තමිල්නාඩු සෙරෙප්පු පහර
(අපි සන්සුන්ව බලා සිටිමු)
පසුගිය දින කිහිපය තුළ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙහි විශේෂ පහරදීම් තුනක් ඇති විය. ඉන් පළමුවැන්න ජයලලිතාගේ ආධාරකරුවන් 'තනිරන්' නමැති සඟරාවේ මූලස්‌ථානයට පහරදීම ය. දෙවැන්න බීමතින් සිටි ඇමරිකන් නැවියන් දෙදෙනකු ඉන්දියානු කාන්තාවන් සිප ගැනීමට තැත් කිරීමේදී පහර දීම ය. තුන්වැන්න ශ්‍රී ලංකාවේ ජල සම්පාදන නි. ඇමැති නිරූපමා රාජපක්‍ෂ මහත්මිය සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන්ට කොටි හිතවාදීන් විසින් පහර දීම ය. නඩේසන් යුවළ ඉන්දියාවට ගියේ ශ්‍රී රාමනාතාස්‌වාමි දේවාලය වැඳ පුදා ගැනීම පිණිස ය. නඩේසන් මහතාට පහර දී ඇත්තේ තමිල්නාඩුවේ එම්. ඩී. එම්. කේ. පක්‍ෂයේ නියෝජ්‍ය ලේකම් කේ. පලනිසාමි නමැත්තා ය. පහරදීම සිදු කිරීමට සපත්තුවක් යොදා ගන්නා ලදී. එය ඉතා නින්දිත පහරදීමකි. එමතුද නොව නීච පහරදීමකි. මේ පහරදීමට ඉන්දියානු මධ්‍යම ආණ්‌ඩුව හෝ ජයලලිතා ජයරාම් මහත්මියගේ එම්. ඩී. එම්. කේ. පක්‍ෂ ප්‍රාන්ත ආණ්‌ඩුව සම්බන්ධ නැති බව අපි දනිමු. එහෙත් පලනිසාමිගේ මෝඩ කටයුත්ත නිසා තමිල්නාඩු ප්‍රාන්ත ආණ්‌ඩුවට මඩ වැදීම නො වැළැක්‌විය හැකි ය. ශ්‍රී ලංකාවෙන් ගිය රාජ්‍ය තාන්ත්‍රික කාන්තාවකට සහ ඇයගේ සැමියාට කරන ලද මේ නිග්‍රහය සම්බන්ධයෙන් ජයලලිතා ජයරාම් මහ ඇමැතිතුමිය කුමක් කරනු ඇද්දැයි අපි විමසිල්ලෙන් බලා සිටිමු. යම් හෙයකින් මේ සිද්ධිය ශ්‍රී ලංකාවේදී ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රිකයකුට සිදු වූයේ නම් අපට සිදු වන්නේ මුහුදට පැනීමට ය. ත්‍රස්‌තවාදය පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න "ශ්‍රී ලංකාවේ ඉන්දියානු මැදිහත්වීම" යනුවෙන් පොතක් ලියා ඇත. මේ පොතේ සඳහන් අන්දමට 1983 ජුලි කලබල සමයේදී කොළඹ ඉන්දියානු තානාපති කාර්යාලයේ සේවය කළ පුද්ගලයකුට සිංහල මිනිස්‌සු පහර දුන්හ. තානාපති කාර්යාලයේ නිලධාරියකු සේ පෙනී සිටි නමුදු ඔහු ඉන්දියාවේ 'පර්යේෂණ සහ විග්‍රහ අංශය" නමැති ආයතනයේ නියෝජිතයෙකි. පෙරළා ඉන්දියාවට ගිය ඔහු ශ්‍රී ලංකාවෙන් පළිගැනීම සඳහා එරට නායකයන් පොළඹවන ලදැයි රොහාන් ගුණරත්න සිය ග්‍රන්ථයේ සඳහන් කර ඇත. අපි අසරණ ජාතියක් නොවෙමු. එහෙත් ඉන්දියාව අපේ වැඩිමහලු සහෝදරයා ය යන අදහස අපගේ සිත් තුළ නිරතුරුව ම ඇත. තිරුකුමාර් නඩේසන්ට පහර දීම ගැන අප වැඩිපුරම දුක්‌වන්නේ ඒ නිසා ය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වසර 5000 කට වැඩි සංස්‌කෘතික සම්බන්ධයක් සහ වසර 10,000 කට වැඩි භෞමික සම්බන්ධයක් තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කුඩා වැලි වැටියකින් යා වී තිබූ අතර දෙරට අතර ජනයා එහා මෙහා ගිය බව වාර්තා වී තිබේ. අපගේ ආදි මුතුන් මිත්තා ඉන්දු ආර්යයකු වූ විජය කුමාරයා බව කියනු ලැබේ. ඔහු ඉන්දියාව, පාකිස්‌තානය හා බංග්ලාදේශය එක බිමක් වශයෙන් තිබූ කාලයේදී බංග මූලයක් (බංගලිදේශ සම්භවයක්) සහිතව උපන් ඉන්දු ආර්ය ළමයෙකි. බ්‍රිතාන්‍ය ජාතිකයන් ඇමරිකාවට ගොස් එහි සිටි මුල් වැසියන් පලවා හැර පළාතම අල්ලා ගත්තා සේ වැඩිවියට පත් වූ මේ ළමයා ලංකාවට පැමිණ එහි මුල් අයිතිකාරයන් පලවා හැර බලය ගත් බව ඉතිහාස පොත් කාරයෝ කියති. පසු කාලයේදී මේ රටේ රජවරුන්ට බිසවුන් වහන්සේලා ගෙනෙන ලද්දේ ඉන්දියාවේ මධුරා පුරයෙනි. ඒ අනුව ආවාහ - විවාහ පැත්තෙන් ද ඉන්දියන් ලේ මේ රටේ නහරවල ගමන් කරයි. මේ නිසා ලාංකිකයන් ගුටි කන විට ඉන්දියාවේ ලේ කකියැමක් සිදුවිය යුතු ය. ඉන්දියානුවන් ගුටි කන විට ලාංකිකයන්ගේ ලේ කකියැමක් සිදුවිය යුතු ය.
ඉන්දියානු ආණ්‌ඩුවේ අනුමැතියක් නැතිව වුවද කොටි සංවිධානය තවමත් එහි ඉතා ජයට තිබේ. අප මේ කියන්නේ රජීව් ගාන්ධි මැරූ කොටි සංවිධානය ගැන ය. ඉන්දියාවේ මීනම්බක්‌කම් ගුවන්තොටුපළට බෝම්බ ගසා විශාල විනාශයක් කළ කොටි සංවිධානය ගැන ය. ඉන්දියාවේ සිටින ව්‍යාපාරිකයන්ගෙන් සහ තමිල්නාඩුවේ මාළු ඔරු අයිති මුදලාලිලාගෙන් කප්පම් ගන්නා කොටි සංවිධානය ගැන ය. තමිල්නාඩු දේශපාලනඥයන් මේ කොටි සංවිධානයට තවදුරටත් බිය විය යුතු නැත. මන්ද කොටි සංවිධානයේ නම දැන් බෝඩ් ලෑල්ලකවත් නැත. කාලීන අවශ්‍යතාව මත ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්‌ත කණ්‌ඩායම දෙව්ලොව හෝ අපාය තෝරා ගැනීමේ ක්‍රමවේදයකට යොමු කරන ලදී. එය ඉතිහාසයට අයත් කාරණයකි. ඒ වෙනුවෙන් සෙරෙප්පුවලින් ගුටි කෑමට මේ රටේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සූදානම් නැත.
මේ සිද්ධිය ගැන ඉන්දියානු මධ්‍යම රජය හෝ තමිල්නාඩුව කුමක් කියන්නේ ද යන්න අපි නො දනිමු. ඉන්දීය විදේශ ඇමැති එස්. එම්. ක්‍රිෂ්ණා මහතා මේ ගැන කනගාටුව පළ කළේද නැද්ද යන්න අපි නො දනිමු. අපට කරන්නට ඉතිරිව ඇත්තේ සන්සුන්ව බලා සිටීම ය. අපගේ වැඩිමහලු සොයුරු ඉන්දියාව අපට අසාධාරණයක් කරන්නේ නැත.
Powered By -
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.