ඇයත් කඳුළත් අතර වෙනස පහදා දෙන්න

මේ රටේ ඇති හැක්‌කන්ගේ ලොකු ලොක්‌කන්ගේ දරුවන් මොලේ වැඩෙන්නට සැපට කිරීබී ශක්‌ති ජනක පෝෂ්‍යදායී තවත් බොහෝ දෙයින් බංඩිය පුරවා ගනිද්දී නිවසේ තිබූ හාල්මිටක්‌ ලිප තැබූ ඒ අම්මා ජීවනී යාන්තමට තනා ගත් කිරි හොද්දක්‌ සමග තමන් සමීපයේ සිටින පැටික්‌කියන් දෙදෙනාට බත් කටක්‌ කවන්නට වූවාය.

තවමත් දසමස්‌ වියෑති පුංචිම දියණිය ඇකයේ රුවාගෙන පිඟානේ වූ බත් ඇට කිහිපයක්‌ මිරිකා ගුලි කර ඇගේ මුවග තබන අතරේ අට හැවිරිදි වියේ පසුවන අනෙක්‌ දියණියගේ කුස පිරවීමටද ඇය ගනිමින් සිටියේ දැඩි වෙහෙසකි.

ආයාසයෙන් තැනුන කිරි හොද්දත් සමග පොරබදන ලොකු ඇට හාලේ බතෙන් නැගෙන නීරස බව නිසාමදොa පුංචි පැටික්‌කියන් දෙදෙනා එය උගුරෙන් පහලට දමා ගැනීමට දැඩි මැලිකමක්‌ දක්‌වන්නට වීම මවගේ වෙහෙසට හේතු වෙමින් තිබිණ.

අනා කවන බත් පිඬ ගිලීමට දරුවන් දරනා වෙහෙස දැකීමෙන් එක්‌වරම රත්පැහැ වූ ඇගේ දෙනෙතින් වැටුණු කඳුළු බිඳුවක්‌ ඇය දරුවන්ට රහසේම පිසදමන්නට වූවාය.

කෙසේ හෝ දැරූ වෙහෙසත් සමග පිඟානේවූ බතින් දැරියන් දෙදෙනාගේ කුස්‌ පිරවූ ඇය අවසානයේ ලොකු වතුර ජෝගුවක්‌ ගෙන එයද දරුවනට පොවන්නට වූයේ තිබූ බතින් අඩක්‌ පිරී තිබූ පුංචි බඩගෙඩි දෙකෙහි තවමත් තිබෙන ගින්න නිවා දමන්නාක්‌ මෙනි.

සියල්ල නිමාවේ මේ අම්මා තමන්ගේ කුසට කිසිත් නොමැතිවම හිරු බැස යමින් තිබූ ඒ දහවලේ මෙතෙක්‌ හිසට සෙවන දුන් අඩක්‌ නිමව ඇති නිවසේ සිට දරු දෙදෙනාද රැගෙන ගෙමිදුලට පැමිණියේ සිතේ වූ බර සැහැල්ලු කරගන්නා අටියෙන් විය යුතුය.

මිදුලට බට සැණින් නිවසේ බිත්තියක වූ විවරයක්‌ වැසීමට යොදා තිබූ සුදු ඉටි රෙද්දක්‌ අසළට දිවගිය අට හැවිරිදි දැරිය කොහෙන්දො සොයා ගත් පෑන් කබලක්‌ ගෙන යමක්‌ ලියන්නට වූවාය.

"මගේ තාත්තාට බුදු සරණයි.. තාත්තේ ඉක්‌මනට එන්න.. පුංචි දියණියගේ සිතේ වූ හැඟීම් ඒ ඉටි කොළය මත සියුමැලි දැතින් අකුරු වෙමින් තිබුණේ එලෙසිනි.

අතොරක්‌ නැතිව මොනවදො කියවමින් දැරිය එසේ බිත්තිය කුරුටු ගාන අතරේ කුඩා සිඟිත්තිය තුරුළු කර ගත් ඒ අම්මා ජීවනී මිදුලේ වූ ගස්‌ සෙවනක හිඳ ඇය නලවමින් සිටියාය.

ජීවනී. තවමත් ජීවිතයේ තාරුණ්‍යය පසුකර නොගිය ඇය තරුණය. ඒ රුව සොඳුරුය. එහෙත් මොකක්‌දොa මහා අඳුරකින් ඇගේ මුව වැසී ගොසිනි.

කාලය තත්පර විනාඩි වෙමින් ගෙවී යන්නට විය. මේ අතරේ ජීවනීලා ජීවත් වන ඒ නිවස අද්දරින් වූ මාර්ගයේ කොනකින් මිනිස්‌ රුවක්‌ මතු වෙමින් තිබිණි.

හේ තරුණයෙකි. කෙමෙන් කෙමෙන් නිවස ආසන්නය දක්‌වාම මාර්යේ පැමිණි තරුණයා එය පසුකර යමින් සිටියේය. ගත වූයේ තවත් මොහොතකි. එක්‌ වරම ජීවනීගේ අතහුන් සිඟිත්තිය ඒ රුව දෙසට දැත් දිගුකරමින් ම්ම්.. ම්ම්.. යෑයි හඬින් මවට යමක්‌ පවසන්නට වූවාය.

එකෙනෙහි "ඒ මගේ පුතාගේ තාත්තා නෙමේ පුතේ.. යෑයි පවසමින් හදවතින්ම නැගුණු සිහින් ඉකියක්‌ද සමගින් සිඟත්තියට පැවසූ ජීවනී ඇය සනසන්නට උත්සාහ දැරුවාය.

එහෙත් එය නිශ්ඵල උත්සාහයක්‌ම විය. මාර්ගයේ ඇදුන රුව නොපෙනී ගිය කල්හි සිඟිත්තිය මහා හඬින් හඬා වැටෙන්නට වූයේ දහවත් කම්පා වන ලෙසිනි.

මේ සමගම දැසින් වැටෙන කඳුළු බිඳු සමග හුන් තැනින් නැගී සිටි ජීවනී සිඟිත්තියද රැගෙන යළි නිවසට යන්නට වූයේ ඇය සනසාලන්නට පුංචි මුවගට සිය තන පුඬුවක්‌ද ලන් කරමිනි.

මෙසේ මව සිය නැගණියද රැගෙන නිවස තුළට යනු දුටු, එතෙක්‌ තාත්තා පිළිබඳ කුරුටු ගී ලියමින් සිටියා වූ දැරියද මවගේ ගවුමේ කොනක එල්ලී ඇදී යන්නට වූවාය.

සිඟිත්තිය තවමත් මහා හඬින් හඬා වැටෙමින් සිටින්නීය. "මයේ පුතේ"කියමින් බිඳුණු හඬින් ජීවනී ඇය සනසන්නට වෙහෙස දරන්නීය. මේ අතරේ "අම්මේ තාත්තා අද එනවා නේදැයි අනෙක්‌ දැරිය මවගෙන් විමසන්නීය.

"නැහැ මගේ පුතේ තාත්තා අදත් එන්නේ නැහැයි ඇයට පිළිතුරු දෙන ජීවනී දරුවන් බදාගෙන ඉකි ගසමින් කඳුළු සලන්නීය.

අපි මොහොතක්‌ බලා සිටියෙමු. නොදන්වාම ජීවනීලාගේ නිවස සොයා ගිය ගමනේදී දුටු මේ සංවේදී දසුන් පෙළ දැකීමෙන්දොa හදවතත් හිසත් එකවර කියාගත නොහැකි බරකින් වෙහෙසට පත්ව ඇත්තේය.

ජීවනී යනු කවුරුන්ද? ඒ මේ සමාජයේ අනුන්ට ගිනිගෙඩි දෙන නරුමයකුගේ සතුට හමුවේ අද සිඟිති දැරියන් දෙදෙනකුද සමගින් තනිවම ජීවිත සටනට උරදී සිටින අපේ කාලයේ ගැහැණියක බව මුලින්ම කිව යුතුව ඇත.

ඈත එපිට දුෂ්කර ගම්මානයක නොව කොළඹට නුදුරු දනව්වක ඇති කිරිඳිවැල නම් වූ ගම්මානයේ සිය සිඟිති පැටවුන් දෙදෙනාද සමග තනිවී සිටින ඇය ජීවනී කුමාරිය.

පනන්ගල කම්කානම්ලාගේ අසංක රංජිත්. මේ කිරිඳිවැල, නඳුන්ගොල්ල, මණ්‌ඩාවල ගමේ ජීවත් වූ කාටත් අහිතක්‌ නැති සැබැවින්ම අහිංසක චරිතයක්‌ වූ සොඳුරු තරුණයෙකි.

අද ජීවනී සමග අසරණව තනිව සිටිනා පුංචි දැරියන් දෙදෙනා අතරින් අට හැවිරිදි පැටික්‌කිය කුරුටු ගී ලියනා සහ දසමසක්‌ වූ සිඟිත්තිය මගයන මිනිස්‌ රූ දැක රැවටී පිය සෙනෙහස ඉල්ලා හඬා වැටෙනා ඔවුන්ගේ ආදරණීය තාත්තා මේ අසංකය.

"ඔව් මහත්තයෝ ඒ මගේ අසංක.. හය හතර නොතේරෙන මේ පැටව් දෙන්නගේ තාත්තා එයා.. ඒ මගේම අහිංසක අසංක.. ඒත්a..

ජීවනී දැන් හැඟීමක්‌ දැනීමක්‌ නොමැත්තියක සේ මහා වේදනාවකින් යුතුව දැසේ උතුරා හැලෙන කඳුළු සමග ඒ කථාව අපට කියමින් සිටින්නීය.

ඒක මහා මූසල කථාවක්‌ මහත්තයෝ.. මගේ අසංක මටයි දරුවෝ දෙන්නටයි පණ වගේ ආදරෙයි.. එයා වෙන සමාගමක්‌ මාර්ගයෙන් විදුලිබල මණ්‌ඩලේ කම්කරුවෙක්‌ විදියට රස්‌සාව කරලයි අපිව රැක ගත්තේ.. අපිට කන්න අඳින්න දෙන්න අසංක හුඟක්‌ මහන්සි වෙලා වැඩ කළා.

ඒත් අසංක ගත්ත පඩිය අපිට ජීවත් වෙන්න තරම් ලොකු එකක්‌ වුණේ නැහැ.. ඒ වුණාට මගේ අසංක කොහොම හරි අපිව ජීවත් කළා.. අපි සතුටින් හිටියා මහත්තයෝ.

අපි ජීවත් වුණේ මේ තියෙන අසංකගේ මහගෙදර.. මෙහෙම අපි සංතොසෙන් ඉන්න අතරේ තමයි දවසක්‌ ගෙදර ලයිටි බිල ගෙවා ගන්න බැරුව විදුලිබල මණ්‌ඩලේ මහත්තුරු ඇවිත් ලයිට්‌ කපලා ගියේ..

එදා ඉඳන් අපි කුප්පි ලාම්පු පත්තුකරගෙන රෑට ගෙදර හිටියේ.. ඒත් ඒක අසංකගේ හිතට මහා දුකක්‌ වෙලා තිබුණේ.."ජීවනී දරුපැටව් දෙන්නා කළුවරේ ඉන්නකොට පපුව වාවන්නේ නැහැ ළමයෝ කිය කියා එයා හැම වෙලේම මගෙත් එක්‌ක කිව්වා..

රුපියල් හාරදාහක්‌ ගෙදර ලයිට්‌ බිල ගෙවන්න තිබුණා.. ඒත් ඒ මුදල ගෙවා ගන්න බැරුව අපි මාස දෙකක්‌ කරුවලේ හිටියා.. අසංක ඒ හැම දවසකම දුකින් හිටියේ මහත්තයෝ..

මේ නිසාම ගිය නොවැම්බර් මාසේ පඩිය අරගෙන කොහොම හරි කරන්ට්‌ එක ආපහු අරගන්න අසංක බලාගෙන හිටියේ.. ඒත් මේ අතරේ තමයි අපේ චූටි දුව ඉමාෂා ලෙඩ වුණේ.. දරුවට ගොඩක්‌ අමාරු වුණා..මේ විදිහට එක දවසක්‌ ගෙවිලා ගියා..

ඒත් දරුවට හොඳ වුණේ නැහැ.. අනේ ඊළඟ දවසේ හවස්‌ වෙනකොට දරුවට හොඳටම අමාරු වුණා.. අසංක හිටියේ හරිම දුකින්..

"ජීවනී.. රෑට දරුවට අමාරුවක්‌ වුණොත් කළුවරේ අපිට මුකුත් කරගන්න බැරුව යනවා.. මට හෙට පඩි හම්බ වෙනවනේ.. හෙට ලයිට්‌ බිල ගෙවලා කරන්ට්‌ එක ගමු.. එතකන් අපි පොඩි වැඩක්‌ කරමු..

"පහුවෙනිදා තමයි අසංකට පඩි හම්බ වෙන දවස.. එදා හවස එයා මට ඒ විදිහට කියලා ගෙදර වයර් එකට මොනවද කරලා කරන්ට්‌ එක ගත්තා..

මේක වැරද්දක්‌ තමයි මහත්තයෝ.. ඒත් එදා මගේ අසංක ඒ දේ කළේ දරු පැටියා අසනීපෙන් කළුවරේ තියා ගන්න බය වුණ නිසා.. එයා දරුවන්ට ඒ තරමට ආදරෙයි..

මේ විදිහට එදා දවස ගෙවිලා ගියා.. පහුවදා උදේ අසංක ගෙදරින් ගියේ අද පඩියත් අරන් ලයිට්‌ බිලත් ගෙවලා එනවා කියලයි.. ඒත් අසංක ගිහිල්ලා පැය දෙකතුනක්‌ යනකොට විදුලිබල මණ්‌ඩලේ මහත්තරු කට්‌ටියක්‌ අපේ ගෙදරට ආවා..

ගමේ කවුද කෙනෙක්‌ උදේම ඔත්තුවක්‌ දීලා අපි ලයිට්‌ කපලා තියෙද්දී ගෙදරට කරන්ට්‌ එක අරගෙන කියලා.. ඒකයි විදුලිබල මණ්‌ඩලේ මහත්තුරු පහුවෙනිදාම අපේ ගෙදරට ආවේ..

ඒ මහත්තුරු අපේ ලයිට්‌ මීටරේ පරීක්‍ෂා කළා.. පස්‌සේ කිව්වා ගෙදර ලයිට්‌ දාන්න කියලා.. මම ලයිට්‌ දැම්මා.. ඒවා පත්තු වුණේ නැහැ.. පස්‌සේ එයාලා ගේ ඇතුළට ඇවිත් බැලුවා.. එතකොට ඒ මහත්තුරු දැක්‌කා ගෙදර වයර් එකට කටුවක්‌ ගහල තියෙන විදිහ..

ඒක දැක්‌ක ගමන් විදුලිබල මණ්‌ඩලේ මහත්තුරු මට කිව්වා.. ඔයාගේ මහත්තයා මණ්‌ඩලේට සම්බන්ධ රස්‌සාවක්‌ නේද කරන්නේ.. මේක ලොකු වැරද්දක්‌.. දැන් ඉතින් එයාගේ රස්‌සාවත් නැතිවෙයි.. ඒ විතරක්‌ නෙමේ ලොකු දඩේකුත් ගෙවන්න වෙයි කියලා..

එහෙම කියලා ඒ මහත්තුරු මොනවද ලියාගෙන යන්න ගියා.. එයාලා ගිහින් ටික වෙලාවකින් දවල්ට කෑම කන්න මගේ අසංක ගෙදරට ආවා මහත්තයෝ..

මම අසංකට වෙච්ච දේ කිව්වා.. අනේ ඒ එක්‌කම අසංක කිව්වා "අයියෝ ජීවනී.. දැන් මම ගමට ලොකු හොරෙක්‌ වෙනවා.. මේක මහා ලඡ්ජාවක්‌.. මම කොහොමද ගමට මූණ දෙන්නේ.. ඊටත් වඩා රස්‌සාවත් නැති වෙනවා කියලා..

එහෙම කියලා අසංක ගොඩක්‌ වෙලා කල්පනා කර කර හිටියා.. ඒ ඉඳලා ජීවනී මම හන්දියට ගිහින් එන්නම් කියලා ගෙදරින් ගියා.. ගිහින් ටික වෙලාවකින් ආයිත් ඇවිත් වැසිකිළය පැත්තට ගියා..

එවෙලේ මම හිටියේ අසංකට දවල්ට කන්න බත්ටික බෙදන ගමන්.. එවෙලේ තමයි මහත්තයෝ අසංකගේ තාත්තා එකපාරටම කෑ ගැහුවේ මෙන්න අසංක වහ බිව්වා කියලා..

මම චූටි දුවත් අරගෙන දුවගෙන ගියා.. ඒත් ඒ වෙනකොට තාත්තා අතට ගැහුවත් අසංක ගමට මූණ දේන බැරි ලැඡ්ජාවටයි රස්‌සාව නැති වෙන බයටයි.. අතේ තිබුණ වහ කුප්පියම බීලා..

මම එතන්නට දුවගෙන ගියහම මගේ අතේ හිටිය දරුව වඩා ගත්ත අසංක ඇස්‌ දෙකේ කඳුළු පුරෝගෙන දරු පැටියව ඉම්බා.. අනේ මම හයියෙන් කෑගහල හැමොගෙම උදව්වෙන් අසංකව ඉස්‌පිරිතාලෙට අරන් ගියා..

ඒත් මගේ අසංක අපිව දාලා ගියා මහත්තයෝ.. මමයි දරුවෝ දෙන්නයි දාලා අසංක ගියා.. දැන් මගෙන් දරුවෝ දෙන්නා තාත්තව ඉල්ලනවා මහත්තයෝ.. මම එයාලට කියන්නේ මොනවද?

ඒ වචන කිහිපයද ආයාසයෙන් අප ඉදිරියේ පැවැසූ ජීවනී අප ආගන්තුකයන් වුවද අසංකගේ වියෝව සිහිකර නිනව්වක්‌ නොමැතිවම මහා හඬින් වැළපෙන්නට වූවාය.

අපිද ගල්ගැසී බලාසිටියෙමු. සැබැවින්ම නදුන්ගොල්ල මණ්‌ඩාවල ගමේ විසූ අසරණයකුගේ දුක නොහඳුනනා වසළයකු කළ ක්‍රියාවක්‌ හමුවේ සිදුව ඇති අසංකගේ සමුගැන්මෙන් මේ ගැහැණියගේ හදවත දැවෙනා ඒ ගින්දර කොතෙක්‌ වී තිබේද?

මේ ගැහැණියගේ හදවත දවනා ඒ ගින්නෙනුත් අසරණ දරු පැටවුන් දෙදෙනකුට පිය සෙනහස අහිමි කිරීමේ ශාපයෙනුත් එකී වසළයාට කිසිදා ගැලවීමක්‌ ලැබේද?

අසංක කර ඇත්තේ වරදක්‌ බව සැබෑවකි. එහෙත් අසංකගේ රෝගී සිඟිත්තිය දැක දැකත් එකී වරදට ඔහු පෙළඹවූ මානුෂීය නිමිත්ත හමුවේ එදා විදුලිබල මණ්‌ඩලයෙන් අසංකලා ජීවත් වූ ඒ අසම්පූර්ණ නිවසට කඩාවැදුණු මහත්වරුන් තුළ මිනිස්‌කම මතු වූයේ නම් ජීවනීගේත් දරු දෙදෙනාගේත් ජීවිත අදටත් වාසනාවන්ත නොවන්නේද?

ජීවිතය යනු අන් සියල්ල සේම අනිත්‍යයකි. ඒ අනිත්‍ය දහම තුළ ජීවනීගේත් දරුපැටවුන්ගේ දෛවයේ සරදමක්‌ සේ නරුමයකුගේ පාපී ආශාවක්‌ ඉදිරියේ අසංක අද ඔවුන්ගෙන් ඈතට ගොසිනි.

එකී පරම සත්‍යය පිළිබඳ සිතා අපට මේ සිදුවීම අමතක කළ හැකිය. එහෙත් මේ හමුවේ අද විඳවමින් සිටිනා ජීවනීගේත් දරු දෙදෙනාගේත් හෙට දවසත් ඇත්තේ අවිනිශ්චිතවය.

අට හැවිරිදි පාරමී චමෝද්‍යා. මේ අසංකගේ වැඩිමහල් දියණිය වන්නේය. ඇය දැන් තුන් වන වසරේ අධ්‍යාපනය හදාරන්නීය. මාස දහයක්‌ වූ අසංකගේ අනිත් දියණිය ඉමාෂා දිව්‍යාංජලී වන්නේය.

"මහත්තයෝ.. අද අසංකගේ ගෙදර අය දෙන උදව්වකින් තමයි මේ දරු පැටව් දෙන්නයි මමයි වේලක්‌ නොකා වේලක්‌ කාල හරි ජීවත් වෙන්නේ.. පුංචි දුවට තවම මාස දහයක්‌ නිසා මට රස්‌සාවකට යන්නත් විදිහක්‌ නැතිවෙලා.. එයා මම නැතුව ඉන්නේ නැහැ..

ඒත් අසංකගේ ගෙදර අයටත් අපිට උදව් කරන්න තරම් ලොකු ශක්‌තියක්‌ නැහැ මහත්තයෝ.. එයාලත් අසරණයි.. මේ ජීවනී තමාත් දරු පැටවුන් දෙදෙනාත් අද මුහුණ දී සිටින ඉරණම පිළිබඳ අවසානයට අපට කී කථාවය.

මේ බිමේ මෙවන් අසරණ පැටවුන් සිටින්නේය. එහෙත් මහත්වරුනි මේ සිටිනුයේ එකී අසරණ පැටවුන් අතරින් අහම්බයකින් මෙන් අපට හමුවූ පුංචි පැටවුන් දෙදෙනෙකි.

සංසාරයේ අප යන ගමනේදී මේ ජීවිතය යනු එක්‌ නවාතැනක්‌ පමණක්‌ වන්නේය. අප ඒ නවාතැනේදී බොහෝ දේ පොදි බැඳ ගන්නේය. නමුත් කෙදිනක හෝ අප මේ නවාතැනින්ද නික්‌ම යා යුත්තේමය. ඒ ගමනේදී අප පොදි බැඳි කිසිවක්‌ ගෙන යා නොහැක්‌කේය. ඒ සියල්ල හැරදා අප යා යුත්තේය.

එහෙත් අද අසරණව සිටින මේ මවත් අසංකගේ දරු පැටවුන් දෙදෙනාත් වෙනුවෙන් යමක්‌ කිරීමට හැකිනම් මේ නවාතැනින් සමු ගන්නා දා රැගෙන යැමට දෙයක්‌ ඉතිරි කර ගැනීමට ඔබට හැකි වන්නේය.

ඉදින් ඒ ඉතිරියත් සමග කෙදිනක හෝ යා යුතු ඒ ගමන යැමට අපි සැරසෙමුද? එසේ නම් ඔබට ඒ ඉතිරිය කරන්නට කිරිඳිවැල ලංකා බැංකු ශාඛාවේ ජීවනී කුමාරි නම් ඒ මවගේ නමින් විවෘතව ඇති අංක 3993124 දරණ ගිනුමක්‌ වන්නේය.

ඉන් එහා යමක්‌ කිරීමට ඔබට හැකි නම් මේ දරු පවුල පිළිබඳ බොහෝ තොරතුරු අප සතුව ඇත්තේය.

සමන් ගමගේ
ඡායාරූප සෝමපාල නැලිගම

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.