හෙළ ගී කෙත මහා රාජ මන්දිරයක්‌ නම්
එහි යුව රජු කවුද...


සැබැවින්ම එය මා මීට පෙර කිසිම දිනක පා නොතැබූ ශ්‍රවණාගාරයකි. ...... ජාතික කෞතුකාගාර ආයතන පරිශ්‍රයෙහි එබඳු කුඩා හා ප්‍රියමනාප, එහෙත් අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක්‌ ඇති බව මුල්වරට මා දුටුවේ එදාය....

දිනය පසුගිය දෙසැම්බර් 07 වැනි බදාදාය. ආරාධනා පත්‍රයක්‌ ලැබ මා එහි ගියේ හෙළ සංගීත කලා කෙත අස්‌වද්දන්නට පුරෝගාමී වූ තවත් එක්‌ ගාන්ධර්වයකුගේ ශාස්‌ත්‍රීය කර්තව්‍යයක්‌ සියෑසින් දැක බලා ගැනීමේ අටියෙනි.

මේ ගාන්ධර්වයා අනෙකකු නොව අප කා අතරත් ගෞරව ආදරයට හා සම්භාවනාවට පත් අසහාය කලාකරු සනත් නන්දසිරි මහතාණන්ය.

ශාස්‌ත්‍රීය ගායනයේදී යම් දුහුනෙක්‌ ඇසුරු කළ යුතු සියලු රාගයන් හා රාගධාරී ක්‍ෂේත්‍රයන් අළලා සනත් නන්දසිරි විසින් සම්පාදනය කරන ලද "රාගාලංකාරය" නම් ග්‍රන්ථයකුත්, රාගධාරී සංගීතය පෝෂණය කළ භාරතීය මහා සංගීතඥයන් පිළිබඳ එතුමන් විසින් සම්පාදිත ග්‍රන්ථයකුත් දොරට වැඩීම නිමිත්තෙන් ඒ පුංචි ගරු ගාම්භීර උත්සවය පැවැත්විණි. මා සහභාගී වූයේ එම උත්සවයටය.

යහපත් දේට යහපත් අය කොතරම් ඇලුම් කරත්ද? ශාලාව පිරී ඉතිරී ගොස්‌ ය. විශාරද, මහාචාර්ය සංගීත් නිපුන් ඈ පට්‌ටම් කුමටද? සනත් නන්දසිරි නම් අපට සිටින අසහාය කලාකරුවාගේත්, අමරදේව, රෝහණ වීරසිංහ වැනි අද්විතීය කලාකරුවන්ගේ අගයත් නැවත නැවතත් මට මොහොතකට පසක්‌ විය.

ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්තයන්ගෙන් ඇරඹී අමරදේවයන් හුදෙකලාව ගෙන ගිය හෙළ ගී සටනට සනත්, වික්‌ටර් දෙදෙනා කිසිවකුට නොදෙවැනි සම්මාදමක්‌ වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

"අනන්ත වූ දෙරණ සරා

දෑස නිවන නිලක්‌ සොයා

අහස්‌ ගව්ව නැග ගත්තේ

නිල්ල දකින්නයි."

"ඉරා අඳුරුපට

පෙරදිග අහසේ

පොකුරු පොකුරු තරු

නිවී යන්ට පෙර"


මේ උත්තම පදමාලාවන්ට, සංගීත නිර්මාණයන්ට, සනත් නන්දසිරි නම් ගායකයාගෙන් ලද සම්මාදම කවර හේතුවක්‌ මතවත් නරුමයකුට විනා අනෙකකුට අවතක්‌සේරුවකට ලක්‌ කළ හැකිද? හැත්තෑ දෙකේ වසරේ සරසවි සිසුවකු ලෙස මා සිsටියදී දැන හඳුනාගත් උක්‌ත ගායකයාගේ බොහෝ යහපත් දේ මම හොඳින් පසක්‌ කරගෙන සිටිමි. "කඳුළු කතාවේ, මේ ගුරු පාරේ, කබාය ඉරිලා ගීතයන්ට ඔහු නිමැයූ තනු ඔහුට නිර්මාණ කර නොගත්තේ මන්දැයි ඇතැම් විට අපි ඇසීමු.

ඔහු ඒ තරම් ප්‍රතිභාසම්පන්නය. ඒ තරම් නිරහංකාරය. තමන්ට වඩා අනුන් වෙනුවෙන් කළ කටයුත්ත ලැදියාවෙන් කළේය. ඔහුට තනු නිර්මාණය, සංගීතය සැපයීම පමණක්‌ නොව ගේයපද මාලා රචනා කිරීමේ කුසලතාවද ඇති බව මම හොඳින්ම දනිමි. ඇතැම් විට තනුවක්‌ නිර්මාණය කොට ගීතයක්‌ ලියා ගත යුතු නම් ඔහුටත් එය කළ හැකිය. එහෙත් ඔහු ඒ සඳහා අපට ඇරයුම් කරයි.

සුනිල් ආරියරත්න, සුනිල් සරත් පෙරේරා, මහින්ද අල්ගම, ප්‍රේමකීර්ති ද අල්විස්‌, බණ්‌ඩාර විඡේතුංග, අජන්තා රණසිංහ වැනි බොහෝ ගේය පද රචකයන්ගේ නිර්මාණ රමණීය ලෙස ශ්‍රාවකයා වෙත ගෙන ඒමට ඔහු පුරෝගාමී විය.

අසූ හතර වැනි වියට එළඹි අප මහා සංගීතඥයා බදාදා හවස කොළඹ කෞතුකාගාර ශාලාවට ඔහු සොයා පැමිණියේය. අමරදේවයන් පැමිණෙද්දීත්, කල් ඇතිව පිටත්ව යද්දීත් පැමිණ සිටියවුන් කොතරම් සංවේදී වූයේ දැයි අපි මැනවින් හඳුනාගතිමු. සැබෑ කලාකරුවන්ට ජනතාව දක්‌වන ගෞරවය හා ආදරය කියා නිම කළ නොහැකිය.

රෝහණ වීරසිංහ අද්‍යතනයේ අපට සිටින ප්‍රවීණම තනු නිර්මාපකයා බව පවසන්නේද කිසිවකුට මදි පුංචිකමක්‌ කිරීමට නොවේ. ඔහුගේ සංගීත නිර්මාණ එපමණටම ආකර්ශනීය වෙයි. ඔහු සිය ගුරුවරයා වූ සනත් නන්දසිරිගේ දෙපා නමැද ගුරු ගෞරවය පළ කරද්දී ඔහුගේ නිහතමානිත්වයට පැමිණ සිටියවුන්ගේ නෙතඟ කඳුළක්‌ නැංවිණ. ඒත් උත්තමයෙකුගේ උත්තම ගුණයකි. දයාරත්න, අමරා, දීපිකා, ප්‍රදීපා වැනි ගායක ගායිකාවෝද සනත් වෙනුවෙන් පැමිණ සිටියහ.

දෙසුම් හා ගැයුම් දෙකකි. එක්‌ වාද්‍ය නිර්මාණයකි. සනත් නන්දසිරි නම් කලාකරුවාගේ ගුරුවරයාගේ අගය කෙතරම් දැයි ප්‍රේක්‍ෂකයාට වැටහිණ. එහෙත් කම්පනීය වදනක්‌ අපට ඇසිණ. එක්‌තරා අවධියක අප ගරු කළ එක්‌තරා මහාචාර්යවරයකු කී කතාවක්‌ ගැන සනත්ගේ මුවින් පිට වෙද්දීම මගේ මතකය අලුත් විය. එය නිවැරදි විය. එදා අප ගරු කළ ඒ මහාචාර්යවරයා, එක්‌තරා උත්සවයකදී පළකළ වැරදි අදහසක්‌ නිසා අප කතා නායකයා බලවත් ලෙස චිත්ත සන්තාපයට පත්ව ඇති අයුරු අපට වැටහිණි. සිංහල සංගීතයේ රජු හා යුවරජු කතාවට මා මුල පිරුවේ එතැනිනි. බලය තිබූ පමණට, මුව තිබූ පලියට මිනිසුන්ට අපහාස කිරීමේ බලපත්‍රයක්‌ කාටවත් කොතැනවත් නිකුත් කර නැත. අහෝ මහාචාර්යවරයාණෙනි,

මෙම උත්සවයේදී මේ මහාචාර්යවරයා අමරදේවයන් සිංහල සංගීතයේ රජු ලෙසත්, වික්‌ටර් රත්නායකයන් යුවරජු ලෙසත් හඳුන්වද්දී සනත් නන්දසිරි ද එතැන සිට ඇත. සනත් වික්‌ටර් දෙදෙනාම යුවරජවරුන් ලෙස හැඳින්වීමට ඔහුට නොහැකි වූයේ මන්ද? ඒ කවර කුහකකමක්‌ද? එදා බදාදා සනත් නන්දසිරි එය සිහිපත් කොට සංගීතයට, ගීතයට මෙපමණ මෙහෙයක්‌ කළ මා මේ රජු හා යුවරජු සිටින මහා මන්දිරයේ වැසිකිළි සේදීමටවත් සුදුසු නැද්දැයි ප්‍රශ්න කළේය. ඒ එදා එකී මහාචාර්යවරයාගේ මුවින් පිටවූ නොසරුප් වදනයි. සිංහල ගීතය, සිංහල සංගීතය විනාශ මුඛයට යන අද දවසේත්, එය රැකගැනීමට පෙරමුණ ගෙන ක්‍රියා කරන උත්තම කලාකරුවකුට නිග්‍රහ කිරීම දැනුම් තේරුම් ඇත්තන්ට කිසිසේත් අනුමත කළ නොහැකිය.

සනත් නන්දසිරි කලාකරුවාණනි, ඔබේ අගය අපි දනිමු. සැබෑ නිර්මාණයට ඇලුම් කරන ශ්‍රාවකයෝද එය දනිති. කිසිවකු ගේ නොසරුප් වදනකින් ඔබ සැලිය යුතු නොවන්නෙහිය.

කලාකරුවකු, මනුෂ්‍යයකු සතු සංවේදී බවට මොහොතකට එසේ වුවත්, හෙටත් ග්‍රන්ථකරණයෙහි, සංගීත නිර්මාණයෙහි, සංගීත ශාස්‌ත්‍ර ප්‍රදානයෙහි ඔබ නිරත විය යුත්තෙහිය. ඊට ඔබට ධෛර්යය හා ශක්‌තිය ලැබේවා.

සුනිල් ගුණවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.