පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගැන මැති ඇමැතිවරුන්ට "පාඩමක්‌"

නිලන්ත මදුරාවල

පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කෙරෙන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබඳ මැති ඇමැතිවරුන් දැනුවත් කිරීමට උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ අතර එම පනත් කෙටුම්පතේ ඇතුළත් විධිවිධාන අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලට බරපතළ තර්ජනයක්‌ එල්ල වන බව සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක්‌ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මේ වන විට ආරම්භ කර තිබේ.

එම පනත් කෙටුම්පත තවමත් සකසමින් තිබෙන බවත් එය ජනවාරි මාසය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා "දිවයින ඉරිදා සංග්‍රහයට" පැවසීය. ඊට පෙර අනිවාර්යයෙන්ම මැති ඇමැතිවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා කීවේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කළේ එම පනත් කෙටුම්පතේ විධිවිධාන අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල පවත්වාගෙන යැම සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුවිය හැකි බවය. එහෙයින් ඉදිරියේදී උද්ගත විය හැකි අහිතකර තත්ත්වයන් සම්බන්ධයෙන් වහාම ආචාර්යවරුන් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක්‌ ආරම්භ කළ බවය. විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට ගොස්‌ ආචාර්යවරුන් දැනුවත් කරන බවද ඊට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරියේදී තීරණය කරන බවද සභාපතිවරයා පැවසීය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.