ලෝක යුද්ධයෙනුත් නොමැරුනු
ඈපා ලිතට වයස 157 යි


ලෝකය දියුණුය. අද වන විට මිනිස්‌ චින්තාවන්ද ඒ තරමටම දියුණුය. අප සිටින්නේ අඟහරු මත ජනාවාස පිහිටුවන දියුණු යුගයක එළිපත්තේ යෑයි කීවද වරදක්‌ නැත. විද්‍යාව දියුණු වන විට අවිද්‍යාව දුරුව යන්නේය. ඒ හරියට දියුණු වන ලෝකය හමුවේ අවිද්‍යාව මත පදනම් වූ හනමිටි අදහස්‌ මති මතාන්තර දුරුව යන්නා සේය. ලෝකය කොතරම් දියුණු වුවත් කිසිදින මිනිස්‌ ජීවිතයෙන් ඉවතට විසිනොවන විශ්වාසයන්ද ඇත. එයින් ඇතැම් දේ අවිද්‍යාව මත පදනම් වන නොපෙනෙන බලවේගයන්ය. තවත් සමහරක්‌ දීර්ඝකාලීන අද්දැකීම් මත ලැබුණු නිගමන අනුසාරයෙන් මිනිසා විසින්ම සකස්‌කර ගත් විශ්වාසයන් වන්නේය.

 



මා ඉහත පූර්විකාව තැබුවේ වසරක්‌ අවසන්ව නව වසරක්‌ උදාවන සෑම කලෙකම මේ රටේ සෑම නිවසකටම ගෙන එන එවැනි විශ්වාසයක්‌ මත පදනම් වූ අපූරු ලියවිල්ලක්‌ ගැන සටහන් කිරීමටය. ඒ වෙනතක්‌ නොව අවුරුදු පලාඵල සුබ නැකත් හෝරා ගැන කියෑවෙන බිත්ති ලිතය.

බිත්ති ලිතේ ඉතිහාසය සොයා යැමේදී එය නිර්මාණය කිරීමේ මූලිකයා වන්නේ අදටත් බිත්ති ලිත් සහ පංචාංග ලිත් සකස්‌ කිරීමේ පෙරමුණේ සිටින මරදානේ ඈපා මුද්‍රණාලයටය. මේ රටේ මුල් වරට බිත්ති ලිතක්‌ සැකසී ඇත්තේ ඈපා පංචාංග ලිත් සැකසීමේ ආදි කර්තෘ වූ දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි නමැති කීර්තිමත් ජ්‍යේතිෂ්‍යවේදියෙකුටය. සැබෑවටම ලිත් පටන් ගැනීමේ ඉතිහාසය දැනගැනීමට ඈපා අප්පුහාමි ඈපා පංචාංග ලිත නිර්මාණ කළේ කෙසේද යන්න සොයාගත යුතුය. එවිට එකවර මේ රටේ බිහිවූ ප්‍රථම ලිතත් ඔය නිර්මාණය වන කතාන්තරයත් දැනගත හැකිය.

ඈපා අප්පුහාමි මීට වසර 157 කට පෙර ඈපා පංචාංග ලිත සකසන්නට පෙර දේශීය වෛද්‍ය විද්‍යාවට ඇළුම් කළ පුද්ගලයෙක්‌ය. වලල්ලාවිට කෝරළයේ බෙන්තර උපත ලද ඔහු කොලොම්තොටට සංක්‍රමණය වන්නේ දේශීය වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය දැනුම සම්පාදනය කරගැනීම සඳහාය. ඔහු දේශීය වෛද්‍ය විද්‍යාව මැනවින් උගත්තේය. නමුත් ඒ ඇසුරෙන් වෙදකමේ නිරත වන විට දේශීය වෛද්‍ය ක්‍රමය සමග ගැටගැසුණු තවත් නොපෙනෙන විද්‍යාවක්‌ තිබෙන බව ඔහු උගත්තේය. ඒ නැකත් නොමැතිනම් නැකත් ශාස්‌ත්‍රය අයත් වන ජ්‍යේතිෂ්‍ය නමැති විද්‍යාවය.

ඈපා අප්පුහාමි ජ්‍යේතිෂ්‍ය සඳහා යොමු වූයේ ඇත්තෙන්ම වෙදකම හරිහැටි කිරීමටය. ඔහු යාපනයේ සිටි කපු මහතෙකුගේ මාර්ගයෙන් විශ්වනාථ ශිවාචාර්ය කුමාර්සාමි නම් ජ්‍යේතිෂ්‍ය පිළිබඳ හසල දැනුමක්‌ ඇති ඇදුරකු හඳුනා ගත්තේය. ඔහුගෙන් ඒ විෂය පිළිබඳ ඉගෙන ගන්නා විට වෙදකම කෙරෙහි පැවැති ඇල්ම පහවී නිරායාසයෙන්ම ඈපා අප්පුහාමිගෙ සිත ජ්‍යේතිෂ්‍ය කෙරෙහිම නැඹුරු විය. ඒ අතීත සිදුවීම කදිමට මෙසේ හෙළි කරන්නේ එදා ඈපා අප්පුහාමි ආරම්භ කළ ලංකාවේ පළමු ලිත වන ඈපා ලිත අදටත් නොකඩවා පළකරන ඔහුගේ ඥතියකු වන ඉන්දික ඒ. ඊ. සෙනෙවිරත්නය.

ඈපා අප්පුහාමි කියන්නෙ මගෙ මීමුත්තා. ඇත්තටම එයා වෙදකමට ඕන නිසා ජ්‍යේතිෂ්‍ය ඉගෙන ගන්න ගියාට අන්තිමේදී ජ්‍යේතිෂ්‍ය පැත්තටම නැඹුරු වෙලා තියෙනවා. පස්‌සෙ ඉන්දියාවෙ ගිහිල්ල වැඩිදුරටත් ජ්‍යේතිෂ්‍ය ගැන හදාරල තමයි ලංකාවෙ පළ වූ මුල්ම ලිත වන "ඈපා පංචාංග" ලිත සකස්‌ කරල තියෙන්නෙ. ඈපා පංචාංග ලිත සකස්‌ කරල බොහෝ කාලෙකට පස්‌සෙයි පංචාංග ලිතේ තියෙන මිනිසුන්ගෙ ජීවිතයට එදිනෙදා අවශ්‍ය වන කරුණු අරගෙන ඈපා බිත්ති ලිත නිර්මාණය කරල තියෙන්නෙ. ඒ ඔහු සංක්‍ෂිප්තව කීවේ අපේ සංස්‌කෘතියට ඈපා අප්පුහාමි බිත්ති ලිත එකතු කළ ආකාරය ගැනය. දින කාල වකවානු අනුව මේ රටේ ඉතිහාසයේ මුල්ම පංචාංග ලිත නිර්මාණය වී ඇත්තේ 1853 වසරේය. එය නිර්මාණය කිරීමට ද අහුන්ගල්ලේ ගුරුන්නාන්සේ නමැති දෛවඥයෙක්‌ සමග ඈපා අප්පුහාමි පුරෝගාමියෙකුව ඇත. නමුත් නමක්‌ සඳහන් නොවන එකී පංචාංග ලිත මුද්‍රණයවී ඇත්තේ එම වතාවේ පමණකි.

නමුත් ඈපා අප්පුහාමි නිර්මාණය කළ අදටත් නොකඩවා වසරක්‌ පාසා පළවෙන ඈපා පංචාංග ලිත නිර්මාණව ඇත්තේ 1855 වසරේය. එය නිර්මාණය කළායින් පසු මේ වන විට ඈපා අප්පුහාමිගේ පරම්පරා පහක්‌ම "ඈපා පංචාංග" ලිත නොකඩවා පළ කිරීමට දායකත්වය දක්‌වා ඇත. වෙනස්‌ වන ලෝකයේ එක්‌ අතකට "ඈපා ලිත" නොවෙනස්‌ වීම පුදුම කරුණක්‌ වැන්න. ඈපා ලිතේ හතවර වන පරම්පරාවේ හිමිකරුවා වන තිස්‌ස ඈපා සෙනෙවිරත්න එයට අපූරු අදහසක්‌ එකතු කළේය.

මේ ශාස්‌ත්‍රය පදනම් වන්නේ විශ්වාසය උඩනෙ. මිනිස්‌සු ලිතක්‌ අරගෙන නැකතක්‌ හදාගන්නෙ ඒ ගැන විශ්වාසයක්‌ තියෙන නිසා. සමහරු අහනව කොහොමද ඒවා විශ්වාස කරන්නෙ කියල. එයාලට මම කියන්නෙ බලන්න අපේ ඈපා ලිත වසර 157 වගේ දීර්ඝ කාලයක්‌ නොකඩවා පළවෙනව. ලෝක යුද්ධ කාලේ කඩදාසි හිඟය තියෙද්දිත් ලිත නැවතුනේ නෑ. මොකද දන්නවද හේතුව. ලිත ආරම්භ කළ නැකත හොඳයි. ඒ නිසා මොන ප්‍රශ්න ආවත් තාමත් ලිත පළ කරනව. ඉතිං ඊට වඩා අපේ ලිත ගැන දෙන්ඩ පුළුවන් විශ්වාසයක්‌ තියෙනවද?

ඔහු කියන දේ ලෙහෙසියෙන් බැහැර කළ නොහැකිය. නැකත් හදන අයටම නැකත් වැරදුනොතින්ය ගැටලුව. තමන්ගෙ නැකත් ශාස්‌ත්‍රය නිවැරදි බව ඈපා අප්පුහාමි ඈපා ලිතෙන්ම ඔප්පු කර ඇති සේය. වැඩි කතා නොකීවත් ඔය කොයි කවුරුත් වැරදුන විට යන්නේ වේලපත්කඩෙ අරගෙන දෛවයේ මොනවද ඇත්තේ කියා බලන්නටය. නමුත් ඒ දෛවය ගැන කේන්දර බලා විවරන කරන අයටද ඈපා අප්පුහාමිගේ ඈපා ලිත නොමැතිව කේන්දර හැදිය නොහැකිය. ඒ තරමට ඈපා පංචාංග ලිත අද මේ රටේ ජ්‍යේතිෂ්‍යට ද බද්දව ඇත. නමුත් එදාට වඩා අද ඈපා මුද්‍රණාලයේ අච්චු ගැසෙන බිත්ති ලිත් ප්‍රමාණය නම් අඩු වී ඇත්තේය. ඒ ව්‍යාජ ලෙස ඈපා නම භාවිත කොට ඈපා ලිත් වෙළෙඳ පොළට නිකුත් කරන අය සිටින නිසාය. නමුත් ඈපා පංචාංග ලිත සෑම වසරකම දහඅට දහසක්‌ අලෙවි වන බව රංජිත් මහතා කියන්නේය. ඒ සංඛ්‍යාව කිසිවිටත් වෙනස්‌ නොවන්නේය. ඊට හේතුව මේ රටේ ජ්‍යේතිෂ්‍යවේදීන් දහඅට දහසක්‌ සිටින නිසා බව අප තේරුම්ගත යුතුය.

තිස්‌ස ගුණතිලක
ඡායාරූප - නිශාන් එස්‌. ප්‍රියන්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.