නිල බලය, ධන බලය සමඟ රට කන මත් බලය

පසුගිය දිනවල වැලිකඩ මැගසින් බන්ධනාගාරය තුළින් ඇවිලී ගිය ගින්න මත්කුඩු ජාවාරම්කරුවන්ගේත් මත්කුඩුකාරයන්ගේත් මෙහෙයුමක්‌ බව දැන් හෙළිවී තිබේ. ඒ පසුපස තවත් නිලබල හා වෙනත් අත් ද තිබිය හැක. ඒවා සොයා බලා අවශ්‍ය පිsළියම් යෙදීමත්, විසඳුම් සෙවීමත් ආණ්‌ඩුවට අයිති වැඩකි.

මේ මොහොත වන විට ආණ්‌ඩුවේ හිසත් ගිනි ගන්නා තරමටම ප්‍රශ්න තිබෙන බව ද ඇත්තය. එහෙන් දහතුන්වන සංශෝධනය හා "තර්ටීන් ප්ලස්‌" ය. මෙහෙන් උසස්‌ පෙළ, විශ්වවිද්‍යාල සටන්ය. තවත් නහුතයක්‌ පෙලපාලි, උද්ඝෝෂණ හා විරෝධතාවන්ය. එහෙත් ඒ එකක්‌වත් මඟහැර යැමට හෝ උඩින් පැන යැමට ආණ්‌ඩුවට බැරිය.

අප අද කතා කරන්නේත් ආණ්‌ඩුවේ අවධානය යොමුකරවන්නේත් මත්ද්‍රව්‍ය ප්‍රශ්නය පිළිබඳවය. මත්ද්‍රව්‍ය පිළිබඳව අපට ඇසෙන ජනප්‍රිය කතාවලින් ඔබ්බට ගොස්‌ ඒ පිළිබඳව නිල වගකීම් දරණ ජාතික අන්තරායකාරී ඖෂධ පාලක මණ්‌ඩලයේ වාර්තාවත් සමඟ අපේ අදහස්‌ දැක්‌වීම වඩාත් උචිතය.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය ශීඝ්‍රයෙන් වර්ධනය වන බවත් මේ වන විට ඔවුන්ගේ වාර්තා අනුව 45,000 කට නොඅඩු මත්ලෝලීන් පිරිසක්‌ සිටින බවත් ඔවුන් විසින්ම එළිදක්‌වන ලද වාර්තාවක සඳහන් වී තිබේ. එසේම ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරය මත්ද්‍රව්‍ය මේ රටට ගලා එන මධ්‍යස්‌ථානයක්‌ බවට පත්ව තිබෙන බවත් ඔවුන්ගේ අනාවරණයකි. කෙසේ හෝ මේ මත් උවදුර දැන් ශ්‍රී ලංකාවේ ප්‍රබලම ගැටලුවක්‌ බවට පත්ව තිබෙන බව අපගේ අවබෝධයයි. තිස්‌ අවුරුදු යුද්ධයක්‌ මැඬලූ ආණ්‌ඩුවකට මේ වාගේ මත් ජාවාරමක්‌ මර්දනය කළ නොහැකි ඇයි? වැනි සුලබ ප්‍රශ්නයක්‌ ඇසීමට අපට සිත් නොවේ. අපගේ වැටහීම මෙය ඊටත් වඩා බිහිසුණු උවදුරක්‌, ජාතික විපතක්‌ බවය.

මත්කුඩු ජාවාරම්කරුවන් හා දේශපාලනඥයන් අතර තිබෙන සබඳතා ඉතා ප්‍රබලය. මේ කුඩු සමාගමට පාතාලය ද එකතු වූ විට ඇති වන වාතාවරණය ගැන අමුතුවෙන් කිව යුතු නැත. ඉන්දියාවේ සිට ධීවර බෝට්‌ටු යොදාගෙන මේ රටට ගෙන්වන මත්ද්‍රව්‍ය මෙන්ම පුද්ගල ශරීරවල හා වෙනත් භාණ්‌ඩවල ආධාරයෙන්ද ඒවා ලැබෙන අයුරු හෙළිවී තිබේ.

හිරගෙවල්වලට පිටින් රැගෙන එන ආහාරපානවල ද මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුකෙරේ. පසුගිය දිනක වන්ඩු ආප්පයක ද හෙරොයින් තිබී අල්ලාගෙන ඇත. අද විශාල වශයෙන්ම මත්ද්‍රව්‍ය භාවිත වන්නේත්, ඒ හා සම්බන්ධ ජාවාරම් සිදුවන්නේත් හිරගෙවල්වල බව ද කියති. මැගසින් බන්ධනාගාරය කුඩු මධ්‍යස්‌ථානයක්‌ වී තිබෙන බව ද කියති. ඒ සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ උපකාරය ලැබෙන බව ද කියනු ලැබේ.

මැගසින් බන්ධනාගාරය තුළ සිදු වූ දේවල් මෙන්ම අද දවසේත් සිදුවන බව කියන දේවල් සියල්ලම සත්‍ය නොවුවත් ඒවායින් අඩක්‌ සිදුවේ යෑයි කල්පනා කරන විට වුවද ඒවා බිහිසුණු අපරාධාගාර බව අපට හැඟේ. හිරගෙදර තාප්පයේ එන පරිදි "සිරකරුවෝත් මනුෂ්‍යයෝය" යන්න ඇත්තකි. එහෙත් ඒ හිරගෙදර මනුෂ්‍යයෝ සිටිත්දැයි අපට නම් සිතා ගැනීමටත් බැරි තරම්ය. සැබැවින්ම සුළු වරදකට සිරගත වන මිනිසකු වුවද සියලු වර්ගයේ අපරාධ පිළිබඳ මෙන්ම සකලවිධ දුෂ්චරිත පිළිබඳව ද න්‍යාය හා භාවිතය ඉගෙන ගන්නේa මේ හිරගෙවල්වලින් නොවේදැයි අපට නම් සිතේ. අද සිරගෙය ඒ තරමටම බිහිසුණු ස්‌ථානයකි.

තුන්වැනි ලෝකයේ හැම තැනකම ඔඩුදුවමින් තිබෙන දේශපාලනයේ අනිසි බලපෑම්වලින් අපට ද මිදීම දුෂ්කරය. එයට ප්‍රබල එක්‌ හේතුවක්‌ වන්නේ දේශපාලන බලය සඳහා කෙරෙන මෙහෙයුමකදී පාතාලය, මත්කුඩු සහ වෙනත් ජාවාරම්කරුවන් යනාදීන්ගේ සේවය අනිවාර්ය වී තිබේ. ඒ ලබාගන්නා සේවයට ප්‍රතිඋපකාර කිරීම නිසා දේශපාලනය මෙන්ම දේශපාලනඥයා ද කුණු වී ගොස්‌ තිබෙන අයුරු අප කාටත් පෙනී යන්නකි.

මේ රජයේ "මතට තිත" යන ආකර්ෂණීය පිළිවෙත අපි අගයමු. එසේම මත් උවදුරට එරෙහිව කෙරෙන මෙහෙයීම් ද අගය කරමු. එහෙත් ඒ නීතියට පිටින් නැතහොත් නීතියෙන් රිංගා යන ව්‍යාපාරයක්‌ බවට අද මත්ද්‍රව්‍ය තහවුරු වී තිබේ. මේ රටට මත්ද්‍රව්‍ය එන්නේ පොලිසිය, රේගුව, නාවික හමුදාව, සුරාබදු අංශ යන සියල්ලමත් විසිහතර පැය මුළුල්ලේම සක්‍රීය වී තිබියදීය. මේ ආයතනවල වැටලීම් නිසා අල්ලා ගන්නා කෝටි ගණන් වටිනා (අපට නම් ඒවා තුට්‌ටුවක්‌ නොවටී.) මත්ද්‍රව්‍ය තොගය ද සුළුපටු නොවේ. අතට අල්ලා ගන්නා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නොදෙන දේශපාලන රොඩ්ඩෝ ද සිsටිති. ඒ දේශපාලන රොඩ්ඩන්ගේ ඒ සෙවණ යට වැඩෙන කුඩ්ඩන්ගේ ආධිපත්‍යය බිඳ දැමීමට සුවිශේෂ අවධානයක්‌ ද රජයේ ඉහළින්ම යොමුවිය යුතුය.

මත්ද්‍රව්‍ය වෙළෙ¹ම අද ලෝකයේ ප්‍රබලම ව්‍යාපාරයකි. මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිය යන සියල්ල එකම ජාලයකි. ශ්‍රී ලංකාව වැනි රටවල් මෙයට සම්බන්ධ වන්නේ අලෙවිය හා බෙදාහැරීම වැනි අංශවලින් බව ද ඒ පිළිබඳ විමර්ශනවලදී හෙළිවී තිබේ. මේ රටේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ සුපිරි ජීවන රටාව රහසක්‌ නොවේ. එහෙත් අන්ත දිළිඳු ජීවිත ගෙවන අය ඒ සඳහා ඇබ්බැහි වී සිටින අයුරු ඒ කුඩු මන්දිරවල වැජඹෙන කුඩුරජවරු නොදනිත්ද? මත්කුඩු සඳහාම කෙරෙන හොරකම්, අපරාධ, දූෂණ ද බොහෝය. ඒ සියල්ලකම පොදු ප්‍රතිඵලය මේ රටත්, රටේ ජීවයත් විනාශ වී යැමය.

අද මේ හැම අර්බුදයක්‌ම, විපතක්‌ම වැළැක්‌වීමට බැරි තරමටම උත්සන්න වී තිබෙන බව ද නොරහසකි. මේ රටේ හැම දේශපාලන පක්‍ෂයක්‌ම ඊට වගකිවයුතුය. ආණ්‌ඩුව හා විපක්‍ෂය දෙපසට බෙදී ජාතික ප්‍රශ්න ගිනි ගනිද්දී ඒවායින් සුරුට්‌ටු පත්තු කරන දේශපාලනයෙන් අප මිදිය යුතුය. නීතිය හා සදාචාරය වෙනුවට දේශපාලනය උඩට ඒම ද නතර විය යුතුය. පව්කාරයන්ට ගල්ගැසීමට පව් නොකළ අයෙක්‌ සොයා ගැනීමට එදාත් බැරි වී තිබේ. අදත් බැරිය, එහෙත් ජාතික ආපදාවලදීත් ජාතික ප්‍රශ්නවලදීත් ආණ්‌ඩුවේ හා විපක්‍ෂවල අයට පොදු තැනකට, පොදු එකඟතාවකට එළැඹීමේ අවශ්‍යතාව අද දැඩිව දැනෙන බව අවසන් වශයෙන් ලියා තබමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.