එ.ජා.ප. නායකත්ව අර්බුදය
සාකච්ඡා අසාර්ථක වුණොත් හෙට රහස්‌ ඡන්දයක්‌!

පියසේන දිසානායක

එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්ව අර්බුදය අද (18 වැනිදා) පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී සාකච්ඡා මාර්ගයෙන් විස¹ ගැනීමට නොහැකි වුණොත් හෙට (19 වැනිදා) රහස්‌ ඡන්දයක්‌ පැවැත්වීමට එම පක්‍ෂය තීරණය කර ඇත. මෙම රහස්‌ ඡන්දය කෘත්‍යාධිකාරි මණ්‌ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම ඒකාබද්ධව පවත්වනු ලබයි.

නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේ පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමට සහභාගි වන ලෙස සියලු සභිකයන්ට එම පක්‍ෂය විශේෂ දැනුම්දීමක්‌ කර තිබේ.

නායකත්වයට අමතරව අනෙකුත් තනතුරු සඳහා එක්‌ අයකුට වඩා ඉදිරිපත් වන්නේ නම් ඒ තනතුරු සඳහා ද ඡන්ද විමසීම පිළිබඳව ද අද අවසන් තීරණයක්‌ ගැනීමට නියමිතය.

පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුව නායක, නියෝජ්‍ය නායක ධුර දෙකක්‌, ජාතික සංවිධායක හා සභාපති ධුර සඳහා පුද්ගලයන් පත්කර ගැනීම සම්මුතියෙන් නොහැකි වුවහොත් කෘත්‍යාධිකාරි මණ්‌ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම ඒකාබද්ධව රහස්‌ ඡන්දයක්‌ පැවැත්විය යුතුවේ.

ඡන්දයකට නොගොස්‌ සම්මුතියෙන් නායකත්ව අර්බුදයට විසඳුමක්‌ සෙවීම සඳහා පසුගිය කාලය පුරාවට එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගනු ලැබූ උත්සාහය ද අසාර්ථක වී තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.