පිළිගත හැකි යෝජනාවලියක්‌ ඉදිරිපත් කරනතුරු
තේරීම් කාරක සභාවට විපක්‍ෂය එන්නේ නෑ!

පියසේන දිසානායක සහ අනුර බාලසූරිය

13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි නොවීමට විපක්‍ෂය තීරණය කර ඇත.

ඊට හේතු ලෙස එක්‌සත් ජාතික පක්‍ෂයත් ජනතා විමුක්‌ති පෙරමුණත් ප්‍රකාශ කරන්නේ මෙය කාලය කා දැමීමක්‌ බවය. උතුරු නැගෙනහිර සඳහා පොලිස්‌ බලතල හා ඉඩම් බලතල ලබාදීමට යෝජනා කර ඇති මෙම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව සාකච්ඡා
කළයුත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ බවත් ඔවුන් සහභාගි නොවී තම පක්‍ෂ පමණක්‌ ඊට සහභාගිවීමෙන් ඵලක්‌ නැති බව ද එජාපයත් ජවිපෙත් සඳහන් කරති. මේ සම්බන්ධව අදහස්‌ දක්‌වමින් එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවසුවේ ආණ්‌ඩුව මෙතෙක්‌ පත්කළ කමිටුවලින් කිසිදු ඵලක්‌ නොවූ බවය. එබැවින් රජය ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව පිළිගත හැකි යෝජනාවලියක්‌ ඉදිරිපත් කරනතුරු ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා වූ තේරීම් කාරක සභාවට එජාප නියෝජිතයන් පත් නොකරන බවය.

ජනතා විමුක්‌ති පෙරමුණ පවසන්නේ ජාතික ප්‍රශ්නයට විසඳුම 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය නොවන බැවින් තම පක්‍ෂය අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයන් නම් නොකරන බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.