ක්‍රිකට්‌ නිලවරණයත් අතුරු කමිටුවක අනුරුවක්‌ද?

නියගයට හසුව ඇල්මැරුණු ගහ කොළ එකින් එක පොළොවට සමතලා වන්නාක්‌ මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ හී සෑම අංශයක්‌ම එකින් එක කඩා වැටෙමින් පවතී. එය යළි උත්දීපනය කිරීමට විවිධ පුද්ගලයන් නොයෙක්‌ මතවාද ඉදිරිපත් කෙරුවද එය ක්‍රියාවට නැගිය හැක්‌කේ එළැඹෙන ක්‍රිකට්‌ නිලවරණයෙන් පත්වන කමිටුවට පමණි. එය එසේ සිදුවන්නේ දේශපාලනීකරණයෙන් තොරව සද්භාවයෙන් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන පරිපාලනයකට පමණක්‌ බව විවාදයක්‌ නොමැත. එය එසේ සිදුවන්නේද යන්න ප්‍රහේලිකාවක්‌ බවට වර්තමානයේ පත්ව ඇත.

ක්‍රිකට්‌ නිලවරණයේ තිරය පිටුපස අපූරු රංගනයන්ගෙන් හැඩ ගැන්වී ඇත. එළිපිට ඡන්ද සටනේ ප්‍රධාන භූමිකාව උපාලි ධර්මදාස මහතා සහ තිලංග සුමතිපාල මහතා අතර පැවැතියද එහි අවසන් ප්‍රතිඵලය කුමකින් කුමක්‌ වනු ඇතිදැයි නිශ්චිත නිගමනයකට ඒමට නොහැකිව ඇත්තේ එය ඡන්දයක්‌ නිසාම නොව. ඉහත සඳහන් කළ තිරය පිටුපස රංගනයේ උණුසුම වැඩි වීම නිසා මෙවර ක්‍රිකට්‌ නිලවරණයත් තවත් අතුරු කමිටුවක නිර්මාණයක්‌ද යන්න වර්තමානයේ මාර්තෘකාවට බඳුන් වී ඇති බැවිනි.

මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවේ සේප්පුව සිඳී ගොස්‌ ඇති බව මුළු ලොවම දනී. එපමණක්‌ද නොව ක්‍රිකට්‌ පිටියේ ජයග්‍රහණද නියඟයකට හසුව ඇත. අවිධිමත් පරිපාලනය මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාව බිල්ලට ගෙන ඇති බව පැහැදිලිව දිස්‌වේ. එය ගොඩ නැගිය හැක්‌කේ ලබන ජනවාරි 3 වැනිදා පත්වන පරිපාලනයට නම් එම පරිපාලනයට සහයෝගය ලබාදීම වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා සතු වගකීමකි. එසේ නම් ඔහු පළමුව කළ යුත්තේ ක්‍රිකට්‌ නිලවරණය සර්ව සාධාරණව පැවැත්වීම සඳහා ක්‍රියාත්මක වීමය.

උපාලි ධර්මදාස මහතා සහ තිලංග සුමතිපාල මහතා ක්‍රිකට්‌ නිලවරණය සඳහා සූදානම් වෙමින් තමන් නිලවරණයට තරග කරන බව පැවසූහ. එහෙත් ආරංචි මාර්ගවලට අනුව තිලංග සුමතිපාල මහතා අවසන් මොහොතේ ඡන්දය ඉල්ලීමෙන් වැලකී සිටින බවද වාර්තා වේ. එසේ වුවහොත් සියලු ක්‍රීඩා සංගම් උපාලි ධර්මදාස මහතාව නිතරගයෙන් ක්‍රිකට්‌ සභාපති පුටුවට රැගෙන යනු ඇත. සුමතිපාල මහතා නිලවරණයෙන් ඉවත් වුවහොත් එය බලපෑමක්‌ බව පසක්‌ වන්නේ ඔහු ඉකුත්දා ක්‍රීඩා සංගම් නියෝජිතයන් ගෙන්වා ප්‍රකාශ කළ වදන් සමග සැසදීමේදීය. තමන්ට මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාව ගැන ලොකු ඇල්මක්‌ තිබෙන බවත් ක්‍රිකට්‌ නිලවරණයට තරග කිරීමට කිසිම බාධාවක්‌ තමන්ට නැති බවත්, එය ගොඩ ගැනීම සඳහා තමන් සූදානම් බවත් සුමතිපාල මහතා එහිදී පැවසීය.

කෙසේ හෝ සභාපති තනතුර උපාලි ධර්මදාස මහතා හෝ තිලංග සුමතිපාල මහතා හෙබවූවද එහි ලේකම් ධූරය සඳහා හිටපු ක්‍රිකට්‌ අතුරු කමිටු ලේකම් නිශාන්ත රණතුංග මහතා නිතරගයෙන් පත්වීමට ඉඩ ඇති බව වාර්තාවේ. සුමතිපාල සහ ධර්මදාස පාර්ශ්ව දෙකකින් තරග කළද ලේකම් ධූරය සඳහා නිශාන්ත රණතුංග නිතරගයෙන් පත්වුවහොත් එය අදිසිහස්‌තයක්‌ විය යුතුය. දැනටමත් ලේකම් ධූරය සඳහා තරග කිරීමට සැදී පැහැදි සිටි මහතුන් ඉන් ඉවත්ව ඇත්තේද කුමක්‌ හෝ අදිසිහස්‌තයක්‌ නිසා විය හැකිය. ක්‍රීඩා සංගම් නියෝජිතයන්ගෙන් නිලවරණය පිළිබඳව අදහස්‌ විමසීමේදී ඔවුන් පෙන්වා දෙන්නේ, නිශාන්ත රණතුංග මහතා යළිත් ක්‍රිකට්‌ ලේකම් ධූරයට පත්වනවානම් ඒ පිළිබඳව ඔවුන් පුදුම වන බවයි. ඩී.එස්‌.සිල්වා ගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුවේ හිටපු ලේකම් වන නිශාන්ත රණතුංග සිය නිල කාලය තුල තිස්‌ වතාවක්‌ පමණ විදෙස්‌ ගතව ඇත. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සතු රුපියල් මිලියන ගණනක්‌ වියදම් වී ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධානම තරගාවලිය වන අන්තර් පළාත් තරගාවලියේ කණ්‌ඩායම් අයිතිය සිංගප්පූරු සමාගමකට වසර 25 කට විකුණා දැමීමටද නිශාන්ත රණතුංග මහතා කටයුතු කර ඇති බව සඳහන් වේ. එය නිසි කළමණාකරණයක්‌ අනුව කළේ නම් ඒ පිළිබඳව ඔහු රට දැනුවත් කිරීමේ වගකීම ගත යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ හි වත්මන් මූල්‍ය අර්බුදය උග්‍ර වී ඇත්තේ නිශාන්ත රණතුංග මහතා ලේකම් ධූරය හොබවන කාලයේ බව පැහැදිලිය. එහිදී ඔහු නැවත වරක්‌ ලේකම් ධූරයට නිතරගයෙන් පත්වුවහොත් එය ක්‍රිකට්‌ තිරය පිටුපස සිදුවන දේශපාලන පත්වීමක්‌ විය හැකියෑයි අනුමාන කළ හැක.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයෙන් ඉකුත් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල් ප්‍රමාද වන්නේ අදාළ පරිපාලනය විසින් විනිවිද භාවයකින් තොරව සකස්‌ කළ වාර්තා හේතුවෙන් බව වාර්තා වේ. එහි වගකීම භාරගත යුත්තේ ඩී.එස්‌, නිශාන්ත සහ සුරාඡ් දන්දෙණිය බවට තර්කයක්‌ නැත. වගකීම් ඉටු නොකළ කමිටුවක සාමාජිකයෙක්‌ එළැඹෙන නිලවරණයේදීත් නිතරගයෙන් පත්වුවහොත් එය කළු ගලේ ඔළුව ගසා ගැනීමක්‌ බඳුය.

අද ක්‍රිකට්‌ බංකොලොත් වීම ගැන පාර්ලිමේන්තුවේද කතාවේ. එහෙත් අදාළ බංකොලොත් භාවයට වගකිව යුත්තන් සොයා ගැනීම වෙනුවට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩාංගණ ඉඳිකිරීම සඳහා වූ වියදම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සේප්පුව සිඳී ගොස්‌ ඇති බවයි. එහිදී කිසිදු අසාධාරණයක්‌ සිදුනොවුනා යෑයි ඇමැතිවරයාට කිව හැකිද?

හෙට 19 දායින් ක්‍රිකට්‌ නිලවරණය සඳහා වූ නාම යෝජනා භාර ගැනීම අවසන් වේ. අනතුරුව ක්‍රිකට්‌ පුනරුත්තාපනය කිරීම ඇරැඹීම යෝධ ව්‍යාපෘතියකි. කෙසේ හෝ වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මුහුණදී ඇති ගැටලු සහගත තත්ත්වයෙන් ගොඩ දැමීමට හනුමන්තා කෙනෙකු මෙන් සභාපතිවරයෙක්‌ අවශ්‍යය

අසේල විතාන

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.