සයනයිඩ් එන්නතෙන් බිරිඳට දඬුවම්

මීගමුව ප්‍රදේශයේ දුප්පත් පවුලක ඉපිද හැදී වැඩුනු ෆේරෝස්‌ පසු කලෙක මීගමුව පාතාලයේ බලවතා බවට පත්විය. මීගමුව ජින්බෑන් කල්ලියේ නායකයා වූ ටයිටස්‌ මරා දැමීමෙන් පසු පාතාල බලය අල්ලා ගත් ෆේරෝස්‌ මහා පරිමාණයෙන් කප්පම් ලබා ගැනීම, කොන්ත්‍රාත් මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්කුඩු ජාවාරම් ඇතුළු දූෂිත ක්‍රියාවල නිරත වූහ.

මේ ෆේරෝස්‌ පිළිබඳ කතාවේ දෙවෙනි කොටසයි

මීගමුව එත්තුකාලේ චන්දරේ ෆේරෝස්‌ගේ කිට්‌ටුවන්තම මිතුරෙකි. ෆේරෝස්‌ගේ පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ ඔහු දැන සිටියේය. තරුණ ලඳුන් ඇසුරු කිරීමට ෆේරෝස්‌ තුළ වූයේ දැඩි ලොල් බවකි.

බොහෝ අවස්‌ථාවල ෆේරෝස්‌ අබිසරුලියන්ගේ පහස සොයාගියේ චන්දරේ සමඟය.

දිනක්‌ චන්දරේ සිය සමීපතම මිතුරාවූ ෆේරෝස්‌ සොයා ආවේය. චන්දරේ ෆේරොස්‌ගේ කනට කර යමක්‌ කීවේය. ඔහුගේ මුහුණ ප්‍රීත්‍රිජනක හැඟීමකින් ආලෝකමත් වූයේ නිරායාසයෙනි.

"පෑලියගොඩ සෝමා අක්‌කගේ ජොයිට්‌ එකට අලුත් ළමයි වගයක්‌ ඇවිත්. සෝමා අක්‌කා මට දෙතුන්පාරක්‌ම කථා කළා. මොකද කියන්නෙ. චන්දරේගේ යෝජනාවට ෆේරෝස්‌ද එකපයින් කැමැත්ත පළ කළේය. ත්‍රිරෝදරථයකට ගොඩවූ මිතුරන් දෙදෙනා පෑලියගොඩ නගරයෙන් ඔබ්බට වූ සුවිසල් නිවසක්‌ කරා යැමට ගමන් ඇරඹූහ.

රාත්‍රිය එළඹෙමින් තිබිණි. හෝරාවක්‌ ගතවෙන්නට පෙර මිතුරන් දෙදෙනා රැගත් ත්‍රිරෝද රථය පෑලියගොඩ සුවිසල් නිවස කරා සේන්දු විය.

චන්දරේ සිය මිතුරාද කැටිව පාලු නිවසට ගොඩවුණේ තරමක කුතුහලයෙන්ය. නිවස ඉදිරිපිට මන්ද්‍රලෝකය ගෙන ඉන් විදුලි බුබුළු කීපයකි. චන්දරේ නිවස ඉදිරිපිට වූ විදුලි සීනුව කීප වරක්‌ නාද කළේය. සුළු වේලාවකට පසු නිවසේ ප්‍රධාන දොර විවෘත විය. දොරෙන් එබිකම් කළ තරුණ කාන්තාවක්‌ චන්දරේ සහ ෆේරෝස්‌ දෙස කුතුහලයෙන් මෙන් බලා සිටියාය. සෝමා අක්‌කේ... මේ අපි ඔයාට අඳුනගන්න බැරි වුණාද?

චන්දරේ හෙමිහිට කෙඳිරුවේය.

"අපි හිතුවා අපිව අමතක වෙලා කියලා. කාලෙකින් මේ පැත්තෙ ආවෙත් නැහැනෙ. අලුත් යාළුවො ටිකක්‌ ඇවිත් ඉන්නවා. හොඳ කෙනෙක්‌ තෝරාගන්න පුළුවන්.

"චන්දරේ සහ ෆේරෝස්‌ සාදරයෙන් පිළිගත් සෝමා අක්‌කා ඔවුන් කැඳවාගෙන සුවිසල් නිවසේ කාමරයක්‌ වෙත ගියාය. අන්ධකාරය යන්තමින් මකා දැමීමට සමත් විදුලි බුබුලකින් කාමරයට ආලෝකය ලැබී තිබිණි.

කාමරයේ වාඩිවී සිටි සුරූපී ළඳුන් දැකීමෛන් ෆේරෝස්‌ ගල්ගැසිණි. චන්දරේ සිය සගයා දෙස බලා සිනාසුනේ ඇසකින් ඉඟිමරමින්ය.

"මේ ගොල්ලො අලුතෙන්ම ආව අය. කැමැති කෙනෙක්‌ තෝර ගන්නන පුළුවන්."

නිහ`ඬ බව බිඳගෙන සේමා අක්‌කා කථා කළාය. ෆේරෝස්‌ සුරූපිනියන් දෙස වරින් වර බලන්නට වූයේය. කාමරය කෙළවරේම පුටුවකට බරදී සිටි සුරූපිනියක්‌ වෙත ඔහුගේ සිත ඇදී ගියේ නිරායාසයෙන්ය. මොහොතක්‌ කල්පනා කළ ෆේරෝස්‌ ඇය දෙස බලා හිසෙන් සංඥාවක්‌ කළේය. තුනට හතරට නැවූ රුපියල් පන්සියයේ නෝට්‌ටුවක්‌ සෝමා අක්‌කා අත තැබූ ෆේරෝස්‌ අබිසරුලියද කැටිව නිවසේ අඳුරු කාමරයකට රිංගුවේය.

"ඇත්තටම ඔයා ලස්‌සනයි ඇයි මේ වගෙ තැනක රස්‌සාවට ආවෙ. ඔයාට හොඳ තැනක ලොකු රස්‌සාවක්‌ කරන්න තිබුණා."
ෆේරෝස්‌ සුරූපිනිය දෙස මොහොතක්‌ බලා සිට එසේ කීවේ ඇය කෙරෙහි ඇතිවූ ආදරය සිතේ සඟවාගෙනය.

"මෙතනට එන හැම කෙනාම කියන්නෙ ඔය කථාව තමයි. ජීවත්වෙන්න ගන්න මහන්සිය දන්නෙ අපි විතරයි. මහත්තයා ආව වැඩේ කරගෙන කරුණාකරල මාරුවෙලා යනවද?"

සුරූපිනිය තරමක නෝක්‌කාඩු ස්‌වරයෙන් කීවාය. ඇගේ කථා විලාශයෙන් ෆේරෝස්‌ගේ සිත කීරිගැසිණි. එහෙත් මේ තරුණ කාන්තාව කෙරෙහි ෆේරෝස්‌ගේ සිතේ ඇතිවී තිබුණේ අමුතුම ආකාරයේ ලෙන්ගතුකමකි.

ගණිකා නිවාසයේදී හමුවූ වෙරෝනිකා කිසියම් දිනක තම ජීවිතයේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ වනු ඇතැයි ෆේරෝස්‌ට මොහොතකටවත් සිතුනේ නැත.

වෙරෝනිකාගේ පහසින් කුල්මත්ව සිටි ෆේරෝස්‌ සතියකට දෙතුන් වතාවක්‌ ඇය සොයා පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි ගණිකා නිවස වෙත යැමට පුරුදු වූයේය.

"වෙරෝනිකා මම ඇත්තටම ඔයාට ආදරෙයි. ඔයා මොනවගෙ ජීවිතයක්‌ ගත කළත් කමක්‌ නැහැ. මම ඔයාව බාරගන්න කැමතියි. මේ අපායෙන් ගැලවිලා මගේ ළඟට එන්න" අපි අලුත් ජීවිතයක්‌ පටන් ගමු...."
ෆේරෝස්‌ සිතේ සිරකරගෙන සිටි සියලු දේ වෙරෝනිකාට කිවේ ඇයට හදවතින්ම ආදරය කළ නිසාය.

"මම මහා කාලකන්නි ගෑනියෙක්‌. මගේ මහ උන් හින්දයි මම අද මේ තත්ත්වයට පත්වෙලා ඉන්නෙ. ඒ කාලකන්නි නැත්නම් මමත් අද ලස්‌සන ජීවිතයක්‌ ගතකරනවා."

වෙරෝනිකා සිය ජීවිත කථාව නොවලහා ෆේරෝස්‌ට පැවසුවේ කිසියම් දිනක ඔහු තම සහකරු වනු ඇති බව විශ්වාස කරගෙනය.

"ඔයා මෙතැනින් පැනලා මගේ ළඟට එන්න. ඔයාව රැකබලා ගන්න මට පුළුවන්."
ෆේරෝස්‌ගේ ඉල්ලීම මත වෙරෝනිකා පෑලියගොඩ ගණිකා නිවාසය අතහැර ගියාය. අවසානයේදි ඇය ෆේරෝස්‌ගේ ආදරණීය බිරිය ලෙස මීගමුව තලාහේනේ නිවසක අලුත් ජීවිතයක්‌ ආරම්භ කළේ දහසකුත් බලාපොරොත්තු සිතේ සිරකරගෙනය.
ෆේරෝස්‌ වෙරෝනිකා විවාහ කරගෙන අවුරුදු හත අටක්‌ ගතවෙද්දී ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙක්‌ වී සිටියේය. ෆේරෝස්‌ තම දරුවන් තිදෙනාටත් වෙරෝනිකාටත් දැක්‌වූයේ අසීමිත සෙනහසකි. ඔවුන්ට කිසිදු අඩුපාඩුවක්‌ වීමට ඔහු ඉඩ තැබුවේ නැත.

මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට තර්ජනය කරමින් මාසිකව රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබාගත් ෆේරෝස්‌ අතදිගහැර වියදම් කළේය. ඊට අමතරව කොල්ලකෑම්වලින් සහ මත්ද්‍රව්‍ය අලෙවියෙන් ද ඔහු මුදල් ඉපයූවේය.

මත්පැන් පානයට එතරම් රුචියක්‌ නොදැක්‌වූ ෆේරෝස්‌ ඉඳහිට බියර් වීදුරුවක රස බැලීමට පුරුදුව සිටියේය.

පදමට බියර් පානය කළ පසු තොරතෝංචියක්‌ නොමැතිව කියවීම, හඬා වැටීම ඔහුගේ පුරුද්දකි. පොඩි දේකින් පවා දැඩි සේ කලබල වන ගතියක්‌ ෆේරෝස්‌ට තිබිණි. වසර ගණනක්‌ හෝ සිත්හි තබාගෙන කිසියම් පුද්ගලයකුගෙන් පළිගැනීම ෆේරෝස්‌ගේ තවත් ගතියකි.

වෙරෝනිකාගේ ක්‍රියාකලාපය පිළිබඳ නොයෙකුත් කටකථා පැතිරයන්න පටන් ගන්නේ ඔය අතරතුරදිය. මුලින් මුලින් ෆේරෝස්‌ ඒ කිසිවක්‌ ගණනකට ගත්තේ නැත. එහෙත් අවසානයේ දී ඒ කටකථාවල යම්කිසි සත්‍යතාවක්‌ ඇති බව ෆේරෝස්‌ට පසක්‌ වන්නට විය.

"උඹ නැති අතරේ උඹේ ගෑනි වෙන මිනිස්‌සුත් එක්‌ක යනවා. කවදහරි ඒ ගෑනි ඔය ළමයි ටිකත් අනාථ කරලා වෙන එකෙක්‌ එක්‌ක යනවා."
ෆේරෝස්‌ගේ හිතවතුන් කීප දෙනෙකුම වෙරෝනිකා පිළිබඳව ඔහුට අනතුරු ඇඟෙව්වේය.
ෆේරෝස්‌ සම්බන්ධකම් පවත්වන තවත් කාන්තාවක්‌ මීගමුව එත්තුකාල ප්‍රදේශයේ පදිංචිව සිටියාය. ඇය ෆේරෝස්‌ගේ බිරිඳ වූ වෙරෝනිකාගේ කිට්‌ටුවන්ත යෙහෙළියකද වූවාය. දිනක්‌ මේ කාන්තාවද ෆේරෝස්‌ සොයා ආවාය.

වෙරෝනිකා මීගමුව පැත්තෙ මිනිස්‌සු කීප දෙනෙක්‌ම ආශ්‍රය කරනවා. ඔයා එක්‌ක ගතකරන ජීවිතේ කිසිම සතුටක්‌ නැතිලු. වෙරෝනිකා හැමදාම මා එක්‌ක කියනවා. කෝකටත් කල්පනාවෙන් වැඩ කරන්න."

මේ කාන්තාව කියූ සියලු දේ සත්‍ය බව ඒ වනවිට ෆේරෝස්‌ සොයාගෙන සිටියේය. ඔහු මේ ගැන කෙළින්ම වෙරෝනිකාගෙන් විමසුවේය.

"ඇයි උඹ මට මේ වගේ දෙයක්‌ කෙරුවෙ උඹට පරණ පුරුදු අමතක කරන්න බැරිද? උඹ හොඳ ගෑනියෙක්‌ වෙයි කියලා හිතාගෙන මම කසාද බැන්දෙ.?"
ෆේරෝස්‌ කෝපයෙන් කෑගැසුවේය. එහෙත් වෙරෝනිකා ඒ සියලු දේ එකපයින් ප්‍රතික්‌ෂේප කළාය.

"මම හොඳට ඉන්නවට කැමැති නැති උන් ඔය කථා හදන්නෙ. අපි දෙන්නව තරහ කරවලා අපේ කසාදෙ කඩන්න උන්ට ඕනෙ." වෙරෝනිකා කොතෙකුත් කන්නලව් කළද ඒ වනවිට ෆේරෝස්‌ගේ සිත සිඳී බිඳී ඉරිතැලී ගොස්‌ තිබිණි.

කොතෙකුත් අවවාද කළ ද වෙරෝනිකා ඇගේ නරක පුරුදු කිසිවක්‌ අතහැරියේ නැත. ෆේරෝස්‌ගේ සිත යකාගෙ කම්මල මෙන් විය. තමන් මෙපමණ ආදරය කළ බිරිඳ මේ ආකාරයට ෙද්‍රdaහි වීම ගැන ෆේරෝස්‌ට ඇතිවි තිබුණේ දැඩි වෛරයකි.

"මම වෙරෝනිකාට අසීමිතව ආදරේ කළා. ඒ නිසයි මේ වගෙ දහජරා රස්‌සාවක්‌ කරපු ගෑනියෙක්‌ම මම කසාද බැන්ඳේ. ඒත් ඒ ගෑනි අද මට ෙද්‍රdaහි වෙලා. දැන් මට ඒ ගෑනිගෙන් වැඩක්‌ නැහැ."
ෆේරෝස්‌ නිතරම කාලය ගත කළේ මේ ගැන මෙනෙහි කරමින්ය. මේ අතරතුරදී දිනක්‌ ෆේරෝස්‌ට තවත් නරක ආරංචියක්‌ කන වැකිණි.

උඹේ ගෑනි නන්නත්තාරෙ යනකොට දුවවත් අරගනෙ යනවා. හෙට අනිද්දා ඒ නොදරුවාවත් කාට හරි විකුණයි. අඩුම ගානෙ දරුවො ටිකවත් බේරගනින්.

මේ ආරංචිය කනවැකුණු දින ෆේරෝස්‌ දැඩි ලෙස කෝපයට පත්වූවේය. ඔහු මේ ගැන හොර රහසේම සොයා බැලුවේ එහි ඇති සත්‍ය අසත්‍යතාව දැන ගැනීමටය. ඇසුණු ආරංචි සියල්ල සත්‍යය. වෙරෝනිකා සිය 12 හැවිරිදි දියණියද කැටිව මීගමුව ප්‍රදේශයේ එක්‌තරා හෝටලයකට ගිය බව ෆේරෝස්‌ සොයා ගත්තේය.

"මේ වගෙ ගෑනු තියාගන්න වටිනවද? උඹට මගෙන් කිසිම සමාවක්‌ ලැබෙන්නෙ නැහැ."
ෆේරෝස්‌ තීරණයක්‌ ගත්තේය. ඔහු සිය ආදරණීය බිරිඳ විනාශ කර දැමීමට පිඹුරුපත් ඇන්ඳේ ඉන් පසුවය. කිසිවකුටත් නොදැනෙන ආකාරයට සිය බිරිඳ මරා දැමීමට හැකි මාර්ගයක්‌ පිළිබඳව ඔහු සොයා බැලුවේය. සයනයිඩ් විස ශරීර ගතකිරීමෙන් ඉතාම සුළු මොහොතකදී මිනිස්‌ ජීවිතයක්‌ අහිමි කළ හැකි බව ෆේරෝස්‌ දැන සිටියේය. ෆේරෝස්‌ සිය මිතුරකුගේ මාර්ගයෙන් සයනයිඩ් ස්‌වල්පයක්‌ සොයා ගත්තේය. සයනයිඩ් විෂ ශරීරගත කිරීමෙන් සිය බිරිඳ පරලොව යවන ආකාරය පිළිබඳව සැලසුමක්‌ද සකස්‌කරගත් ෆේරෝස්‌ ඊට දිනයක්‌ද යොදා ගත්තේය.

2002 වර්ෂයේ නොවැම්බර් මස 10 වැනිදා ෆේරෝස්‌ගේ ජීවිතයේ අමතක නොවන දවසක්‌ විය. එදින දහවල් ෆේරෝස්‌ මීගමුව තලාහේනේ පිහිටි නිවසට ආවේ තරමක කුතුහලයකින්ය. ඒ වනවිට දරුවෝ තිදෙනා පාසල් ගොස්‌ සිටියහ.

නොසිතූ මොහොතක සිය සැමියා නිවසට පැමිණීම පිළිබඳව වෙරෝනිකා ගේ සිත තුළ ඇතිවූයේ කිසියම් බියජනක හැඟීමකි. ඔහු අවේලාවේ පැමිණෙතැයි වෙරෝනිකා මොහොතකටවත් සිතුවේ නැත. නිවසට ඇතුළු වූ ෆේරෝස්‌ කිසිවක්‌ කථා නොකළේය. ඔහු බර කල්පනාවකය. වෙරෝනිකාගේ සිතේ නලියන්නට වූයේ අමුතු හැඟීමකි. ඇය ෆේරෝස්‌ට කිට්‌ටු වූවාය. මීට වසර හත අටකට උඩදි වෙරෝනිකා හමුවී මුල් අවස්‌ථාව ෆේරෝස්‌ගේ සිතේ ඇඳෙන්නට විය. වෙරෝනිකා ෆේරෝස්‌ට තුරුළු වූවාය. ෆේරෝස්‌ සිය ආදරණීය බිරිඳ සමඟ අවසන් වතාවට සතුටුවූවේය. තමන්ට අත්වීමට යන ඉරණම පිළිබඳව ඇය සිහිනයකින්වත් සිතා නොතිබිණි.

කාලය කෙමින් කෙමින් ගෙවී යන්නට විය. ෆේරෝසගේ පහසින් ඉවත්වූ වෙරෝනිකා යහනේ එක්‌ පසකට හැරී අඩනින්දට වැටුණාය. තම සැලසුම ක්‍රියාත්මක කිරීමට සුදුසුම වේලාව මෙය බව ඔහු තේරුම් ගත්තේය.

සඟවාගෙන සිටි සයනයිඩ් සහිත සිලින්ජරය ඉවතට ගත් ෆේරෝස්‌ දෙවරක්‌ නොසිතාම එය වෙරෝනිකාගේ සිරුරට එන්නත් කළේය.

අඩනින්දෙන් එක්‌වරම අවදිවූ වෙරෝනිකා අන්දමන්දවි විලාප නැගුවාය.

"අනේ ඔයා මොනවද මට කළේ. මගේ ඇඟ පිච්චෙනව වගේ මට ඉන්න බැහැ. වෙරෝනිකා විලාප නගමින් කෑගැසුවාය. ඇගේ ශරීර ගතවූ සයනයිඩ් විෂ සිරුර පුරා දිවයන්නට විය. ඇය මරු විකලෙන් මෙන් නිවසින් එළියට පැනගෙන දිව යන්නට වූවාය.

සිය ඉලක්‌කය සපුරාගත් ෆේරෝස්‌ හොර රහසේම නිවසින් පිටව ගියේ කිසිවක්‌ නොදන්නා පරිද්දෙන්ය.

"අනේ නැන්දෙ ෆේරෝස්‌ මොනවද මගේ ඇඟට ඉන්ජෙක්‌ෂන් එකකින් ඇන්නා." අසල්වැසි නිවසකට දිවගිය වෙරෝනිකා සිහිසුන්ව බිම ඇදවැටුණාය. අසල්වාසීහු එක්‌ව ඇය රෝහල් ගත කළාය. එහෙත් එ වනවිටත් ඇය සිටියේ මොළොව හැර ගොසින්ය.

වෙරෝනිකාගේ මරණ පරීක්‍ෂණයෙන් හෙළිවූයේ ඇගේ සිරුරට සයනයිඩ් සහිත උග්‍ර විෂක්‌ එක්‌වීමෙන් මරණය සිදුවූ බවයි.

සිය බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ෆේරෝස්‌ වෙත චෝදනා එල්ල විණි. පොලිසිය ෆේරෝස්‌ පසු පස ලුහුබඳින්නට පටන් ගත්හ.

එහෙත් ෆේරෝස්‌ අත්අඩංගුවට ගැනීම ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවීය. මීගමුවේ ප්‍රබල දේශපාලනඥයන් කීප දෙනෙකුගේම සුවච කීකරු ගෝලයා වූ ෆේරෝස්‌ අත්අඩංගුවට ගැනීම පවා ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවීය.

පොලිසියේ මෙන්ම බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් කීප දෙනෙකුම සමීපව ඇසුරු කළ ෆේරෝස්‌ තමන්ගේ රැකවරණය සලසා ගත්තේය.

එවකට මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ගාමිණී මතුරට මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකයේ ස්‌ථානාධිපති යසන්ත විඡේසේකර ඇතුළුÊනිලධාරීහු ෆේරෝස්‌ අත්අඩංගුවට ගැනීමට ඔහු පසුපස ලුහුබඳින්නට වූහ.

කාගෙන් ගැලවුණත් ගාමිණී මතුරට මහතාගෙන් සහ පොලිස්‌ පරීක්‍ෂක යසන්ත විඡේසේකර මහතාගෙන් ගැලවීමට නොලැබෙන බව ෆේරෝස්‌ හො¹කාරව දැන සිටියේය. ඔහු හොර රහසේම ඊට පිළියමක්‌ද යෙදුවේය.

රහස්‌ පොලිසිය මගින් පාතාල අපරාධකරුවකු වැල්ලම්පිටියේදී අත් අඩංගුවට ගෙන තිබිණි. සැකකරු සතුව නවින පන්නයේ ස්‌වයංක්‍රීය පිස්‌තෝලයක්‌ද විය. පාතාල අපරාධකරු ඕල්කොට්‌ගේ ප්‍රධාන පෙළේ ගෝලයකු බවද හෙළිදරව් විය.

පාතාල සාමාජිකයා ගෙන් ප්‍රශ්න කිරීමේදි ඔහු කියාසිටියේ එම පිස්‌තෝලය ෆේරෝස්‌ විසින් ලබාදුන් එකක්‌ බවයි. පොලිස්‌ පරීක්‍ෂක යසන්ත විඡේසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමට ෆේරෝස්‌ විසින් පිස්‌තෝලය තමනට ලබාදුන් බව ද පාතාල සාමාජිකයා රහස්‌ පොලිසිය හමුවේ කියා සිටියේය.

නාලක අත්තනායක ෆේරෝස්‌ සමීපතම හිතවතෙකි. කිරුලපන ප්‍රදේශයේ සිය රජ දහන කරගෙන විවිධ අපරාධවල නිරතවූ නාලක පිටකොටුව මැනින් වෙළෙඳපොළේ ව්‍යාපාරිකයන්ගෙන් දිනපතාම කප්පම් ලබා ගත්තේය. එය නාලකගේ ප්‍රධානතම ආදායම් මාර්ගය විය.

මිරිහානේ චුට්‌ටේ නමැත්තා සහ ඔහුගේ පුත්‍රයා නාලක සමඟ පසුවූයේ දැඩි වෛරයකිනි. පාතාල ලෝකයේ සිදුවූ කිසියම් ආරවුලක්‌ මේ වෛරයට හේතු විය. වරක්‌ චුට්‌ටේ නාලකගේ ගමන් බෑගයට හෙරොයින් පැකට්‌ කීපයක්‌ දමා ඔහු පොලිසියට අල්ලා දුන්නේ මහා පරිමාණ මත් කුඩු ජාවාරම්කරුවකු ලෙස හංවඩු ගසමින්ය.

මේ සිද්ධීන් නිසා නාලක චුට්‌ටේ සමඟ පසුවූයේ දැඩි වෛරයකිනි. ඔහු සිය වෛරකාරයා වූ චුට්‌ටෙ පරලොව යෑවීමට ෆේරෝස්‌ගෙන් උදව් ඉල්ලා සිsටියේය.

උඹ මගේ දුකේදිත් සැපේදීත් ඉන්න මිත්‍රයා. උඹේ ඉල්ලීමකට මම බෑ කියන්නෙ නැහැ. අපි චුට්‌ටෙට වැඩක්‌ දෙමු. චුට්‌ටෙ නොඑන ගමන් යවන්න. ප්ලෑන් එකක්‌ හදපං.

අධිකරණ නියෝගයක්‌ මත සෑම ඉරුදිනකම චුට්‌ටේ මිරිහාන පොලිසියේ පෙනී සිටින බව නාලක දැන සිටියේය. පොලිසියට පැමිණ ආපසු යනවිට චුට්‌ටේ මරා දැමීමට නාලක සැලසුමක්‌ සකස්‌ කළේය.

ඝාතනය සඳහා ෆේරෝස්‌ ඇතුළු සඟයන්ට යැමට වෑන් රථයක්‌ද ඔහු කුලියට ගත්තේය. මිලිමීටර් 9 වර්ගය් පිස්‌තෝලයක්‌ සහ අත්බෝම්බ දෙකක්‌ද සූදානම් කරගත් නාලක සිය සැලසුම පිළිබඳ ෆේරෝස්‌ දැනුවත් කළේය.

2003 වර්ෂයේ ඔක්‌තෝබර් 12 වැනිදා ඉරුදින උදෑසන ෆේරෝස්‌ නාලක ඇතුළු පස්‌ දෙනෙකුගෙන් සමන්විත සන්නද්ධ කණ්‌ඩායම මිරිහාන ප්‍රදේශයට පැමිණියේ සිය ඉලක්‌කය සපුරා ගැනීමටය. එදින දහවල් වනතුරු මග රැක සිටියද චුට්‌ටේ මිරිහාන පොලිසිය වෙත ආවේ නැත.

"මූගෙ වෙලාව හොඳයි වගෙ. නැත්නම් සෑම ඉරිදම මිරිහාන පොලිසියේ අත්සන් කරන්න එනවා. දැන් කරන්න දෙයක්‌ නෑනෙ. අපි වෙන දවසක වැඩේට බහිමු.

නාලක සිය කල්‍යාණ මිතුරා වූ ෆේරෝස්‌ට කීවේ බලාපොරොත්තු කඩවූ සිතිනි.

"අපි දවල් කෑමට කොහෙ හරි යමු. චුට්‌ටේ ඉන්න තැන මම දන්නවා. අපි හවසට සෙට්‌ වෙලා ඌව ඉවරයක්‌ කරලා දාමු."

නාලක සිය සඟයන්ට යෝජනා කළේය. ඊට ෆේරෝස්‌ගෙන් ලැබුණේද යහපත් ප්‍රතිචාරයකි. පිරිස රැගත් වෑන්රථය කැලණිය කොහොල්විල ප්‍රදේශයේ පිහිටි චීන අවන්හලක්‌ වෙත යැමට ගමන් ඇරඹූහ. අතරමගදී මත්පැන් බෝතල් කිහිපයක්‌ ද මිලට ගැනීමට නාලක අමතක කළේ නැත. එවකට කැලණිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ ලාල් උඩුගම මහතාය. නාඳුනන සන්නද්ධ පිරිසක්‌ කැළණිය ප්‍රදේශයේ සැරි සරන බවට උඩුගම මහතාට ප්‍රදේශවාසියකු ගෙන් තොරතුරක්‌ ලැබිණි.

ඒ පිළිබඳව සොයා බැලීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යෙදවීමට ලාල් උඩුගම මහතා දෙවරක්‌ සිතා බැලුවේ නැත. පොලිස්‌ කණ්‌ඩායම කැලණිය කොහොල්විල ප්‍රදේශයේ වැටලීමක්‌ කළේ ප්‍රදේශවාසීන් ගෙන් ලද තොරතුරු අනුවය.

කැලණිය පොලිසියේ නිලධාරීන් චීන අවන්හල වටලන තුරුම ෆේරෝස්‌ හෝ නාලක ඒ කිසිවක්‌ දැනසිටියේ නැත. පොලිස්‌ නිලධාරීන් දුටුවනම ෆේරෝස්‌ අන්දමන්ද වූවේය.

ඒ වනවිට කළයුතු කිසිවක්‌ ඉතිරිව තිබුණේ නැත. පොලිස්‌ නිලධාරීන්ට යටත් වෙනවා හැරෙන්නට ෆේරෝස්‌ට වෙනත් විකල්පයක්‌ නොවීය.

අවි ආයුධත් සමඟ අත්අඩංගුවට ගත් ෆේරෝස්‌ සහ නාලක ප්‍රමුඛ පාතාල කල්ලිය වැඩිදුර පරීක්‍ෂණ සඳහා එවකට පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ සහකාර පොලිස්‌ අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතා වෙත භාර කෙරිණි.

දින කිපයක්‌ තිස්‌සේ කළ ප්‍රශ්න කිරීම් හමුවේ ෆේරෝස්‌ අපරාධ රැසක තොරතුරු වමෑරුවේය. අවසානයේදී අධිකරණය වෙත ඉදිරිපත් කළ ෆේරෝස්‌ ඇතුළු සඟයන් මීගමුව බන්ධනාගාරය වෙත ගාල්කරනු ලැබීය.
ෆේරෝස්‌ තමන්ට එරෙහිවන ඕනෑම පුද්ගලයකු ඝාතනය කිරීමට පසුබට නොවන චරිතයක්‌ ලෙස පාතාල ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත්විය.

මිගමුව බන්ධනාගාරයේ ඡේලර්වරයකු වූ තුමල් හරේන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීම ඊට හොඳම නිදසුනකි. ඡේලර් හරේන්ද්‍ර මීගමුව බන්ධනාගාරය තුළ බෙහෙවින් ජනප්‍රිය චරිතයක්‌ විය. ඒ වනවිට මිගමුව බන්ධනාගාරයේ පාතාල කෙරුම්කාරයන් කීප දෙනෙකුගේම නවාතැන් පොළ ද විය.

මිනුවන්ගොඩ ප්‍රදේශය කේන්ද්‍රකරගෙන පාතාල භීෂණයක්‌ ඇතිකර ගෙන සිටි අසිත, නේවි රුවන් ඇතුළු පාතාල සඟයන් රැසක්‌ම එහි ගාල්කර සිටියහ. බන්ධනාගාරයට ෆේරෝස්‌ ද අලුතින් එක්‌ වූවේය.

මීගමුව පාතලය ආක්‍රමණය කරමින් සිටි මිනුවන්ගොඩ අසිත ෆේරෝස්‌ව ගණන් ගත්තේ නැත. පාතාල කිරුළ සඳහා ඔවුනොවුන් අතර පැවතියේ සීතල යුද්ධයකි.

හරේන්ද්‍ර බොහොම ජවසම්පන්න සිරුරක්‌ ඇති හැඩිදැඩි තරුණයෙකි. පාතාල ලෝකයේ කෙරුම්කාරයන් කිසිවකු ඔහු ගණනකට ගත්තේ නැත.
ෆේරෝස්‌ගේ ක්‍රියා කලාපය හරේන්ද්‍රට කොහෙත්ම රිස්‌සුවේ නැත. හරේන්ද්‍ර ෆේරෝස්‌ ඇමැතුවේ "නොණ්‌ඩියා" යන නාමයෙන්ය. හරේන්ද්‍ර සමඟ සුහදත්වයක්‌ ගොඩනගා ගැනීමට ෆේරෝස්‌ කොතෙකුත් උත්සාහ කළ ද පලක්‌ නොවීය.

"හරේන්ද්‍ර මහත්තයා අපිට පොඩි සපෝර්ට්‌ එකක්‌ දෙන්න. අපි මහත්තයට හොඳට සලකන්නම්."

හරේන්ද්‍ර බන්ධනාගාරය තුළ හමුවෙන හැම අවස්‌ථාවකදීම ෆේරෝස්‌ කීවේය.

"පලයං නොණ්‌ඩියා යන්න. මට මොකටද උඹේ උදව්. උඹ ටිකක්‌ පරිස්‌සමට හිටපන්.

හරේන්ද්‍ර ෆේරෝස්‌ට බැණ වැදුණේය. රැකියාවට අමතරව හරේන්ද්‍ර ව්‍යාපාර කීපයක්‌ද කළේය. පස්‌කඳු කපා විකිණීම, ටිපර් රථ කීපයක්‌ යොදවා වැලි ප්‍රවාහනය කිරීම ඇතුළු තවත් ව්‍යාපාර කිහිපයකින්ම හරේන්ද්‍ර විශාල වශයෙන් මුදල් ඉපයූවේය. හරේන්ද්‍රගේ ඇතැම් ව්‍යාපාර නිසා ෆේරෝස්‌ගේ සගයන් කීප දෙනෙකුටම පහර වැදී තිබිණි. හරේන්ද්‍රගේ ව්‍යාපාර නවතා දමන ලෙස ද ෆේරෝස්‌ කීප විටකදීම ඔහුට ආයාචනා කළේය.

"අපි සර්ට මාසෙකට ලොකු ගාණක්‌ දෙන්නම් අපේ කොල්ලන්ට උන්ගෙ වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න."

එහෙත් ෆේරෝස්‌ කියූ කිසිවක්‌ හරේන්ද්‍ර ගණනකට ගත්තේ නැත. ෆේරෝස්‌ සමඟ ඉතාම සමීප සබඳතා පැවැත්වූ දූෂිත බන්ධනාගාර නිලධාරියකුද ඒ වනවිට මීගමුව බන්ධනාගාරයේ රාජකාරි කරමින් සිටියේය.

ඒ නිලධාරියා සහ හරේන්ද්‍ර අතර පැවතියේද සීතල යුද්ධයකි. එම නිලධාරියා හරේන්ද්‍රට වඩා උසස්‌ නිලයක සිටියද ඔහු එම නිලධාරියා ගණනකට ගත්තේ නැත.

මේ අතර හරේන්ද්‍ර මිනුවන්ගොඩ අසිත සමඟ සමීප සබඳතා පවත්වන බවටද ෆේරෝස්‌ චෝදනා කළේය. හරේන්ද්‍ර මහතා තමන්ට මහත් හිසරදයක්‌ වී ඇති බව ෆේරෝස්‌ කල්පනා කළේය. හරේන්ද්‍ර කරලියෙන් ඉවත් කිරීමට ෆේරෝස්‌ සැලසුම් කළේ කළයුතු වෙනත් දෙයක්‌ නොතිබූ නිසාය.

ෆේරෝස්‌ගේ උපදෙස්‌ මත බන්ධනාගාර නිලධාරි තුමල් හරේන්ද්‍ර මහතා ඝාතනය කරන අයුරු ලබන සතියේ...........

හේමන්ත රන්දුණු

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.