කව්සිළුමිණෙහි විද්‍යමාන වන ශෘංගාරය

ධම්මික පරාක්‍රම

සිංහල පද්‍ය සාහිත්‍යයේ අසමසම මහා කාව්‍ය දඹදෙණි සාහිත්‍යයේ දෙවන පණ්‌ඩිත පරාක්‍රමබාහු රජු විසින් ලියන ලද කව්සිළුමිණ ගී කාව්‍යයයි. ජාතක කතා පොතෙහි ආ කුස ජාතකය සියබස්‌ලකරෙහි අන්තර්ගත මහා කාව්‍ය ලක්‍ෂණවලට අනුගත වෙමින් නිර්මාණය වූ සිංහලයේ මුල්ම මහා කාව්‍යයයි. එය කවිලොවේ සිළුමිණයි. කවියාගේ අපූර්ව ප්‍රතිභා ශක්‌තිය ඒ ඔස්‌සේ නිර්මාණය වූ, අපූරු කවිත්වය මැනවින් ඉස්‌මතු වූ හෙළ කවි ලොවේ අග්‍රගණ්‍ය නිර්මාණයයි. එය අලංකාර වාදයේ අග්‍රඵලයයි.

තමා වරදස නොදිස්‌නේ මෙරමා වරද දිස්‌නේ ... යනුවෙන් ආරම්භ කරන කවියා නිදහස්‌ කවියකුගේ මතවාදයන් ප්‍රකට කරයි. එසේ වුවත් තම මහා කාව්‍ය නිර්මාණය තුළින් ශෘංගාර රසෝද්දීපනය විදහා දැක්‌වීමට දැඩි අභිරුචියකින් ක්‍රියා කළ අයුරු කව්සිළුමිණ තුළ අන්තර්ගත බොහෝ වැනුම් තුළින් ප්‍රකට වෙයි.

මහා කාව්‍යයක එක්‌ අංගයක්‌ වශයෙන් සැලකෙන වස්‌තු නිර්දේශය එක්‌ ගීයකින් දක්‌වා ඊළඟ ගීයෙන් ඒ දළ සටහන හැඩ වැඩ ගන්වා විසිතුරු කාව්‍යයක්‌ ලෙස සකස්‌ කිරීමට තමා අදහස්‌ කරන අයුරු උපමාවකින් දක්‌වා ඇත්තේ ශෘංගාර රසය ආරම්භයේදීම ඉස්‌මතු කරවන ආකාරයෙනි.

ලද පියන් බිඳු පිය - වුරෙව් මේදා දක්‌වා

පින් පියවුරු මඬලෙව් - පිළිමෙහි විතර පානෙම්

යනුවෙන් මුවදෙව්දා සසදා කතුවරයන් අනුගමනය කළ මඟ කව්සිළුමිණ කවියා ද තමා කරන්නට බලාපොරොත්තු වන මහා කාව්‍යයෙහි සාරය උදුරා එකම පද්‍යයකට නගා එය තරුණියකගේ කුඩා පයෝධර බිඳුවක්‌ මෙනැයි ද පසුව කෙරෙන කාව්‍ය පිරුණු පයෝධර මණ්‌ඩලයක්‌ මෙන් විස්‌තර කරන්නෙ මැයි පවසයි. මේ උපමාව මුල් ගී පොත් වල එන උපමා දෙක තරම් උචිත නොවේයෑයි ඇතැමකුගේ අදහසයි. මෙහිදී කවියා උත්සාහ කළේ ශෘංගාර රස උද්දීපනය කිරීමටය.

කව්සිළුමිණ සඳහා වස්‌තු විෂය කරගෙන ඇත්තේ කුස ජාතකයයි. ඒ තුළ අන්තර්ගත වන්නේ ප්‍රේම වෘතාන්තයක්‌ හා බැඳුණු සිදුවීම් සමුදායකි. එබැවින් එවැනි නිර්මාණයකින් ශෘංගාර රස ඉස්‌මතු කරලීමට ලැබෙන ඉඩ ප්‍රස්‌තා බොහෝය. ඒ අනුව යමින් කවිසිළුමිණ කවියා මෙසේ ආරම්භයේ සිටම එවැනි අවස්‌ථා ඉස්‌මතු කරයි. එය රසිකයන්ගේ සිත් පිනවීමට හේතුවක්‌ වෙයි.

අනතුරුව සිදුකරන කුසාවතී නුවර වර්ණාවේදී ද කතුවරයා තුළ පවතින ශෘංගාරාත්මක ආකල්ප සමුදායක්‌ම ඉස්‌මතු වන අයුරු.

පුරකත නුබඳ බඳ - මහවුරු උකුළු වටහී

රතමිණි තොරණ රැස්‌ රැසින් රතෙපුර සුපුන් සඳ

ආදී කවි ඊට නිදසුන් සපයයි. එහිදී පිපීගිය මල් වලින් ගැවසුණු දිය අගල නාට්‍යංගනාවන්ගේ ඉණ වට බැඳි මිණි මෙවුලකට ද, සව් බරණින් සැදි කාමිනියෝ කාමුකයන්ට මල් හී යෑවීම, විදුලිය පරයා නටන ගැහැනුන් මයුරයන් රැවටීම, සඳ වැනි මුහුණ ඇති ලාලනියෝ දුටු දුටු ජනයන් මුලා කිරීම, ප්‍රියාවෝ තම ප්‍රියයන් වැළඳ ක්‍රීඩා කිරීම, මඳ වැගිරෙන ඇතුන්ගේ ගඳට බමරු දුව ඒමත්, බඹරුන්, නටන ගැහැනුන්ගේ මුව පියුමකැයි සිතා වසා ගැනීම ආදී අදහස්‌ රැගත් කවි කීපයම කවියා තුළ පැවති ශෘංගාර රස උද්දීපනයේ අභිරුචිය කදිමට විදහා දක්‌වයි.

කුස රජුව වර්ණනා කරන කුසාවත් පුර වැනුමෙන් අනතුරුව සිදුවන වර්ණනය තුළ කුස කෙතරම් විරූපී වුවද එවැන්නක්‌ ප්‍රකාශ කිරීමට කවියා උත්සුක නොවෙයි. එතුමා රුවින් අගතැන්පත් වූ ස්‌ත්‍රීන්ගේ ආලය ඇති කරවන මදන රසයෙහි එතුමා තුළ තිබුණු අප්‍රමාණ බව "පමණ අමා මදන රස - පමාහිද කිරණව පමණ කිරන" යන කවි පාඨයෙන් පැහැදිලි කරන්නේ ඔහුගේ රූසපුව ගැහැනියක විසින් බොහෝ කොට පුරුෂයකු කෙරෙහි බලාපොරොත්තු වන්නා වූ එකක්‌ය යන්නයි. සිව්වැනි සර්ගයේ දී මධුරජුගෙන් සමුගත් රාජදූතයෝ ආපසු කුසාවතට පැමිණ දෙමාපියන් සහිත කුසරජුට පබවතගේ හමුවීම පවසා අනතුරුව ඇගේ රූසපුව පිළිබඳ කරනු ලබන වර්ණනාව ගැහැනු ලොල් තරුණයකු නොව කෙලෙස්‌ තැවූ යෝගියකුගේ වුවද සිත කාමයට වසඟ කළ හැකි ශෘංගාර රස උද්දීපනයෙහිලා කතුවරයා තුළ පැවති අභිරුචිය මොනවට විදහා දක්‌වන්නකි.

පියවුරු බරසුලා නොසැහැව් මෙව්ල්නි දුවන්

එදෙබරින් දඟ යුග නුරු රැවිනි ගුගුරන වන්

පබාවතියගේ පියයුරු බර ඉසිලීමෙන් වෙහෙසට පත්වීමෙන් උකුල මේඛලාදාමයෙන් ද කෙණ්‌ඩා, පියයුරු හා උකුල යන දෙකේ බරින් කෙණ්‌ඩා දෙක නූපුර හඬින් ද ගුගුරන්නාක්‌ වැනිය. දෙක නුපුරු යනුවෙන් කරන වර්ණනාවද?

"ඇය මන දඟ දඟ - දුවන් විමනත් වදනා"

"දිය දිය ලද මලැග - පලඟ දිය ටැඹ ඉඳුවු"

"වියොවග මිටු කියලු - විලී තුනු ලිය සැවිහී"

"දුවන් පියවුරුදුටු මහ පතරාම මුත් බඹ"

"දසන් වැළ සිඳුවර - මුව මීවිත පිලැදුලු"


යනුවෙන් කෙරෙන වර්ණනාවල අරුත් වන

සවස පරවන (පියවි) නෙළුමට සිනාසෙන පිපුණු නෙළුමක්‌ වැනි පාද, අනංගයාට උකුල් විමනට වදිනා පිණස දැල්වූ පහන් කණු දෙකක්‌ වැනි දඟ යුග, මදන රසයත් රූසපුවත් කිරා බලා යටිකුරු කළ රන්තරා දී තටු දෙකක්‌ වැනි දණ හිස්‌ යුවළ, අනංගයා නැඟු ජයටැඹ දෙකක්‌ වැනි ඌරු යුග්මය, මෙවුල් දම් නමැති සුරගඟ වට කළ ඉකිලිය නමැති අනෝතත්ත විල දැරු පුළුල් උකුල, කාමයාගේ දුනුමිට වැදී එබුණු තැන වැනි නැබ, මහබඹාගේ සියුම් මැවුමක්‌ වැනි ඉඟ, රූ සයුරෙහි තරඟ වැනි අත් යුවළ, කාමයාගේ සප්තස්‌වර නගන වස්‌කුලලක්‌ වැනි ගෙල, පියුම් පරදවන මුව, මීධුවක ගිලුණු රතු පුල පත් වැනි තොල් සඟළ, සරසවියගේ මුදුන් මල් කඩක්‌ වැනි දත් කෙළවර, කෙසෙල් ගසක සිරිය පැරද වූ බැමලිය, අනංගයාගේ හී දෙකක්‌ වැනි කන් යුවළ හා ඇස්‌ යුවළ, මුව නමැති සඳ මඬල අසල පාවන නිල් වලාකඩක්‌ වැනි කේශකලාපය යන මෙතෙක්‌ අඟ පසඟින් බබළන ඒ ප්‍රභාවතිය මහා බ්‍රාහ්මයා මුළු ලොවට බෙදා දෙනු පිණිස ගෙන ශෘංගාර රසය හා සෞන්දර්ය රැස්‌කළ කරඬුවක්‌ වැන්න.

කව්සිළුමිණෙහි එන මේ පබවත් වැනුම සිංහල පද්‍ය සාහිත්‍යයේ එන සම්පූර්ණ වූද උසස්‌ වූද ස්‌ත්‍රී වර්ණනාවකැයි කිව යුතුය. කවිසිළුමිණ කතුවරයා මේ වර්ණනාව කළේ ඇසෙනි. ස්‌ත්‍රියකගේ සුන්දර රූසපුව ගැන සිතින් මැවූ වැනුමකට වඩා ඇසින් දැක කළ වර්ණනයකි. රසික සිත තුළ දර්ශන ශාංගාරය ඉස්‌මතු කරලන්නක්‌ ලෙස මෙය සැලකේ.

කුස රජු විසින් නිර්මාණය කරන ලද රන්රුව දැක රන්කරුවා විසින් ඒ රුව පිළිබඳ කරනු ලබන වර්ණනය තුළද දක්‌නට ලැබෙන්නේ කතුවරයා තුළ පැවති ශෘංගාර රසෝද්දීපනයෙ අභිරුචියයි.

"පැහැ තොනෙන් විලිරළි නිහර පොකුරු දැළියෙන්

මේ රූ දැරූ තොප නුඹඳ මන නෙත් බඳනා"


ආදී කාව්‍ය තුළින් පැහැය නමැති ජලයෙන්ද, වලි නමැති රැළිවලින් ද මුතුහර නමැති නෙළුම් පොහොට්‌ටුවෙන් ද අලංකාර ශරීරය නමැති විලෙන් පුන් පියයුරු නමැති හංසයන් ආදී වශයෙන් කරනු ලබන වර්ණනාවෙන් එය පැහැදිලිවෙයි.

කවිසිළුමිණේ ශෘංගාර රසෝද්දීපනයේ සුවිශේෂ වැනුමක්‌ ලෙස මධුපාණෝත්සවය දැක්‌විය හැකිය. මෙය වූ කලී ඉතා චමත්කාර අන්දමට රසගන්වා කර තිබෙන අපූර්ව වර්ණනාවකි.


"එතගමනුක හා නරනිඳු - ඇක පහස්‌ වස්‌

රසන්නුරු ගොස්‌ යෝනන් - කියලි නරඟ තුරුගොස්‌" යනුවෙන්

යුවතියන් නිරිඳුතුමාගේ උකුලෙහි පහස ලැබ ගැනීම සඳහා වහා ගමන් කළ කල්හි ඔවුන් පැළඳ සිටි රසනාදමය හා පාසලඹෙහි ද හඬ අනංගයාගේ තුරු ගොස හැඟවිය.

රඟොත මතඟනක - ඉහිල් වසන් දෙසේ නෙත්

තහත පියොදෙමිනෙ නිරිඳු - කෙළේ මීමතමැ වෙසෙස්‌

යනුවෙන් නැටුවා වූ එක්‌ මත් වූ අඟනකගේ බුරුල්ව හැලුණු වස්‌ත්‍ර ප්‍රදේශය දෙස රජතුමා නිරතුරුවම තම නෙත් යොමු කරමින් ඒ මත් වූ අඟන අනෙක්‌ අඟනන් අතරෙහි විශිෂ්ට කළේය. යනුවෙන් සැබවින් ඇය කෙරෙහි රජු හෙළු බැල්ම දර්ශන ශෘංගාරය ඉස්‌මතු කරන්නක්‌ විය.

එමෙන්ම

"තොට නොසිමියෙ කිය - ග තොප තුඬග වැකිතැන්

වියත ඉති නිරිඳු සි - පියකල් මැසි පියා පෙවු"


යනුවෙන් රජ විසින් තොපගේ තොල් ගැවුණු තැන් මට අමතක්‌ විය. එබැවින් තොපගේ තුඩ වැකුණු තැන කියවයි කී කල්හි පියකත සිනාසී සිය අසතුට අමතක කොට රජතුමාට මධු පානය කිරීමත්

"කතක බොන මීවිත - හී හෙත කියඹු සිඳුවර

දුරලන්නසිත් පිඹිගේ මුවමී ගතෙ නරවරා"


යනුවෙන් කාන්තාවක විසින් පානය කරන ලද මීවිතෙහි ඇයගේ කියඹු වැලෙහි වූ නිකමල් වැටුණු විට රජතුමා එය ඉවත් කරන අදහසින් පිඹින්නාක්‌ මෙන් ඒ කතගේ මුව නමැති මී පානය කළ බව කියවෙන සිප ගැනීම එක එල්ලේම ශෘංගාර රස ඉස්‌මතු කරන්නකි.

කවිසිළුමිණෙහි එන මධුපානෝත්සවය ශෘංගාර රස සපිරුණකි. මෙහි ඇති කවි තිහ මහ කවි තිහක්‌ හා වටිනා බව කුමරතුඟු මුනිදසුන්ගේ අදහසයි. සවස්‌ කාලයේ අවන්හලට පිවිසි රජතුමා මධුපානය කරමින් සුරූපී කතුන් මැද කෙළි දෙළෙන් විනෝද වෙමින් හඳ අවරට යනතෙක්‌ එහි ගත කොට අවසානයේදී නෙත් කොනින් බලා තමා වෙත කැඳවා ගත් කතක සමඟ සිරියහනාවට පිවිසීම එහි උච්චතම අවස්‌ථාවයි. ඒ අනුව ශෘංගාර රසෝද්දීපනය පිළිබඳ කවියා තුළ වූ අභිරුචිය වඩාත් ප්‍රබල ලෙස ඉස්‌මතු වූ අවස්‌ථාවක්‌ ලෙස එය දැක්‌විය හැකිය.

සත්වන සර්ගයේ දී පබාවතිය ඔකාවස්‌ රජු සමඟ කුසාවතී නගරයට පිවිසි අවස්‌ථාවේදීද ඇය බැලීමට දෙවඟනන් වැනි පුරකතුන් පැමිණි බව කවියා කියයි. ඇතමෙකු ඇය බැලීමට පැමිණි අයුරු කවියා ප්‍රකාශ කළේ ද දර්ශන ශෘංගාරය ඉස්‌මතු වන පරිද්දෙනි.

"ගුලු වරලෙක්‌ අතැ නත හසු නෙකතහි දිවු

ඉහිල් වසනත්නි කලක්‌ වැළකු කලක්‌ දනනෙත්"


යනුවෙන් එක්‌ අතකින් ලිහිගිය කොණ්‌ඩයද අනෙක්‌ අතින් පියයුරු නමැති හංසයන් අල්වාගෙන දිව ගිය එක්‌ කතකගේ වස්‌ත්‍රය ලිහිගිය බවත් පබවත දෙස හෙලූ බැල්ම බොහෝ ජනයාගේ ඉන් ඉවත් වූ බවත් කියෑවේ.

කව්සිළුමිණෙහි එන උයන් වැනුම ශෘංගාර රස වෑහෙන නිර්මාණයකි. එම කාව්‍යයන්හි අන්තර්ගත අර්ථ කීපයක්‌ විමසීමෙන්ම එය අවබෝධ කර ගත හැකිය.

එක්‌ කාන්තාවක්‌ රජුගේ ළැමෙහි දළුවක්‌ ගසා තමාගේ අනුරාගය රජුට දැක්‌වීය. තව එකියන් උකුල දක්‌වා වැසුණ මල් ගුලාවකට වී ලිය කිඳුරියක මෙන් පෙනෙන්නට වූවාය. එකියකගේ ඉඟ සැරසු මල් දමින් මලක්‌ ලිහිල්ව වැටුණු දුටු රජ ඇගේ උකුල බලන්නට විය. එයින් ලැඡ්ජාවට පත් ඈ මලකින් ඒ ප්‍රදේශය වැසුවාය. රජ එකියකගේ පියයුරු වල මල් රොන් තැවරීය. කොතෙක්‌ කළත් එහි නිමාවක්‌ නොවන විට ඇගේ සලුව ලිහිල්ව නග්න ශරීරය පෙනෙන්නට විය. රජ ඒ දෙස බැලීය. රොන් තැවරීම නිම වූයේ එවිටය. රජ කාමිනියකගේ තොල් උරා බීය. මේ සියල්ල දැඩි අභිරුචියකින් යුතුව කව්සිළුමිණ කවියා වර්ණනා කළේ ශෘංගාර රස උද්දීපනය කෙරෙහි ඔහුගේ රුචිය කෙබඳුද යන්න විදහා දක්‌වමිනි.

උයන් වැනුමට පසුව එන දිය කෙළි වැනුම ද එවැනි ශෘංගාර රසයෙන් පිරුණු එකකි. එය කවියා චමත්කාර ජනක අන්දමින් වර්ණනාවට ලක්‌ කර ඇත.

"පබවත ගලත ගලත"

"පියවුරු තො උකහත"

"කතක මුත් වරල"

"ගෙන තන කොකුම් බිඳු"

"මැඩිලි දුන් දියෙහි"

ආදී කවි ඊට නිදසුන් සපයයි. මෙම කවි කීපයක අර්ථ විමසන විට

ප්‍රියයා විසින් ඉසිනු ලැබූ අත් යතුරු ජලයෙන් තෙමී ගිය ප්‍රියාවගේ තන යුවල රජතුමාගේ අබියෙස්‌ මඟුලෙහි පොල් මලින් සරසනු ලැබූ රත්රන් කලයක ශෝභාව ගත් බවද,

ප්‍රියයා විසින් ඉසිනු ලැබූ ජලය කතකගේ තන අග වැදී එහි වූ කොකුම් ගනිsමින් දියබිඳු විලසින් වැටෙන කල්හි ඒ දියබිඳු පළනු ලැබූ ඇත් කුඹකින් ගිලිහෙන ලෙයින් තැවරුණු මුතු ඇටවල සිරිය දැක්‌වූ බව ප්‍රකාශ වෙයි.

කව්සිළුමිණ තුළ දක්‌නට ලැබෙන කුසවලප ද විප්‍රලම්භ ශෘංගාරය ඉස්‌මතු කරවන්නකි. කුස හැරපියා පබවත ගිය පසු ඔහු තුළ වූ විරහ වර්ණනාව මෙහිදී දක්‌නට ලැබේ.

"වැළඳවා ගෙලෙහි - උරිනුසුලා පියවුරන්

සිඟුවලඟට මා වූ - වහලුනු නොහැඟියෝ හා"

යනුවෙන් මගේ ගෙලෙහි ඇය වළඳවා ගෙන මගේ උරෙන් ඇගේ පයෝධර බර උසුලමින් ඇගේ සිහින් ඉඟටියට මගෙන් වූ උපකාරය දැන් ඕ නොසලකයි.

"අලළව රතැදියෙන් - ලසගමන් නිලුපුලන්

කලහස්‌න දැන වූ මා - තබා අසද හුලු ඒ නුගියෝ"

ඇයගේ දෙඇස්‌ කාන්තිය හා මඳහස ගමනද අවුල් කොට නිලුපුලන් හා කලහසුන් දිනවු මා අත්හැර දමා ගියා වූ පබාවතිය මා කෙරෙහි කෙසේ අසද වේද.

"රතොට රතැදියෙන් - කොපොල් පතලේ බිදියෙන්

තනහස මුස කළෙන් - නිදොසිම්ලු හා නුගියට"

පෙම් කෙළියේ දී පබවතගේ සුරත් තොලෙහි රත් පැහැය ඇද්දෙමි. කම්මුලෙහි පත්‍ර ලේඛා නැසූ යෙමි. ඇගේ පියයුරු හසුන් මුස කෙළෙමි. මෙබඳු ප්‍රකාශනයක්‌ කුසගේ චරිතයට නොගැළපෙන්නක්‌ ලෙස මාර්ටින් වික්‍රමසිංහ ප්‍රකාශ කරතත් කුසවලප අවස්‌ථාවට අනුව අනුචිතවූවක්‌ නොවේ.

ඉහතින් දක්‌වන්නට යෙදුණු කරුණු සියල්ල කව්සිළුමිණ කතුවරයා තුළ ශෘංගාරාත්මක වර්ණනා කෙරෙහි පැවති දැඩි රුචිය ප්‍රබලව කියාපාන්නකි.


අධෝ ලිපි

1. කව්සිළුමිණ (කේ. ජයතිලක සංස්‌කරණය) ප්‍රදීප ප්‍රකාශන කොළඹ 12 - 59 පිටු ,2. මුවදෙව්දාවත, 3. සසදාවත, 4. කව්සිළුමිණ (කේ. ජයතිලක සංස්‌කරණය) ප්‍රදීප ප්‍රකාශන, කොළඹ 12. 3 සර්ගය, 5. කව්සිළුමිණ විනිස, සුචරිත ගම්ලත්, ලංකා සාහිත්‍ය සේවා මණ්‌ඩලය, 87 පිටුව. 8. සිංහල සාහිත්‍ය නැගීම, මාර්ටින් වික්‍රමසිංහ, සමන් මුද්‍රණාලය, මහරගම, 1959, 69 පිටුව.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.