රුපියල රැක ගැනීමේ අභියෝගය!

ආනයන වියදම් දිගින් දිගටම වර්ධනය වෙමින් පැවතීම, මේ නිසාම වෙළෙඳ හිඟය අඛණ්‌ඩව පුළුල්වීම, ඒ හරහා ගෙවුම් ශේෂය මත පීඩනයක්‌ ඇතිවීම සහ විදේශ සංචිත පහත වැටීම මෙන්ම මෙකී කරුණු කාරණා අපගේ විදේශ විනිමය අනුපාතයට ඇති කරන අහිතකර බලපෑම් පිළිබඳ මේ දිනවල ආර්ථික හා මූල්‍ය අංශවල වැඩි අවධානයක්‌ යොමුව තිබේ. මේ ගැන දේශපාලන අංශවලින් ද නොයෙකුත් අදහස්‌ පළ වෙමින් තිබෙන බව පෙනේ. ඉතා සරලව කියන්නේ නම් පසුගිය කාලය තුළ අපේ රටට ලැබෙන ඩොලර් ප්‍රමාණයට වඩා වැඩියෙන් ඩොලර් වියදම් කිරීමට සිදුවීම නිසා මේ අහිතකර තත්ත්වය මතුව ඇති අතර මේ තත්ත්වය හමුවේ රුපියල රැක ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව දරන උත්සාහය නිසා විදේශ සංචිත ද පිරිහීමට ලක්‌ව තිබේ. ඇතැම් අය මිට පිළියම් ලෙස රුපියල අවප්‍රමාණය (රුපියල බාල්දු කිරීම) කළ යුතු බව ද කියති. තවත් අය කියන්නේ අනයන පාලනය කළ යුතු බවකි. මේ තත්ත්වයට මුහුණ දීමේ විසඳුම් ක්‍රියාමාර්ග ගැන විවිධ අදහස්‌ තිබිය හැකි වුවත්, මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙන්ම රජයේ ආර්ථික බලධාරීන්ගේද දැඩි අවධානය යොමුවිය යුතු තත්ත්වයකි. මෙවර ලිපියෙන් අපගේ අවධානය යොමුවන්නේ ඒ ගැනය.

පසුගිය වසරේ (2011) දී අපගේ ආනයන වියදම් සියයට 50 කින් පමණ වර්ධනය වී ඇත. එහෙත් මීට සාපේක්‌ෂව අපනයන ආදායම වර්ධනය වූයේ සියයට 23 ක්‌ වැනි සාපේක්‌ෂව අඩු ප්‍රමාණයකි. අපනයන ආදායම් වර්ධනය වීමේ වේගය මෙන් දෙගුණයකටත් වඩා වැඩි වේගයකින් ආනයන වියදම් වර්ධනය වෙමින් තිබේ. මේ නිසා වෙළෙඳ හිඟය (ආනයන සහ අපනයන අතර පරතරය) දිගින් දිගටම ඉහළ යමින් රටේ ගෙවුම් ශේෂය මත පීඩනයක්‌ ඇතිව තිබේ. 2005 වසරේ අපගේ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.3 ක්‌ වූ අතර එය ගිය වසරේ (2011) දී ඇමෙරිකානු ඩොලර් බිලියන 10.5 ක්‌ දක්‌වා වර්ධනය වී තිබිණි. මේ වසරේ (2012) දී අපගේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5 ක්‌ දක්‌වා ඉහළ යනු ඇතැයි ද අපේක්‌ෂා කෙරේ. මේ අතර 2005 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 8.9 ක්‌ වූ අපගේ ආනයන වියදම පසුගිය වසරේ (2011) දී ඇමෙරිකානු ඩොලර් බිලියන 20 ක්‌ පමණ දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි. එය මේ වසරේ (2012) දී තවදුරටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 23.4 ක්‌ දක්‌වා ඉහළ යනු ඇතැයිද ඇස්‌තමේන්තු කර ඇත. ඒ නිසා ගිය වසරේ (2011) තරම්ම වූ වේගයකින් නොවුණත්, මේ වසරේ දී ද අපගේ වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල්වනු ඇත.

මෙසේ අපගේ ඉහළ ගිය ආනයන වියදම් පියවීමට වැඩි ඩොලර් ප්‍රමාණයක්‌ අවශ්‍යවීම නිසා, ඒ විනිමය සැපයීමට සිදුවූයේ අපගේ විදේශ සංචිතයෙනි. මේ නිසා අපේ විදේශ සංචිත මට්‌ටම ද පහත වැටී තිබේ. 2010 වසරේ දෙසැම්බර් මස ඇමෙරිකානු ඩොලර් බිලියන 6.6 ක මට්‌ටමේ පැවැති අපේ මුළු දළ නිල සංචිත ප්‍රමාණය, 2011 ජුලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 8.1 දක්‌වා සහ අගෝස්‌තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 8.2 දක්‌වාද වාර්තාගත ලෙස ඉහළ ගියේය. එහෙත් ගිය වසරේ (2011) දෙසැම්බර් මස අගදී මේ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6 දක්‌වා ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකකටත් වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටුණි. මේ නිසා මාස 6 ක පමණ ආනයන සඳහා ප්‍රමාණවත්වූ විදේශ සංචිත, මේ වන විට මාස 4 ක්‌ පමණ දක්‌වා පහත වැටී ඇතැයි වාර්තා වේ.

සාමාන්‍යයෙන් ලෝකයේ පිළිගැනෙන්නේ මාස 3 ක ආනයන සඳහා ප්‍රමාණවත් විදේශ සංචිතයක්‌ ඇත්නම් එය ප්‍රමාණවත් බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සමීපස්‌ථ ණය මුදල ලබා ගැනීමට අදාළව, මාස 3.5 ක ආනයනවලට ප්‍රමාණවත් විදේශ සංචිතයක්‌ අප පවත්වා ගන්නා බවට එකඟ වී තිබිණි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ගිය වසරේ (2011) මුල පැවැති විදේශ සංචිත මට්‌ටමට වඩා වසර අගවන විට විදේශ සංචිත මට්‌ටම අඩුවී තිබුණත්, එය තවමත් ඉහතින් සඳහන් කළ මට්‌ටම්වලට වඩා ඉහළ අගයක පවතින බවයි.

පසුගිය වසරේ අගෝස්‌තු වන විට අපේ විදේශ සංචිත මට්‌ටම ඇ. ඩොලර් බිලියන 8.2 ක්‌ වැනි වාර්තාගත ඉහළ මට්‌ටමකට පත්වූයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශාල වශයෙන් විදේශ විනිමය වෙළෙඳපොළෙන් විදේශ විනිමය මිලදී ගත් බැවිනි. එසේම අගෝස්‌තු මාසයෙන් පසුව අපේ සංචිත අඩු වන්නට පටන්ගත් අතර එයට හේතු වූයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙළෙඳපොළට විශාල වශයෙන් විදේශ විනිමය සපයන ලද බැවිනි. මෙසේ මහ බැංකුවට විදේශ විනිමය සපයන්නට සිදුවූ ප්‍රධාන හේතුව වූයේ ආනයන සඳහා සාපේක්‌ෂව වැඩි වියදමක්‌ දරන්නට සිදුවීමයි.

විශේෂයෙන් ඛනිජ තෙල් ආනයන වියදම ගිය වසරේ (2011) දී සියයට 50 කින් පමණ ඉහළ ගියේය. 2010 වසරේදී ඛනිජ තෙල් සඳහා අපට වැය වූයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 3019 ක මුදලකි. එය ගිය වසරේදී (2011) ඇමෙරිකානු ඩොලර් මිලියන 4505 ක්‌ දක්‌වා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 කින් පමණ ඉහළ ගියේය. එසේම ගිය වසරේ (2011) දී මෝටර් රථ, යතුරුපැදි සහ ඉලෙක්‌ට්‍රොනික උපකරණ ආනයන වියදම් ද සියයට 77 කින් ඉහළ ගොස්‌ ඇත. එනම් 2010 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 632 ක්‌ වූ එම වියදම ගිය වසරේ (2011) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1121 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි. මේ අතරම ගිය වසරේ රත්තරන් ආනයන වියදම ද ඇමෙරිකානු ඩොලර් මිලියන 82 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක්‌ දක්‌වා සියයට 632 කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය. මේ අප සඳහන් කළේ වියදම් ඉහළ ගිය ප්‍රධාන ආනයන අයිතම් තුනක්‌ ගැන පමණය. ආනයන සංයුතිය තුළ ඇති අප විසින් වැඩිම වියදමක්‌ දරන තනි අයිතමය වන්නේද ඛනිජ තෙල්ය. ඛනිජතෙල් ආනයන වියදම පමණක්‌ මුළු ආනයන වියදමෙන් සියයට 22.5 ක්‌ වේ. තෙල් ආනයන වියදම් ඉහළ යැමට ලෝක තෙල් මිල ගණන් ඉහළ යැම මෙන්ම ආනයනය කළ තෙල් ප්‍රමාණය ඉහළ යැම ද හේතු වූ බව මහ බැංකුව කියයි.

මේ පසුබිම තුළ විනිමය අනුපාතය මත සහ ගෙවුම් ශේෂය මත ඇතිවූ පීඩනයට මුහුණදීම සඳහා තවදුරටත් රුපියල බාල්දු (අවප්‍රමාණය) කළ යුතු බවටද අදහස්‌ ඉදිරිපත්ව ඇත. පසුගිය අයවැයෙන් දැනටමත් රජය ඩොලරයට සාපේක්‌ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3 කින් බාල්දු කළේය. මේ නිසා අයවැය ඉදිරිපත් කළ දිනට පසු දිනම (2011 නොවැ. 22) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 111.24 සිට රු.114.70 දක්‌වාද, ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය රු. 109.60 සිට රු. 112.56 දක්‌වාද ඉහළ ගියේය. කවරක්‌ නමුත් ඉන්පසු මේ දක්‌වාම ඇමෙරිකානු ඩොලරය සහ රුපියල අතර හුවමාරු අගය ස්‌ථාවරව පවත්වා ගනිමින් තිබේ.

අයවැයෙන් සිදු කළ රුපියල බාල්දු කිරීම නිසා අපේ මුළු විදේශ ණය තොගය රු. බිලියන 74 කින් (රු. කෝටි 7400 කින්) පමණ ඉහළ ගියේය. මෙසේ ඉහළ ගියේ විදේශ ණය තොගයේ ඩොලර් වටිනාකම නොව රුපියල් වටිනාකමයි. විදේශ ණය තොගය පැටව් ගැසූ හැටි ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් ගණනය කළ හැකිය. 2011 නොවැම්බර් මාසය වනවිට පැවැති අපේ මුළු විදේශ ණය තොගය ඇමෙරිකානු ඩොලර් බිලියන 22.5 ක්‌ පමණ විය. අයවැයෙන් රුපියල බාල්දු කළ නිසා එක්‌ ඩොලරයකට අපට ගෙවන්නට සිදුවන අතිරේක රුපියල් ප්‍රමාණය රු. 3.30 කින් පමණ ඉහළ ගොස්‌ ඇත. ඒ නිසා ඇ. ඩොලර් බිලියන 22.5 ක අගය රු. 3.30 න් ගුණ කළ විට අපට විදේශ ණය තොගයේ රුපියල් වටිනාකමේ ඉහළ යැම රු. බිලියන 74 ක්‌ පමණ වන බවට ගණනය කළ හැකිය. මෙසේ විදේශ ණය තොගය ඉහළ යැමට අමතරව රුපියල බාල්දු කිරීමෙන් අපේ විදේශ ණය වාරික හා පොලී ගෙවීමේ වියදම්ද ගිය වසරේ (2011) දී රු. මිලියන 535 කින් පමණ ඉහළ ගොස්‌ ඇති බව වාර්තා වේ. ඒ නිසා තවදුරටත් රුපියල අවප්‍රමාණය කළහොත් මේ තත්ත්වය තවත් උග්‍ර වෙයි.

ණය තොගය ඉහළ යැමට අමතරව බඩුමිල ඉහළ ගොස්‌ රට තුළ උද්ධමන පීඩනයක්‌ ඇති වීමද දේශීය මුදල බාල්දු කිරීමේ තවත් අවාසිදායක ප්‍රතිඵලයකි. එය පොලී අනුපාත ඉහළ යැමට ද බලපෑමක්‌ ඇති කරයි. එහෙත් රුපියල අවප්‍රමාණය කිරීමෙන් අපනයන ධෛර්යමත් වන බවද, ආනයන අධෛර්යමත් වන බවද කියති. අවප්‍රමාණයෙන් අපනයනවලට වැඩි රුපියල් වටිනාකමක්‌ ලැබෙන නිසා අපනයකරුවන් ධෛර්යමත් වන අතර, ආනයන වියදම් ඉහළ යන නිසා ආනයන අධෛර්යමත් වේ. තියරිය අනුව මෙසේ සිදුවිය යුතු වුවත් ප්‍රායෝගිකව අපේ රටේ එය එසේම සිදුවන්නේ නැත. ඒ ඇයි? එයට නොයෙකුත් හේතු බලපායි. අපේ භාණ්‌ඩ අපනයනය කරන රටවල පවතින ආර්ථික අර්බුදයන්, තරගකාරී භාණ්‌ඩවල අඩුමිල ගණන් සහ ඉහළ ගුණත්වය වැනි හේතූන් නිසා අපගේ අපනයන භාණ්‌ඩවල ඉල්ලුම වෙනස්‌ නොවීමට හෝ අඩුවීමටද පුළුවන. තවමත් ලෝක ආර්ථිකයේ නොසන්සුන්තාවන් තිබේ. මේ නිසා දියුණු රටවල ආර්ථික වර්ධන ඇස්‌තමේන්තු (2012) පහළ දමා තිබේ. ඒ නිසා බොහෝ දුරට ඉඩ ඇත්තේ එම රටවලින් අපේ භාණ්‌ඩවලට ඇති ඉල්ලුම අඩුවීමටය. ඒ නිසා රුපියල බාල්දු කිරීමෙන් ඔය කියන අපනයන දිරිමත්වීම සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අඩුය.

අනිත් අතට රුපියල බාල්දුවෙන් රජය කියන පරිදි ආනයන අධෛර්යමත් වීමට ඇත්තේ ද ඉතා අඩු ඉඩකඩකි. අපේ මුළු ආනයනවලින් සියයට 56 ක්‌ම අතරමැදි භාණ්‌ඩ වේ. ආයෝජන භාණ්‌ඩ සියයට 22.7 ක්‌ සහ පාරිභෝගික භාණ්‌ඩ සියයට 20.7 ක්‌ ද වේ. ඛනිජ තෙල් ආනයන වියදම පමණක්‌ මුළු පරිභෝජන භාණ්‌ඩ ආනයන වියදමට වඩා වැඩිය. එනම් මුළු ආනයන වියදමින් පාරිභෝගික භාණ්‌ඩ ආනයන වියදම සියයට 20.7 ක්‌ වෙද්දී ඛනිජතෙල් ආනයන වියදම පමණක්‌ සියයට 22.5 කි. බොහෝ දුරට ආනයන සංයුතිය දෙස බැලීමෙන් අපට පැහැදිලි වන්නේ ඒවා සාපේක්‌ෂ වශයෙන් අනම්‍ය භාණ්‌ඩ බවය. එනම් මිල වැඩිවූ පමණින් ඉල්ලුම අඩුවන භාණ්‌ඩ නොවන බවය. එවැනි පසුබිමක්‌ තුළ රුපියල බාල්දු කිරීමෙන් වන්නේ ආනයන අධෛර්යමත් වනවාට වඩා අපට දරන්නට සිදුවන ආනයන වියදම් ඉහළ යාමකි. මේ නිසා වෙළෙඳ හිඟය දිගින් දිගටම වර්ධනය වීමේ අහිතකර තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ආනයන පාලනය කිරීම සහ අපනයන වර්ධනය කර ගැනීමේ වෙනත් ක්‍රියාමාර්ගවලට අප යොමු විය යුතුව ඇත.

මේ වසර තුළ (2012) අපට විවිධ මුලාශ්‍රවලින් ඇමරිකානු ඩොලර් බිලියන 25 කට අධික විදේශ විනිමය ප්‍රමාණයක්‌ ගලා එනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ඇස්‌තමේන්තු කර ඇත. ඒ විදේශ විනිමය ගලා එන ප්‍රධාන මූලාශ්‍ර මොනවාද යන්න මේ ලිපියත් සමඟ පළවන වගුවෙන් දැක්‌වේ.

මේ නිසා රටේ විදේශ සංචිත මට්‌ටම ප්‍රමාණවත් පරිදි පවත්වාගෙන යාමට අවදානම් තත්ත්වයක්‌ මතුව නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. විදේශ විනිමය වෙළෙඳපොළේ කලින් කලට ඇති වන උච්චාවචනයන්ට අනුවම රුපියලේ අගය තීරණය වීමට වෙළෙඳපොළ බලවේගවලට ඉඩදුන්නොත්, විනිමය අනුපාත ස්‌ථාවරත්වය නැති වී ආර්ථිකයට බරපතළ අහිතකර ප්‍රතිවිපාක ඇති වනු ඇති බවද මහ බැංකුවේ ස්‌ථාවරය වී තිබේ. එහෙත් අපට දැනගන්නට ඇති පරිදි මේ ගැන මහා භාණ්‌ඩගාරය දරන්නේ වෙනත් අදහසකි. එනම් මේ අවස්‌ථාවේ පවතින තත්ත්වයන් අනුව වඩාත් සුදුසු වන්නේ වෙළෙඳපොළ බලවේග අනුව රුපියල අවප්‍රමාණය වීමට (පිරිහීමට) ඉඩ දිය යුතු බවයි. විනිමය අනුපාතය තීරණය කිරීම සම්බන්ධයෙන් මහාභාණ්‌ඩගාරය සහ මහ බැංකුව අතර ඇති මේ ගැටුම අද කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි. කවරක්‌ නමුත් ඉකුත් අයවැයෙන් සිදු කළ රුපියල බාල්දු කිරීම මහ බැංකුව, කිසිසේත්ම අපේක්‌ෂා කළ දෙයක්‌ නොවන බව නම් කිව යුතුමය.


අපේක්‌ෂිත විදේශ විනිමය ලැබීම් - 2012

* අපේක්‌ෂිත මුළු විදේශ විනිමය ලැබීම් ප්‍රමාණය

ඇමෙරිකානු ඩොලර් බිලියන 25 කි.

* අපනයන - ඇ. ඩොලර් බිලියන 12.5

* සංචාරක ඉපැයුම් - ඇ. ඩොලර් බිලියන 1.2

* විදේශ විනිමය ප්‍රේෂණ - ඇ. ඩොලර් බිලියන 6.5

* සෘජු විදේශ ආයෝජන - ඇ. ඩොලර් බිලියන 2

* වාණිජ බැංකුවවලට ප්‍රාග්ධන ලැබීම්

(Tier 11 capital) - ඇ. ඩොලර් බිලියන 1

* කොටස්‌ වෙළෙඳපොළට ශුද්ධ ලැබීම් - ඇ. ඩොලර් මිලියන 500

* භාණ්‌ඩාගාර බිල්පත් හා බැඳුම්කර සඳහා ශුද්ධ ලැබීම්.

ඇ. ඩොලර් මිලියන 500

* වෙනත් අපේක්‌ෂිත විදේශ විනිමය ලැබීම් - ඇ. ඩොලර් බිලියන 2

මූලය - 2012 සහ ඉදිරිය සඳහා වන මහ බැංකුවේ මුදල් සහ මූල්‍ය
අංශයේ ප්‍රතිපත්ති පෙරදැක්‌ම.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.