අතීතයේ නගර අලංකරණයට
රජවරු උයන් තැනූ හැටි


නගර අලංකරණය පිළිබ`ද මේ වනවිට රටේ අපූරු උනන්දුවක්‌ ඇතිවී තිබේ. කොළඹ නගරය මුල්කරගෙන ඇතිවූ මේ සංවාදය රට තුළ යහපත් කළඑළියක්‌ ඇතිකර ඇත. නගර සැලසුම් කරණය පිළිබ`ද අපට ඇත්තේ අපූරු ඉතිහාසයකි. අග නගරයක්‌ ඉතා විධිමත්ව සැලසුම් කිරීම පිළිබ`දව මුල්ම ලිත ඉතිහාසය පණ්‌ඩුකාභය රජ දවස තෙක්‌ දිවෙයි.

උද්‍යාන නිර්මාණය කිරීම එදවස නගර අලංකරණයට භාවිත අතිශය වැදගත් අංගයක්‌ වූයේය. එම උද්‍යාන නිර්මාණ සංකල්පය ශ්‍රී ලංකාවේ පුරාණ යුගයේ පටන් ම මුල්බැස ගත්තකි. නාගරික සෞන්දර්යය පාරිසරික අලංකරණය රැකදෙන මේ උද්‍යාන, නගරවලම උපාංග වශයෙන් ද හඳුනාගත හැකි ය. ඒ නිසාමදෝ අපේ සිංහල රජවරු උද්‍යාන ඉදිකිරීම සඳහා දැක්‌වූයේ, දැඩි සැලකිල්ලකි. ඒවා පාලනය කිරීම සඳහා උද්‍යානගෝපක, උද්‍යාන පාලක, උයන්ගොව් යන නම්වලින් හැඳින්වෙන තනතුරු පවා එම රජදරුවෝ ඇති කළහ.

ඓතිහාසික යුගයේ වූ විවිධ උද්‍යානයන් පිළිබඳ වංසකතා ගත තොරතුරු බොහෝ ය. ලංකා ඉතිහාසය අඛණ්‌ඩව දක්‌වන මහාවංසය ඒ සඳහා අතිශය මහෝපකාරී වන්නකි. විජය රජු ලංකාවට පැමිණීමට පෙර ද මෙකල වැසියෝ උද්‍යාන නිර්මාණයට පෙළඹ සිටියහ. ඒ බව මහානාග වනෝද්‍යානය නම් උයනක්‌ ගැන සඳහන් කිරීමෙන් පෙනී යයි. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ලංකාවට වැඩම කළ පුවත හා මෙය සම්බන්ධ කොට තිබේ. මහවැලි ගඟ සමීපයේ පිහිටා තිබූ මේ උද්‍යානය, ඉතා සරු ලෙස වැඩුනා වූ නාගස්‌ පෙළකින් ගැවසීගත් නිසාවෙන් මහානාග යන නමින් හඳුන්වා ඇත. එදවස ලක්‌දිව වැසි සියලු යකුන්ගේ සමිති භූමිය වශයෙන් සැලකුයේ ද මේ මහානාග යන උයන ය.

පුරාණ ලංකාවේ මුල්ම රාජධානිය බවට පත් අනුරාධපුරය මුල්කාලයේ පටන්ම ආරාම, වනෝද්‍යාන ආදියෙන් අලංකාර වූ බව සැලකිය යුත්තකි. ආර්ය ජනාවාස පිහිටුවීමෙන් පසු අනුරාධපුරයේ මුල්ම උද්‍යානය ඇති කළේ, මුටසීව රජු ය. මහාමේඝ වනය නම් උයනක්‌ ප්‍රධාන නගරයෙන් දකුණු දිශාවෙහි පිහිටවූ බවත් මේ උයනට මුල්ගල තබන දිනයෙහි මහා වර්ෂාවක්‌ හටගත් නිසා මහාමේඝ වන නමින් හැඳින් වූ බවත් මහාවංසයේ 11(2-3 ගාථාවේ සඳහන් වේ.

පසුකාලයේ අනුරාධපුර නගරයේ ඉතා ප්‍රකට උයනක්‌ වූ මහමෙවුනාව දේවානම්පියතිස්‌ස රජු මිහිඳු මාහිමියන් ඇතුළු මහසඟනට පූජා කරන ලදී. ලක්‌දිව බුදුසසුන හා මේ උද්‍යානයේ වූ දැඩි සම්බන්ධතාවයක්‌ පෙනේ. කකුසඳ බුදුන්ගේ කාලයෙහි මහාමේඝ වනය, මහාතීර්ථ නමින්ද කෝණාගම බුදුන් කල මහානාම නමින්ද කාශ්‍යප බුදුන් කල මහාසාගර නමින්ද හඳුන්වා ඇති ආකාරය පිළිබ`ද මහාවංශයේ දක්‌වා තිබේ.

එසේම අනුරාධපුර නගරයේ දකුණු දොරටුව අසල පිහිටි උයනක්‌ වූ නන්දන වන උයනෙහි මිහිඳු මාහිමියන් දහස්‌ ගණනක්‌ ජනයාට දම් දෙසූ බවත් මෙම නන්දන උයන, ශාන්ද්‍රච්ඡායා ඇති නිල් කුස තණින් යුක්‌ත වූ සිහිල් මනරම් වූ රජ උයනක්‌ ලෙසින් පැවති බවත් මහාවංසයේ 15(2 ගාථාවෙන් පැහැදිලි වේ. මෙම උද්‍යානය මිහිඳු හිමියන් වැනි රහතන් වහන්සේලා වැඩ සිටිමින් බුදු සසුන බැබළවීය යන අරුත ඇතිව ජෝතිය වනය යන නමින් ද හඳුන්වා තිබේ.

ආදි සිරිලක රජවරුන් අතර මහාචූලික රජුගේ දෙවන පුත් මකලන්තිස්‌ස (කූටකණ්‌ණතිස්‌ස) රජු (ක්‍රි.පූ. 41-19) විසින් කරවන ලද උයනක්‌ ගැන ද සඳහන්ය. එය zපද්මස්‌වර වන උයනZ යනුවෙන් මහාවංසයේ 34(34,35 ගාථාවල සඳහන් ය. එසේම ලම්බකර්ණ නමින් අභිනව රාජවංසයක්‌ පිහිටුවා ගත් ප්‍රථමයා වූ වසභ රජු අනුරාධපුර ආරක්‍ෂාව පමණක්‌ නොව අලංකාරය සඳහා ද අවධානය යෙදවූවෙකි. සතර නගර ආරක්‍ෂා පිණිස නගර ප්‍රාකාරයක්‌ ද සතර දොරටුවෙහි තොරන් ද මහවන උද්‍යානය ද කරවා ඒවායේ තැනින් තැන පොකුණු සාදවා එහි හංසයන් ද ඇති කළ බව මහාවංසයෙහි 35(97 ගාථාවේ සඳහන්ව ඇත.

මින් තහවුරු වන්නේ උද්‍යාන නිර්මාණකරණයේදී සොබා සෞන්දර්යාත්මක දේ කෙරෙහි අවධානය වැඩි වශයෙන් යෙදූ බවකි. උද්‍යාන අලංකාරය පමණක්‌ම නොව ජනයාට විනෝදාස්‌වාදය ලබාදීම ද වසභ රජතුමාගේ අපේක්‍ෂාවක්‌ වන්නට ඇත.

ගෝඨාභය නොහොත් ගොළු අබා රජු ද (ක්‍රි.ව 253-266) ද උයනක්‌ කරවූයේය. එම උයන් දොරටුවෙහි අලංකාර මණ්‌ඩපයක්‌ තනා අටතුරා දහසක්‌ භික්‍ෂුන්වහන්සේලා වැඩම කරවා ඉතා රසවත් වූ විවිධ කැඳ අවුළු හා භෝජනයෙන් ද සිවුරු පිරිකර ආදියෙන්ද විසිඑක්‌ දිනක්‌ මහදන් පිංකම් පැවැත් වූ බව මහාවංශයේ 36(99-102 ගාථාවලින් පෙනේ. මින් පෙනෙන්නේ මේ උයන විශේෂ ආගමික කටයුත්තක්‌ උදෙසා යොදාගත් බවකි.

ඉතිහාසයට අනුව විවේකස්‌ථානයකට සුදුසු වන පරිදි උද්‍යානය සකසා ගත්තේ, පළමුවෙනි උපතිස්‌ස රජුය. පෝය දිනයන්හි අටසිල් සමාදන් වන රජතුමා කාලය ගත කළේ, උයනට වීය. එසේම එතුමන් උයනේ සිටි ලේනුන්ට බතින් සංග්‍රහ කළ බව ද වංශකතාවල සඳහන්ය.

සීගිරි රාජධානි දොරටුවෙහි උයනක්‌ කරවීමට තරම් කාශ්‍යප රජුද පෙළඹුන අයුරු මහාවංසයෙහි 39(9 ගාථාවෙන් දක්‌වා ඇත. ඒ අනුව "මහාවත්ථුනි" යන වචනයෙන් මේ උයන හඳුන්වා තිබේ. එපමණක්‌ නොව කාශ්‍යප රජතුමා ලක්‌දිව යොදුනෙන් යොදුන අඹ උයන් ද කරවා තිබේ.

අනුරාධපුර අවධියේ ඇතැම් රජවරු ආර්ථික භෝග සහිත උද්‍යාන කරවා බෞද්ධ සිද්ධස්‌ථානවලට පූජා කළහ. එම කරුණේදී පළමු වන අග්බෝ රජුට හිමිවන්නේ සුවිශේෂී තැනකි. එතුමෝ කුරුන්ද නම් විහාරය වෙනුවෙන් තුන් යොදුනක්‌ පමණ වූ පොල් උයනක්‌ කරවා පූජා කිරීමට කටයුතු කළහ. පහන් පූජා ස`දහාත්, භික්‍ෂුවගේ දිනපතා ප්‍රයෝජනය සඳහාත් ලාභයන්ගෙන් විහාර නඩත්තුව සඳහාත් මේ පොල් උයන් උපකාරී වූ වග කිවමනා ය.

පොළොන්නරු අවධියෙහි උයන් නිර්මාණය වැදගත් තැනක්‌ ගත්තේය. මහා පරාක්‍රමබාහු රජතුමා කර වූ උයන් විසි අටක්‌ පමණ දැක්‌වෙන ලේඛනයක්‌ මහාවංසයේ 79(1-13 ගාථාවන්හි සඳහන්ව ඇත.

උක්‌ත සියලු උයන් අතරින් අතිශය සිත්ගන්නා රමණීය උද්‍යානය නන්දනෝද්‍යානයයි. කුන්දලතාවෙන් ගැවසී ගත් වෘක්‍ෂයන් මල්පැණි රසය විඳ නද දෙන මීමැසි සමූහයා, සපු හෝපලු , නා, දොඹ, දුනුකේ, පළොල්, අඹ, දඹ, බක්‌මී, පොල්, දෑ සමන් මලිගිය ආදී විවිධ ඵල හා මලින් බර වෘක්‍ෂලතාවන්ගෙන් හා මයුර, කෝකිල ආදී පක්‍ෂීන්ගෙ මියුරු නදින් යුතු මේ උද්‍යානය ජනතාවගේ නෙත් සිත් පැහැර ගත්තේ නිරායාසයෙන්ම වන්නට ඇත.

තවත් උද්‍යානයක්‌ නම් දීපෝද්‍යානයයි. දෙපසින් ගිය ජලධාරා ඇති නිසාවෙන් ද්වීපයක්‌ මෙන් පෙනෙනා උද්‍යානයක්‌ ලෙසින් මෙය නම් කර ඇති බව මහාවංසය කියයි. එහි විවිධ දේ දර්ශනය සඳහා කරන ලද විද්‍යා මණ්‌ඩපයක්‌ ද විය. (මව( 73(116,117) සිත් ගන්නා දෝලා මණ්‌ඩප, ක්‍රීඩා හා තිරස්‌කරණී, මයුර ආදී මණ්‌ඩප ඉදිවී එය , ක්‍රීඩා, නැටුම්, ගැයුම්, වැයුම් ආදියෙන් පරිපූර්ණ උද්‍යානයක්‌ බවට පත්වූයේය.

මෙම උද්‍යානයන් නම් කර ඇති නාමයන් දෙස අවධානය යෙදූ විට පැහැදිලි වන්නේ ඒවා කවර හෝ අර්ථාන්විත භාවයකින් යුතුවන බවයි. මහාමේඝවන ඊට කදිම නිදසුනකි. භාරුකච්ච වැනි ඉන්දියානු තොටුපළවල්හි නාමයන්ද මේ සඳහා යොදා ගත් බවක්‌ පෙනේ.

මේ කරුණු දෙස බැලීමෙන් පෙනී යනුයේ, ඉතිහාසයේ මුල් අවධියේ සිට නගර සැලසුමේ මුඛ්‍යාංගයක්‌ වූ උද්‍යාන හුදු අලංකරණ විෂයය ඉක්‌මවා ගිය විශේෂ වූ සේවා ස්‌ථානයක්‌ ලෙස වර්ධනය වූ බවයි. මේ උද්‍යාන බිහිවීමට රාජ්‍ය අනුග්‍රහය ද නොඅඩුවම ලැබී ඇති බව ද වැටහේ. මින් ප්‍රකට වන්නේ පුරාතන සිංහලයා සතුව පැවති සෞන්දර්යාත්මක චින්තනය, ශිල්පීය ඥානය හා ගාම්භිර චින්තනයේ ස්‌වරූපයයි.

හිරන්යා ජයතිලක
කැලණිය විශ්වවිද්‍යාලය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.