කවුරු නායකයා වුණත් දිනන්න ඕන පක්‍ෂයයි!
- එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය

ප්‍රශ්නය - එජාප නායකත්වයට තරග කිරීමේ අවදානමක්‌ ඔබ ගන්නේ ඇයි කියලා මුලින්ම දැනගන්න කැමැතියි.

පිළිතුර - ඇත්තටම මේ වගේ තීරණයක්‌ ගන්න මූලිකවම හේතු වුණේ, විශාල ඉල්ලීමක්‌ සමාජයේ සෑම ක්‍ෂේත්‍රයකින්ම ලැබුණු නිසයි. මට ඒක පැහැර හරින්න බැරි වුණා. පසුගිය මැතිවරණ ප්‍රතිඵල සමග පක්‍ෂයේ ප්‍රතිසංවිධානය ගැන නැවත කතාබහක්‌ ඇති වුණා. ඒත් එක්‌කම පහුගිය කාලයේ රටේ ඇතිවූ තත්ත්වය තුළ විපක්‍ෂයේ සමගියක්‌ ඇතිවන්නේ නම් ආණ්‌ඩුවට මුහුණ දිය හැකි වාතාවරණයක්‌ ගොඩනැගෙන බවටත් සමාජයේ කතාබහ ඇති වුණා. මේ ගැන මහා සංඝරත්නයත්, විවිධ ආගමික නායකයින්, එජාප පාර්ලිමේන්තු හා පළාත් සභා හා පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් ශාඛා සමිති සේම සිවිල් සමාජයෙන් ද මේ සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වුණා. එජාපයට සමගි සම්පන්නව මේකට මුහුණ දෙන්න බැරි ඇයි කියන කාරණය එතැනදී ඉස්‌මතු වුණා. මේ පසුබිම තුළ පක්‍ෂය ඉදිරියට ගෙන යැමට මට නායකත්වය ලබාගන්නා ලෙස බොහෝ පිරිසක්‌ ඉල්ලා සිටියා. පසුගිය දශක දෙකක්‌ තිස්‌සේ පීඩා විඳි අපේ පාක්‍ෂිකයන්ට නැවත ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීමට ඔවුන්ට විනයක්‌ ලබාදීමට එජාප පාලනයක්‌ ඇති කිරීමට නම් පක්‍ෂය අලුත් මගක්‌ ඔස්‌සේ ඉදිරියට යා යුතුයි. ඒ නිසා මම ඒ සියල්ලන්ගේම ඉල්ලීමට කන්දුන්නා. ඒ නිසා මෙය ප්‍රතිපත්තිමය තීරණයක්‌ ලෙස හැඳින්වීම නිවැරැදියි. හැබැයි ඔබ හඳුන්වන "අවදානම" ක්‌ ගැන නම් අපට යමක්‌ කියන්න බෑ· එහෙම අවදානමක්‌ ඇත්තෙත් නෑ· මේක අවදානමක්‌ නොවේ මවිසින් ඉටු කළ යුතු යුතුකමක්‌.

ප්‍රශ්නය - අවදානමත් එක්‌කම මේ ගැන ජනතාවගේ තිබෙන කැමැත්ත පිළිබඳ ඔබට තිබෙන විශ්වාසය දැනගන්නත් කැමැතියි.

පිළිතුර - මම යන්නේ උදාර පරමාර්ථයක්‌ පෙරටු කරගෙනයි. ඉතිං මට විශ්වාසයක්‌ තියෙනවා ජනතාව මේක අනුමත කරයි කියන එක ගැන.

ප්‍රශ්නය - මේ තීරණය යම් විදියකින් වැරදුනොත් ඔබ මේ සටනෙන් ඉවතට විසිවී සියලු තනතුරු පහවී පසු පෙළ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන්න වුණොත් ඒක අවදානමක්‌ නෙවෙයිද?

පිළිතුර - මම කෙදිනකවත් තනතුරු වරදාන වරප්‍රසාද බලාගෙන හිටියේ නෑ· ඒක ඉදිරියටත් එහෙමයි. දුක්‌ විඳින රටේ ජනතාව, අපේ පාක්‍ෂිකයන් මේ ආදී සියලු දේ වෙනුවෙන් වැඩ කරන්න මට පසුපෙළ මන්ත්‍රීවරයකු වශයෙන් වුණත් පුළුවනි. ඒ නිසා ඒකට අවදානමක්‌ කියන කාරණය ගැලපෙන්නේ නෑ·

ප්‍රශ්නය - එහෙමනම් නායකත්වයට තරග නොකරම ඔබට ඒ කටයුතුවල නිරත වීමේ හැකියාව තිබෙනවා කියලා කිව්වොත්.

පිළිතුර - මෙහෙමයි මට පදවි තානාත්තර වැඩක්‌ නෑ· නමුත් මෙතැනදී මම මුලින් සඳහන් කළා වගේ බහුතර පිරිසක්‌ හා පාක්‍ෂිකයන් ඉල්ලීමක්‌ කළා මේකට නායකත්වය දෙන්න කියලා. ඒ නිසයි මම ඉදිරිපත් වුණේ. එසේ නැත්නම් මම දිගින් දිගටම පක්‍ෂය වෙනුවෙන් ක්‍රියා කළේ ඒ තනතුරු බලාගෙන නොවෙයි.

ප්‍රශ්නය - එක්‌ මොහොතක ඔබ එජාපයේ දහහත් දෙනෙක්‌ සමග රජයට එකතු වෙනවා. නැවත ඔබ එජාපයට එකතු වෙනවා. එහෙම බිඳවැටීමක්‌ එජාපය තුළ ඇතිකළ ඔබ එජාප නායකත්වයට තරග කිරීම කොයිතරම් සාධාරණද කියලා ප්‍රශ්නයක්‌ නැගෙනවා.

පිළිතුර - හැමෝම දන්නවා විනාශකාරී ත්‍රස්‌තවාදයකට මේ රට මුහුණ දීලා තිබුණා. එතකොට ජනමතය තිබුණේ මේ විනාශකාරී ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා සියලු දේශපාලන පක්‍ෂ සහයෝගය ලබාදිය යුතු බවයි. එය දේශපාලනික හා සිවිල් සමාජය තුළත් ගොඩනැගී තිබුණු මතයක්‌. එතැනදී අපි කල්පනා කළා ත්‍රස්‌තවාදය වැළැක්‌වීම සඳහා පමණක්‌ ආණ්‌ඩුවට සහයෝගය ලබාදිය යුතුයි කියලා. ඒ නිසා අපි ආණ්‌ඩුවට එකතු වුණා.

ප්‍රශ්නය - නමුත් විවිධ දේශපාලන පක්‍ෂ හා සිවිල් සංවිධාන රජයට එකතු නොවී ඔය සහයෝගය ලබාදුන්නා. ඔබ ඇමැති තනතුරකුත් ගත්තා.

පිළිතුර - මේ රටේ ප්‍රධානතම දේශපාලන පක්‍ෂය විශාලතම දේශපාලන පක්‍ෂය නියෝජනය කරන අපිට කුඩා පක්‍ෂ වගේ තීන්දු තීරණ ගන්න බෑ· ඒ නිසා එවැනි ක්‍රියාදාමයකට යන්න වුණා. මම මගේ හෘද සාක්‍ෂියට එකඟවයි මේ තීරණය ගත්තේ. දේශපාලනිකව මට යම් පාඩුවක්‌ සිදුවන්න පුළුවන් වුණත් මම ඒ තීරණය ගත්තේ ඒ නිසයි. කෙසේ හෝ මගේ කාර්ය බාරය අවසන් වූ පසුව මම නැවත ආවා.

ප්‍රශ්නය - ඔබ නැවත එජාපයට ආවේ යුද්ධය අවසන් වීමට පෙරාතුවයි.

පිළිතුර - නමුත් ඒ වෙනකොට එහි අවසන් අදියරට පැමිණ තිබුණා. ඒ මොහොතේ ඒ ජයග්‍රාහී ක්‍රියාවලිය කිසිවිටෙකත් නතර නොවන බව අප දැන සිටියා. කෙසේ හෝ මම නැවත පැමිණි විගස මට නියෝජ්‍ය නායකකම ලැබුණා. එයින් පැහැදිලි වෙන්නේ මම ගත් තීරණ්‍ය හරි කියන එකයි. එදා මට බැනපු අයත් අද වෙනකොට යුද්ධය දිනන්න සහයෝගය දක්‌වපු කෙනෙක්‌ හැටියට මාව හැඳින්වීම ගැන මම සන්තෝෂ වෙනවා.

ප්‍රශ්නය - එහෙම ආපු ඔබට නියෝජ්‍ය නායකකම ලබාදෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා. ඒත් එක්‌කම ඔබ දේශපාලනයට රැගෙන ඒමටත් රනිල් වික්‍රමසිංහ මහතා විශාල කාර්යබාරයක්‌ ඉටුකරනවා. ඒ තුළ ඔය තීරණය කොයිතරම් දුරට සදාචාරාත්මකද කියන ප්‍රශ්නයත් මතුවෙනවා.

පිළිතුර - මම කිසිවිටෙකත් රනිල් වික්‍රමසිංහ මහතා සමග පුද්ගලික අමනාපයක්‌ නෑ· එතුමා මගේ දේශපාලන ජීවිතයට විශාල රුකුලක්‌, සහනයක්‌ ලබාදුන්නා. නමුත් මගේ දේශපාලන ආගමනය පිළිබඳ බොහෝ දෙනෙක්‌ නොදන්න දෙයක්‌ සඳහන් කළ යුතුයි.

මගේ මවු පාර්ශ්වයේ ඥතීන් සෘජුවම එජාප දේශපාලනයට සම්බන්ධව හිටියා. ඡේ. ආර්. ජයවර්ධන මහතා මට විශාල වගකීම් ප්‍රමාණයක්‌ පවරපු අවස්‌ථා තිබුණා. ඒ සියල්ල දේශපාලන තිරයෙන් පිටුපස ඒවායි. ඒත් එක්‌කම 1970 දශකයේ ඉඳලම මම දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සමග ඉතාම කිට්‌ටු සම්බන්ධයක්‌ තිබුණා. එතකොට ඒ සියලු සම්බන්ධතා ගොඩනැගීම තුළ රනිල් වික්‍රමසිංහ කියන්නෙත් සුවිශේෂ චරිතයක්‌.

නමුත් මෙතන මතුවෙලා තියෙන්නේ පෞද්ගලික හේතු නොවෙයි, ප්‍රතිපත්තිමය හේතු මත උද්ගත වූ තත්ත්වයක්‌. දේශපාලනයේදී එහෙම තත්ත්වයන් බොහෝ අවස්‌ථාවලත් ඉස්‌මතු වෙනවා. එතැනදී අපි අතර තිබෙන අෙන්‍යාන්‍ය විශ්වාසයට ගෞරවයට කිසිසේත් හානි සිදුවන්නේ නෑ· රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන මට විශාල ගෞරවයක්‌ තියෙනවා. අපි ඉතා සහයෝගයෙන් කටයුතු කළා වගේම ඉදිරියේදීත් ඉතාම සහයෝගයෙන් කටයුතු කරනවා. නමුත් මෙතැනදී යම් ක්‍රියාදාමයක්‌ වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළකට අපට අනුගත වෙන්න අනිවාර්යයෙන්ම සිදුවෙනවා.

ප්‍රශ්නය - පක්‍ෂ නායකත්වය වෙනස්‌වීම, පක්‍ෂයේ ජයග්‍රහණයට සාධකයක්‌ කියන්න ඔබට තිබෙන හේතු මොනවද?

පිළිතුර - හේතු දක්‌වනවාට වඩා මම එවැන්නක්‌ විශ්වාස කරන්නේ ඇයි කියන කාරණය මම කියන්නම්. මේ වනවිට එජාපය තුළ ඇති වී තිබෙන අර්බුදය අවසන් කර එහි සමගිය, එකමුතු බව, එක්‌සත් බව ඇති කරගන්න හැකි වෙනව නම් ඊළඟට අපිට මුළු විපක්‍ෂයේම සමගිය ඇතිකරන්නට පුළුවන්. එහෙම දෙයක්‌ වුණ දවසට නායකයා කවුරු වුණත් අපිට ශක්‌තිමත් විපක්‍ෂයක්‌ බිහිවෙනවා. එතකොට එහෙම විශ්වාසයක්‌ ඇතිකරන්න නම් මේ වෙනකොට බහුතරය හා පාක්‍ෂිකයන් කරන ඉල්ලීමට කන් දිය යුතු බවයි මගේ අදහස.

ප්‍රශ්නය - ඔබ ඔය කියන පාක්‍ෂිකයන් හා බහුතරය කොහෙද ඉන්නේ?

පිළිතුර - අපි මේ ක්‍රියාවලියට එළැඹුණුදා පටන් ඔවුන් අප සමග ඉන්වා. ඒ නිසාම තමයි මෙතරම් විශ්වාසයෙන් යුතුව පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන යැමට විශාල වෑයමක්‌ උත්සාහයක්‌ දරන්නේ.

ප්‍රශ්නය - ඔබ සඳහන් කරන පක්‍ෂ සමගිය ගොඩනගන්නටත් ශක්‌තිමත් කරන්නටත් ඇති හැකියාව පිළිබඳ ප්‍රශ්නයක්‌ මතුවෙනවා. ඔබ සඳහන් කරන පාක්‍ෂිකයන් හා බහුතරය අනෙක්‌ පාර්ශ්වය වටාත් පෙළගැහෙන බවයි ඒ අය කියන්නේ.

පිළිතුර - මම මුලිනුත් කිව්වා වගේ මගේ බලාපොරොත්තුව හා අධිෂ්ඨානය වෙන්නේ මා ජීවත්ව සිටින කාලය තුළදී එජාප රජයක්‌ බිහිවනු දැකීමයි. ඉතා දීර්ඝ කාලයක්‌ පක්‍ෂය වෙනුවෙන් වැඩ කළ පක්‍ෂය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ පාක්‍ෂිකයන් විශාල පිරිසක්‌ ඉන්නවා. එජාප පාක්‍ෂිකයෙක්‌ වීම නිසාම රස්‌සාව අහිමි කරගෙන ඉතාම අසීරු ජීවිතයක්‌ ගත කරන අයත් ඉන්නවා. ඒ අය මේ ගැටුම් දිහා ඉතාම කනගාටුවෙන් බලාගෙන තවමත් එජාප පාක්‍ෂිකයන් හැටියටම වැඩ කරනවා. ඒ නිසා අපි ඔය කියන බහුතරය හා පාක්‍ෂිකයන් ඉන්න දිහා ගැන හොයන එක හෝ පාර්ශ්වයන් ගැන කතා කරන එක ඒ පාක්‍ෂිකයන්ට කරන බරපතළ අසාධාරණයක්‌. මගේ බලාපොරොත්තුව මේ සියලු කොටස්‌ එක්‌ ගමන් මාර්ගයකට ගැනීමයි. මේ හැම දෙනාම එකම මතයකට ගොනුකර ගැනීමයි. ඒ නිසයි මම කිව්වේ කවුරු නායකයා වුණත් අන්තිමේදී ඒ සමගිය ඇතිවෙයි කියන එක.

ප්‍රශ්නය - එහෙම නම්, දැන් තිබෙන නායකත්වය තුළත් ඔය කියන තත්ත්වය වර්ධනය කරගැනීමේ හැකියාව තිබෙනවා නේද?

පිළිතුර - නමුත් මම කිව්වා වගේ විශාල පිරිසක්‌ වෙනසක්‌ ඉල්ලනවා. ඒ හඬටත් කන් දෙන්න ඕනෑ. මොකද ඒ අය තමයි අපට ශක්‌තිය ලබා දෙන්නේ. පක්‍ෂය තුළ අලුත් මඟකට ප්‍රවිෂ්ඨ වීමේ අවස්‌ථාවක්‌ තිබෙන නිසා ඒ සඳහා අලුත් යමක්‌ කිරීමටයි අප සියලු දෙනාගේම වෑයම. එහිදී සියලු දෙනාටම යම් කාර්යබාරයක්‌ තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ විශාල හා වටිනා අත්දැකීම්, විදග්ධ බව, පරිණත බව සේම, අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ අත්දැකීම්, තරුණ මන්ත්‍රීවරුන්ගේ හැකියාව, කැපවීම, ජවය, මේ සියලු දේ එකට ගොනු කරගත්තොත් අපිට පුළුවන් පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙනයන්න. ඒ නිසා කවුරු ජයග්‍රහණය කළත් ඊළඟ නිලවරණයෙන් පස්‌සේ පක්‍ෂයේ සමගිය ඇතිවේවා කියලා මම ප්‍රාර්ථනය කරනවා·

සාකච්ඡා කළේ උදේශ සංජීව ගමගේ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.