නායකතුමා කියන වචනයේ සංකේතය
රනිල් වික්‍රමසිංහයි! එය ඔහුටම අනන්‍ය වචනයක්‌!

- එජාප උතුරු මැද විපක්‍ෂ නායක කස්‌තුරි අනුරාධනායක

ප්‍රශ්නය - එජාප නායකත්වය අරබයා නැවත සටනක්‌ ආරම්භ වී තිබෙනවා. මේ තත්ත්වය ඔබ විග්‍රහ කරන්නේ කොහොමද?

පිළිතුර - මේක අලුත් සටනක්‌ නොවෙයි. නායකත්වයට එරෙහිව දිගින් දිගටම තිබ්බ සටනේ එක්‌ අතුරු අවස්‌ථාවක්‌. මීට පෙර මේ වෙනුවෙන් උත්සාහ දැරූ සියල්ලන්ගේම බලාපොරොත්තු මෙතැනදී ඉස්‌මතු වෙනවා. රජය සමග එකතුවෙලා එජාපය විනාශ කරන්න ගෙන යන වැඩසටහනේ එක්‌ ස්‌වරූපයක්‌ හැටියටයි මෙය ඉස්‌මතු වෙන්නේ.

ප්‍රශ්නය - නමුත්, ඔබ ඔය සඳහන් කරන පාර්ශ්වයන් ඉස්‌මතු කරන, නායකත්වයේ පසුගාමී තත්ත්වයන් පිළිබඳව ප්‍රබල මතයක්‌ ගොඩනැගෙමින් තිබෙනවා.

පිළිතුර - වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වය යටතේ පක්‍ෂය පසුගාමී වෙනවා කියන කාරණය වැරදිලවත් පිළිගන්න බෑ· මම මූලිකව ඔබට ඊට විරෝධය පළකරනවා.

මේ පක්‍ෂය පසුගාමී තත්ත්වයන් පෙන්වන්න පටන් ගත්තේ වික්‍රමසිංහ යුගයේ නොවෙයි. රණසිංහ ප්‍රේමදාස යුගයේ එතුමට ආපු දොaෂාභියෝගය තුළ නායකත්වය දැවැන්ත අර්බුදයකට පත්වෙලා, ඒ එක්‌කම පසුපෙළ නායකයන්ව හිටිය ලලිත් හා ගාමිණී පක්‍ෂයෙන් ඉවත් වෙනවා. ලලිත්, ගාමිණි දෙන්නම පක්‍ෂයේ නායකත්ව සාම්ප්‍රදායන් පිළිපැදීමට නොදන්නාකම හෝ නොපිළිපැදීම නිසා මේ කඩාගෙන යාමට හේතුවෙනවා. මේ තත්ත්වය තුළ එදා පක්‍ෂය ආරක්‍ෂා කළ, නායකත්වය ආරක්‍ෂා කළ පුද්ගලයා රනිල් වික්‍රමසිංහයි. මේ බෙදීම එක්‌කම එජාපයේ ඡන්ද ප්‍රතිශතය ලක්‍ෂ 25 කට පහළ බහිනවා. එදා ඇතිවුණු මෙවැනි සංකීර්ණ තත්ත්වයන් තමයි අද වනතුරු පක්‍ෂයේ පරාජයට බලපාන හේතුසාධක නිර්මාණ කරන්නේ. නොඑසේනම් මේ වනවිටත් බලයේ ඉන්නේ එජාපයයි.

ලක්‍ෂ 25 ක ඡන්ද ප්‍රමාණයක්‌ තියෙන පක්‍ෂය බාර අරගෙන, මේ පක්‍ෂය දැවැන්තම ඡන්ද ප්‍රමාණය වන ලක්‍ෂ 47 ක්‌ දක්‌වා ලකුණු කරන්නේ වික්‍රමසිංහ මහත්තයයි. එතකොට පැහැදිලිවම එදා මේ පක්‍ෂය වර්ධනය කරලා තියෙනවා.

ප්‍රශ්නය - ඊට පසුව ඔහු දිගින් දිගටම පරාජය වෙනවා.

පිළිතුර - ඉන් එකක්‌ චJද්‍රිකා කුමාරතුංග මැතිණියට එල්ල වූ බෝම්බ ප්‍රහාරය නිසා මහජන අනුකම්පාව මත දිනපු එකක්‌. අනික්‌ එක ප්‍රභාකරන් ප්‍රජාතන්ත්‍ර විරෝධීව ඡන්ද ප්‍රතිඵල අහුරපු නිසා ලබාගත් ජයග්‍රහනයක්‌. ඒක එජාපය විසින්ම නිර්මාණය කරන ලද මැතිවරණ ක්‍රම නිසා අපට ලැබුණු ප්‍රතිඵලයක්‌. ඒ නිසයි අපිට කියන්න වෙන්නේ මේකට මූල බීජය නිර්මාණය වෙන්නේ ප්‍රේමදාස යුගයේ කියලා.

ඒ යුගයේ දක්‍ෂයන් දෙදෙනෙක්‌ ඉවත් කරලා අවශ්‍ය තනතුරුවලට නොසුදුස්‌සන් පත් කළා. අනෙක්‌ පැත්තෙන් ඒ තත්ත්වය ඉවසිය නොහැකිව, නායකත්වය ඉවසීමෙන් ලබාගැනීමේ කැපවීම නැතුව එය ඩැහැගැනීමේ සටනේ අසාර්ථක ප්‍රතිඵලය විඳගන්න බැරිව ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක මෙයින් වෙන් වෙලා යනවා. වර්තමානයේදීත් මේ පාර්ශ්ව දෙකම මේ නායකත්ව සටනේ ඉන්නවා. හැබැයි ඒ ඔවුනගේ පුතුන්. එදා වෙන්ව හිටිය ඔවුන් අද වනවිට එක්‌ව නායකත්වයට එරෙහිව සටන් කිරීම මොනතරම් දෛවයේ සරදමක්‌ද බලන්න. ඓතිහාසිකව සිදුවන මේ සරදම දිහා විනිවිදව බලන්න. එදා ප්‍රේමදාස හා ගාමිණී යන අය දෙපාර්ශ්වයකට බෙදිලා පක්‍ෂය බේදබින්න කරලා විනාශ කළා. අද ඔවුන්ගේ පාර්ශ්වයන් එකතුවෙලා කරන්නෙත් ඒක. ඒ නිසා මේ අය එකතු වුණත් පක්‍ෂය විනාශ වෙනවා. බෙදුනත් පක්‍ෂය විනාශ වෙනවා.

ඒ දෙගොල්ල වෙන්වෙලා ගහගන්න කොට පක්‍ෂය ආරක්‍ෂා කලෙත් රනිල් වික්‍රමසිංහ මහත්තයා. අද ඒ අය එකතුවෙලා ගහනකොටත් පක්‍ෂය ආරක්‍ෂා කර ගන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ නිසා මේ පක්‍ෂය විනාශ කරපු එකට රනිල් වික්‍රමසිංහ වැරදිලා හෝ වගකිව යුතු නෑ.· ඒකට වගකිව යුතු අය වෙනම ඉන්නවා·

ප්‍රශ්නය - නමුත්, පක්‍ෂයේ මෑත ඉතිහාසය තුළ පක්‍ෂය රැකගත්, පිරිස අතර රනිල් එක්‌ චරිතයක්‌ පමණයි. තවත් අයට ඒ ගෞරවය යායුතුයි කියන කාරණාත් ඉස්‌මතු වෙනවා.

අපි අමතක කරන්න හොඳ නෑ මේ පක්‍ෂයේ ඉතිහාසයෙන් ලොකු කොටසක්‌ රනිල් වික්‍රමසිංහ කියන්නේ. වික්‍රමසිංහ මහත්තයා තමන් කළ දේවල් කියන්නේ නෑ· නමුත් ඔහු කොයි මොහොතක හෝ කට ඇරලා ඒ ටික කිව්වොත් අනික්‌ අයට කියන්න අල්ප මාත්‍ර දෙයක්‌ නෑ· නමුත් අනෙක්‌ අයගේ වාසනාවට වගේ වික්‍රමසිංහ මහත්තයාගේ අවාසනාවට ඔහු තමන් ගැනවත්, තමන් කරපු දේවල් ගැනවත් කතා කරන්නේ නෑ· ඒ නිසයි අපිට සිද්ධවෙලා තියෙන්නේ මධ්‍යස්‌ථ හා එජාපයට ආදරය කරන පුද්ගලයන් හැටියට රනිල් වික්‍රමසිංහ කියන චරිතය මේ පක්‍ෂයට කරපු කාර්යභාරය ගැන කතා කරන්න. ඒක අපි කළත් නොකළත් ඉතිහාසය ඒ ගෞරවය ඔහුට ලබා දෙනවා.

ප්‍රශ්නය - ඔබ ඔය කියන කාරණාවලට වඩා පාක්‍ෂිකයන් හා පක්‍ෂයේ පිරිසක්‌ දරන මතය සමග නායකත්වයේ "ක්‍රමය" පිළිබඳව ගැටළු මතුවෙනවා. ඒ නිසා ඔය කියන සරල කියවීමක්‌ ඒ තුළ දකින්න නහැ.·

පිළිතුර - ඔබ හඳුන්වන නායකත්වයේ ක්‍රමය මොකක්‌ද කියන්න අපි දන්නේ නැහැ· නමුත් අප දකින වික්‍රමසිංහ නායකත්වය තුළ ඔය කියන කිසිදු පාර්ශ්වයකට හානියක්‌ නම් සිද්ධ වෙන්නේ නෑ· ඒ ඔහු තුළ ඇති "ඉවසීමේ ගුණය" හා තාදී ගුණය නිසයි. ඒ නිසා අපට නම් ඔහු පිළිබඳ ඇත්තේ සරල කියවීමක්‌ නොවේ. මෙයත් ගැඹුරු කියවීමක්‌.

වික්‍රමසිංහ කියන්නේ මේ රටේ දේශපාලනයේ සිරිතක්‌. සිරිතක්‌ කියන්නේ අලුත් සාම්ප්‍රදායක්‌ ස්‌ථාපිත කරපු චරිතයකට. අපි ඇයි වික්‍රමසිංහට එහෙම කියන්නේ. මේ රටේ සම්භාව්‍ය පරම්පරාවේ වියත්, ප්‍රභූ රාජ්‍ය තාන්ත්‍රිකයකු හැටියට ඉතිරිව සිටින්නේ ඔහු පමණයි. දෙවැනුව එජාපය සමහර දේශපාලන සාම්ප්‍රදායේ සියලුම උරුමක්‌කරු වන්නේ. සියලුම ප්‍රජාතන්ත්‍රවාදී හා ජානමය නෑකම තියෙන්නේ රනිල් වික්‍රමසිංහට විතරයි. තුන්වැනුව ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ කිසි කලෙක නොපැරදී, පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ පරිණත වූ නායකයෙකු හැටියට සිටින්නේ, රනිල් වික්‍රමසිංහ පමණයි. ඔහු පරිනත වෙන්නේ පාර්ලිමේන්තු සාම්ප්‍රදාය තුළයි, එහේ මෙහේ අගුපිල් වල හෝ පිල්වලට කල්ලිවලට බෙදිලා නොවෙයි. හතරවැනි කාරණය එජාප ඡන්ද පදනම ලක්‍ෂ 25 ට වැටී තිබියදී එය ලක්‍ෂ 47 දක්‌වා වැඩි කරලා මේ පක්‍ෂයේ වාර්තාගතම ඡන්ද ප්‍රතිශතය පෙන්වන්නේ ඔහු. පස්‌වෙනි කාරණය, පක්‍ෂය තුළ අනන්‍යතාවය රැකගනිමින්, කල්ලි කණ්‌ඩායම් තුළ අතරමං නොවී, ඉවසීම හා තාදී ගුණය ඉස්‌මතු කළ එකම නායකයා වික්‍රමසිංහ මහතා පමණයි. හයවෙනුව ලංකා රාජ්‍යය ලෝකයේ පෙරටුගාමී රාජ්‍යයක්‌ බවට පත් කරන්න තමන්ගේම දර්ශයක්‌ තිබෙන එකම නායකයාත් ඔහු පමණයි. හත්වෙනුව ලංකාව විශ්වයට යා කළ හැකි විශ්ව පුරවැසියකු සිටී නම් ඒ වික්‍රමසිංහ චරිතය පමණයි. ලෝකයේ සිටින දක්‍ෂතම ජාතීන් ත්‍රිත්වයක්‌, එනම් සිංහල, දෙමළ, මුස්‌ලිම් කියන ජාතීන් තුනම එකතු කරලා ලාංකීය ජාතිය නිර්මාණය කළ හැකි එකම නායකයා ඔහු පමණයි. ඒ හේතුවවෙන්ම ඔහු විශ්වීය පුරවැසියකු වෙනවා.

මේ සප්තවිධ කාරණා හේතුවෙන් ඔහු එජාපයට අවශ්‍ය නායකයා හැටියට අප පිළිගත යුතු වෙනවා.

ප්‍රශ්නය - නමුත් ඔය කියන ගුණාංග සපිරි නායකයා ඒකාධිපති ස්‌වරයකින් කටයුතු කරනවාය කියලා නැගෙන චෝදනාව ලෙහෙසියෙන් බැහැර කරන්න පුළුවන්ද?

මම ඔබෙන් අහන්නේ, වික්‍රමසිංහ මහතාට මේ පාර්ශ්වයන් විසින් එල්ල කරනු ලබන නින්දා, අපහාස, ගැරහුම්, අවම වශයෙන් ඔහු සමග අලගු තියන්නට බැරි අය කියන දේවල්. ඒකාධිපති වියරුවකින් කටයුතු කරන නායකයෙක්‌ මේ ආකාරයට ඉවසාගෙන සිටීවිද? ඒ නිසයි අපි ඔහු ඉවසීම හා තාදී ගුණය ප්‍රකට කළ නායකයෙක්‌ බව කියන්නේ. අපි නායකයෙක්‌ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්‌ද? වංචා දූෂණ නොකරන, පලි නොගන්න, හොර බොරු නොකරන, ඉවසීම හා පරිණත බවින් යුක්‌ත වෛරය නොමැති මේ ආදී ගුණාංගයන්. එහෙම නායකයෝ අද නෑ· හොර බොරු කරන, වංචා දූෂණවල යෙදෙන පලිගන්න නායකයෝ හිටියම අනුගාමිකයොත් ඒකම කරනවා. නායකයා හිටගෙන කරන කොට ගෝලයෝ දුව දුව කරනවා. නමුත් මේ රටේ "මිස්‌ට ක්‌ලීන්" කියලා අහගත්ත එකම නායකයා රනිල් වික්‍රමසිංහ පමණයි. අද වුණත් කිසිවෙක්‌ ඔහුට හොරා කියන්නේ නෑ· වංචාකාරයා කියන්නේ නෑ· පලිගත්තා කියන්නේ නෑ·

මේක ඉතිහාසය අපූරුවට පෙන්නලා දීලා තියෙනවා. මේ රටේ දේශපාලන ඉතිහාසය පුරාම කිසිම පක්‍ෂයක කිසිම කෙනෙක්‌ට හෝ පුද්ගලයකුට කිසිවෙක්‌ "නායකතුමා" කිව්වේ නෑ· මේක අද ලංකාවේ හරි ප්‍රසිද්ධ වචනයක්‌. ඒ නායකතුමා කියන වචනය රනිල් වික්‍රමසිංහ මහත්තයාට හැර වෙන කිසිම කෙනෙකුට කියන්නෙත් නෑ· නායකතුමා කියන වචනය හැදිලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්මයි. මෙය ඔහුටම අනන්‍ය වචනයක්‌. නායකත්වය කියන වචනයේ සිම්බල් එක නැතිනම් සංකේතය වික්‍රමසිංහ මහත්තයා. වෙන කෙනෙකුට ඒක ගන්නත් බෑ·

අපේ රටේ ඉතිහාසයේ සියලු රජවරුන්ගේ හොඳ ලක්‍ෂණත්, ඩී. එස්‌. ගේ ඉඳලා නායකයන්ගේ සියලුම ගුණාංගත්, දක්‍ෂතා, කැපවීම, ඉවසීම මේ සියල්ල කැටිකර අවසානයේ මේ රට පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්‌ කිරීම සඳහා වන බලය තමයි "නායකතුමා" කියන වචනය තුළ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දීලා තියෙන්නේ. ඒක කාටවත් පැහැර ගන්න බෑ· නායකතුමා නම් එක්‌කෙනයි. ඒ රනිල් වික්‍රමසිංහ විතරයි.

ප්‍රශ්නය - නායකයාට චෝදනා නෑ කිව්වත්, පක්‍ෂයෙන්ම ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක්‌ ඉදිරිපත් කෙරුණා.

පිළිතුර - එක චෝදනාවක්‌ හෝ පක්‍ෂයේ බහුතරයක්‌ හෝ ජනතාව පිළිගත්තේ නෑ· ඔප්පු වුණෙත් නෑ· ඒවා එනකොටම එහෙමම නතරවෙලා ගියේ ඒවායේ සත්‍යතාවයක්‌ නැති නිසයි. නොඑසේ නම් මේ මොහොත වන විට මේ චෝදනා එළියේ මිනිස්‌සු කතාකරන්න තිබුණා. කොහොමත් එන සාම්ප්‍රදායට එරෙහිව මූල කණ්‌ඩායම් එවැනි දේ කිරීම ඉතිහාසයේත් සිද්ධ වුණා.

ප්‍රශ්නය - දෙපාර්ශවයක්‌ පිල් දෙකකට බෙදිලා ගෙන යන මේ සටන පක්‍ෂය දියවී යැමට තරම් ප්‍රබල කාරණයක්‌ බව මැදහත් පිරිස්‌ දක්‌වන අදහසට එකඟ නැද්ද?

පිළිතුර - මෙතන පිල් දෙකක්‌ නෑ· මෙතන තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග තියෙන පක්‍ෂය හා පක්‍ෂයේ "පිලේ" ඉන්න කොටසයි. ඒ අයට එතැනින් වැටෙන්න තියෙන්නේ අගුවටයි. අපි පිලක නෑ· අපි පක්‍ෂය කවුරුහරි පිලක ඉන්නව නම් අපිට ඒ අයට කියන්න තියෙන්නේ අගුවට වැටෙන්න කලින් ඇතුළට එන්න කියලා විතරයි.·

සාකච්ඡා කළේ
උදේශ සංජීව ගමගේ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.