ලන්ඩන් හෑගොඩයාගේ කොලම

රැජිනත් හැඬුවාය

පාසල් යන දවස්‌වල කොළඹ මහජන පුස්‌තකාලෙ අරලිය ගස්‌ යටට වෙලා යාළුවොත් එක්‌ක කවි ගැන සාහිත්‍යය ගැන කතා කර කර හිටපුව මතක්‌ වුණා. තිලකරත්න කුරුවිට බණ්‌ඩාරයන්ගේ එක කවියක තිබුණා පුස්‌තකාලයට ගොසින් මිතුරන් හා කරන කතා, කලාව ගැන කාව්‍ය ගැන අයනෙස්‌කොගේ නාට්‍ය ගැන, ජෝන්ඩන්ගෙ ප්‍රේමය ගැන, සාත්ත්‍රෙ ගැන නීට්‌ෂේ ගැන ඩාන්ටෙ ගැන අර්ථකථන ගුණ විවරණ ටිප්පනි ටීකා.... අපි දන්න නොදන්න දේවලුත් කතා කළා. මම මේ කියන්නෙ පරණ පුස්‌තකාලය ගැන. දැන් ඒක කොළඹ නගරාධිපතිගෙ නිල නිවාසය. කතා කර කර හිටපු යාළුවෙක්‌ තමයි බර්ටි බී. කුඩාහෙට්‌ටි. මහ රැජින හැඬුවා කියල දැක්‌කහම මතක්‌ වුණේ බර්ටිගෙ රජ මළේය. බිසවද මළාය කාව්‍යය.

මේ නම් හඬල තියෙන්නෙ එංගලන්තෙ මහ රැජින. එයාට කලින් එයාගෙ තාත්තා ජෝර්ජ් රජ්ජුරුවො. ලංකාවෙ අපෙත් මහ රජතුමානෙ. උන්නාන්සේගේ අභාවයෙන් පස්‌සෙ 1952 දී තමයි දැන් මහරැජින රජකමට පත්වුණේ. එතකොට එයාගෙ වයස අවුරුදු 25 යි. ඒ වෙනකොටත් එයා ග්‍රීසියෙ කුමාරියෙකුගේ පුත් කුමාරයෙක්‌ වෙච්ච පිලිප් මවුන්ට්‌බැටන් එක්‌ක විවාහ වෙලා සිටියෙ. පිලිප් කුමරු වික්‌ටෝරියා මහ රැජිනගේ මී මුනුබුරෙක්‌. ඔවුන් විවාහ වුණේ 1947 නොවැම්බර් 20 වැනිදා වෙස්‌ට්‌මින්ස්‌ටර් දේවස්‌ථානයේදී.

සාමාන්‍ය සිරිත නම් විවාහයෙන් පස්‌සෙ ස්‌වාමි පුරුෂයාගෙ වාසගම බිරිඳක්‌ ගන්න එකනෙ. ඒත් සමහරු විවාහයට පෙර වාසගමයි මහත්තයගෙ වාසගමයි දෙකම එකට පාවිච්චි කරනවනෙ. තවත් සමහරු විවාහ වුණත් විවාහයට පෙර නම විතරයි නේ පාවිච්චි කරන්නෙ. බඳින කොටම දික්‌කසාදය ගැන හිතන අය කොහොම පාවිච්චි කරනවද කියල මම කල්පනා කරනව. ඒත් ඒ කාරණය එක්‌ එක්‌ කෙනාගෙ මති මතාන්තර අනුව සිද්ධවෙන දෙයක්‌නෙ. පිලිප් කුමාරයගෙ වාසගම මවුන්ට්‌බැටන් වුණාට ඒක තිබිල තියෙන්නෙ බැටන් බර්ග් කියල. රැජිනිගෙ තාත්තා තමයි ජර්මන් වාසගම ඉංග්‍රීසියට ගැලපෙන විදිහට මවුන්බැටන් කරල අරං තියෙන්නෙ. මහ රැජිනලටත් වාසගමක්‌ තිබිල නැහැ. ඒගොල්ලන්ගෙ මාළිගය තියෙන්නෙ වින්සර් WINDSOR කියන ප්‍රදේශයේ හින්දා ඒ වාසගම අරගෙන තියෙන්නෙ.

පිලිප් කුමාරය එලිසබත් කුමරිය එක්‌ක විවාහ වෙලා මුල් කාලෙ ඇය තම වාසගම නොගන්නට ඒ හැටි කල්පනා කළේ නැහැ. රැජිනගෙ වාසගම වින්සර් වුණාට ඔන්න ඔහේ ඒක පාවිච්චි කරපුවාවෙ කියල ඉන්න ඇත. ඒත් එලිසබත් කුමරිය 1952 දී මහ රැජින වුණාට පස්‌සේ මහත්තයාගෙ හිත වෙනස්‌ වුණා. රැජින වින්සර් නිසා රජපවුල හඳුන්වන්න House of Windsor හවුස්‌ ඔෆ් වින්ඩ්සර් කියල මුල ඉඳන් පාවිච්චි වුණත් පස්‌සෙ පිලිප් කුමාරයට ඕනෑ වුණා මවුන්ට්‌බැටන් නම ඉස්‌සරහට ගන්න. ඒත් ඒ කාලෙ අගමැතිව හිටපු වින්සන් චර්චිල්ගෙ උපදෙස්‌ මත මහ රැජිනි වින්සර් කියන වාසගමම තියාගන්න තීරණය කළා. මෙහෙ රජ පවුලට වුණත් හිතු මතේට වැඩ කරන්න බෑ. උපදෙස්‌ අරගෙන පාර්ලිමේන්තුවෙන් අහල තමයි හුඟක්‌ දේවල් කරන්න වෙන්නෙ.

ඉතින් රැජින වින්සර් වාසගම තියා ගන්න තීරණය කළහම පිලිප් කුමරු පිස්‌සු වැටුණා. ඔහු ඔහුගෙ යහළුවනට, නෑදැයිනට, කිට්‌ටුවන්තයිනට කිව්වා 'මේ ලෝකෙ ඕනෑම මිනිහෙකුට අයිතියක්‌ තියෙනවා තමන්ගේ වාසගම ළමයින්ට දෙන්න. මට විතරක්‌ ඒ අයිතිය නැහැ. මම නිකම්ම නිකං ඇමීබෙක්‌ විතරයි' කියල. ඒක අහල මහ රැජිනට ඇඬුනලු. ඒත් කරන්න දෙයක්‌ නෑ. රජ පවුලට තියෙන නීති රීති තදයිනෙ. ඒත් මේ කාරණය හිතේ දරාගෙන ඉඳල 1960 දී මහරැජින එවකට හිටපු අග්‍රාමාත්‍ය හැරල්ඩ් මැක්‌මිලන්ගෙන් ආපහු උපදෙස්‌ පැතුවා. කාලයක්‌ තිස්‌සෙ තම සැමියාට කරදර දෙන වාසගම් අවුල නිරාකරණය කරන විදිහක්‌ හොයා ගන්න. මැක්‌මිලන් අගමැතිතුමාගේ දිනපොතේ ලියල තියෙනව මෙන්න මෙහෙම 'මහරැජින තම සැමියා සනසවාලීමට තම වාසගම වෙනස්‌ කළ යුතුයෑයි සිතනවා. ඇය ඔහු පිළිබඳ ඉතාමත් ආදරයෙන් ඉන්න බවයි පේන්නේ. නමුත් මට කනගාටුව නම් පිලිප් කුමාරයා මේ කරුණ ගැන මහ රැජිනට දක්‌වන අකාරුණිකත්වයයි'.

කෙසේ වෙතත් අගමැතිවරයා උප අගමැතිට සහ චාන්සලර්ට කටයුත්ත පැවරුවා විසඳුමක්‌ සොයා ගන්න. රැජින සමඟ සාකච්ඡා කළ ඔවුන් අගමැතිවරයාට දැන්වූයේ පිලිප් කුමරුගේ මවුන්බැටන් වාසගම පාවිච්චි කිරීමට මහරැජින ඉමහත් අභිලාශයකින් සිටිනා බවයි. මේ පිළිබඳ කතා කිsරීමේදී ඇගේ දැස කඳුළින් බරව තිබූ බවද ඔහු සඳහන් කළා. එහෙත් රජයේ උපදෙස්‌ වූයේ රජ පවුල කලින් මෙන් හවුස්‌ ඔµa වින්සර් යන්න භාවිත කළ යුතු බවයි. නමුත් රැජිනගේ මුනුපුරු මිනිපිරියන්ට ඔවුන් රාජකීයන් කියා භාවිත නොකිරීමට තීරණය කළා නම් මවුන්ට්‌බැටන් - වින්ඩ්සර් දෙබිඩි වාසගම පාවිච්චි කිරීමට ඉඩදීමට රැජිණ තීරණය කළාය. මේ පිළිබඳ 1960 පෙබරවාරි 8 දා ප්‍රකාශයක්‌ කළ ඇය කීවේ මේ ප්‍රශ්නය ඇගේ හදවතට ඉතා සමීප වූ කරුණක්‌ බවයි. නමුත් අවුරුදු 13 කට පසුව මහ රැජිනගේ එකම දියණිය වූ ඈන් කුමරිය විවාහ ප්‍රාප්ත වන අවස්‌ථාවේ ඇය අත්සන් කළේ ඈන් මවුන්ට්‌බැටන් - වින්ඩ්සර් යනුවෙනි. මෙය රැජිනගේ රීතියට පටහැනි වුවත් ඇය ඒ පිළිබඳ සැලකිල්ලක්‌ නොගෙන කටයුතු කළාය.

මේ වාසගම් හුටපටයෙන් සිදුවුණා යෑයි සිතෙන තවත් කතාවක්‌ ඇත. එනම් 1950 උපන් ඈන් කුමරියත් රැජිනගේ තෙවන දරුවා වූ ඇන්ඩෘත් අතර වූ අවුරුදු දහයක පරතරයට හේතු වූයේ මෙම කරුණමද යන්නය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.