මට හරියට නිදාගන්න පුළුවන්
පක්‍ෂය ගොඩගත්තු දාටයි

1970 මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂය පරාජය කර මැතිනියගේ සමගි පෙරමුණ ජයග්‍රහණය කරවීමට ජවිපෙ සහෝදරවරු ඒකමතිකව තීරණය කළහ. විජේවීර හැර සෙසු නායකයෝ සමගි පෙරමුණේ වේදිකාවලට නැග අධිරාජ්‍යවාදී යූ.එන්.පි. ය පරාජය කිරීමට අත්වැල් බැඳගන්නැයි ජනතාව ඉදිරියේ කෑ මොර දුන්හ. ඒ මැතිවරණයේදී සමගි පෙරමුණ ජයග්‍රහණය කරවීමට නව සාමාජිකයෙක්‌ ද ජවිපෙට එකතු වූයේය. ඒ ඩී. අයි. ජී. ධර්මසේකර ය.

"ධර්මසේකර කළුතර දිස්‌ත්‍රික්‌කයේ ජනතා විමුක්‌ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙක්‌ වුණා. අලුත්ගම නගරයට ආසන්න සහෝදරයකුගේ නිවසකට ජවිපෙ සාමාජිකයන් එකතු වෙලා සාකච්ඡාවක්‌ පැවැත්වූවා. ඒක සංවිධානය කරලා තිබුණේ ධර්මසේකර. එදා විජේවීර සහෝදරයත් ඒ සාකච්ඡාවට ඇවිත් තිබුණා. විජේවීර සහෝදරයා එතැනින් ඉවත් වෙලා ගියාට පස්‌සේ ධර්මසේකර එතැන හිටිය සහෝදරවරුන්ගෙන් මෙහෙම අහලා තියෙනවා."

"කොහොමද මං හදපු ගෝලයා. මටත් වඩා හොඳට කරුණු පැහැදිලි කළා නේද?"

එතැන හිටිය සහෝදරවරු විජේවීර සහෝදරයා මුණගැසුණු වෙලාවක ධර්මසේකර කියපු දේවල් අකුරක්‌ නෑරම කියලා තිබුණා. පස්‌සේ විජේවීර සහෝදරයා ධර්මසේකර ගෙන්වලා මෙන්න මෙහෙම කියලා තියෙනවා.

"සහෝදරයා... මේ පක්‍ෂය ගොඩනැගුවේ ජනතාවට නායකත්වය දීලා නිර්ධන පන්තිය එකරාශී කර විප්ලවවාදී ආණ්‌ඩුවක්‌ ගොඩනගන්නයි. සහෝදරයා පක්‍ෂය ඇතුළේ ඉඳගෙන කැපී පෙනෙන පෞද්ගලිකවාදය ගොඩනඟන්න යන්න එපා."


ජවිපෙ අතීතය දයා මෙසේ ආවර්ජනය කරමින් සිටියි......

දින සති හිමි හිමින් ගෙවී ගියේය. ධර්මසේකර කළුතර දිස්‌ත්‍රික්‌කයේ ක්‍රියාකාරී සාමාජිකත්වයෙන් ඉවත් කර අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට මාරු කර යෑව්වේය. එහෙත් ඔහුගේ ප්‍රතිපත්ති වෙනස්‌ වූයේ නැත. අනුරාධපුරට ගිය ධර්මසේකර කළුතර දිස්‌ත්‍රික්‌කයේදී මෙන්ම ජවිපෙ ප්‍රතිපත්ති යට කරමින් ඔහුගේ පුද්ගලික ප්‍රතිරූපය ගොඩනැඟීමට ප්‍රයත්න දැරූ බවට චෝදනා නැගෙයි. ධර්මසේකර දෙබිඩි ක්‍රියාපිළිවෙතක්‌ අනුගමනය කරන බව ජවිපෙ සහෝදරවරුන්ට අවබෝධ විය. ඔවුහු ධර්මසේකරට එරෙහිව නැගී සිටියහ. නන්දන මාරසිංහ සහෝදරයා ධර්මසේකර ගෙන යන වැඩපිළිවෙළ ගැන විජේවීර සහෝදරයා දැනුවත් කළේය. ධර්මසේකරගේ ක්‍රියාපිළිවෙත ගැන පෙර සිටම හොඳින් අවබෝධ කරගෙන සිටින විජේවීර සහෝදරයා ධර්මසේකරව මාස දෙක තුනකට පක්‍ෂ ක්‍රියාකාරිත්වයෙන් ඉවත් කිරීමට තීරණය කළේය. අවසානයේ විජේවීර ධර්මසේකර සහෝදරයාව ජවිපෙ සාමාජිකත්වයෙන් සම්පූර්ණයෙන්ම නෙරපා හැරියේය.

ජවිපෙන් ඉවත් කළ ධර්මසේකර ඔහුගේ නායකත්වයෙන් සංවිධානයක්‌ ගොඩනඟා ගත්තේය. ඇමරිකාව විසින් වියට්‌නාමයට බෝම්බ දමා ජනතාව ඝාතනය කරනවාට විරුද්ධව අපේ රටේ ඇමරිකා තානාපති කාර්යාලය ළඟ 1971 මාර්තු 6 වැනිදා උද්ඝෝෂණ කළේ ධර්මසේකරගේ ඒ සංවිධානයයි. එදා පොලිසියේ ඉහළ නිලධාරියෙක්‌ සමග ඇති වූ බහින් බස්‌වීමක්‌ දුරදිග යැමක්‌ නිසා ධර්මසේකර කණ්‌ඩායමේ එක්‌ සමාජිකයකුට පිහි ඇනුම් පහරක්‌ කෑමට ද සිදු විය. ඒ වන විට මැතිනියගේ සමගි පෙරමුණ ආණ්‌ඩුව බලයට පත් වී අවුරුද්දක්‌ ගත වූවා පමණි. සමගි පෙරමුණ ආණ්‌ඩුවට විරුද්ධව ජවිපෙ ගෙන ගිය විප්ලවකාරී වැඩපිළිවෙළ ද ප්‍රචණ්‌ඩකාරී ස්‌වරූපයක්‌ ගත්තේය.

මැතිනියගේ රජයට එරෙහිව නැගී සිටින ප්‍රධාන සතුරා ජවිපෙ බව ඔවුන්ට හැඟිණි. තව තවත් ලෙඩේ උඩු දුවන්නට පෙර ප්‍රතිකාර කිරීම සුදුසු යෑයි සිතූ එවකට රජයේ ප්‍රධානීහු රජයට එරෙහිව නැඟී සිටින ප්‍රධාන හතුරා වන ජනතා විමුක්‌ති පෙරමුණ මර්දනය කරන්න යෑයි ආරක්‍ෂක අංශවලට නියෝග කළහ. ජවිපෙ ක්‍රියාකාරිත්වය මර්දනය කිරීමට ඒ අනුව ආරක්‍ෂක අංශ විවිධාකාරයෙන් ක්‍රියාත්මක විය. ජවිපෙට එළව එළවා පහර දුන්නේය. ජවිපෙ විප්ලවවාදී පක්‍ෂයක්‌ ලෙස අප්‍රේල් මස 05 වැනිදා උදෑසන ප්‍රථම වරට වැල්ලවත්ත පොලිසියට පහරදී ආයුධ අතට ගැනීමට තීරණය කර තිබුණද, අවසානයේ ඒ තීරණය වෙනස්‌ කරමින් වැල්ලවාය පොලිසියට ජවිපෙ පළමු වෙඩි මුරය මුදාහැරියේය.

"ඒ දවස්‌වල පොලිසිවලට පහර දුන්නේ නොම්බර 12 තුවක්‌කු කිහිපයකින්. කෑගල්ලේ පොලිසියට රතිඤaCදා පත්තු කරලා විසි කළාම පොලිස්‌ රාළහාමිලා පණ එපා කියලා දිව්වලු. එදා කෑගල්ල පොලිසියේ තුවක්‌කු සේරම අපේ සහෝදරවරු අරගෙන තිබුණා. එදා තමයි (අප්‍රේල් 08 වැනිදා) රට පුරාම ඇඳිරි නිතීය දාලා ජනතා විමුක්‌ති පෙරමුණේ සාමාජිකයන්ට දිසාපති කාර්යාල, පන්සල්වලට ගිහින් පොලිසියට භාර වෙන්න කියලා මැතිනිය හෙලිකොප්ටර්වලින් පත්‍රිකා බෙදුවේ. ඒත් අපේ සාමාජිකයෝ පොලිසියට භාර වුණේ නැහැ. ඊට පස්‌සේ තමයි මැතිනිය ටයර් සෑය ගෙනාවේ. අපේ සහෝදරවරුන්ව පණ පිටින් ටයර් දමා පිච්චුවා. තවත් සාමාජිකයන්ව වධකාගාරවල තියාගෙන දස වධ දුන්නා. බද්දේගම කමලබන්දු සහෝදරයාගේ දකුණු අත විදුලි කියතකින් කපන කොට ඒ සහෝදරයා මෙහෙම කිව්වාලු."

"ලාංකීය විප්ලවය දිනේවා! ජනතා විමුක්‌ති පෙරමුණ දිනේවා! මේ අතින් පිට වන රතු ලේවලින් රතු ආණ්‌ඩුවක්‌ ඇති වේවා!"

ඒ එක්‌ සහෝදරයකුගේ ඉල්ලීමක්‌ විතරයි. මේ වගේ සහෝදරවරු විසිදාහක්‌ විතර එදා කෲර විදිහට ඝාතනය කළා. යටියන්තොට ඇන්තනී සහෝදරයා විදුලි කියතකින් පපුව පළා කකුල් දෙක කපන්න කලින් ඒ සහෝදරයත් පොලිසියෙන් මෙන්න මෙහෙම ඉල්ලීමක්‌ කර තිබුණා.

"මාව මරන්න ඉස්‌සෙල්ලා ඉතිහාසයට එකතු කරන්න කවියක්‌ කියන්න ඉඩ දෙන්න"

කාකි කෝට්‌ ඇඳගත්තු පොලිස්‌ නිලධාරීන් අතර මිනිස්‌කම තිබුණු පොලිස්‌ නිලධාරියෙක්‌ "දැන් අපි උඹව කොහොමත් මරනවා. අපට දැනගන්නත් එක්‌ක උඹේ කවිය කියපන්" කියලා ඒ සහෝදරයාගේ අවසන් ඉල්ලීමට අවසර දීලා තිබුණා.

ඔබ මියගිය සොහොන මත්තේ පුදන්නට
නෙක විසිතුරු මල් මාලා නැත අපට
ඇත්තේ සටන් කාමය නිති අවදි කොට
පුද දෙමි සොහොයුරාණෙනි ඔබගේ විරුනමට

යටියන්තොට සහෝදරයා ඒ කවිය කිව්වට පස්‌සේ ඔහුගේ බඩ කපා, අත් දෙක කපා යටියන්තොට නගරයට ගෙනත් ටයර් දමා ගිනි තියලා තිබුණා.

කෑගල්ලේ කණ්‌ණාඩි අබේ සහෝදරයාගේ මල්ලිව අත්අඩංගුවට ගෙන ඝාතනය කරන්න හදනකොට ඒ සහෝදරයා මෙහෙම කියලා තිබුණා.

"තොපි මරන මරන කෙනෙක්‌ පාසා, තොපි පලන පලන පලුවක්‌ පාසා, තොපි අපව විනාශ කළත් අපි නඟපු හඬ කවදා හෝ මේ රටේ රතු ආණ්‌ඩුවක්‌ ගොඩනඟනවා." මේ දේවල් විජේවීර සහෝදරයා අපට කිව්වේ සිරගත වෙලා ඉන්නකොට.

විජේවීර සහෝදරයා 1977 සිරගෙදරින් නිදහස්‌ වුණාට පස්‌සේ ප්‍රථම සම්මේලනය තිබ්බේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ. ඒ සම්මේලනයට ආපු මම එදා ගෙදර ගියේ නැහැ. ආමර් විදීයේ පිහිටි අපේ ප්‍රධාන කාර්යාලයේ නතර වෙලා රතු ආණ්‌ඩුවක්‌ ගොඩනඟන්න කැප වුණා. කකුල් දෙකට වළල්ලක්‌ හදාගෙන ලයිට්‌ කණුවල නැගලා සැරසීම් කළේ අපි. පක්‍ෂයේ කවුරු හරි දෙන ෂර්ට්‌ එකක්‌, කලිසමක්‌ තමයි එදා අපි ඇන්දෙ. ඇඳුම්-පැළඳුම්, කෑම් බීම් ගැන එදා අපේ සහෝදරයෝ හිතුවේ නැහැ. තියෙන දෙයක්‌ කාලා පක්‍ෂය ජයග්‍රහණය කරවීමට කැප වුණා." දයාගේ මතකය එසේ වචනවලට පෙරළිණි.



මැතිනියගේ ආණ්‌ඩුව ජවිපෙ සහෝදරවරුන් මර්දනය කිරීමට නොගත් උත්සාහයක්‌ නැත. ජවිපෙ සහෝදරවරු මඟ තොටේ ටයර් දමා පුච්චා දැමූහ. වධකාගාරවල රඳවාගෙන දස වධ දුන්හ. ඉනිදු නොනැවතුණු සමගි පෙරමුණ ජවිපෙ මර්දනය කරන්නැයි කියා විදේශ රටවල් දහහතක ආධාර පැතුවේය. අනුර බණ්‌ඩාරනායක රුසියාවට ගොස්‌ එරට රජයට මෙසේ දුක්‌ගැනවිල්ලක්‌ ඉදිරිපත් කර තිබිණි. "අපේ ආණ්‌ඩුව පෙරළා චීන ලයින්කාරයෝ වගයක්‌ බලය ගන්න හදනවා. අපට ආධාර දෙන්න මේ කැරලිකාරයන්ගෙන් රට බේරාගන්න." රුසියාවෙන් එසේ ආධාර පතන අනුර චීනේ ගිහින් පැවසුවේ මෙවැන්නකි. "රුසියන් ලයින්කාරයෝ වගයක්‌ අපේ ආණ්‌ඩුව පෙරළන්න කැරැල්ලක්‌ ගෙන යනවා. කැරැල්ල මර්දනය කරන්න අපට ආධාර දෙන්න." මාක්‌ස්‌ ලෙනින්වාදී දර්ශනයන් හොඳින් අවබෝධ කරගෙන සිටි කියුබාවේ පිදෙල් කැස්‌ත්‍රොaගෙන් ද ජවිපෙ මර්දනය කිරීමට අනුර ආධාර පැතුවේය. එහෙත් සමගි පෙරමුණට ජවිපෙ මර්දනය කිරීමට කියුබාවේ නම් ආධාර ලැබුණේ නැත.

"කැරැල්ලේ මහ නඩුවෙන් නිදහස්‌ වුණාට පස්‌සේ රෝහණ විජේවීර, කෙලී සේනානායක, ලයනල් බෝපගේ ඇතුළු තවත් සහෝදරවරුන් කිහිපදෙනකුට කියුබාවේ හවානා නගරයේ පැවැත්වෙන සම්මේලනයට සහභාගි වන ලෙස කියුබන් ජනාධිපති පිදෙල් කැස්‌ත්‍රොa ලංකාවේ කියුබන් තානාපති මාර්ගයෙන් රෝහණ සහෝදරයාට ආරාධනා කරලා තිබුණා. රෝහණ සහෝදරයා පිදෙල්ගේ ආරාධනාව පිළිගෙන තවත් සහෝදරවරුන් කිහිප දෙනකු සමග ඒ සම්මේලනයට සහභාගි වෙලා තිබුණා. සමසමාජ පක්‍ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, අතාවුද සෙනෙවිරත්න යන මහත්වරුන්ද ඒ සම්මේලනයට සහභාගි වුණාලු. සම්මේලනය පවත්වන භූමිය තුළ ජනතා විමුක්‌ති පෙරමුණේ ධජය ද ඔසවා තිබිලා තියෙනවා. මහා රෑ ජාමේ අතාවුද සෙනෙවිරත්න හොරෙන් හොරෙන් ඇවිත් ජවිපෙ කොඩිය කපනවා විජේවීර සහෝදරයා ඇස්‌ දෙකෙන්ම දැකලා තිබෙනවා. විජේවීර සහෝදරයා ඒ කතාව මට කිව්වේ වර්තමාන ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ විවාහ උත්සවයට යන අතරතුරදී. සෝමවංශ සහෝදරයාගේ විවාහ උත්සවය ඔහු පදිංචිව සිටි පයාගල නිවසේදී චාම් විදිහට පැවැත්වුණා. විජේවීර සහෝදරයා මංගල උත්සවයට සහභාගි වෙලා හිටපු පිරිස අමතා පුංචි කතාවක්‌ කරලා අපි දෙන්නා මඟුල් ගෙදරින් පිට වෙන්න හදනකොට සෝමවංශ සහෝදරයාගේ වැඩිමහල් සොහොයුරා එයාගේ කාර් එකෙන්ම අපව කළුතර නගරයට ගෙනත් ඇරලුවා. කළුතරින් කොළඹ බස්‌ එකක නැගලා අපි කෙළින්ම කොළඹ ආවා." දයා එසේ කීවේය.

ගිගුම් දෙන අහස වෙනදාටත් වඩා අඳුරුය. අතු ඉති සොලවන සුළඟ කෙමෙන් කෙමෙන් ප්‍රචණ්‌ඩ විය. පොලිස්‌ ජීප් රථ ද ඉඳහිට මඟ තොටේ නොගියාම නොවේ. පොලිස්‌ නිලධාරීහු කිසිදු අයුරිකින් විශ්වාස කළ නොහැකි සත්වයෙක්‌ ලෙස එදා ජවිපෙ සහෝදරයා හැඳින්වූහ. "සහෝදරයා... පෑවිල්ල ඉවරයි වගේ. අද නම් වහින ලකුණු නේද තියෙන්නෙ. අපි ටිකක්‌ ඉක්‌මනට අඩි උස්‌සමුද?" කෑලි කැපිය හැකි අඳුර මැදින් දයා රෝහණ සහෝදරයාගේ මුහුණ දෙස බැලීය. විජේවීර සහෝදරයා ද දයා කියූ දේ පිළිගෙන ගමන වේගවත් කළේය. පිටකොටුව බස්‌ නැවතුම්පළේ සිට ආමර්වීදියේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයට ඒමට ඔවුන් දෙදෙනාට වැඩි වේලාවක්‌ ගත වූයේ නැත. අහස පෙරළන්නාක්‌ සේ පුපුරා ගිය හෙණ ගෙඩි කෙමෙන් පහව ගියේය. නියඟයට බියෙන් මෙන් වැස්‌ස ඈතින් ඈතට ගියේය.

"එදා අපි කාර්යාලයට එනකොට ලයියා හෙවත් ලයනල් බෝපගේ සහෝදරයයි තවත් සහෝදරවරුන් කිහිප දෙනෙකුයි කාර්යාලයේ සිටියා. කළු මල්ලි මහ රෑම අපි දෙන්නට කෑම පැකට්‌ දෙකකුත් ගෙනත් දුන්නා. රෝහණ සහෝදරයා ඇඳගෙන හිටිය සුදු ෂර්ට්‌ එක ගලවලා මට කිව්වා "දයා නාන්න යනවා නම් මෙන්න මේකත් පොඩ්ඩක්‌ හෝදගෙන එන්න" කියලා. එදා රෑ රෝහණ සහෝදරයා මට ඇඳුම් හෝදන්න දුන්නාහම මම හිනාවෙලා කිව්වා.. "සහෝදරයා සතියකට පාරක්‌වත් නාන්න කෝ" කියලා. එතකොට විජේවීර සහෝදරයා මෙහෙම කිව්වා. "දයා මේ පක්‍ෂය ගොඩගන්න නම් වැඩිපුර ඇවිදින්න ඕනෑ. මහන්සි වෙන්න ඕනෑ. වැඩියෙන් මහන්සි වුණු දවස්‌වලට මම පුරුදු වෙලා තියෙන්නේ මූණකට විතරක්‌ හෝඳගෙන, තියෙන දෙයක්‌ කාලා පොඩ්ඩක්‌ ඇහැ පියාගන්නයි. ඉතිං බලන්න හැමදාම මහන්සි වෙනවා. මගේ වැඩවලට රැයක්‌ දහවලක්‌ නැහැ. මට හරියට නිදාගන්න පුළුවන් මේ පක්‍ෂය ගොඩගත්ත දාටයි." රෝහණ සහෝදරයා එදා කියූ ඒ වචන ටික මගේ හදවතේ තවමත් දෝංකාර දෙනවා.

තරංග රත්නවීර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.