව මැරූ බවය. ඔහු කතා කළේ නොයෙක්‌ දේ සැලකිල්ලට ගෙන බැලුවිට නිගමනය කළ හැකි ප්‍රාසංගික සාක්‍ෂි අනුවය. (මෙම ලේඛකයා ඒ අවස්‌ථාවේ ශ්‍රාවක පිරිස අතර සිට ඇත.)


ෆේමස්‌ ක්‍රිකටර් ඇක්‌විටඩ් ඔෆ් මර්ඩරින් වයිෆ් ආෆ්ටර් ලෝ ඕඩියල්" යනුවෙන් කේ. කේ. එස්‌. පෙරේරා නමින් 09.10.2011 සන්ඩේ අයිලන්ඩ් පත්‍රයේ පළවූ ලිපියේ සිංහල අනුවාදයයි.

පරිවර්තනය:
එස්‌. කේ. ඡේ. කුරේරා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.