ඒ වසන්තයට තව ආයුෂ කොපමණද

බීච් වොලිබෝල් යනු ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ආභරණයකි. ඒ ගැන තර්කයක්‌ නැත. වොලිබෝල් ජාතික ක්‍රීඩාව වුවද එම සම්මේලනයට අභිමානයේ කැඳවාගෙන ආවේ එම නාමමාත්‍රික "ජාතික ක්‍රීඩාව" නොව, බීච් වොලිබෝල් ක්‍රීඩාවයි.

ජාත්‍යන්තර තරග පිටියේ වසර 9 ක තරම් කෙටි ඉතිහාසයක්‌ ඇති මෙරට බීච් වොලිබෝල් ක්‍රීඩාවට 2003 වසර වන විට ජාත්‍යන්තර මට්‌ටමේ පිළිගත බීච් වොලිබෝල් පන්දුවක්‌ පවා නොතිබුණි. 2003 වසරේ මෙරට බීච් වොලිබෝල් කණ්‌ඩායමක්‌ තායිලන්ත "ලෝමා - සමිලා" ආසියානු තරගාවලියට සහභාගීවන විට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ අදාළ බීච් වොලිබෝල් තරග නීති-රීති පවා දැන සිටියේ නැත. එදා එය හුදෙක්‌ සංචාරයක්‌ පමණක්‌ විය. ඉතිහාසයක්‌ වර්තමානයක්‌ මෙන්ම අනාගතයක්‌ද නොතිබූ නිකම්ම නිකං තරග සංචාරයක්‌ පමණක්‌ බවට පත්වියහැකිව තිබූ එය දෛවපෝගත ලෙසින් ජයග්‍රාහී ගමනක පළමු පියවර බවට පත්විය. එදා එම තරගාවලිය අවසානයේ යම් කණ්‌ඩායමක්‌ විසින් පිටියේ අමතක කර දමාගොස්‌ තිබූ පන්දුවක්‌ ශ්‍රී ලංකා කණ්‌ඩායම් අතට පත්විය. ඔවුන් එය මෙරටට රැගෙන ආවේය. එය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් බීච් වොලිබෝල් පන්දුවක්‌ මෙරටට ලැබුණු පළමු අවස්‌ථාව විය. මේ ක්‍රීඩාව මෙරට උපදිනුයේ ඒ තරම් "සිල්ලරට" ය.

මේ ක්‍රීඩාව මෙරට පියවරු දෙදෙනෙකි. ඒ මහේෂ් පෙරේරා සහ ධම්මික සිල්වාය. ඔවුන් දෙදෙනා නොවන්නට ශ්‍රී ලංකාවේ බීච් වොලිබෝල් ක්‍රීඩාව තිඹීරිගෙයිම මැරී යනු නොඅනුමානය. එදා පැවැති මර්වින් ඡේ. කුරේ පරිපාලනයට අද මෙන් අනුග්‍රාහක සවියක්‌ හෝ පසුබිමක්‌ නොතිබුණි. එහෙත් බැරි බැරි ගාතේ වුව මර්වින් ඡේ. කුරේ මහතාගේ පරිපාලනය බීච් වොලිබෝල් කියන්නා වූ ක්‍රීව ඇරඹීමට කටයුතු කළේය. මෙරට ප්‍රථම බීච් වොලිබෝල් ජාත්‍යන්තර තරගාවලිය පැවැත්වෙන්නේද එවකය. එදා ඒ ඓතිහාසික "ලෝමා-සමිලා" තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගීකරවීමට කටයුතු කළේය. මහේෂ් පෙරේරා සහ ධම්මික සිල්වා යනු එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සගයන් දෙදෙනාය. එයටත්, ඉන් පසුව පැවැති තරගාවලි වලටත් සහභාගිවීමට වරම් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩිදෙනෙකු මෙය හෙටක්‌ නැති ක්‍රීඩාවක්‌ වශයෙන් සිතා එයට සමුදුනි. නමුත් මහේෂ් සහ ධම්මික සටන අත්නොහැරියහ. බෙන්තොට පැවැති මෙරට පළමු ජාත්‍යන්තර බීච් වොලිබෝල් තරගාවලියේදී ආසියානු අත්දැකීම් සහිත කණ්‌ඩායම් පරදවා "කෝඩුකාර" ඔවුහු ශූරතා දිනාගත්හ. තමන්ට ආසියාවේ පෙරළියක්‌ කිරිමට හැකියාව ඇතිය යන විශ්වාසය මේ දෙදෙනා තුළ විය. තමන් පමණක්‌ නොව තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට සිය ජාත්‍යන්තර බීච් වොලිබෝල් අත්දැකීම් මතින් ලද දේ බෙදාදීමට ඔවුහු ආදර්ශමත්ව ක්‍රියා කළහ. අදවන විට ජාත්‍යන්තර මට්‌ටමේ කැපී පෙනෙන ක්‍රීඩකයකු වන වසන්ත රත්නපාල, මෙන්ම සම්පත් පීරිස්‌ද එසේ බිහිකළෝ වෙති.

මේ අතර කාලයේ ප්‍රසන්න උදයකුමාර ක්‍රීඩාවට සහභාගිවී පුහුණුකරුවෙකු ලෙසින් කණ්‌ඩායම සමග

රැඳුණි. ජාත්‍යන්තර තරග පුහුණු රටාව ගැන පූර්ව අත්දැකීම් හෝ ජාත්‍යන්තරයේ විශේෂ පුහුනු පාඨමාලා හැදෑරීම සඳහා අවස්‌ථාව උදානොවුණිද ඔහු පියවරෙන් පියවර ක්‍රීඩාවෙහි පුහුණුක්‍රමවේදය ඉගෙනගනිමින් මේ සමග

රැඳුණි. බීච් වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විසිර යා නොදී මෙම ක්‍රීඩාව වෙනුවෙන් රැකගැනීමට ඔහුගේ එම රැඳීසිටීම හේතුවිය. සංචිතය පවත්වාගැනීමේදී ඔහු පුහුණුකරු නොව කළමණාකරුගේ සිට ලිපිකරු, කම්කරු දක්‌වාද වැඩ කළේය. එබැවින් "බීච් වොලිබෝල්" නම් ක්‍රීඩාවක්‌ මෙරටට ඉතිරිවීම පිණිස ඔහුගේ කැපකිරීමද අමතක කළ නොහැකිය.

මෙහිදී තවත් සුවිශේෂී ගැන සඳහන් කළ යුතුමය. ඒ මෙරට බීච් වොලිබෝල් ක්‍රීඩිකාවන්ය. මේ පිරිස ගණනින් ගතහොත් 5 ක්‌ පමණ වේ. ඒ තක්‍ෂිලා නෙරංජලී, ගීතිකා ගුණවර්ධන, ඩබ්ලිව්. ඩබ්ලිව්. සුජීවා, සාගරිකා ගුණසිංහ සහ නිරෝෂා ගුණසිංහ වෙති. කාන්තා පාර්ශ්වය රූපකාය ගැන මහා ඉහළින් වෙහෙසෙන වර්තමානයක මේ ක්‍රීඩිකාවන් අවුකාශ්ඨයෙන් හෝ මුහුදු සුළඟින් තම රූපයට විය හැකි හානිය නොසලකා මහත්වූ කැපවීමෙන් ක්‍රීඩාවේ යෙදෙති. මේ ක්‍රීඩිකාවන් අතරින් වැඩිදෙනා තම පුහුණු බිම වන මීගමු වෙරළට පැමිණෙන්නේ සැතපුම් ගණනාවක දුරක්‌ තමන්ම යතුරුපැදි පදවමිනි. නැතහොත් බස්‌රථයේය. අව්ව, වැස්‌ස, පින්න, දුහුවිල්ල ඔව්හු නොතකති. අඩුම තරමින් තමන්ටය කියා රෙද්දක්‌ පිලියක්‌ මාරුකරගැනීමට හෝ හරිහැටි තැනක්‌ නැතිද ඒ සකලවිධ ගැහැට දරාගනිමින් අදටත් ඔවුන් මේ ක්‍රීඩාවේ යෙදීම වෙනුවෙන් වෙනම සම්මානයක්‌ දියයුතුය.

එහෙත් මේ සා වටිනා මේ පිරිස පිදුම් ලබන්නේද? වොලිබෝල් බලධාරීන්ගෙන් ඇසිය යුතු පැනය එයයි. ඉකුත්දා හම්බන්තොට පැවැති දකුනු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්‌ඩායම් 4 පිරිමි සහ කාන්තා දෙඅංශයේම රන් පදක්‌කම් සහ රිදී පදක්‌කම් දිනාගනිමින් දකුණු ආසියානු බීච් වොලිබෝල් ඒකාධිකාරයක්‌ රැඳවූහ. එහෙත් මේ සම්මාන දිනූ දා ඔවුන්ගේ කරේ අතදාගෙන හුරේ දැම්මා හැරෙන්නට වොලිබෝල් බලධාරීන් ඔවුන් වෙනුවෙන් කළේ කුමක්‌ද? ඒ ජයග්‍රහණය "මාර්කට්‌" කරමින් මේ අපූරු ක්‍රීඩාව වෙනුවෙන් නිත්‍ය අනුග්‍රාහකයකු හෝ සොයාගැනීමට වොලිබෝල් සම්මේලනය සමත්වීද, ඒ ජයග්‍රහණයේ වටිනාකම උපන්ගෙයිම මැරී ගියේය.

ඉකුත් සතිaයේ චීනයේ හයිකු නගරයේ පැවැති ආසියානු ශූරතා බීච් වොලිබෝල් තරගාවලියේදී ඒ මිනී පෙට්‌ටියට ඇණ ගැසීය. දකුණු ආසියානු ශූරයන් ලෙසින් එහි ගිය අප බීච් වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසිදු තරගයක්‌ දිනාගත නොහැකිවිය. හම්බන්තොට ජයග්‍රහණයේ සායම හයිකු පරාජයෙන් සේදී ගියේය.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වනාහී ආසියාවේ බීච් වොලිබෝල් පෙරළිකාරයෝ වෙති. සෑම තරගාවලියකම ඔවුන් ආසියාවේ නමගිය කණ්‌ඩායමකට පහරදෙති. ඉකුත් වසරේ එලෙස ඉදිරියට යමින් ආසියානු මට්‌ටමෙන් රිදී සහ ලෝකඩ පදක්‌කම්ද ඔව්හු දිනාදුන්හ. එහෙත් මේ වසරේ ආසියානු වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවැති ජාත්‍යන්තර තරගාවලි 11 න් ශ්‍රී ලංකාව සහභාගි වූයේ තරග 2 කට පමණි. එහි ප්‍රතිඵලය හයිකු පරාජය විය. එය කිසිදු සැලැස්‌මක්‌ නොමැතිව යෙදුණු සංචාරයක්‌ විය. නුවරඑළියේ සීතලමෙන් දෙගුණයක සීතල පැවැති එම තරගාවලියට අප කණ්‌ඩායම එහි ගියේ තරගාවලිය ඇරඹෙන්නට පැය 36 කට පෙරාතුවය. මීගමුව වෙරලේ දැඩි හිරුරැස මධ්‍යයේ පුහුණුව හුරු අප ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ සා සීතලකට හුරුවීමට තරම් කාලයක්‌ නොවීය. ප්‍රතිවාදින් හමුවේ ඔවුන්ගේ තරග විලාසය "ගල්විය".

එම තරගාවලියට පූර්ව වශයෙන් එය ඇරඹීමට දින කිහිපයකට පෙර චීනයේම නැනින් හී තවත් ජාත්‍යන්තර බීච් වොලිබෝල් තරගාවලියක්‌ පැවැත්වුනි. කිසිදු අතිරේක වියදමකින් තොවර, ගමන් කාලසටහන පමණක්‌ වෙනස්‌කර එම තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගීකරවීමේ හැකියාවක්‌ මෙරට වොලිබෝල් බලධාරීන් සතුවිය. නමුත් එය සිදුනොවීය. හයිකු ආසියානු ශූරතාවට සහභාගී වූ අන් හැම කණ්‌ඩායමක්‌ම අදාළ "නැනින්" තරගාවලියට සහභාගිවී අත්දැකීම් මෙන්ම කාලගුණයට හුරුව පැමිණියද අප කණ්‌ඩායම් නොදන්නා දේශගුණයක "නන්නත්තාර" විය.

ලබන ජනවාරි මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඔලිම්පික්‌ සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගිවීම පිණිස කසකස්‌තාන කණ්‌ඩායම පැමිණීමට නියමිතව ඇත්තේ තරගාවලියට දින 10 කට පෙරය. අනෙක්‌ රටවල් තරගාවලිවලදී දේශගූනයට හුරුවන්නේ එසේය. අපේ "දුප්පත්" වොලිබෝල් සමමේලනයට එවැනි දෑ කිරීමට නොහැකි බව සැබෑය. එහෙත් ගෘහස්‌ථ වොලිබෝල් ක්‍රීඩාවේ එක්‌ සංචිතයක නඩත්තු වියදමින් අප බීච් වොලිබෝල් සංචිත පුරා වසරක්‌ (ජාත්‍යන්තර තරග අත්දැකීම් රැසක්‌ ලබාදෙන අතරවාරයේ) රැකබලා ගතහැකිය.

ගෘහස්‌ථ වොලිබෝල් කණ්‌ඩායම් විදේශ සංචාරවලට යෑවෙන විට වොලිබෝල් සම්මේලනය විසින් මේස්‌ කුට්‌ටමේ සිට සියල්ල ඔවුන් වෙනුවෙන් සපයයි. සංචිතගත කාලයේදී ප්‍රවාහන වියදම් පවා දරයි. එහෙත් අවසානයේ ඉන් රටට ලැබෙන දේ මොනවාද? බොහෝ විට කාන්තා කණ්‌ඩායම් වලින් නම් ඉතිරිවන්නේ පරාජයන් රැල්ලක මතක පමණි.

ඉන්දියාව මෙය දැනගත් බැවින් සිය කාන්තා වොලිබෝලය පසෙක තබා ඒ ඉතිරියෙන් පිරිමි වොලිබෝල් ක්‍රීඩාවට අතිරේක ජවයක්‌ ලබාදුන්නේය. තායිලන්තය තමන්ට ඵලදෙන අංශය හඳුනාගෙන සිය පිරිමි වොලිබෝල් ක්‍රීඩාව දෙවැනි තැනට දමා කාන්තා වොලිබෝලයට තැනදුන්නේය. ඒ රටවල් ඉන් ඉහළම ප්‍රතිඵල ලද්දේය. එහෙත් අපි අපට ඵලදෙන ක්‍රීඩාව වන බීච් වොලිබෝල් ක්‍රීඩාව දෙවැනි තැනට දමා අනෙක්‌ සියල්ලට "එක" දෙමු.

නඩත්තුව ඉතාම පහසු බීච් වොලිබෝල් ක්‍රීඩාව මේ වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ස්‌වෝත්සාහයෙන් ඇදගෙන යන දෙයක්‌ බවට පත්ව තිබේ. වෙනත් ජාතික වොලිබෝල් සංචිත මෙන් ඔවුන්ට ගමන් දීමනාවක්‌ ලැබේද? ඔවුන්ගේ පෝෂණය ගැන බලධාරීන් දක්‌වන උනන්දුව කෙසේද? වැල්ල සහ පොල් ගස්‌ සෙවණ හැර ඔවුන්ට තම ක්‍රීඩාව පවත්වාගෙන යැමට ස්‌ථානයක්‌ හෝ සෙවනක්‌ තිබේද?

මෙරට එක්‌කෝටි අසූපන්ලක්‍ෂයක්‌ ජනතාව අතරින් බීච් වොලිබෝල් ක්‍රීඩාකරණුයේ දෑතේ ඇඟිලි ගණනටත් අඩු ක්‍රීඩකයන් පිරිසක්‌ සහ හරියටම අතේ ඇඟිලි ගණනට සමාන ක්‍රීඩිකාවන් පිරිසකි. තවත් බීච් වොලිබෝල් දක්‍ෂයන් මෙරට සිටිත්දැයී සෙවීමට වොලිබෝල් බලධාරීන් මෙතෙක්‌ යෙදූ වැඩසටහන කුමක්‌ද? මෙම ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට සිදුකර ඇති සේවය කුමක්‌ද? අවසන් වරට ජාතික ශූරතාවක්‌ පැවැත්වූයේ කවදාද? එවැනි පසුබිමක වුව අප ක්‍රීඩකයන් ආසියානු මට්‌ටමේ පෙරළිකාරයන් වී තිබීම, දකුණු ආසියානු ශූරයන් වීම ප්‍රාතිහාර්යයක්‌ වැන්න. එහෙත් ඒ ප්‍රාතිහාර්යයේ අවසන් හෝරාව මෙය බව ඉඳුරාම කිවහැකිය. පොහොර නොදැම්මොත් මේ අපූරුවට ඵල දරන ගස මැරීයන දවස හෙට හෝ අනින්දා විය හැකිය. ඉකුත් වසර කිහිපයේ පැවැති සෑම ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලකදීම කණ්‌ඩායම් තරග අංශයෙන් ශ්‍රී ලංකාවට වැඩිම ගෞරව ගෙනදුන් ක්‍රීඩාව වූ බීච් වොලිබෝල් නගාසිටුවන බවට මෙරට වොලිබෝල් බලධාරීන් කටින් බතලකොල සිටුවීම දැන්වත් නවත්වා සක්‍රීය සහ ප්‍රායෝගික වැඩපිළිවෙලකට අද අදම නොපැමිණියහොත් ඔවුන් මෙරට දිනවිය හැකි ක්‍රීඩාවක්‌ වෙනුවෙන් අපරාධයක්‌ කළා වන්නේමය.

අවසානයේ අප රටේ බීච් වොලිබෝල් ගැන තවත් වටිනා සටහනක්‌ තබමි. පසුගිය දශකයකට ආසන්න අප බීච් වොලිබෝල් ක්‍ෂේත්‍රයේ තහනම් උත්තේජක චෝදනා නැත. (ගෘහස්‌ත වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් යෙදවීමේ විපාකය හැර) අප බීච් වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආබාධවලට ලක්‌ව නැත. ඒ සා කාලයක්‌ ජාත්‍යන්තර තරගවලට යැමේදී ක්‍රීඩිකාවන් භාර නිලධාරිනියකු යොදවා නැත. එහෙත් මෙතුවක්‌ කාලයක්‌ කිසිදු අවිනීත හැසිරීමක්‌ හෝ විනය කඩවීමක්‌ සිදුව නැත. ජාත්‍යන්තරයේ පදක්‌කම් ගැන කථා සියල්ල පසෙක දැමුවත් ඒ චරිත සහතික රන් වටින්නේය. මෙය අපූරු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රෑනකගේ ගමනකි. එයට උපකාර නොකරන බලධාරීන් කුමට...

ඉන්ද්‍රජිත් සුබසිංහ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.