|
|
|
|

ඇයි මහත්තයෝ එහෙම රස්‌සාවකට යන්න කියන්නේ...
සල්ලාල සල්ලියෙන් සල්ලම් වූ ආදරය...
පංචස්‌කන්ධය
ජීවත් කරවීමට අප ගමන් කරයි. සියල්ලෝම ගමන් කරති. ගමනේ ඉමක්
නොපනේ. මේ ගමන අප කාහටත් පොදුය. ගමන දිගටම ගමන් කිරීමට
මිනිස්‌සු විවිධ දේ කරති. කරවති. අපි රාත්‍රියට කොළඹ තවම ගමන්
කරමු. ඒ ගමනේදී අප විවිධ පුද්ගලයන් සමග කතා බහ කර ඇත. මේ අප
ලියන කතාව බලා ඔබ පුදුම විය යුතු නැත. ජීවන ගමන.. ගමන් කිරීමට
කොළඹ රටේ ඇතැම් මිනිස්‌සු හිරිකිතයකින් තොරවම මෙවැනි දේවල්
කිරීමට පෙළඹී සිටිති.
රාත්‍රී කොළඹ සැරිසැරීමේදී ඔහු අපට මග පෙන්වන්නෙක් විය. අපි
ඔහු සමන් කියා හඳුන්වමු. සමන්ගේ වෘත්තිය කුලී ත්‍රිරෝද රථ
පැදවීමය. ඔහු තම පවුල ජීවත් කරවීමට ත්‍රිරෝද රථය ජීවනාලිය
කරගත්ත ද ඔහුටම කියා ත්‍රිරෝද රථයක් නැත. ඔහු කුලී ගමන් යන්නේ
අනුන්ගේ ත්‍රිරෝද රථයකිනි. බිරිඳට ආදරණීය ස්‌වාමිපුරුෂයෙක් වූ
ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. අවාසනාවකට මෙන් ඔවුන්ටම කියා
නිවසක් නොමැත. දිවි ගෙවන්නේ කොළඹ නගරයට ආසන්න ප්‍රදේශයක කුලී
නිවසකය. අනේකවිද දුක්‌ගැහැට මැද ඔවුන් දෙපළගේ දරුවන් දෙදෙනා ද
කරදඬු උස්‌මහත් වෙමින් වැඩිණි. වැඩිමහල් දරුවා පාසලේ තුන් වැනි
වසරට සමත් විය. දෙවැනි දරුවා පෙර පාසලට පා තැබුවේය. නිවසේ
අගහිඟකම් වෙනදාටත් වඩා වැඩියෙන් දැනෙන්නට ගත්තේය. ඒ දරුවන්ගේ
අධ්‍යාපන කටයුතු සඳහා වැය වන වියදමත්, දිනෙන් දින ඉහළ යන
ආර්ථික රටාවත් ඔවුන්ගේ ජීවිත සෙමෙන් සෙමෙන් අඳුරට ඇදගෙන ගියේය.
ඔවුන් අසරණකමේ පතුලටම ගිලිනි. දිනක් ඔහුත් බිරිඳත් ඔවුන්ගේ
ජීවිත ගැන කතා බහ කරන විට සමන් මෙවැනි යෝජනාවක් ගෙනාවේය.
"නාලිකා ඔයත් මොකක් හරි රස්‌සාවක් කරමුද? එහෙම කළොත් අපිට මේ
ප්‍රශ්න ටික අඩු කරගෙන කොහෙන් හරි ඉඩම් කෑල්ලකුත් ගන්න පුළුවන්
වෙයි."
අපි ඔහුගේ බිරිඳට නාලිකා කියමු. රූපයෙන් පැහැපත් නාලිකා දරුවන්
දෙදෙනකුගේ මවක් යෑයි කිවනොහැකි තරම් හැඩකාරය. නිවසේ අගහිඟකම්
සමන්ටත් වඩා හොඳින්ම දැනුනේ නාලිකාටය. ඇයත් ඒ ප්‍රශ්නය සමන්ට
යොමු කිරීමට දින ගණනක සිට සිතා බලමින් සිටිය ද, සමන් ඉස්‌සර
විය. නාලිකා රැකියාවකට යැමට කැමැති විය. එහෙත් ගැටලුවකි.
නාලිකාට හොඳ රැකියාවකට යැමට අධ්‍යාපන සුදුසුකම් ප්‍රමාණවත්
නැත. සමන් හඳුනන කිහිප දෙනකුටම තම බිරිඳට රැකියාවක් සොයාදෙන
මෙන් ඉල්ලා සිටියද නාලිකාගේ අධ්‍යාපන සුදුසුකම් එයට බාධාවක්
විය. ඔවුන්ගේ දිවි මග ප්‍රශ්න වැළකින් පැටළිණි.
"මචං සමන් මට සල්ලි වගයක් හිර වුණා. මම වීල් එක විකුණන්න
තීරණය කළා. අපි පස්‌සේ හිමිහිට වීල් එකක් ගමු." සමන්ගේ
ජීවිතයෙන් කොටසක් වූ ත්‍රිරෝද රථයේ අයිතිකරුගේ මුවින් පිට වූ
වචන සමන්ගේ හදවත පසාරු කරගෙනම පතුළටම කි¹ බැස්‌සේය. එක දවසක්
හෝ ත්‍රිරෝද රථයෙන් කුලී ගමන් නොගියොත් අනිත් දවසේ ජීවත් වීමට
පිච්චියක් අත නැත. සමන්ලාගේ ජීවිත ගෙවී ගියේ එසේය. නොසිතූ
මොහොතක ඔහුගේ රැකියාවට කණකොකා හැඩීම ඔහුට දරාගැනීමට නොහැකි
විය. ඔහු බලාගත්තු අත බලා ගනිමින් කල්පනා සාගරයේ කිමිදෙමින් තම
පවුල ජීවත් කරවීමට මං සෙව්වේය. නාලිකාට තවමත් රැකියාවක් නැත.
දින දෙක තුනක් ගෙවී ගියේය. කෑම වේලක් සරි කරගැනීමට අතේ සතේ
නැති විය. නාලිකා පණ මෙන් ආරක්‍ෂා කරගත් මංගල මුද්ද බැංකුවට
උගස් කර ගත් මුදලින් යන්තම් කුස්‌සියේ බත් හා ව්‍යාජංනයක සුවඳ
ගලා ගියේය.
තම ජීවිත ගැටගසා ගැනීමට ඔවුන් දෙදෙනා කුමක් හෝ කළ යුතුම විය.
කුලී ගමන් යැමට සමන් වෙනත් ත්‍රිරෝද රථයක් සෙව්වේය. යහළුවන්
කිහිප දෙනෙක්‌ගෙන්ම ත්‍රිරෝද රථයක් ගැන විමසා සිටිය ද ඔහුට
ලැබුණු සැණසිලිදායක පිළිතුර වූයේ තව දින කිහිපයකින් වැඩ කරන්න
ත්‍රිරෝද රථයක් දීමට එක් මිතුරෙක් කැමැති වීමය. එහෙත් ඔහුට
තව දින කිහිපයක් ගෙවා දැමීමට සිදු විය. දිනක් රාත්‍රියක
සමනුත් නාලිකාත් ඔවුන්ගේ ජීවිතවල හෙට දවස ගැන කතා කළහ.
"අර මිනිහ අදත් ආවා ගෙවල් කුලී ගෙනියන්න. අර මනුස්‌සයා වීල් එක
දෙනවා කිව්වෙත් තව දවස් පහකින් හයකින්. ඒකටත් දවසකට ඉල්ලන ගාණ
වැඩියි. ඒත් කමක් නැහැ වැඩ කරන්න වීල් එකක් ලැබෙනවා නේ. ඒක
නෙමෙයි. එතකන් කොහොමද අපි ජීවත් වෙන්නෙ." සමන් නාලිකා දෙස
බලයි.
නාලිකා අඳුරු හිස් අවකාශය දෙස මොහොතක් බලා සිට සමන් දෙස
බලයි.
"ලොකු දුව දැන් දවස් දෙක තුනකින් ඉස්‌කෝලේ ගියෙත් නැහැ. අනේ
මන්දා මොනව කරන්නද කියලා."
"අපි ඔක්‌කොම අසරණයි. මෙහෙම කිව්වා කියලා මම ගැන වැරැදි විදිහට
හිතන්න එපා. ඔයා දන්නවනේ මම අරක්‌කු බොන්න, දුම් උරන්න සල්ලි
වියදම් කරන්නේ නැහැ කියලා. මම මෙහෙම යෝජනාවක් ඔයාට ගෙන්නේ
දරුවන් ජීවත් කරවන්න ඕන නිසයි. අපේ ත්‍රීවීල් පාක් එක හරියේ
ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථානයක් තියෙනවා එකට යමුද මේ ප්‍රශ්න
ටිකක් අඩු වෙනකම්." සමන් අඳුරු අහස දෙස බලාගෙන නාලිකාට එවැනි
යෝජනාවක් ගෙනාවේ කර කියාගැනීමට කිසිවක් නොමැති අසරණ වූ
හෙයිනි.
නාලිකාගේ දෙනෙත් විශාල විය. රෝස කොපුල් රත් පැහැ ගැන්විණි.
ලොමු ඩැහැගන්විණි. සමන්ගේ දෙනෙත්, නාලිකාගේ දෙනෙත් එකට ගැටිණි.
ජීවිතය අඳුරු කබායකින් වසා දැමුවා සේ නාලිකාට දැනිණි. විනාඩි
කිහිපයක් ගෙවී ගියේය. සමන්ගේ උර මතට නාලිකා හිස ගසා ගත්තාය.
නාලිකාගේ නෙත්වලින් ගලා යන උණු කඳුළු එක දිගට සමන්ගේ හදවත හරහා
ගලා ගියේය. සමන්ගේ දෙනෙත් ද රතු නොවූවාම නොවේ. එහෙත් සමන්
නාලිකාට කඳුළු නොපෙන්නුවේය. නාලිකාගේ දෙනෙත්වලින් කඳුළු ගලා
යැමට ඉඩ දී ඔවුහු නිහඬ වූහ. කාලය ගෙවි ගියේය. සඳ නැති අහසේ තරු
ඔච්චම් කරනවා දෝ කියා අඳුරු අහස දෙස බලා සිටින සමන්ට සිතිණි.
ඔවුන් දෙදෙනා තවමත් නිහඬය.
"ඇයි මහත්තයෝ එහෙම රස්‌සාවකට මට යන්න කියන්නේ. මාව ඔයාට එපා
වෙලාද?" නාලිකාගේ දුබල හඬ එසේ ගලා ගියාය. සමන් ගොළු විය.
ප්‍රදේශය නිහඬය. නාලිකාගේ ඉකිබිඳුම වේගවත් විය.
මම දන්නව ඔයා අසරණවෙලා කියලා. ඒත් මහත්තයෝ මෙහෙම ජොබ් එකකට
යන්න කියයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මම ඔයා ගැන වැරැදි
විදිහට හිතන්නෙ නැහැ. අපිට මොනව වුණත් කමක් නැහැ දරුවෝ දෙන්නව
ජීවත් කරවන්න එපෑ. ඔයා කියනවා නම් මම එතැන වැඩට යන්නම්. ඒත්
වැඩ කරගෙන යන්න පුළුවන් වෙයිද කියලා මම දන්නේ නැහැ." කඳුළු
මතින් නාලිකා එසේ කීවාය.
ඔවුන්ට නොදැනුනාට රාත්‍රිය වේගයෙන් ගෙවී ගොස්‌ය. "අම්මේ..
අම්මේ..." ඔවුන්ගේ පොඩි පුතා නින්දෙන් ඇහැරී අම්මාගේ උණුසුම
සොයයි.
දෙදෙනාම දරුවන් නිදා සිටි යහනට වැටිණි. එහෙත් නින්දක්
අහලකටවත් නොයන සේය. දෙදෙනාම නිහඬය. මොහොතකට පෙර කතා කළ දේවලින්
ඔවුන්ගේ මනස අවුල් වී ගොස් සේය.
අලුත් ළාහිරු කිරණ දොරගුළු අතරින් එබිකම් කළත් ඔවුන්ට නම් එය
අලුත් දවසක් නොවීය. ඔවුන්ගේ ජීවිතවල අඳුරු මූසල දවස එය විය. ඒ
දවස උදා නොවී තිබේ නම් හොඳ යෑයි නාලිකාට සිතූ වාර ගණන අනන්තය.
කෙසේ හෝ දෛවයට ඉඩ දිය යුතුය. දරුවන් දෙදෙනා අසල්වැසි නිවසක නතර
කර සමන් හදවත ගලක් කරගනිමින් නාලිකාව නිරයට ඇදගෙන ගියේය.
නාලිකා මස් කඩේකට ගෙනියන ගවයෙක් මෙන් වේව්ලයි. දෛවය කෙතරම්
නම් ඔවුන්ට සරදම් කරයිද?
නාලිකාගේ ජීවිතයේ අමිහිරිම දින කිහිපය සෙමෙන් සෙමෙන් කඳුළු
මතින් ගෙවී ගියාය. සමන්ට කුලී ගමන් යැමට අලුත් ත්‍රිරෝද රථයක්
ලැබිණි. දැන් දැන් නාලිකාත් දිනකට සැලකිය යුතු ගතමනාවක් සොයා
ගන්නීය. නිවසේ අගහිඟකම් තරමක්‌දුරට අඩු විය. එහෙත් ඔවුන්ගේ යුග
දිවියේ තිබූ සතුට සොරු ගෙන ගොස්‌ය. වෙනදා මෙන් දෙදෙනා අතර වැඩි
කතා බහක් නැත. ඇතැම් වේලාවට දෙදෙනා නිවසේ හිටියද ආගන්තුකයන්
සේය. උදේ රැයින් අවදි වන ඔවුහු දරුවන් දෙදෙනා පාසලට ඇරලවා
පුදුරු රැකියාවලට ගියෝය.
සමන්ගේ චර්යාරටාව දැන් සම්පූර්ණයෙන්ම වෙනස්‌ය. ඔහු ලැබෙන සෑම
මොහොතකම කල්පනා සාගරයේ කිමිදෙමින් නාලිකා කරන කියන දේ ගැන සිතා
ලතවෙයි. කවුරු හෝ කෙනෙක් සම්භාහන මධ්‍යස්‌ථානය දෙසට ගමන් කරනු
දුටු සමන් සිතන්නේ මගේ බිරිඳ තෝරා ගනීද? ඔහුගේ ඇඟ නාලිකා
පිරිමදීද? ඒ පුද්ගලයා බිරිඳට අයුතු යෝජනාවක් ගෙනේ විද? නාලිකා
මෙතැනින් තවත් අඳුරට වැටෙයිද? සමන්ගේ මනස යකාගේ කම්මල සේය.
දින, සති, මාස ගෙවී ගියේය. නාලිකා ඒ ජීවිතයට හුරු විය. දැන්
දැන් යහමින් මුදල් ද නාලිකාගේ අත ගැවසේ. ඔවුන්ටම කියා ත්‍රිරෝද
රථයක් ද මිලට ගත්තේය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වැඩි
වැඩියෙන් මුදල් වියදම් කරයි. දරුවන්ගේ හෙට දවස ගැන සිතා
නාලිකාගේ ශරීරය අද දවසේ සලෙලුන්ට විකුණන තැනට ඇය වැටිණි. සමන්
ද එය දැන සිටියේය. ඒ සම්භාහන මධ්‍යස්‌ථානයේ පස්‌සේ දොරෙන්
ගැහැනුන් පිට කරන්නේ ගණිකාවන් ලෙසය. එමෙන්ම සම්භාහන
මධ්‍යස්‌ථානය තුළ නාලිකාට ඉහළ ඉල්ලුමක් ද තිබිණි. එතැනට එන
බොහෝ සලෙලුන් ඉල්ලා සිටින්නේ නාලිකාවය. ඒ ඇයගේ තිබූ පංච
කල්‍යාණ රූප සොබාව හෙයිනි. ඇයගේ සුන්දරත්වය වරෙක ඇයට දුකක්
විය.
මධ්‍යහානය පසු වෙමින් තිබිණි. බඩ තඩි මැදි විය පසු කළ
පුද්ගලයෙක් සමන්ගේ ත්‍රිරෝද රථයට නැගී නාලිකා සේවය කරන
සම්භාහන මධ්‍යස්‌ථානයට ගියේය.
"ඔහොම ඉන්න මම ඇතුළට ගිහිල්ලා එන්නම්." ඔහු සමන්ට කීවේය.
ගඟ ගලන්නාක් මෙන් සමන්ගේ මනසට විකාරරූපී සිතුවිලා ගලා ආවේය. ඒ
පුද්ගලයා නාලිකාව තෝරාගනීද? බිරිඳව මට "හයර් කරන්න" වෙයිද?
සමන්ගේ ගත පණ නැති වී ගියා සේය. දෑස් බොඳ විය. දෙඅතින්ම දෑස්
පිස නැවත හොඳින් බැලුවේය. දෙයියනේ ඒ නාලිකාමය. "ඇයි අපට මෙහෙම
කරන්නේ" ඔහු උඩ ඉන්න දෙවියන්ගෙන් ඇසුවේය. බඩ තඩි මිනිහා
නාලිකාගේ අතින් අල්ලාගෙනම ත්‍රිරෝද රථයට ගොඩ විය. නාලිකාගේ
දෑස් රතු වී ගොස්‌ය. සමන්ට මුහුණ දීමට නොහැකි නාලිකා තම හිස
උකුල මත සඟවා ගත්තාය. එහෙත් කඳුළු නම් සැඟවීමට නොහැකි විය.
"ඇයි ඔයා අඬන්නේ.. අද ඔයාගේ මංගල ගමන නෙමෙයිනේ." කාමාශාවෙන්
මිරිකෙන ඒ ගනුදෙනුකරුවා නාලිකාගෙන් එසේ විමසුවේය.
ඇය නිහඬය. ත්‍රිරෝද රථය පවනට බඳු වේගයෙන් ඇදී යයි. වේගයෙන්
ඇදෙන ත්‍රිරෝද රථය අනතුරක් කර ගැනීමට සමන්ට සිතුණ ද දරු
සෙනෙහස එය ව්‍යර්ථ කළේය. ගනුදෙනුකරුවා මඟ පෙන්වන ආකාරයට ගාලු
පාරෙන් මුහුදුබඩ මාර්ගයට හැරුණු ත්‍රිරෝද රථය තරමක් සුපිරි
හෝටලයක් අසල නතර විය. නාලිකාත් ඔහුත් ත්‍රිරෝද රථයෙන් බැස
හෝටලය ඇතුළට ගියේ හයර් එකේ ගාස්‌තුවටත් වැඩියෙන් සමන්ගේ අතට
මුදල් තබමිනි. ඔවුන් යන දෙස මොහොතක් බලා සිටි සමන් අරමුණක්
නොමැතිව පැද වූ ත්‍රිරෝද රථය නතර වූයේ බාර් එකක් අසලය. වසර
ගණනාවකට පෙර නවතා දැමූ මත්පැන් පානය එදා ඔහු නැවත මිතුරෙක් කර
ගත්තේය. සිතේ දුක අමතක වනතුරුම ඔහු මත්පැන් බෝතල් හිස් කළේය.
සමන් දිනපතා සුරාවට ඇබ්බැහි විය. නාලිකා එය වරදක් හැටියට
දුටුවේ නැත. ඇය සමන්ගේ බීම ගැන කිසිවක් කතා නොකර සිටියාය.
සමනුත්, නාලිකාත් දැන් ඒ මජර ජීවිතවලට හුරු වී ඇත. නාලිකාට
ගනුදෙනුකරුවෙක් සමග එළියට යැමට අවශ්‍ය වූ විට දැන් ඇය හයර්
එකට කතා කරන්නේ සමන්ටය. ඒ ඩබල් එකේම හයර් ගාස්‌තුව ලැබෙන
හෙයිනි. එහෙත් ඔවුහු තම දරුවන්ට පෙනෙන්නට නිවසේදී සතුටින්
ජීවත් වෙති. ලෝකෙට පෙනෙන්නට ඔවුහු සිනාසෙති. එහෙත් හදවත් ඉකි
ගසා හඬති.
අවසානයේ අපි ඔබෙන් අසන්නේ මෙයයි. ඔවුන්ගේ සුන්දර කැදැල්ලට පාත්
වූ හෙණ ගෙඩියට වගකිවයුත්තෝ කවරහුද? පවතින ආර්ථික ක්‍රමය මෙන්ම
මේ විෂම සමාජ ක්‍රමය ද? එය එසේ වුවත් කවර දුක්‌කම්කටොල්ලක්
හමුවේ වුවද ඉන්ද්‍රකීලයක් මෙන් නොසැලී ජීවත් වන්නෝ ස්‌වකීය
ජීවිතය, නැවියකු විසින් හසුරුවන ලද නැවක් මෙන් මනාව හසුරුවා
ගන්නා බවද මෙහිදී කිවයුතුය. "උපාය දන්නෝ අපායේත් නොවැටෙති"
යනුවෙන් එන ප්‍රකට ජන කියමනෙන්ද සනාථ වන්නේත් එයම යෑයි අපට
සිතේ. නැති බැරි කමින් සාධරණීකරණය වී නොකළ යුත්ත එළිපිටම
සිදුවේ. අගහිඟකකම් ගැන කියන සිත ආත්ම වංචාවක යෙදේ. මුදල සහ
ආත්මීය බැදීම් අතර සටනින් පහසුවෙන්ම මුදල ජයගෙන ඇත. වේලක් හැර
වේලක් කෑමට එදා සපථ කළ ආදරය සල්ලාල සල්ලියෙන් සල්ලම් විය.
තරංග රත්නවීර |
|
|
|