සිංහල දෙමළ දේශපාලන නායකයන්
ජනතාවගෙන් සමාව ගත යුතුයි


අජිත් අලහකෝන් - අකිත පෙරේරා

වසර තිහක හතළිහක කාලයක්‌ පුරා රටේ ඇති වූ අරගලකාරී තත්ත්වයන් වැළැක්‌වීමට සාමූහිකව අසමත්වීම නිසා දකුණේ ප්‍රධාන පක්‍ෂ දෙකේ නායකයන් සහ දෙමළ දේශපාලන නායකයන් සියලු අහිංසක පුරවැසියන්ගෙන් සමාව ගත යුතු බව උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

මෙම ගැටුම නිසා විපතට පත් සියලු අහිංසක පුරවැසියන්ගෙන් සමාව අයදිමින් ඉහත දේශපාලන නායකයන් ඒකාබද්ධ ප්‍රකාශයක්‌ කළ යුතු බව ද කොමිසම අවධාරණය කර සිටී.

සිදුවූ විපත්තීන් පිළිබඳව දකුණේ දේශපාලන නායකයන් සහ දෙමළ දේශපාලන පක්‍ෂ නායකයන් මෙන්ම සිවිල් සමාජය ද පොදුවේ පසුතැවිලි විය යුතු බව කොමිසම සිය නිර්දේශයන් මගින් දැඩිව අවධාරණය කර සිටී.

දෙමළ ජනතාවට පිළිගත හැකි විසඳුමක්‌ ඉදිරිපත් කිරීම පිළිබඳව ප්‍රධාන පක්‍ෂ දෙකෙහි දකුණේ දේශපාලන නායකයන් අතර සම්මුතියන් ඇතිකරගෙන තිබුණා නම් මෙම ගැටුම වළකාගත හැකිව තිබූ බව ද කොමිසම පෙන්වා දේ.

බෙදුම්වාදය සඳහා වූ සන්නද්ධ ව්‍යාපාරයට (එල්. ටී. ටී. ඊ. යට) දිරි දීමෙන්, සිංහල හා දෙමළ ජනයාට එරෙහි එල්. ටී. ටී. ඊ. ය ගෙන ගිය ප්‍රචණ්‌ඩ සහ ත්‍රස්‌ත ක්‍රමවේදයන්ට විරුද්ධ නොවීමෙන්, එල්. ටී. ටී. ඊ. යට සහ එහි දුෂ්ට ක්‍රියාවන්ට එරෙහිව නිර්භීතව සහ ශක්‌තිමත්ව නැගී නොසිටීමෙන් දෙමළ දේශපාලන නායකයන් ද මෙම අර්බුදයට වගකිවයුතු බව කොමිසම අවධාරණය කර සිටී.

එම නිසා සිදු වූ දේ වෙනුවෙන් සාමූහිකව පසුතැවීම එක්‌ පාර්ශ්වයකටත් පහසු නොවන බව ද පෙන්වා දී ඇති කොමිසම ප්‍රතිසන්ධානයේ බීජ මුල්බැස ගත හැක්‌කේ සමාව දීම සහ කරුණාව ඇත්නම් පමණක්‌ බව ද සඳහන් කරයි.

එබැවින් සියලු දේශපාලන පක්‍ෂවල නායකත්වය නිහතමානීව එකිනෙකාට සමීප වී මෙවන් අර්බුදයක්‌ ඇතිවීම වැළැක්‌වීමට සාමූහිකව අසමත් වූ බව ද පවසන උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති කොමිසම ගැටුම නිසා විපතට පත් වූ සියලු අහිංසක පුරවැසියන්ගෙන් පෙර කී දේශපාලන නායකයන් සමාව ගත යුතු බව ද සඳහන් කර සිටී.

මෙම කොමිෂන් සභා වාර්තාව පසුගිය සිකුරාදා (16 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.