රුපියලේ වැටීම සහ රුපියලට ගැටීම
 |
 |
අපනයන ආදායමේ වර්ධනයක් තිබුණත්, ඊට වඩා
වැඩි වේගයකින් ආනයන වියදම් දිගින් දිගටම වර්ධනය වෙමින් තිබේ.
මේ නිසා පසුගිය කාලය පුරා වෙළෙඳ හිඟය ද අඛණ්‌ඩව වර්ධනය වූයේය.
රටට ගලා එන විදේශ විනිමයට වඩා වැඩි විනිමය ප්‍රමාණයක් රටින්
පිටට ගලායැම හේතුවෙන් මෑත කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට
රුපියල රැකගැනීමට සිදුව ඇත්තේ විදේශ විනිමය වෙළෙඳපොළට දිගින්
දිගටම ඩොලර් සැපයීම මගිනි. මේ නිසා අමාරුවෙන් උපයාගත් සහ ණය
පදනම මත රැස් කරගෙන තිබූ අපේ විදේශ සංචිතය ද දිනෙන් දිනම
පිරිහීමට පත්වෙමින් තිබේ. මේ තත්ත්වය හමුවේ දිගටම අපට රුපියලේ
අගය පවතින මට්‌ටමින්ම රැකගැනීමට පුළුවන් ද යන ප්‍රශ්නය ද තිබේ.
මේ ප්‍රශ්නයට පිළියම් ලෙස ඇතැම් අය කියන්නේ රුපියල අවප්‍රමාණ
වීමට ඉඩ සැලසිය යුතු බවකි. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව තවමත්
එසේ නොසිතයි. කවරක් නමුත් මේ පසුබිම තුළ අපේ විනිමය අනුපාතය
මත දැඩි පීඩනයක් ඇතිව තිබෙන බව නම් පැහැදිලි කරුණකි. ඒ නිසා
මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ එම පීඩනය හමුවේ අප මුහුණ
දී සිටින රුපියල රැකගැනීමේ අභියෝගය ගැනය.
රුපියල රැකගැනීම
රුපියල රැකගැනීමේ කාරණයත් සමගම නිරන්තරයෙන්ම විදේශ සංචිත
මට්‌ටම ගැන ද සාකච්ඡා වෙයි. ඊට හේතුව නම් මේ දිනවල විදේශ
විනිමය වෙළෙඳපොළේ පවතින විනිමය හිඟය හමුවේ රුපියල රැකගැනීමට
යැමේදී අපේ විදේශ සංචිතය පිරිහීමට ලක්‌වන බැවිනි. විදේශ විනිමය
වෙළෙඳපොළට ඩොලර් සැපයීමට සිදුව තිබෙන්නේ අපගේ විදේශ සංචිතයෙන්
බැවින් විදේශ සංචිත මට්‌ටම අඩුවීම සිදු වෙයි. මේ ආකාරයට
තවදුරටත් රුපියල රැක ගැනීමට අපට පුළුවන්ද? අනිත් අතට රුපියල
අවප්‍රමාණවීමට ඉඩහැරීමෙන් පමණක් අපට වත්මන් විදේශ විනිමය
ප්‍රශ්නයට මුහුණ දිය හැකිද? මේ ප්‍රශ්න අප හමුවේ තිබේ. මේ
පසුබිම තුළ විදේශ සංචිත මට්‌ටම ගැන අපි මුලින්ම සාකච්ඡා කරමු.
විදේශ සංචිත
2010 වසරේ දෙසැම්බර් මස අගදී පැවැති අපේ විදේශ සංචිත මට්‌ටම
ඇමරිකානු ඩොලර් බිලියන 6.6 ක් පමණ විය. එය 2011 ජුලි මාසයේදී
ඇමරිකානු ඩොලර් බිලියන 8.1 ක් දක්‌වා සහ අගෝස්‌තු මාසයේදී
ඇමරිකානු ඩොලර් බිලියන 8.2 ක් දක්‌වා වාර්තාගත ලෙස ඉහළ ගියේය.
එහෙත් ගිය වසරේ (2011) නොවැම්බර් මස අග වන විට අපේ විදේශ සංචිත
මට්‌ටම ඇමරිකානු ඩොලර් බිලියන 6.2 ක් දක්‌වා ද, දෙසැම්බර් අග
වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6 ක් ක් පමණ දක්‌වා ද වශයෙන්
ඇමරිකානු ඩොලර් බිලියන දෙකකටත් වැඩි ප්‍රමාණයකින් පහත වැටුණි.
මේ නිසා මාස 6 ක ආනයන සඳහා ප්‍රමාණවත් මට්‌ටමට වර්ධනය වී
පැවැති අපේ විදේශ සංචිතය, 2011 නොවැම්බර් මස වන විට ප්‍රමාණවත්
වූයේ මාස 3.8 ක ආනයන මිලදී ගැනීමට පමණි. දිගින් දිගටම ආනයන
වර්ධනය වෙමින් වෙළෙඳ හිඟය පුළුල්වෙමින් පවතින තත්ත්වය හමුවේ
අපේ විදේශ සංචිතය ප්‍රමාණවත් වන මාස ගණන මේ වන විට තවදුරටත්
අඩුවී ඇති බවට ද සැකයක් නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
මේ දිනවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් ද අප රටට
පැමිණ සිටී. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අප ලබාගත් සමීපස්‌ථ
ණය මුදලේ මීළඟ වාරිකය ලබාදීමට අදාළ විමර්ශන සඳහාය. මේ ණය මුදලට
අදාළව අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟ වූයේ මාස 3.5 ක ආනයන
සඳහා ප්‍රමාණවත් විදේශ සංචිතයක් පවත්වා ගන්නා බවයි. මහ
බැංකුවම පවසන පරිදි ගිය වසරේ (2011) නොවැම්බර් මස අග වන විට
අපේ විදේශ සංචිතය මාස 3.8 ක ආනයන සඳහා ප්‍රමාණවත් වන මට්‌ටමකට
අඩුව තිබූ බැවින්, අපේ විදේශ සංචිත මට්‌ටම කිසියම් අවදානම්
මට්‌ටමකට පත්ව ඇති බව පෙනේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
විසින් අපට සමීපස්‌ථ ණය මුදලට අදාළ ඊළඟ ණය වාරිකය ලබාදෙනු ඇති
ද යන ප්‍රශ්නය ද තිබේ. එම අරමුදලේ දූත පිරිස දැන් ලංකාවට පැමිණ
සිටින්නේ එය තීරණය කිරීමටය. දැන් තිබෙන විදේශ සංචිත තත්ත්වය
අනුව අපට එම ඉදිරි ණය වාරික ලබාගැනීම ද අත්‍යවශ්‍ය වී තිබෙන බව
කිව යුතුය. ඒ තුළින් අපේ විදේශ සංචිත මට්‌ටම ශක්‌තිමත් කරගත
හැකි බැවිනි.
පසුගිය වසරේ (2011) අග සිටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්
අපට කියා සිටියේ අපේ විනිමය අනුපාතය අවප්‍රමාණය කරන ලෙසය. 2011
සැප්තැම්බර් 07 දින නිකුත් කළ ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර
මූල්‍ය අරමුදලේ දූත මණ්‌ඩලය නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන්
විය.
"වෙළෙඳපොළ පීඩනයන්ට මුහුණදීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින්
මින් ඉදිරියට වෙළෙඳපොළ මැදිහත්වීම් සීමා කළ යුතු අතර ඉහළ
විනිමය අනුපාත නම්‍යතාවකට ඉඩ හැරිය යුතුය. පසුගිය වසර දෙක පුරා
මූර්ත වශයෙන් සැලකිය යුතු අයුරින් විනිමය අනුපාතය අධිප්‍රමාණය
වී ඇති බැවින් එවැනි නම්‍යතාවක් පවත්වා ගැනීම අපනයන
තරගකාරීත්වය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ."
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එසේ කීවත් ඔවුන් කී පරිදි රුපියල
අවප්‍රමාණය කිරීමට (රුපියල බාල්දු කිරීමට) ශ්‍රී ලංකා මහ
බැංකුව ක්‍රියා නොකළේය. මහ බැංකුව අඛණ්‌ඩව විදේශ විනිමය
වෙළෙඳපොළට විනිමය සපයමින් රුපියලේ අගය ස්‌ථාවර මට්‌ටමක පවත්වා
ගත්තේය. එසේ වුවත් ජනාධිපතිවරයා ගිය වසරේ (2011) නොවැම්බර් 21
වැනිදා ඉදිරිපත් කළ අයවැයෙන් ඩොලරයට සාපේක්‍ෂව රුපියල සියයට 3
කින් අවප්‍රමාණය කළේය. ඇතැම් අය පවසන පරිදි අය වැය ලේඛනයෙන්
සිදුවූයේ, රුපියලේ අවප්‍රමාණය කිරීමේ මහා භාණ්‌ඩාගාරයේ
අවශ්‍යතාවයි. ඒ අනුව මහ බැංකුව නොකළ දේ, (මහා භාණ්‌ඩාගාරය) අය
වැයෙන් සිදු කළේය. මේ ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නම් සතුටට
පත්ව සිටින බවට සැකයක් නැත. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ ඉන් පසුව
විනිමය අනුපාත නම්‍යතාවකට ඉඩ නොදී, අය වැයෙන් රුපියල බාල්දු කළ
2011 නොවැම්බර් 21 දිනට පසු දින සිට මේ දක්‌වාම ඩොලරයට
සාපේක්‍ෂව රුපියලේ අගය මහ බැංකුව විසින් ස්‌ථාවරව පවත්වා
ගනිමින් සිටීමයි. ඒ ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිචාරය
කුමක් වනු ඇතිද? ඒ ගැන තවමත් අපට හරියටම කියන්නට බැරිය. එම
අරමුදලේ දූත පිරිස රටින් පිටවී යැමට ප්‍රථම පවත්වන ප්‍රවෘත්ති
සාකච්ඡාවේදී මේ ගැන ඔවුන්ගේ ස්‌ථාවරය අපට දැන ගැනීමට ලැබෙනු
ඇත.
මෙවන් පසුබිමක් තිබුණත් ශ්‍රී ලංකා මහ බැංකුව පැත්තෙන් අපට
දැන ගැනීමට ලැබෙන්නේ අපේ විනිමය අනුපාතය (ඩොලරයට සාපේක්‍ෂව
රුපියලේ අගය) තවදුරටත් පවතින මට්‌ටමේම ස්‌ථාවරව පවතිනු ඇති
බවයි. ගිය වසරේ (2011) මුල පැවැති විදේශ සංචිත මට්‌ටමට වඩා වසර
අග වන විට අපේ විදේශ සංචිත මට්‌ටම අඩුවී තිබුණත්, එය තවමත්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ මට්‌ටම්වලට වඩා ඉහළ අගයක
පවතින බවද, මේ වසරේ (2012) දී ඇමරිකානු ඩොලර් බිලියන 25 ක පමණ
විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවද මහ
බැංකුව කියයි.
මේ නිසා එම විදේශ විනිමය ලැබීම්වලින් අපේ විදේශ සංචිත මට්‌ටම
ශක්‌තිමත් වනු ඇති බැවින් අපේ විදේශ සංචිතයට අවදානම්
තත්ත්වයක් මතුව නැති බවද මහ බැංකුව කියා සිටී. අපේක්‍ෂා කරන
දේවල් එයාකාරයෙන්ම සිදුවන්නේ නම් ගැටලුවක් නොවිය හැකි නමුත්
අනපේක්‍ෂිත තත්ත්වයන්ට මුහුණදීමට ද අප තුළ සූදානමක් තිබිය
යුතුවේ.
ආනයන වියදම්
ගිය වසරේ (2011) අගෝස්‌තු මාසයෙන් පසුව අපේ විදේශ සංචිත දිගින්
දිගටම අඩු වන්නට පටන් ගත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ
විනිමය වෙළෙඳපොළට විශාල වශයෙන් ඩොලර් සපයන ලද බැවිනි. එයට
ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ ආනයන සඳහා සාපේක්‍ෂව වැඩි වියදමක්
දැරීමට අපට සිදුවීමයි. ගිය වසරේ (2011) අපේ මුළු ආනයන වියදම
සියයට 50 කින් පමණ ඉහළ ගියේය. අපනයන ආදායම් වර්ධනය වූයේ සියයට
23 ක් වැනි සාපේක්‍ෂව අඩු අගයකිනි. ආනයන වියදම ඉහළ යැමට
ප්‍රධාන වශයෙන්ම ගිය වසරේ ඛනිජ තෙල් ආනයන වියදම සියයට 50 කින්
පමණ ඉහළ යැම බලපෑවේය. 2010 වසරේදී ඛනිජ තෙල් ආනයනය සඳහා අපට
වැය වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 3,019 ක මුදලකි. එය ගිය වසරේ
(2011) දී ඇමරිකානු ඩොලර් මිලියන 4,505 ක් දක්‌වා ඇමෙරිකානු
ඩොලර් බිලියන 1.5 කින් පමණ ඉහළ ගියේය. එසේම ගිය වසරේදී මෝටර්
රථ, යතුරුපැදි සහ ඉලෙක්‌ට්‍රොනික උපකරණ ආනයන වියදම් ද සියයට 77
කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එනම් 2010 වසරේ දී
ඇමරිකානු ඩොලර් මිලියන 632 ක් වූ එම වියදම, ගිය වසරේ (2011)
දී ඇමරිකානු ඩොලර් මිලියන 1,121 ක් දක්‌වා ඉහළ ගොස් තිබිණි.
මේ අතරම ගිය වසරේ අපගේ රත්තරන් ආනයන වියදම ද ඇමරිකානු ඩොලර්
මිලියන 82 සිට ඇමරිකානු ඩොලර් මිලියන 600 දක්‌වා සියයට 632
කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය. මේ අප සඳහන් කළේ වියදම් ඉහළ
ගිය ප්‍රධාන ආනයන අයිතම් තුනක් ගැන පමණය. ඛනිජ තෙල් ආනයන
වියදම පමණක් මුළු ආනයන වියදමෙන් සියයට 22.5 ක් පමණ වේ.
පොලී අනුපාතය
මේ අතරම වත්මන් තත්ත්වය හමුවේ පොලී අනුපාත ඉහළ යැමේ හැකියාව
ගැන ද අවධානයට ලක්‌ව තිබේ. පසුගිය කාලය තුළ වෙළෙඳ පොළේ රුපියල්
ද්‍රවශීලතාව අඩු වූ බැවින් ඒ සඳහා ද්‍රවශීලතාව සැපයීමට ද මහ
බැංකුවට සිදුවිය. ඒ අනුව මහ බැංකුව කළේ ද්විතීයික වෙළෙඳපොළෙන්
භාණ්‌ඩාගාර බිල්පත් මිලදී ගැනීමට කටයුතු කිරීමයි. වෙළෙඳපොළ
ද්‍රවශීලතාව අඩු වීමට වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා
දුන් ණය ප්‍රමාණය විශාල වශයෙන් වර්ධනය වීම ද හේතු විය. මේ සඳහා
වාණිජ බැංකු විසින් කළේ, තැන්පතු පොලී අනුපාත තරමක් ඉහළ
නංවමින් මුදල් රැස්‌කර ගැනීමට කටයුතු කිරීමයි. මේ නිසා
භාණ්‌ඩාගාර බිල්පත් පොළිය ද තරමක් ඉහළ ගියේය. කවරක් නමුත්
පසුව පොලී අනුපාතවල ස්‌ථාවර තත්ත්වයක් ඇති විණි.
මහ බැංකුව විසින් වෙළෙඳපොළෙන් භාණ්‌ඩාගාර බිල්පත් මිලදී
ගැනීමේදී වෙළෙඳපොළේ රුපියල් ද්‍රවශීලතාව ඉහළ ගොස් මහ බැංකුව
සතු භාණ්‌ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යයි. මෙහිදී මහ බැංකුව
සතු සංචිත මුදල්වල ඉහළ යැමක් සිදු නොවන පරිදි එය කිරීමෙන්
උද්ධමනාත්මක බලපෑම් අවම කර ගත හැකිය. මහ බැංකුව විදේශ විනිමය
වෙළෙඳපොළේ ඩොලර් විකිණීමෙන් රැස්‌කර ගත් රුපියල් වලින් කොටසක්
ද භාණ්‌ඩාගාර බිල්පත් මිලදී ගැනීමට යොදා ගැනෙන නිසා මෙහිදී
උද්ධමනාත්මක බලපෑම් අවම වී තිබේ.
මෙතෙක් සාකච්ඡා කළේ අපේ විදේශ විනිමය අනුපාතයට ඇති වී තිබෙන
පීඩනය සහ ඊට හේතු වූ කරුණු කාරණා පිළිබඳවයි. එහෙත් මේ සඳහා ඇති
විසඳුම් ක්‍රියාමාර්ග කවරේද? ඇතැමුන් කියන්නේ රුපියල
අවප්‍රමාණය වීමට ඉඩ දිය යුතු බවකි. මහා භාණ්‌ඩාගාරය ද මේ අදහස
දරයි. මේ සම්බන්ධයෙන් zදිවයිනZට අදහස් දැක්‌වූ
මහාභාණ්‌ඩාගාරයේ උසස් නිලධාරියෙක් මෙසේ කීවේය.
"විශාල අවප්‍රමාණයකට හෝ අධිප්‍රමාණයකට තුඩු දෙන විදේශ විනිමය
වෙළෙඳපොළේ උච්චාවචනයන්ට මහ බැංකුව මැදිහත් වී, විදේශ විනිමය
අනුපාතයේ ස්‌ථාවරත්වය (රුපියල) රැක ගත යුතු වුවත්, දිනපතාම මහ
බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වීම සුදුසු නැහැ.
කිසියම් විනිමය අනුපාත නම්‍යතාවකට ඉඩ දිය යුතුයි. එනම් පවතින
තත්ත්වය අනුව වෙළෙඳපොළ බලවේගවලට කිසියම් ප්‍රමාණයකට ඉඩ දෙන්න
ඕන, රුපියලේ අගය තීරණය කරන්න."
එම භාණ්‌ඩාගාර නිලධාරියා මෙසේ කීවත් අඛන්ඩව ආනයන සහ වෙළෙඳ හිඟය
ඉහළ යැම හමුවේ එසේ කළහොත් රුපියලේ අගය කවර මට්‌ටමක නවතී ද යන්න
ද පවතින ගැටළුවකි. එසේම ප්‍රශ්නයට තාවකාලික විසඳුම් ගෙනෙන
රුපියල අවප්‍රමාණයට එහා ගිය ආනයන සීමා කිරීමේ හා අපනයන වර්ධනය
කර ගැනීමේ වෙනත් දිගුකාලීන තිරසාර ක්‍රියාමාර්ගවලට යොමු වීමේ
අවශ්‍යතාවක් ද පවතී. රජය මේ සඳහා තවමත් යොමුවී ඇති බවක්
නොපෙනේ. එවැනි ක්‍රියාමාර්ගවලට යොමු විය යුතුව තිබුණත් ශ්‍රී
ලංකා මහ බැංකුව ඇස්‌තමේන්තු කර ඇති විදේශ විනිමය ලැබීම්
අපේක්‍ෂිත පරිදි ලැබෙන්නේ නම් රුපියල අවප්‍රමාණය කිරීමේ
අවශ්‍යතාවක් ද මතු නොවේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත