සුදර්ශියේදී හමු වූ
විජය රජු ආනන්ද විඡේකෝන්


1953 වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැත්වූ "විජය කුවේණී" නමැති සැණකෙළියේ "විජය කුවේණි" තෝරන බවට දැන්වීමක්‌ පළ වී තිබිණි. මිතුරන්ගේ බලකිරීමට නාලන්ද විද්‍යාලයෙන්ද ලස්‌සන තරුණයකු ඉදිරිපත් විය. ඔහු විජය ලෙසින් අභිෂේක ලබන බව ඔහුට වඩා විශ්වාසය තිබුණේ මිතුරන්ටය. තරගකරුවන් රාශියක්‌ අතරින් "විජය රජු"ලෙසින් අභිෂේක ලැබුවේ නාලන්දාවෙන් ඉදිරිපත් වූ තරුණ ශිෂ්‍යයාය. සැණකෙළිය අවසානයේ "විජය රඡ්ජුරුවෝ" ඉන් එළියට ආවේ මිතුරන්ගේ කර උඩිනි.

මේ ලස්‌සන තරුණ ශිෂ්‍යයා නාලන්දාවේ ආනන්ද වීරකෝන්ය. විජය රඡ්ජුරුවෝ "සුදර්ශි" යට ආවේ මගේ ඉල්ලීමට.


"සුදර්ශි" ශාලාවේ ගාමිණී ෆොන්සේකා ශාලාව ඉදිරිපිට නුගගහ යට බංකුව අපේ අසුන විය.

විජය රඡ්ජුරුවෝ "සුදර්ශී" ගේට්‌ටුවෙන් ඇතුළුවන විට මට සිහි වූයේ ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ "රේඛාව" චිත්‍රපටයේ ඔරුවක නැගී තම පෙම්වතිය බැලීමට යන ලස්‌සන තරුණයාය.

ඕලු නෙළුම් නෙරිය රඟා

කිකිණි හඬන වලා නගාලා

රිදී තොටිල්ලේ - යමු නැළවිල්ලේ

ඔබේ කුඩා ඔරුව හබල්ගා...//

ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ පළමු වරට එළිමහනට කැමරාව රැගෙන ගොස්‌ කළ වික්‍රමය නිසා සැබෑ ඔයක ඔරු පදිනා ලස්‌සන තරුණයකු සමග මනස්‌කාන්ත දර්ශන ප්‍රේක්‍ෂකයන්ට දැකගැනීමට ලැබිණි.

විජයරජතුමනි· මතක්‌ කරමුද සිනමාවට ප්‍රවිෂ්ට වූ අයුරු.

මගේ ඇමතුමට තත්ත්පර ගානක්‌ සිනහසුන ඔහු "එහෙනම් කොලයක්‌ පෑනක්‌ අතට ගන්න" යෑයි යන විහිළු කථාවකින් අතීතය දිග හරින්නට විය.

සිරිසේන විමලවීර මාස්‌ටර් චිත්‍රපටයකට නළු නිළියන් අවශ්‍ය බවට පළකර තිබූ දැන්වීමක්‌ අනුව දෙමාපියන්ට හොරා මම විමලවීර මාස්‌ටර්ට මගේ පිංතූරයක්‌ යෑව්වා. සතියක්‌ යන්නට පෙර කිරිබත්ගොඩ නවජීවන චිත්‍රගාරයට එන ලෙස ආරාධනාවක්‌ ලැබුණා.

චිත්‍රාගාරයට ගියාම සිරිසේන විමලවීර මාස්‌ටර් ගැන මට සැබෑ ආඩම්බරයක්‌ සිතුනා. හැමෝම මුල් කාලයේ චිත්‍රපට හදන්නට ඉන්දියාවට යද්දී මේ සිංහල මනුෂ්‍යයා දහදුක්‌ විඳලා ගොඩනැගූ "නව ජීවන" චිත්‍රාගාරයේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ගැන මට ඒ කාලයේ මුදල් තිබුණේ නැහැ. ඒ නිසාම මට හිතුනා රඟපෑමට තේරුණොත් නොමිලයේ හරි රඟපානවා කියලා. "අසෝකා" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මාව තෝරාගත්තා.

1955 මාර්තු 4 වැනිදා තිරගත වූ "අසෝකා" චිත්‍රපටයේ හැරීගේ චරිතය රඟපාමින් සිනමාවට ප්‍රවිෂ්ට ආනන්ද වීරකෝන් 76 වන වියේ පසුවෙයි. එහි අදටත් ඔහුගේ රුවේ වෙනසක්‌ නොපෙනේ. (ඔහු දුටුවොත් ඔබත් එය පිළිගනීවි)

වැල්ලම්පිටිය ප්‍රදේශයේ උපත ලත් ආනන්දට සොයුරියන් පස්‌ දෙනෙක්‌. ඔහුගේ උපන් නම වූයේ දොන් ග්ලෝස්‌ටර් වීරකෝන්ය. පසුකලෙක ඔහුගේ මව ආනන්ද යන නම තැබීය.

1955 නොවැම්බර් 25 තිරගත කරන ලද "පොඩි පුතා" සිංහල සිනමාවේ 32 වන චිත්‍රපටය මෙය ආරම්භ කර වැඩ කටයුතු කරගෙන ගියේ වෙනත් නමකින් බව සැබෑවක්‌ද?

"ඔව්· ප්‍රියශාන්ත. චිත්‍රපටයේ සුදප්පු ලෙස රඟපෑවේ විමලවීර මාස්‌ටර්මයි. මම රඟපෑවේ "පොඩිපුතා" චරිතය. මාස්‌ටර් සමග රඟපාන නිසා මාත් උපරිම ශක්‌තිය යොදවල මගේ චරිතය නිරූපණය කළා. විචාරකයන් පවා මම මාස්‌ටර් සමග කරට කර රඟපෑමක යෙදෙන බැවින් දක්‍ෂයා කවුද කීමට බැරි බව කියා තිබුණා."

විමලවීර මාස්‌ටර් මිය යැමට කලින් "ලංකා චලන චිත්‍ර" සාකච්ඡාවකදී මෙසේ කීවේය. ආනන්ද වීරකෝන්ගේ දක්‍ෂ රඟපෑම් නිසා මට "දීපශිඛා" සම්මානය ලැබුණේ. මොකද ඔහු මට වඩා දක්‍ෂ අන්දමට රඟපාන නිසා මගේ උපරිම රඟපෑම කළා. අනෙක ඔහුගේ දක්‍ෂ රඟපෑම් නිසා චිත්‍රපටය සාර්ථක වන බවට මා තුළ තිබූ විශ්වාසය නිසා මම "සුද්දප්පු" නම වෙනස්‌ කරලා "පොඩි පුතා" කියලා යෙදුවා.

ශාන්තිකුමාර් සෙනෙවිරත්න ගේ "ජීවිත සටන" එස්‌. එම්. සීවසාමි අධ්‍යක්‍ෂණය කළා. "සුකුමලී" සිරිසේන විමලවීර මාස්‌ටර් ගේ "මා ආලය කළ තරුණිය" "වනමල" සහ 1956 දෙසැම්බර් 28 වැනිදා තිරගත කරන ලද ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ "රේඛාව" ඔහු රඟ පෑ චිත්‍රපටය.

ඩබ්ලිව්. එම්. එස්‌. තම්පෝගේ චිත්‍රපටයකට පොලොරිඩා ජයලත් සමග ප්‍රධාන චරිතයකට තෝරාගෙන, මාර්ක්‌ සමරනායක යටතේ එහි පුහුණුවීම් කටයුතු පවා කර තිබියදී එම චරිතයට වෙනත් නළුවකු යෙදවීම සම්බන්ධයෙන් ඇතිවූ කලකිරීම මත සිනමාවට ආයුබෝවන් කියා ආනන්ද වීරකෝන් එංගලන්තයේ පදිංචියට ගියේය. ඔහු ශූර ව්‍යාපාරිකයකු (රක්‍ෂණ නියෝජිත ආයතනයක්‌) වූයේ ඒ නිසාය. ඔහු වැනි දක්‍ෂ චරිතාංග නළුවකු සිනමාවට අහිමි වූයේ එකලත් බෙලි කැපීම රජ කළ බැවිනි.

ආනන්ද වීරකෝන්ගේ දයාබර බිරිඳ ජානකී වීරකෝන් ශාස්‌ත්‍රීය සංගීතය හදාරා ඇති ගායිකාවකි. ඇය අභාවප්‍රාප්ත හිටපු සංස්‌කෘතික ඇමැති ලක්‍ෂ්මන් ජයකොඩිගේ නැඟණියකි.

ඒමන්ති මාරඹේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.