ජන අරගල ව්‍යාපාරයෙන් පක්‍ෂ ව්‍යවස්‌ථාව උල්ලංඝනය කරලා!
- විජිත හේරත්

අජිත් අලහකෝන්

ජන අරගල ව්‍යාපාරය නිසා කැරලිකාර කණ්‌aඩායම ජවිපෙන් නෙරපා හැරීම තවත් පහසු වනු ඇතැයි එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" ට ප්‍රකාශ කළේය. ජනතා විමුක්‌ති පෙරමුණේ වගකීම් නාමයන් සහ තනතුරු පාවිච්චි කරන්න, පක්‍ෂයේ ආශිර්වාදය නොමැති කිසිදු ව්‍යාපාරයක්‌ හෝ සංවිධානයක්‌ පිහිටුවීම ව්‍යවස්‌ථා විරෝධී කටයුත්තක්‌ බවද විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. ජවිපෙ කැරලිකාර කණ්‌ඩායම විසින් ජන අරගල ව්‍යාපාරය" නමින් ආරම්භ කළ බහුජන ව්‍යාපාරය පිළිබඳ අදහස්‌ දැක්‌වූ විජිත හේරත් මහතා කැරලිකාර කණ්‌ඩායමට එල්ල වී තිබෙන චෝදනා පිළිබඳ සොයා බැලීම සඳහා මේ වනවිටත් විනය කමිටුවක්‌ පත්කර ඇතැයි කීය.

පක්‍ෂයේ නම් හා තනතුරු යොදා ගනිමින් සම්මන්ත්‍රණ පැවැත්වීම, පක්‍ෂය විවේචනය කිරීම, පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කිරීම ආදී දැනටමත් විනය කමිටුව හමුවට පැමිණ ඇති චෝදනා අතරට "ජන අරගල ව්‍යාපාරයද" පැමිණෙන බව කී විජිත හේරත් මහතා මෙම චෝදනා සනාථ කිරීමේ සාක්‍ෂි ලෙස පුවත්පත් වාර්තා යොදා ගන්නා බවද කීය.

මෙම විනය කමිටුවේ පරීක්‍ෂණවලින් අනතුරුව කැරලිකාර කණ්‌ඩායමට එරෙහිව ඉතා ඉක්‌මණින් තීරණයක්‌ ගන්නා බවද හෙතෙම කීය.

එහෙත් මේ පිළිබඳ අදහස්‌ පළ කළ කැරලිකාර කණ්‌ඩායමේ සාමාජික, ජන අරගල ව්‍යාපාරයේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් සහ ජවිපෙ මධ්‍යම කාරක සභික පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේ "ජන අරගල ව්‍යාපාරයට" පක්‍ෂයේ සාමාජිකයන්ගේ කැමැත්ත ඇති බවය.

ජවිපෙට තමන්ට එරෙහිව චෝදනා එල්ල කළ නොහැකි බවද ජවිපෙ යනු පක්‍ෂ සාමාජිකයන් මිස නිලධාරින් කිහිපදෙනකු නොවන බවද ජයගොඩ මහතා කීය. එම නිසා පක්‍ෂය නමින් පෙනී සිටින නිලධාරීන් කිහිපදෙනාගේ තීරණ "ජන අරගල ව්‍යාපාරයට" අදාළ නොවන බවද හෙතෙම කීය.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.