ප්ලාස්‌ටික්‌ මහත්තුරු පැරැද්දූ ගෝනි හටන

උඳුවප් සිසිලත් සමග ජනතාව උත්සව සමයට සැරසෙද්දී රටම ගිනියම් කරවමින් රජය කරලියට ගෙන ආ එළවළු පළතුරු ප්‍රවාහනයේදී භාවිතයට අනිවාර්ය කෙරුණු ප්ලාස්‌ටික්‌ ඇසුරුම් නීතිය දැන් එක්‌ මාසයකින් ආපස්‌සට ගොස්‌ තිබේ.

ඒද නිකම්ම නොව මෙකී ප්ලාස්‌ටික්‌ ඇසුරුම් අස්‌සේ සිර කර ප්‍රවාහනයට තීරණය වී තිබූ එළවළු වර්ග හයකට හිමිවූ ජනාධිපති පොදු සමාවක්‌ද සමගිනි.

ප්ලාස්‌ටික්‌ ඇසුරුම් නීතිය බල ගැන්වීමත් සමග රට පුරා නැගෙන්නට වූ ගොවි සහ වෙළෙඳ උද්ඝෝෂණය හේතුවෙන් ඉකුත් 14 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් අරලියගහ මන්දිරයේදී සියලු පාර්ශ්ව කැඳවා කෙරුණු සාකච්ඡාවකදී එම තීරණය ගැනිණි.

ඒ සමගම බෝංචි සහ මෑකරල් යන එළවළු වර්ග දෙක පිළිබඳ ගෙවෙන මාසය තුළ පැහැදිලි තීරණයක්‌ ගැනීමේ වගකීම මේ වන විට ගන්නොරුව පශූ අස්‌වනු තාක්‍ෂණ ආයතනය වෙත පැවැරී තිබෙන වගකීමක්‌ද වී තිබේ.

එළවළු පළතූරු ප්‍රවාහනයේදී රජය මෙම ප්ලාස්‌ටික්‌ ඇසුරුම් නීතිය ගෙන ඒමට හේතු වූයේ කුමන කරුණක්‌ද?

මෙම වැඩපිළිවෙළේ මූලික පිඹුරුපත් සකස්‌ කිරීම ආරම්භ වූයේ මීට අවුරුදු දෙකකට පමණ ඉහත වත්මන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙළෙඳ ඇමැතිවරයාව සිටියදීය.

එකල එළවළු මිල ඉහළ යැම, වෙළෙඳ එකාධිකාරය යන කරුණු කිහිපයක්‌ මුල් කරගනිමින් සමීක්‍ෂණයක්‌ සිදු කෙරුණි.

එම සමීක්‍ෂණයේදී අනාවරණය වූ පැහැදිලි කරුණක්‌ වූයේ එළවළු හා පළතුරු ආදිය දැනට පවතින ගෝනි භාවිතයෙන් කෙරෙන ප්‍රවාහනයේදී සියයට හතහළිහක පමණ ප්‍රමාණයක්‌ නිකරුණේ විනාශයට පත්ව ඉවත දැමෙන බවකි.

මෙම නව ප්ලාස්‌ටික්‌ ඇසුරුම් ක්‍රමය පිළිබඳව රජයේ අවධානය යොමු වන්නට වූයේ එහිදීය. එතැන් පටන් මෙරට එළවළු පළතුරු ප්‍රවාහනයේදී එකී ප්ලාස්‌ටික්‌ ඇසුරුම් ක්‍රමය ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කෙරිණි.

සැබැවින්ම මෙරට එළවළු පළතුරු නිෂ්පාදනයෙන් සියයට හතළිහක ප්‍රමාණයක්‌ ප්‍රවාහනයේදී අපතේ යන බව පැහැදිලිව අනාවරණය වීම තුළ වගකිව යුතු රජයක්‌ ලෙස ආණ්‌ඩුව ගනු ලැබූ මෙම තීරණය ඉතා වැදගත් එකක්‌ බවද මෙහිදී කිව යුතුය.

රජය සියලු පාර්ශ්ව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්‌ද ක්‍රියාත්මක කළේය. පුවත්පත් ලිපි, මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය හරහා දැන්වීම් මගින් කෙරුණු දැනුවත් කිරීම් ඒ අතර පෙරමුණේම විය.

එහෙත් ඉකුත් සමයේ එක දිගට පැමිණි මැතිවරණත් සමග යළිත් රජයේ මෙම වැඩපිළිවෙළ නිද්‍රාශීලීත්වයට පත්වන තත්ත්වයක්‌ නිර්මාණය වෙමින් තිබිණි.

බොහෝ විට ජාතික වශයෙන් අතිශය වැදගත් වන්නා වූ ප්‍රතිපත්තියක්‌ වුව ඡන්ද ගුණ්‌ඩුවක්‌ ලෙස හකුලා ගන්නා තත්ත්වයෙන් කාලාන්තරයක්‌ පුරා මෙරට ක්‍රියාත්මක බලලෝභී දේශපාලන භාවිතාවද ඊට හේතු වූවා විය හැකිය.

අවසානයේ මැතිවරණ සමය නිමාවට පත්විය. වැදගත් තැනක ලා ප්ලාස්‌ටික්‌ ඇසුරුම් ප්‍රතිපත්තිය ජනතාව අතරට ගෙනා පොදු පෙරමුණු රජයම යළිත් ඉදිරියෙන් විය.

වත්මන් වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා රජයේ පාර්ශ්වයට එක්‌වෙමින් සිය තනතුරේ වැඩ භාර ගනු ලැබුවේ මේ අතරතුරය.

එහෙත් ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ ඇමැති තනතුරේ වැඩභාර ගන්නා විට ඉහත කී මැතිවරණ පරිසරය නිසා එතෙක්‌ රටට හඳුන්වා දෙමින් තිබූ රජයේ යෝජිත ප්ලාස්‌ටික්‌ ඇසුරුම් වැඩපිළිවෙළ වූයේ ජනතාවගේ මතකයෙන් බොහෝ ඈතට ගොසිනි.

ඒ වන විට අත්හදා බැලීම් ලෙස රජය මගින් ඇතැම් පාර්ශ්ව වෙත බෙදා දී තිබූ ප්ලාස්‌ටික්‌ ඇසුරුම් රැසක්‌ද වූයේ කුණු මුල්ලේය.

ඇමැතිවරයා තනතුරට පැමිණි පසුවත් මෙරට වෙළෙඳ පොළ තුළ මතුවූ ගැටලු ගණනාවක්‌ හේතුවෙන් දිගින් දිගටම මෙම ප්ලාස්‌ටික්‌ ඇසුරුම් වැඩපිළිවෙළ පැවැතියේ බොහෝ නිද්‍රdශීලීවය.

කෙටියෙන්ම කිවහොත් ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා මුල් පුටුවේ තබා කෙරුණු කුකුල් මස්‌, බිත්තර සහ ඉන්දීය පොල් කතා බහ අතරේ මෙම ප්ලාස්‌ටික්‌ ඇසුරුම් වැඩපිළිවෙළ බින්දුවේම තිබිණ.

එහෙත් හිටි හැටියේම මීට මාස හය හතකට පමණ ඉහත සිට මෙම වැඩපිළිවෙළ පිළිබඳ කතා බහ යළි කරලියට පැමිණියේ රටේ අවධානය නැවතත් ඒ වෙත යොමු කරවමිනි.

අද සිට ක්‍රියාත්මකයි.. හෙට සිට ක්‍රියාත්මකයි.. යනුවෙන් ඒ කෙරුණු කතා බහ අතරේ මෙම නව වැඩපිළිවෙළ පිළිබඳ වෙළෙඳ අමාත්‍යංශය දෙසින් හඬක්‌ මතු වන්නටද විය.

විටින් විට මතු වෙමින් තිබූ විවිධ ඉල්ලීම් සමග එකී කතාබහ දිනෙන් දින දොaලනය වෙමින් තිබුණේ එලෙසිනි.

එහෙත් එළැඹ තිබෙන උත්සව සමයද අමතකව අවසානයේ ඉකුත් 11 වැනිදා සිට ප්ලාස්‌ටික්‌ ඇසුරුම් වැඩපිළිවෙළ නීතියක්‌ බවට පත් කරමින් වෙළෙඳ අමාත්‍යංශය දැඩි තීරණයක්‌ ගනු ලැබීය.

එහිදී සිදු වූයේ කුමක්‌ද? මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට එළවළු ප්‍රවාහනයේ යෙදුණු මිනිසුන් කිහිප දෙනකු අදාළ බලධාරිහු අධිකරණය හමුවට රැගෙන ගියහ.

ඒ සමගම දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේ ගොවීහු සහ වෙළෙන්දොa වීදි බසිද්දී කොළඹද ඇතුළු රට පුරා එකම උද්ඝෝෂණ රැල්ලක්‌ මතුවන්නට වූයේ රජයද අන්දමන්ද කරවමින් ඇතැම් පොලිස්‌ ස්‌ථානවල මුලුගැන්වී තිබූ කඳුළු ගෑස්‌ කුප්පිවලටද නිදහසක්‌ ලබා දෙමිනි.

මේ සිදුවූයේ කුමක්‌ද? රජය ඉහත ප්ලාස්‌ටික්‌ ඇසුරුම් නීතිය බල ගැන්වීමත් සමග ගොවීන් සහ වෙළෙන්දන් අතර මෙවන් පිපිරීමක්‌ මතු වූයේ ඇයි?

ඒ තුළ වූයේ මෙතෙක්‌ මෙහි සටහන් කෙරුණු මෙම ප්ලාස්‌ටික්‌ ඇසුරුම් වැඩපිළිවෙළ අරබයා රජයේ පාර්ශ්වයෙන් සිදුවූ බරපතල අතපසුවීම් බව මෙහිදී අවධාරණය කළ යුතුය.

මෙහිදී ප්ලාස්‌ටික්‌ ඇසුරුමට එරෙහිව වීදි බට මේ මිනිසුන් හඬ නගා මතු කරන්නට වූයේ කුමක්‌ද? ඔවුහු මෙහිදී මතු කරනු ලැබුවේ මෙම නව ඇසුරුම් ක්‍රමයේදී තමන්ට මුහුණ දීමට සිදුවන අතිශය මානුෂික තත්ත්වයේ ලා සැලකිය හැකි තාර්කික කරුණුම වූහ.

එකී කරුණු මොනවාද? නව ඇසුරුම් ක්‍රමයේදී මතුවන ප්‍රවාහන ගැටලුව ඔවුන් මුලින්ම ගෙනහැර පෑ කරුණ විය.

" මහත්තයෝ මේකනේ.. මේ ඇසුරුම් නීතිය කොහෙත්ම ප්‍රායෝගික එකක්‌ නෙමේ. අපි ගනිමු බෝංචි ගෝනියක්‌.. අද බෝංචි ගෝනියක තියෙන බෝංචි ඔය කියන ප්ලාස්‌ටික්‌ පෙට්‌ටිවල දැම්මොත් බෝංචි ටික දාන්න පෙට්‌ටි තුනක්‌වත් ඕනේ..

ඒ කියන්නේ බෝංචි ගෝනි පනහක්‌ එක ලොරියකින් කොළඹට ගේනකොට මේ පෙට්‌ටිවලට දාලා ගේන්න ලොරි දෙකක්‌ ඕනේ කියන එක. එතකොට ඉස්‌රවෙලා වෙන දෙයක්‌ තමා ප්‍රවාහන වියදම දෙගුණයක්‌ වෙන එක. ඔවුන් එම ගැටලුව මතුකරනු ලැබුවේ එලෙසිනි.

දෙවනුව ඔවුහු කියා සිටියේ මෙම වැඩපිළිවෙළ හමුවේ මතුවන කම්කරු ගැටලු විය.

"ඒ වගේම තමයි අද කොළඹ මාර්කට්‌ එකේ බඩු ගෙනියන නාටාමි කෙනෙක්‌ එක පාරකට ගෝනි දෙකක්‌ තුනක්‌ කරේ තියාගෙන කොළඹට එන එළවළු, පළතුරු බානවා. ඒත් මේ පෙට්‌ටි ක්‍රමේදී එහෙම කරන්න බැහැ.

එතනදී නාටාමි කෙනෙක්‌ට එක පෙට්‌ටියකට වඩා අරගෙන යන්න බැහැ. ගෝනි වගේ නෙමේ මේ පෙට්‌ටිවලට ඒ මිනිස්‌සුන්ගේ උරහිස්‌ තැලෙනවා. ඒ නිසා එයාලා කර ගහන්නේ එක පෙට්‌ටියයි. ඉතින් අන්තිමට ප්ලාස්‌ටික්‌ පෙට්‌ටි නිසා කම්කරු ගාස්‌තුත් ඉහළ යනවා.

එසේම මෙකී ප්ලාස්‌ටික්‌ ඇසුරුම් මිලදී ගැනීම, මෙහිදී ගොවීන් පත් වන තත්ත්වය, මැනින් වෙළෙඳ පොළ ඇතුළු මෙරට වෙළෙඳ පොළවල්හි පවතින සීමිත ඉඩකඩ හමුවේ වෙළෙඳුන් මුහුණ දෙන ගැටලු සහ එකී වෙළෙඳ පොළවල් වෙත පැමිණ එළවළු පළතුරු රැගෙන ගොස්‌ පිට පළාත්වල අලෙවි කරනු ලබන වෙළෙඳුන් මුහුණ දෙන ගැටලු ආදී වශයෙන් ඔවුහු නොයෙක්‌ මානයන් වෙතින් කරුණු එහිදී ගෙනහැර පෑහ.

රජය මේ වන විට පවතින අසීමිත බලය හමුවේ උද්ඝෝෂණ, විරෝධතා යනු පයිසෙකට මායිම් නොකළ යුතු දේ ලෙස සිතන්නේදැයි යන සැකය ජනතාව තුළ ඉතුරු කරමින් ගොවීන්, වෙළෙන්දන් ඇතුළු පිරිස්‌ ප්ලාස්‌ටික්‌ ඇසුරුම් නීතියට එරෙහි ඇරඹූ විරෝධතා රැල්ල දින තුනක්‌ පුරා ඇදී යන්නට වූයේ රටේම ජනතාවට එහි විපාක ගෙන දෙමිනි.

මෙම ගොවි වෙළෙඳ උද්ඝෝෂණයේ පළමු දිනය ගෙවී යත්ම රට පුරා උග්‍ර එළවළු හිඟයක්‌ මතු වන්නට වූයේ එළවළු මිල ගණන් බලා සිටියදී ඉහළ යන අතරේය.

රෝහල්, බන්ධනාගාරය තරු හෝටල්, වරයා ආදී ලෙසින් වූ අත්‍යවශ්‍ය ස්‌ථාන රැසකට සිදු කෙරෙන එළවළු සැපයුම බරපතල ලෙස අඩාල විය.

එසේම මෙකී විරෝධතා හමුවේ එළවළු කිලෝ දශලක්‍ෂයක්‌ පමණ විනාශයට පත්වෙද්දී ඉන් ගොවි ජනතාවට සිදු වූ පාඩුව රුපියල් කෝටියද ඉක්‌මවා තිබෙන්නක්‌ බව දැන් ගණන් බලා තිබේ.

මෙකී තත්ත්වය රට තුළ මතු වූයේ පැහැදිලිවම නිදොස්‌ විය යුතු තැන් තිබියදී රජය මෙම නීතිය හිටි හැටියේම මරාලයක්‌ ලෙස ජනතාවගේ හිස්‌ මතට පතිත කරවීමෙන් බව අමුතුවෙන් කිවයුතු නොවන්නකි.

මෙම උද්ඝෝෂණ රැල්ලේ උණුසුම උග්‍රවත්ම වෙළෙඳුන් සේම ගොවි ජනතාවද කැඳවා මේ පිළිබඳ පැහැදිලි තීන්දුවක්‌ ගැනීමට අවසානයේ රජය තීරණය කළේ බොහෝ දේ සිදුවීමෙන් පසුවය.

එහෙත් ගොවීන්, වෙළෙඳුන්, ප්‍රාදේශීයව වෙළෙදාමේ යෙදෙන සුළු වෙළෙන්දන් ඇතුළු පාර්ශ්ව රැසක්‌ මෙසේ උද්ඝෝෂණ කරද්දී එකී සාකච්ඡාවේදී අවසානයට රජය කීවේ කුමක්‌ද?

"මෙය ගොවීන්ට බලපාන්නේ නැහැ. සුළු වෙළෙඳුන්ට අදාළ නැහැ. මෙම නීතිය පැනවෙන්නේ දුරබැහැර ආර්ථික මධ්‍යස්‌ථානයක සිට කොළඹට එළ්වළු, පළතුරු ප්‍රවාහනයේදී පමණයි..

රජය කීවේ මේ ටිකය. එසේ නම් මීට එරෙහිව ගොවීන්, සුළු වෙළෙඳුන්, නාටාමිවරුන් ඇතුළු පාර්ශ්ව රැසක්‌ වීදි බැස්‌සේ ඇයි.

රජය මේ කියන්නේ අදාළ නීතිය බලාත්මක කිරීමට පෙර ඊට සම්බන්ධ පාර්ශ්ව නිසි පරිදි දැනුවත් කිරීමක්‌ සිදු නොකළ බව හෝ රජය කළ ප්‍රචාරයන් ඔවුන් වෙත ගොස්‌ නොමැති බව නොවේද?

පැහැදිලිව මෙහිදී රජයෙන් ඊළඟට සිදුවූ බරපතලම අතපසුවීම බවට පත්ව ඇත්තේ ඒ සන්නිවේදන දුර්වලතාව නොවන්නේද?

මෙම පුපුරා යැමත් සමඟ බොහෝ පාර්ශ්ව වෙතින් මතුවූ තවත් ඉතාම වැදගත් කතාවක්‌ද වන්නේය. ඒ මෙකී ප්ලාස්‌ටික්‌ ඇසුරුම් ක්‍රමයේදී ඉහළ යන වියදම් හේතුවෙන් අනාගතයේ එළවළු මිල පැහැදිලිවම ඉහළ යා හැකි බවය.

තත්ත්වය එසෙනම් එහි බර පැටවෙන්නේ කවුරුන් වෙතද යන්න මෙහිදී තවමත් දහසක්‌ ආර්ථික ගැටලු අතරෙ ජීවත් වන රටේ ජනතාව හමුවේ ඉතිරි වන ප්‍රශ්නයක්‌ බව අමුතුවෙන් කිවයුතු නැත.

අවසානයේ මෙම ප්ලාස්‌ටික්‌ ඇසුරුම් කතාවේදී මතුවූ සියලු ප්‍රශ්නාර්ථයන් සමග අප යොමු වූයේ වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා වෙතටය. අපි පවතින සියල්ල ඔහුවෙත යොමු කළෙමු. එහිදී ඇමැතිවරයා ඊට පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

"ඕව්. මේ ප්ලාස්‌ටික්‌ ඇසුරුම් භාවිතයේදී එක්‌ ලොරියක ගෙනයැ හැකි භාණ්‌ඩ ප්‍රමාණය සීමා වීමක්‌ සිදුවෙනවා. එහෙත් සියයට හතළිහක පවතින එළවළු පළතුරු නාස්‌තිය හා සැසැඳීමේදී එමගින් මිල ඉහළ යැමේ අවදානමක්‌ කොහෙත්ම නැහැ.

එසේම රජය මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනාවේ රටේ පාරිභෝගිකයන් වගේම ගොවි ජනතාවත් ඉලක්‌ක කර. අද පැහැදිලිව මෙම වෙළෙඳ පොළ ක්‍රමයේ පවතින මාෆියාවන් නිසා දැවැන්ත සුරා කෑමක්‌ සිදු වෙනවා.

එය වැළැක්‌විය යුතුමයි. ගොවියා එළවළු කිලෝ පනහක්‌ වෙළෙඳපොළට එව්වොත් ඔහුට මුදල් ලැබෙන්නේ කිලෝ තිහකට නැත්නම් තිස්‌පහකට. ඉතිරි ප්‍රමාණය නරක්‌ වී තිබුණා කියමින් මේ කියන මාෆියාව ගොවියන් ගසා කනවා. ඒකයි නියම තත්ත්වය.

වගකිව යුතු රජයක්‌ විදිහට ඒ අපරාධයට අපට ඉඩ දෙන්න බැහැ. අනික මේ කූඩ ක්‍රමයට එරෙහිව පැවැත්වුණු උද්ඝෝෂණ පිටුපස්‌සේ ඉන්නේ වෙනත් පිරිසක්‌. ඔවුන් තමයි මෙම මාෆියාවේත් සිටින්නේ.

එය ජනාධිපතිතුමත් එක්‌ක වෙළෙඳුන්, ගොවීන් යන පාර්ශ්ව ගෙනවිත් පවත්වපු සාකච්ඡාවේදී පැහැදිලව සනාථ වුණ දෙයක්‌.

ඔවුන්ට අවශ්‍ය මෙය කෙසේ හෝ කඩාකප්පල් කරමින් තමන්ගේ ගමන යන්න. මෙහිදී ඇතැමුන් මතු කරනවා එළවළු ප්‍රවාහනය කරන මෙම ඇසුරුම් නැවත ගෙනි යන්නේ කොහොමද කියන එක.

ඒකට අපි අද පොලිස්‌පතිතුමත් එක්‌ක සාකච්ඡා කරලා අදාළ ලොරි රථවල වහළයේ ඒවා පටවාගෙන යන්න විශේෂ අවසරයක්‌ අරගෙන දීලා තියෙනවා. ඒ වගේම නුදුරේදීම වෙළෙඳ පොළ සීමිත ඉඩකඩ ගැටලුවටත් විසඳුම් දෙන්න රජය අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගනිමින් සිටිනවා.

මෙහිදී විශේෂයෙන් කිව යුතු දෙයක්‌ තිබෙනවා. වෙළෙඳ ඇමැතිවරයා ලෙස මට චෝදනාවක්‌ නැගී තිබෙනවා කොමිස්‌ කුට්‌ටියක්‌ හමුවේ මම මේ වැඩේ කරනවාය යන්න.

එහෙත් පැහැදිලිව කිවයුතුයි. මේක රජයේ වැඩපිළිවෙළක්‌. මගේ තනි තීරණයක්‌ නෙමේ. අනිත් කරුණ මෙවන් දේවලින් කොමිස්‌ ගන්න තරම් පහත් තත්ත්වයකට මගේ දේශපාලනය ඇද වැටිලා නැහැ. මම මේ වැඩේට උර දෙන්නේ උපන් රට වෙනුවෙන් යමක්‌ කරන්න ඕන නිසයි.

පැවැත්වුණු සාකච්ඡාවලට අනුව ඉදිරි මාසයේ සිට මෙය යළි ක්‍රියාත්මක වෙනවා. ඒක රජයේ ස්‌ථාවරය.

මේ බිමේ වැවෙන අස්‌වැන්නෙන් සියයට හතළිහක්‌ ප්‍රවාහනයේදී විනාශ වීම වැනි තත්ත්වයක්‌ පවතින්නේ නම් ඊට පිළියම් යෙදීම අනිවාර්යයෙන් සිදු විය යුත්තකි.

එහිදී යම් මාෆියාවක්‌ ක්‍රියාත්මකව මෙකී කටයුතු වැළකීමට පාර කපන්නේ නම් ඊටද පිළිතුරක්‌ දිය යුතුමය.

එහි විවාදයක්‌ නොමැත්තේය. එහෙත් තවත් මසකින් පසු යළි කරළියට එන මෙකී ප්ලාස්‌ටික්‌ ඇසුරුම් නීතියේදී රටේ ජනතාවගේ දෛනික ජීවිතය අඩාල නොවන තැනට කිටයුතු කිරීම රජයේ වගකීම බවද මෙහිදී කිව යුතුය.

සමන් ගමගේ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.