ශ්‍රී ලංකාවට යළිත් ඇඟිලි ගැසීමේ වෑයම

ආණ්‌ඩුව ජාත්‍යන්තර බලවේග ඉදිරිපිට දිගින් දිගටම කෙළින් සිට ගැනීමට තීරණය කර ඇති බව පෙනේ. බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව කන්ද උඩරට රාජධානිය අල්ලාගත් දවසේ පටන් ශ්‍රී ලංකාව අංගසම්පූර්ණ වහල් රටක්‌ බවට පත්වන අතර ලන්ඩනයේ පිහිටි යටත් විජිත බාර ලේකම්ගේ පාලනයට කෙළින්ම නතුවන්නේය. එවිට බ්‍රිතාන්‍යයේ රජු අපේ ද රජුය. ඔහු "ශ්‍රී ලංකාව" යන්න උච්චාරණය කිරීමටවත් නොදනී. 1948 දී බ්‍රිතාන්‍ය අපට නිදහස දුන්නද අවසාන විග්‍රහයේදී රාජ්‍ය නායිකාව එළිසබෙත් රැජන විය. 1972 දී ජනරජ ව්‍යස්‌ථාව සකස්‌ කර ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම නිදහස්‌ කර ගැනීම එවකට පැවැති සමගි පෙරමුණ ආණ්‌ඩුව තම හත් අවුරුදු පාලන කාලය තුළ සිදු කළ එකම එක හොඳ ක්‍රියාවය. මෙසේ රට නිදහස්‌ව තමන්ගේම ගමනක්‌ යැමට සූදානම් වන විට යුද්ධය පටන් ගත්තේය. එදා සිට නැවත වතාවක්‌ පිටරටවලට උවමනා පරිදි ජීවත්වීමට අපට සිදුවිය. එක්‌කෝ ඉන්දියාව අපට බලපෑම් කළේය. එක්‌කෝ ඇමරිකාව හා බ්‍රිතාන්‍ය අපට බලපෑම් කළේය. ඉන්දියාව නම් අපට බලපෑම් කළේ යම් ප්‍රමාණයකට සාධාරණ හේතු මතය. ලංකාවේ යුද ගිනි ඇවිලෙන විට තමිල්නාඩුවේ දේශපාලනඥයන්ගේ රෙදිවලටද ගිනි ගන්නේය. ඒ ගින්නෙන් ඉන්දියානු මධ්‍යම ආණ්‌ඩුව ද පිළිස්‌සෙන්නට යනවි ට "යුද්ධය නවත්වනු" යනුවෙන් අපට නියෝග කිරීමට ඉන්දියාවට සිදු විය. එහෙත් ඇමරිකාව සහ එංගලන්තය අපට බලපෑම් කළේ වීදුරු ගෙවල්වල සිට ඇඳුම් මාරු කරන ගමන්ය. මේ සඳහා උදව්වට ඔවුහු තවත් පිරිසක්‌ අල්ලා ගත්හ. පළමුවැන්න, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය. දෙවැන්න ලංකාවේම උපද්දවන ලද, එනමුත් විදේශිකයන්ගේ ආධාරවලින් එදා වේල පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානයන්ය. යුද්ධයේ අවසන් කොටසේදී මේ බලවේග නියෝග කළ කිසිවක්‌ ක්‍රියාත්මක නොකිරීමට තරම් මහින්ද රාජපක්‍ෂට කොන්ද පණ තිබිණි. ආණ්‌ඩුව උතුරේ කොටි කඳවුරුවලට බෝම්බ දමන විට මෙහි දිව එන ඉන්දියාවේ විශේෂ නියෝජිතයෙක්‌ බෝම්බ දැමීම වහාම නවත්වන ලෙස ජනාධිපතිතුමාට කියයි. එයට එකඟවී ඔවුන් හරවා යවන ජනාධිපතිතුමා දිගටම බෝම්බ දමයි. නැගෙනහිරට දමන බෝම්බයක්‌ එහි ඉස්‌පිරිතාලයක වත්තකට වැටුණ විට ශ්‍රී ලංකාවට දිව එන එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක්‌ බෝම්බ දැමීම වහාම නවත්වනු යන පණිවුඩය සහිත ලිපියක්‌ බෑන් කී මූන් දුන් බව කියා ජනාධිපතිට දෙයි. විශේෂ නියෝජිතයා සමග තේ කෝප්පයක්‌ බොන ගමන් ලියුම කියවන ජනාධිපතිතුමා එයට එකඟවී නියෝජිතයා මවු රටට යවා යළි බෝම්බ දමයි. මේ යුද්ධය දිනවන ලද්දේ එසේය. යුද්ධයේ අවසාන කොටසේදී රාජපක්‍ෂවරුන් යුද අපරාධ මස්‌ කොක්‌කේ එල්ලන බවට පණිවිඩ පිට පණිවිඩ එවනු ලැබීය. එසේ එල්ලනවාට කැමැති වෙමින් යුද්ධය දිගටම කරවන ලද අතර ප්‍රභාකරන්ගේ මරණයත් යුද්ධයේ අවසානයත් එකක්‌ විය යුතුය යන තීන්දුවක්‌ තිබූ බැවින් එකී ප්‍රතිපලය නිකුත්වනතුරු යුද කරනු ලැබීය. ඉන් පසු දැන් රට විවිධ කසළගොඩවල්වලට පටලවා ගැනීමට පිටරටවල් සහ ජාත්‍යන්තර සංවිධාන තැත් කළ නමුත්, යුද්ධය නිමවී ජනප්‍රිය තුන්වන වසරද සම්පූර්ණවීමට ආසන්න වෙමින් පවත්නා මේ මොහොත දක්‌වා ආණ්‌ඩුව ඒවාට හසුවූයේ නැත.

මේ අතර ශ්‍රී ලංකාවේ මිනිස්‌ අයිතිවාසිකම් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැළසුමක්‌ පිහිටුවීම සඳහා ඇමරිකන් ඩොලර් එක්‌ලක්‌ෂ පනස්‌ දහසක්‌ දීමට එක්‌සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සූදානම් විය. මේ ආධාරය තරයේ ප්‍රතික්‌ෂේප කරන ජනාධිපති රාජපක්‍ෂ මේ රටේ මිනිසුන්ගේ අයිතීන් උදෙසා වූ ක්‍රියාකාරී සැළසුමක්‌ අපේ රටේ මුදලින් මිස අන් මුදලකින් පිහිටවිය යුතු නැතැයි කැබිනට්‌ මණ්‌ඩලයට දැනුම් දී ඇත. ආණ්‌ඩුව ජාත්‍යන්තර බලවේග ඉදිරිපිට තවදුරටත් කෙළින් සිට ගැනීමට තීන්දු කර ඇතැයි මේ වැකිය අරඹමින් අප කියා සිටියේ ඒ නිසාය. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මේ සූදානම් වන්නේ ඩොලර් එක්‌ලක්‌ෂ පනස්‌ දහසකට හෙවත් රුපියල් කෝටි එකහමාරකට අපේ ස්‌වාධීනත්වයෙන් කොටසක්‌ මිලට ගැනීමටය. මේ සල්ලි ගත් විට දෙයියන්ගේ ගහේ පොල් කෑවා හා සමාන වෙයි. ගිනි කෑ එකා අඟුරු පහ කරන්නේ යම් සේද මේ මුදල් ගන්නා අපට සිදුවන්නේ එක්‌සත් ජාතීන්ගේ න්‍යාය පත්‍රයට අනුව අපේ මිනිස්‌ අයිතිවාසිකම් සකසා දීමටය. අනෙක අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක්‌ සඳහා වැය කළ මුදලින් මෙබඳු ක්‍රියාකාරී සැළසුම් හතරක්‌ පමණ සෑදිය හැකිය. එක්‌සත් ජාතීන් සූදානම් වන්නේ ඉතා අඩු ඇඳුම්වලින් විලි වසා ගැනීමටයි. එයට විරුද්ධවූ ආණ්‌ඩුවට ප්‍රශංසා කිරීම අසාධාරණ බව ආණ්‌ඩුවේ පරම සතුරා පවා නොකියනු ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.