චීන - ඉන්දීය බල අරගලය හා ශ්‍රී ලංකාව

චතුර පමුණුව

ඉකුත් බදාදා දිනයේ ඉන්දීය පාර්ලිමේන්තුවේදී සමාජවාදී පක්‍ෂයේ නායක මුලයාම් සිං, කොංග්‍රස්‌ ආණ්‌ඩුවට චෝදනාවක්‌ ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ චීනය ඉන්දියාවට පහරදීමට සූදානම් වන බවත් කාශ්මීරයේ කොටසක්‌ ඔවුන් අල්ලා ගැනීමට සුදානම් වෙද්දී දිල්ලි ආණ්‌ඩුව නිහඬව තපස්‌ රකින බවය. මෙහිදී නැගී සිටි ඉන්දීය අගමැති මන්මෝහන් සිං ප්‍රකාශ කර සිටියේ චීනයෙන් ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ලවී නොමැති බවත් චීන-ඉන්දීය දේශසීමාවල සාමකාමී වාතාවරණයක්‌ පවතින බවත්ය. සමාජවාදී නායකයා ප්‍රකාශ කළේ චීනය බ්‍රහ්මපුත්‍ර ගංගාව හරස්‌ කර වේල්ලක්‌ තැනීමට ක්‍රියාකරන බවයි. නමුත් ඒ ප්‍රකාශය සිං අගමැතිවරයා විසින් ප්‍රතික්‌ෂේප කරනු ලැබීය. ඉන්දියාව හා චීනය අතර වර්තමානයේ යුද උණුසුමක්‌ නැතත් ඉන්දීය රජය ඉදිරි වසර පහ සඳහා ආරක්‍ෂක හමුදා වෙනුවෙන් ඉන්දීය රුපියල් බිලියන 5,200 ක්‌ වැය කිරීමට තීරණය කර ඇත්තේ චීන - ඉන්දීය දේශසීමාවේ ආරක්‍ෂාව තර කිරීම සඳහා ය. චීනයට මායිම්වන අරුණාචල් ප්‍රාන්තයේ දේශසීමා කලාපයේ ආරක්‍ෂාව තර කිරීම සඳහා ලක්‌ෂයක භට පිරිසක්‌ අලුතින් බඳවාගැනීමටත් ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත. ඇත්තෙන්ම ඉන්දියාව සිය මිසයිල පද්ධතියද චීනයට මායිම්වන අරුණාචල් ප්‍රාන්තයේ සවි කිරීමට තීරණය කර ඇත්තේද සිය ආරක්‍ෂක හමුදා බලය ප්‍රකට කිරීමටය.

මෑතකදී නොවුණද චීනය හා ඉන්දියාව 1962 දී අක්‌සායි වින් හා දකුනු ටිබෙටයේදී යුද වැදුණහ. 1962 ඔක්‌තෝබර් 20 වැනිදා සිට නොවැම්බර් 21 වැනිදා තෙක්‌ පැවැති මේ යුද්ධයේදී චීනයට ජය අත්විය. 1959 ටිබෙට්‌ නැගිටීමෙන් පසුව දලයිලාමාට ඉන්දියාව දේශපාලන රැකවරණයදීම ගැන චීනය සතුටුවූයේ නැත. අඩි දහහතර දහසක්‌ උස කඳුකරයේ සිදුවූ මේ සටන සඳහා ගුවන් හමුදාව යොදා ගැනුණේ නැත. ඉන්දීය හමුදා චීන මහජන විමුක්‌ති හමුදාවට පරාජයවීම එවක ඉන්දීය අගමැති ජවහල්ලාල් නේරුගේ බලවත් පසුතැවිල්ලට හේතු විය. ඔහු 1962 දී හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වූයේද මේ පසුතැවිල්ල නිසාය. කෙසේ නමුත් අද ඉන්දීය හමුදාව එදාට වඩා දියුණුය. එමෙන්ම ලෝකය විශාලතම හමුදාව වන චීන හමුදාවද සුපිරි හමුදාවකි. මිලියන 3 ක හමුදාවක්‌ චීනය සතුවන අතර එය ලොව විශාතම හමුදාවයි.

ආරක්‍ෂාව සම්බන්ධයෙන් චීනය හා ඉන්දියාව අතර ඇති තරගය නිසාම 2011-2012 අය-වැය ඉදිරිපත් කරමින් ඉන්දීය මුදල් ඇමැති පුනාබ්මුකර්ජි ප්‍රකාශ කළේ ආරක්‍ෂක වියදම් සඳහා වෙන්කර ඇති මුදල 40% කින් ඉහළ දැමූ බවයි. මේ අතර චීන නාවුක යාත්‍රා තමන්ට අවශ්‍ය ඉන්ධන හා අනෙකුත් පහසුකම් ලබාගැනීම පිණිස සීෂෙල්ස්‌ දූපතේ වරාය යොදා ගැනීම ඉන්දීය රජයේ සතුටට හේතුවී නොමැත. ඉන්දීය සාගරයේ බලය පැතිරවීම සඳහා ඉන්දියාවත් චීනයත් අතර පොරයක්‌ පවතියි. ඉන්දියාව කෙළින්ම ඇමරිකානු හිතවාදියකු වීම නිසා චීනය සිය අසල්වැසියා දෙස බලන්නේ සැකයෙනි. එනිසාම පකිස්‌තානයට නිරතුරුවම චීන සහාය ලැබේ. පකිස්‌තාන - ඇමරිකා සබඳතාද ඉතාම පහලමට්‌ටමක පවතිද්දී චීන රජය ඒ අඩුව පිරිමසන්නට කෙළින්ම මැදිහත් වේ.

චීනය ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වීම පිළිබඳව දිල්ලි රජය විශේෂ විමර්ශනයක යෙදෙයි. ඇත්තෙන්ම ඉන්දියාව හම්බන්තොටදී කොන්සල් කාර්යාලයක්‌ විවෘත කළේ හම්බන්තොට වරාය ආශ්‍රිතව සිදුවන චීන ක්‍රියාකාරකම් පිළිබඳ වඩා හොඳ අවධානයක්‌ යොමු කිරීම සඳහාය. ගාලු මුවදොර ආරක්‍ෂක අමාත්‍යාංශයට අයත් ඉඩමක්‌ චීනයේ කැටික්‌ සමාගමට විකුණුවද පසුව එය අවලංගු කරනු ලැබුවේ දිල්ලියේ විරෝධය නිසාය. කැටික්‌ සමාගමට විකුණූ ඉඩම පසුව ඉන්දීය සමාගමකට ලබාදී ඇත. ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා ත්‍රස්‌තවාදයට එරෙහිව සටන ගෙනයද්දී චීන රජයේ මෙන්ම එරට හමුදාවේද නිරන්තර සහාය ලැබිණි. පසුගියදා මෙරටට පැමිණි චීන මහජන විමුක්‌ති හමුදාවේ නියෝජ්‍ය මාණ්‌ඩලික ප්‍රධානී ජෙනරාල් මාඩ්ෂියැන් හමුවූ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය ප්‍රකාශ කර සිටියේ චීනය සැබැවින්ම ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු බවයි. යුද්ධය ජයයග්‍රහණය කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාවට විශේෂ සහායක්‌ ලබාදුන් බව එහිදී හමුදාපතිවරයා හෙළි කර සිටියේය.

යුද හමුදාපති ජයසූරියගේ ප්‍රකාශය පිළිබඳ දිල්ලි රජය කවරක්‌ ප්‍රකාශ කරන්නේදැයි අප දන්නේ නැත. නමුත් ත්‍රස්‌ත මර්දන යුද්ධයේදී ඉන්දියාවට වඩා අපට සහාය වූයේ චීනය බව ප්‍රකට කරුණකි. යුද ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව චීන තුරුලට තල්ලුවීම ගැන දිල්ලි ආණ්‌ඩුව සතුටක්‌ දක්‌වන්නේ නැත. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය චීනය ඉදිකළ නිසාම සාම්පූර් හි ගල් අඟුරු බලාගාරයක්‌ ඉදිකිරීම ඉන්දියාව භාරගන්නේ මේ සීතල බල අරගලය නිසාය. කෙසේ නමුත් අප චීන සහාය ලබාගත්තද මහා අසල්වැසියා තරහ කර ගැනීම හොඳ නැත.

ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යයකි. දකුණු ආසියානු කලාපයේ ඇති ඉන්දීය - චීන බලඅරගලයට අපද මැදිහත්වී ඇත. චීනය හම්බන්තොට වරායක්‌ ඉදිකළාක්‌ මෙන් පකිස්‌තානයේ ග්වාදාර්හි වරායක්‌ ඉදිකරයි. ඉන්දියන් සාගරයේ චීන ආධිපත්‍යය පැතිරවීම පිළිබඳ න්‍යාය හඳුවන්නේ String of pearls Strategy ලෙසය. කෙසේ නමුත් 2005 මහින්ද රාජපක්‍ෂ බලයට පත්වූ පසු චීන රජයේ ව්‍යාපෘති ආධාරද වැඩිවිය. ඉකුත් බ්‍රහස්‌පතින්දා උත්සවාකාරයෙන් විවෘතවූ නෙළුම්පොකුණ රඟහලද චීනයේ පරිත්‍යාගයකි. චීනය මේ පරිත්‍යාග සිදු කරන්නේද අත ලෙවකාගැනීමට නම් නොවන බව අප හොඳින් මතක තබා ගත යුතුය. චීනයද ඉන්දියාවද ආර්ථික බලවතුන්වීම නිසා සීතලබල අරගලයද වැඩිවී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.