කේරළය සහ ලංකාව

සිංහලයන්ට වඩාත්ම සමීප ඉන්දියාවේ ප්‍රාන්තය කුමක්‌ද යන ප්‍රශ්නයට ඇත්තේ එක්‌ පිළිතුරක්‌ පමණක්‌ යෑයි සිතමි. ඒ කේරළය ය. කේරළය බෞද්ධ ප්‍රාන්තයක්‌ නොවේ. එහි බෞද්ධ ජනගහනය 0.5% ක්‌ තරම්වත් නැත. එහෙත් සිංහලයන් හා කේරළ මලයාලම් ජනතාවගේ සංස්‌කෘතික සම්බන්ධකම් බොහෝය. එමෙන්ම දේශගුණය, තුරුලතා ආදිය සම්බන්ධයෙන් ද කේරළය හා ලංකාව අතර ඇත්තේ සමීප සම්බන්ධතාවකි. මේ ලිපියෙන් මා අදහස්‌ කරන්නේ ඒ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක්‌ කිරීමට නොව එවැනි සාකච්ඡාවක්‌ සඳහා මට වඩා අත්දැකීම් ඇති අයගේ අවධානය ඒ සඳහා යොමු කිරීම ය. කේරළය නමින් ප්‍රාන්තයක්‌ ඇති කරන ලද්දේ ඉන්දියාව ඉංගිරිසීන්ගෙන් යම් ආකාරයක දේශපාලන නිදහසක්‌ ලබා ගැනීමෙන් පසුවය. ප්‍රදේශ හා රාජ්‍ය කිහිපයක්‌ එකතු කිරීමෙන් කේරළ ප්‍රාන්තය ගොඩනැගී ඇත. මූලික වශයෙන් භාෂාව මත පදනම් ව ප්‍රාන්ත පිහිටුවීමේ දී මලයාලම් භාෂාව කතා කරන පිරිස ඉතා වැඩි වශයෙන් ජීවත් වූ ප්‍රදේශය කේරළය නමින් බෙදා වෙන් කෙරී ඇත. ආගමික වශයෙන් ගතහොත් හින්දු ජනතාව බහුතරය වෙයි. එහෙත් එය අති විශාල බහුතරයක්‌ නොව යම්තම් හරි අඩක්‌ ඉක්‌මවූ බහුතරයකි. සෙසු ජනතාව ප්‍රධාන වශයෙන් ඉස්‌ලාම් හා කතෝලික භක්‌තිකයෝ වෙති.

දේශපාලන වශයෙන් ගතහොත් ඉන්දීය කොමියුනිස්‌ට්‌ පක්‍ෂය (මාක්‌ස්‌වාදී) ශක්‌තිමත් වෙයි. කලක්‌ කොමියුනිස්‌ට්‌ පාක්‍ෂික නම්බුදිරිපාද් මහතා කේරළයේ මහ ඇමැති ලෙස පත් වී සිටියේය. අද ද කේරළයේ සෑම ප්‍රදේශයකම පාහේ ඒ පක්‍ෂයේ ශාඛා ක්‍රියාත්මක වන ආකාරය දැකගත හැකිය. ඉන්දියාවේ ස්‌ටැලින්වාදී කොමියුනිස්‌ට්‌ පක්‍ෂ බලවත් වූයේ කේරළයේ හා බටහිර බෙංගාලයේ වීමත් ඒ ප්‍රදේශ ලංකාවට යම්කිසි ආකාරයකින් සම්බන්ධවීමත් ලංකාවේ ද කලක මාක්‌ස්‌වාදී පක්‍ෂ ඉන්දීය ප්‍රාන්තවල තරම් බලවත් නොවුවත් යම් බලපෑමක්‌ කිරීමේ හැකියාව සහිත වීමත් අතර කිසියම් වූ සම්බන්ධයක්‌ ඇති බවත් සිතාගත හැකිය. එහෙත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක්‌ නම් ලංකාවේ වඩා බලපෑමක්‌ කිරීමට හැකිවූයේ ස්‌ටැලින්වාදීන්ට වඩා ට්‍රොට්‌ස්‌කිවාදීන්ට බවය. එමෙන්ම කේරළයේ මෙන් ගමෙන් ගමට ව්‍යාප්ත වූ මාක්‌ස්‌වාදී ව්‍යාපාරයක්‌ ජවිපෙ බිහිවන තුරු ලංකාවේ ඇති නොවීමත් සඳහන් කළ යුතුය. ට්‍රොට්‌ස්‌කිවාදය නාගරික උගතුන්ට වඩා ආකර්ෂණීය වීමට අමතරව මාක්‌ස්‌ එංගල්ස්‌ ට්‍රොට්‌ස්‌කි භාවිතා කළ අපෝහකවාදය රූපිකත්වයෙන් කෙළවර වුවත් එය චතුස්‌කෝටිකයේ දුර්වල ප්‍රකාශයක්‌ වීම ලංකාවේ ට්‍රොට්‌ස්‌කිවාදය නගරවල පැතිරීමේදී හේතුවක්‌ වී ඇතැයි සිතිය හැකිය. ට්‍රොට්‌ස්‌කිගේ යුද්ධය ද නොවේ සාමය ද නොවේ වැනි ප්‍රකාශ දිරවා ගැනීමට සිංහල බෞද්ධයන්ට කිසිම අපහසුවක්‌ නැත.

කේරළයේ පහත් ප්‍රදේශවල පොල් ඉතා බහුල වශයෙන් දැකගත හැකිය. ලංකාවේ ඇති සෑම ගසක්‌ ම පාහේ කේරළයේ ද ඇත. කේරළයේම පවතින එක්‌ ජන ප්‍රවාදයකට අනුව කේරළය යන්න පොල් හා විල් යන අර්ථ ඇති වචන දෙකක්‌ එකතු වීමෙන් සෑදී ඇත. ඒ කෙසේ වෙතත් කේරළයේ පොල් ගස්‌ මෙන්ම ඉතා විශාල විල් ද ඇත. විල් පැවතීම හේතුවෙන් එහි බෝට්‌ටු සේවාවල යෙදීමට ද බොහෝ දෙනාට අවස්‌ථාව ලැබී ඇත. ඉන්දියාවේ වෙනත් ප්‍රාන්තවල මෙන් නොව කේරළයේ පොල් ගස ප්‍රධාන ගස වීමද ලංකාව හා කේරළය අතර සමානත්වය වැඩිවීමට හේතුවී ඇත. කේරළයේ ජනතාවද පොල් ගස කප්රුකක්‌ ලෙස සලකති. ඔවුහු ද පොල් ගසේ ඉවත දමන කිසිවක්‌ නැතැයි පවසති. ලංකාවේ මෙන්ම අප රටේ රටාවටම වියන ලද පොල් අතුවලින් සෙවිලි කළ නිවෙස්‌ කේරළයේ ද දැකගත හැකිය.

ආප්ප, ඉදිආප්ප, පිට්‌ටු වැනි කෑම පමණක්‌ නොව මුංගුලිද කේරළයේ ඇත. ඒ කෑම වඩාත්ම ඇත්තේ තරමක්‌ උතුරට වූ මලබාර ප්‍රදේශයේ යෑයි කියනු ලැබේ. කුරුම්බා ගෙඩියක්‌ බී එය පළා ඇස්‌සක්‌ ගසාගෙන ලොඳ කෑමට කේරළ වැසියෝ ද හපන්නු වෙති. පෘතුගීසීන්ට යටත්ව සිටි සමයේ දී හඳුන්වාදෙනු ලැබූ හැට්‌ටය සමග රෙදි (රෙද්ද හැට්‌ට) හා විලුඹ තෙක්‌ ඇති දිග ගවුම් අඳින කාන්තාවන් අද කේරළයේ පාර තොටේ දැකගත හැකිය. ලුංගිය (සරම වැනි එහෙත් මුට්‌ටු කර නොමැති) හැඳගත් පිරිමි කැසපටක්‌ කවා ගමන් බිමන් යති. ලංකාවේ තරමට කලිසම කේරළයේ ප්‍රචලිත වී නැත. කේරළයේ කාන්තාවන් සාරිය ඇදීමේදී ද සිංහල කාන්තාවන්ට සමාන කමක්‌ දැකිය හැකි ය. එය දෙමළ හෝ උතුරු ඉන්දියාවේ හෝ කාන්තාවන් සාරිය ඇඳීමට වඩා වෙනස්‌ වෙයි. කේරළයේ භාෂාව මලයාලම් වෙයි. එය සිංහලයට නොව දෙමළට සමීප වෙයි. එහෙත් කේරළ වැසියන් භාෂාව කතාකරන රිද්මය සිංහල කතාකරන රිද්මයට සමීප වෙයි. ඇතැම් අවස්‌ථාවක ඔවුන් කතාකරන්නේ සිංහල දැයි සිතෙන තරමට මේ සමීපත්වය වෙයි. ඔවුන්ගේ ගීත ද සිංහල ගීත මෙන් ඇසෙන අවස්‌ථා වෙයි. මලයාලම් භාෂාවේ අකුරු ලියන ආකාරය හා සිංහල භාෂාවේ අකුරු ලියන ආකාරය සමාන වෙයි. මේ සමානත්වය මියන්මාර තායි ආදී භාෂා සම්බන්ධයෙන්ද දැකගත හැකි වෙයි. මලයාලම් අකුරු දෙමළ අකුරුවලට වඩා සිංහල අකුරුවලට සමීප වන්නේ කෙසේද? මලයාලම් හෝඩියේ ඇකාරය නැත. ඇක'dරය සිංහලයන්ගේ ම නිර්මාණයකි. එහෙත් මලයාලම් හෝඩියේ ඉරු (සෘ) සහ ඉලු දැකගත හැකි ය. භාෂා හා ආගම් වෙනස්‌ වුවද සිංහලයන්ගේ ජීවන රටාව හා ජීවන රිද්මය ඉන්දියාවේ ජන කොටසක්‌ අතරින් වඩාත් සමීප වන්නේ කේරළ වැසියන්ගේ ජීවන රටාවට හා ජීවන රිද්මයටය.

ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල නිවෙස්‌ පැතලි වහළකින් සමන්විත වෙයි. එහෙත් කේරළයේ නිවෙස්‌වල වහළ හැඩතල ස්‌වරූපයක්‌ ගනියි. පහළොස්‌වැනි සියවසේ පමණ බිහි වූ ත්‍රිවන්ද්‍රම් අගනුවර කරගත් ත්‍රාවන්කොර රජවරුන්ගේ මාළිගා හා නුවර ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මාළිගාව අතර සමානත්වයක්‌ වෙයි. ඇම්බැක්‌කේ වැනි කැටයම් ද ඒ රජවරුන්ගේ මාළිගාවල දැකගත හැකිය. ඒ රජ පරම්පරාවේ දහහත් දෙනෙක්‌ අද ඒ මාළිගාවල වෙසෙති. ඔවුන්ට කිසිදු ආකාරයක රාජ්‍ය බලයක්‌ අහිමි වුවත් පැරැණි සිරිත් විරිත් පවත්වාගෙන යැමට ඔවුහු සමත් වී සිටිති. මේ අතර යුද්ධ ශිල්ප අතින් ද සමානත්වයක්‌ දැකිය හැකිය. අංගම්පොර ශිල්පය මෙයට උදාහරණයකි. මේ ශිල්පය අනුරාධපුර සමයෙහි ද මෙරට තිබී ඇත.

කේරළය හා ලංකාව අතර ඇති සමානත්වයට ප්‍රධාන හේතුවක්‌ වී ඇත්තේ දේශගුණය හා භූගෝලය වැනි භෞතික සාධක බවට සැකයක්‌ නැත. එහෙත් සිංහලයන් හා කේරළ වැසියන් අතර මෙතරම් සමීප සම්බන්ධතාවක්‌ ඇති වී තිබෙන්නේ කෙසේද? එයට හේතු ගණනාවක්‌ වෙයි. ඉතාම මෑතම හේතුව ලෙස සැලකිය හැක්‌කේ පෘතුගීසී ආක්‍රමණයය. පෘතුගීසීන් කේරළ වැසියන්ට හා සිංහලයන්ට ලබා දී ඇති හැට්‌ට කබා ආදිය එහි දී විශේෂයෙන් සඳහන් කළ යුතුය. සිංහලයන්ටත් වඩා කේරළ වැසියෝ පෘතුගීසි බලපෑමට හසු වී සිටිති. කතෝලික ආගම කේරළයේ වඩා පැතිර ගොස්‌ ඇත. එය පුදුමයට කරුණක්‌ නොවන්නේ පෘතුගීසීන් ගෝව හා කේරළය පදනම් කරගනිමින් අපේ කලාපය පාලනය කිරීම නිසාය. ආසියාවේ ප්‍රථම කතෝලික පල්ලිය ලෙස සැලකෙන ශාන්ත ยต්‍රeන්සිස්‌ පල්ලිය කොචින් නගරයේ පිහිටා ඇත. වස්‌කෝද ගාමාගේ සිරුර පළමුවෙන් භූමදාන කර ඇත්තේ මේ පල්ලියේ ය. දෙවැනි ආසන්න හේතුව දහතුන්වැනි සියවසේ පමණ සිට මෙරටට කේරළ ප්‍රදේශයෙන් සංක්‍රමණය වූ ජනතාවය. මේ ජනතාවගෙන් යම් පිරිසක්‌ මෙරට විවිධ කුලවලට අවශෝෂණය කෙරී ඇත. ඔවුන් සමග විවිධ ආහාරපාන ද මිරිස්‌ ද ගරුකම් ද අපට ලැබී ඇත. තුන්වැනුව අපට දැක්‌විය හැක්‌කේ මෙරටට විටින් විට ගෙවන්න ලද මලයාලම් බස කතා කළ වේලක්‌කාර හමුදාය. මේ පිරිස්‌ නාගදීපයේ සිංහලයන් සමග පදිංචි වී සිට ඇත. ලන්දේසීන් වත්මන් තමිල්නාඩුවෙන් දුම්කොළ වගාවට වෙල්ලාලයන් ගෙනෙන විට නාගදීපයේ හෙවත් යාපන අර්ධද්වීපයේ සිsටියෝ සිංහලයෝ හා වේලක්‌කාරයෝ ය. යථා කාලයේදී මේ සියල්ලන් දෙමළ වී ඇති නමුදු යාපනයේ දෙමළ බසට මලයාලම් වචන එකතු වී ඇත්තේ ඒ වේලක්‌කාරයන්ගෙනි. එහෙත් එයටත් වඩා ඈතට යන සම්බන්ධයක්‌ මෙරට සිංහලයන් හා කේරළ වැසියන් අතර වූ බව පෙනෙයි. දේශපාලන වශයෙන් ගතහොත් පැරැණි පාණ්‌ඩ්‍ය දේශයට වත්මන් කේරළයෙන් කොටසක්‌ අයත් වී ඇති අතර ෙච්ර රාජ්‍යයටද කේරළයේ සම්බන්ධයක්‌ ඇත. පැරැණි පාණ්‌ඩ්‍යයෝ ද්‍රවිඩයෝ නොවූහ. සිංහලයන් පාණ්‌ඩ්‍යයන් හා ෙච්රයන් සමඟ සමගියෙන් වාසය කර ඇති අතර චෝලයන්ට එරෙහිව එකිනෙකාට උපකාර ද කර ඇත. විශේෂයෙන්ම දෙපැත්තේ ම වාසය කළ නාවිකයන් වූ නාග ගෝත්‍රිකයන් අතර සම්බන්ධකම් ගොඩ නැගී ඇති බවද පැහැදිලිය. ඒ සඳහා සෘජු නිදර්ශනයක්‌ නොවුණද නාගසලම් යනුවෙන් හැඳින්වෙන සංගීත භාණ්‌ඩය ගැන වචනයක්‌ කිව යුතුය. පඬිවරු නාගසලම් යන්න ශුද්ධකර නාදස්‌වරම් ලෙස භාවිතා කරති. එහෙත් කේරළයේ නාගසලම් යන්න කියෑවෙන්නේ නාගස්‌වරම් යනුවෙනි. සිංහලයේ ස සහ ල අකුරු මාරුවීමේ රීතිය අනුව නාගස්‌වරම් නාගසරම් හා නාගසලම් බවට පත්වී ඇතැයි සිතිය හැකිය. නාගස්‌වරම් හෙවත් නාගස්‌වර යන්නෙන් නාගයන්ගේ ස්‌වර හෝ නාගයන්ට ආමන්ත්‍රණය කරන ස්‌වර යන තේරුම දෙනවා විය හැකිය. මේ සියල්ල පිළිබඳ පුළුල් ගවේෂණයක යෙදිය යුතුය. උපසම්පදාව ලංකාවෙන් සියමට ගෙන ගොස්‌ ආපසු ගෙන ආ පරිදි ඇතැම් සංස්‌කෘතික ලක්‍ෂණ පළමුවෙන් ලංකාවෙන් කේරළයට ගෙන ගොස්‌ ආපසු ලංකාවට ගෙනැවිත් ඇති බව පෙනී යයි. ඈත අතීතයේ දී සිංහලයන් (සිංහල වූ නාගයන්) කේරළයට සංක්‍රමණය වී යෑයි කියන ජනප්‍රවාදය ද අමතක නොකළ යුතුය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.