උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් වාර්තාව
ප්‍රශ්නයෙන් පලා යැමක්‌ හා විදෙස්‌ විරෝධය මඟ හැර දවස ගෙවා ගැනීමක්

ජනතා විමුක්‌ති පෙරමුණ

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාව හුදෙක්‌ ප්‍රශ්නයෙන් පලායැමට හා ජාත්‍යන්තර විරෝධය මඟහැර දවස ගෙවා ගැනීම සඳහා කළ එකක්‌ බව ජනතා විමුක්‌ති පෙරමුණ නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන පිළිබඳ වූ ජනාධිපති කොමිසමේ වාර්තාව පසුගියදා (16 දා) ආණ්‌ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ එය ඉදිරිපත් කරන ලෙස බාහිර බලපෑම් වැඩිවෙමින් තිබූ නිසාය. ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත්කරනු ලැබුවේද ලංකාවේ වසර 30 කට වැඩි කාලයක්‌ තුළ පැවැති බෙදුම්වාදී යුද්ධය තුළ සිදුවූ සිදුවීම් හා ලංකාවේ බෙදුම්වාදී අරගලය බිහිවීමට බලපෑ සමාජ, ආර්ථික, දේශපාලන හේතු අධ්‍යයනය කොට ඊට විසඳුමක්‌ සෙවීමේ අවංක අරමුණකින් නොව යුද්ධය නිමවීමත් සමඟ විදේශ බලවේගයන් වෙතින් එල්ල වූ චෝදනා බලපෑම්වලින් ගැලවීම සඳහාය.

මෙම කොමිසම ලංකාවේ ජාතික ගැටලුවට, බෙදුම්වාදී අරගලයට බලපෑ හේතු විමසා ඊට විසඳුම් ඉදිරිපත් කරන්නක්‌ නොව වසර 30 කට වැඩි බෙදුම්වාදී යුද්ධයේ ඉතිහාසයෙන් 2002 පෙබ. 21 දා සිට 2009 මැයි 19 දක්‌වා වූ කාලය තුළ සිදුවූ සිදුවීම් බිඳක්‌ මතුපිටින් පමණක්‌ විමසා බැලීමකි. මෙම කොමිසමේ සීමාව විසින්ම හා එහි නිරර්ථක බව පැහැදිලි වේ. වසර 30 කට ආසන්න කාලයක්‌ තුළ පැවැති බෙදුම්වාදී අරගලය තුළ වරින් වර බලයට පත්වූ ආණ්‌ඩු කටයුතු කළ ආකාරයත් බෙදුම්වාදී බලවේගයන්ගේ ක්‍රියාකාරිත්වයත්, ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය අරභයා අධිරාජ්‍යවාදයේ හා අසල්වැසි ඉන්දියාවේ මැදිහත්වීම්ද යන වැදගත්ම සාධක මුළුමනින්ම නොසලකා හැර වසර කිහිපයක සිදුවීම් ගැන විමර්ශනය කිරීමට පමණක්‌ මෙම කොමිසමේ බලය සීමාකිරීම තුළින්ම පෙනෙන්නේ මෙය ප්‍රශ්නයෙන් පලායැමට හා ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ විරෝධය මඟහැර දවස ගෙවා ගැනීමේ වූ අරමුණින්ම කළ එකක්‌ බවය.

අනෙක්‌ අතට මෙම කොමිසමේ ක්‍රියාකාරිත්වය තුළද විටින් විට ගැටලු මතුවිය. එය ඉදිරියේ සාක්‍ෂි දීමට ඉදිරිපත් වූ බොහෝ දෙනකුට සාක්‍ෂි දීමට නොහැකි වූ බවත් ඒ සඳහා කාලය ප්‍රමාණවත් නොවූ බවත් වාර්තා විය. ඉන් පෙනී යන්නේද මෙම කොමිසම පුළුල් අරමුණක්‌ හා වගකීමක්‌ සහිතව ක්‍රියාත්මක නොවූ බවය.

එවැනි තත්ත්වයක්‌ තුළ මෙම කොමිසමේ වාර්තාවෙහි අඩංගු සමහර කරුණු ගැන කතාකිරීම, එකී කරුණු වල හොඳ නරක හෝ හරි වැරැදි ගැන කතා කිරීම ඵල රහිත වේ. මෙම කොමිසම පත් කිරීමට ජනාධිපතිවරයා හා ආණ්‌ඩුව ගත් තීරණය උතුරේ ප්‍රශ්නය විසඳීමේ අවංක උත්සාහයක්‌ සඳහා නොවන බව තහවුරු වන්නේ මෙවැනි කොමිසමක නිර්දේශ නොමැතිව වුවද ආණ්‌ඩුව අඩු වශයෙන් යුද්ධය අවසන් වූ මොහොතේ සිටම වහාම ඉටු කළයුතු වූ කාර්යයන් රැසක්‌ ඉටුනොකර හිතුවක්‌කාරී ලෙස මඟහැර යමින් තිබෙන නිසාය.

උතුරේ අවතැන්වූවන් යළි පදිංචි කිරීම, ඔවුනට ජීවිතය පටන් ගැනීමට අවශ්‍ය ආධාර ලබාදීම, ඔවුන්ගේ ඉඩම් ආපසු ලබාදීම, දේශපාලන සිරකරුවන් නිදහස්‌ කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලුව විසඳීම, සිවිල් පාලනය ස්‌ථාපිත කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්‌ථාපිත කිරීම වැනි හදිසි පියවර ක්‍රියාත්මක කිරීමට කොමිසමක නිර්දේශ අවශ්‍ය වන්නේ නැත. යුද්ධය නිම වූ මොහොතේම ජනතා විමුක්‌ති පෙරමුණ මේ සඳහා යෝජනා මාලාවක්‌ ඉදිරිපත් කරමින් මැදිහත් වූ බවද අමතරව කරුණක්‌ ලෙස සඳහන් කළ යුතුය.

අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ මෙම කොමිසම රටේ පැවැති යුද්ධය නිමාවීමෙන් පසුද, තවමත් පවතින ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට වත් පාඩම් ඉගෙන ගැනීමටවත් ජාතික සමගිය ඇති කිරීමට හෝ ප්‍රතිසන්ධානයක්‌ ඇතිකිරීමට වත් පිහිටුවන ලද කොමිසමක්‌ නොව ජනාධිපතිවරයා හා ආණ්‌ඩුව මුහුණ දුන් අර්බුදයෙන් ගැලවීම සඳහා පිහිටුවන ලද කොමිසමක්‌ බවය. ඒ අර්ථයෙන් ගත්විට මෙය වෙනත් අවස්‌ථා වලදී මෙන්ම කාලය හා මහජන මුදල් නාස්‌ති කිරීමක්‌ද වී තිබේ. ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳීමටවත් අඩු ගණනේ ඊට ආරම්භක පියවරක්‌ තැබීමට හෝ ප්‍රශ්නය නිවැරැදිව හඳුනාගැනීමටවත් ධනපති ක්‍රමය තුළ මෙතෙක්‌ පැවැති ආණ්‌ඩුවලට මෙන්ම වත්මන් ආණ්‌ඩුවටද වුවමනාවක්‌ මෙන්ම හැකියාවක්‌ද නැති බව මේ මගින් යළිත් පෙන්වා තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.