ඇයට පිපෙන්නට ඉඩ දෙමු

ඇය කළණි වසුන්දරා. පදිංචිය තිහගොඩ, කිතලගම බටහිර, වෙළෙඳගොඩ කියන හද්දා පිටිසර ගමේ. කළණි ඉගෙන ගන්නෙ මාර කිතලගම බටහිර මහ විදුහලේ නව වැනි ශ්‍රේණියෙ. එයාගෙ තාත්තා ලාල්සිරි. එයාට ස්‌ථිර රැකියාවක්‌ නෑ. අනියම් කම්කරුවෙක්‌ හැටියට ඔහේ ලැබෙන ඕනම කුලීවැඩක්‌ කරනවා. කළණිගෙ අම්මා තලතා නන්දනී. එයාට රැකියාවක්‌ නෑ. කළණිට පාසල් යන නංගීලා දෙන්නෙකුයි, චූටි මල්ලියෙකුයි ඉන්නවා.

            

මේ අහිංසක පවුල ගිය අවුරුද්දෙ පදිංචි වෙලා හිටියෙ කොළඹ කොට්‌ටාවේ. මේ දරු පැටව් තුන්දෙනාම ඉගෙන ගන්නෙ කොට්‌ටාවේ ධර්මපාල විද්‍යාලයෙ.

එහේ ඉගෙන ගනිපු කාලෙ කළණි ක්‍රීඩාවට හරිම දක්‍ෂයි. එයා ප්‍රගුණ කළේ මීටර් සීයයි, මීටර් දෙසීයයි. ඒ ඉසව් දෙකෙන් අති විශිෂ්ට දක්‍ෂතා පෙන්වලා විවිධ තරගවලින් කළණි දිනපු රන් පදක්‌කම්, සහතික ගණන අපමණයි.

මේ දරු පැටව් ජීවත් කරවන්න, එයාලගෙ ඇස්‌ පාදන්න පදිංචි වෙලා හිටපු අනුන්ගෙ පුංචි ගෙට කුලී ගෙවන්න ඒ අහිංසක පියා වගුරපු දහඩිය කන්දරාවට ලැබුණ වටිනාකම කොහෙත්ම සෑහුණේ නෑ. දවසින් දවසම ඉහළ යන ජීවන වියදම හමුවේ ඒ වගේම මේ දරු පැටවුන් වෙනුවෙන් එදිනෙදා වැය කළ යුතු මුදල් ප්‍රමාණය බලාගෙන සිටියදී ඉහළ යද්දී ඒ අසරණ දෙමාපියෝ තව තවත් අසරණ වුණා.

"අපි යමු අපේ ගමට. අම්මලගෙ ඉඩමෙ කොනක මැටි ගහල ගෙයක්‌ හදා ගනිමු. එතකොට අපේ වියදම් ගොඩාක්‌ අඩු වෙයි." තාත්තා දවසක්‌ රෑ අම්මාට එහෙම යෝජනා කළේ කරන්න දෙයක්‌ නැතිම තැන. ඇයත් ඒ යෝජනාව අනුමත කළා.

මේ අසරණ පවුල මාතර කිතලගමට ආවේ ඔන්න ඔහොමයි. සිය දූ දරුවනුත් එක්‌ක අම්මලගෙ මහ ගෙදර පදිංචි වෙලා ඉන්න ගමන් ඒ අහිංසක පියා සිය දෑතින් ඒ ඉඩමෙ කොනක පුංචි කටු මැටි ගෙයක්‌ ඉදි කළා. ඒ වගේම මොන තරම් නැති බැරිකම් තිබුණත් තමන්ගෙ එකම සම්පත වන ඒ දරු පැටව් තුන් දෙනාගෙ ඇස්‌ පාදන උදාර කටයුත්ත අමතක කළේ නෑ. ඒ තුන් දෙනා කීගලගම බටහිර මහ විදුහලට ඇතුළත් කළා.

කළණිගෙ පිරිපුන් ක්‍රීඩා කුසලතා මැනවින් හඳුනාගත් විදුහල්පතිතුමා, ඒ කියන්නෙ එච්. පී. ධර්මසේන මහත්තයා සිය විද්‍යාලයේ ක්‍රීඩා විෂය භාර, ඉංග්‍රීසි ආචාරිනී එම්. කේ. කේ. තිලකා මහත්මිය එක්‌ක ඇය ගැන කථා කළා.

"මේ දරුවා කොට්‌ටාවේ ධර්මපාලෙ ඉගෙන ගනිපු කාලෙ සමස්‌ත ලංකා මට්‌ටමෙන් දක්‍ෂතා දක්‌වලා තියෙනවා. මේ දරුවට අත දුන්නොත් අපේ පාසලට දිස්‌ත්‍රික්‌කයට" පළාතට නෙවෙයි යම් දවසක මුළු රටට මත් කීර්තියක්‌ ලබා දේවි ඒ විදුහපල්පතිතුමාගෙ වචන.


කළණි ශ්‍රී ලංකා ජවන හා පිටිය මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරපු තරගාවලිය වයස 14 න් පහළ මීටර් 100, 200 ධාවන තරගවලට ඉදිරිපත් වුණා. ඒ තරග දෙක විශිෂ්ට අයුරින් ජයග්‍රහණය කරලා ඉන්දියාවෙ චෙන්නායි නුවර පැවැත්වෙන ඉන්දුය ශ්‍රී ලංකා දිවිත්ව මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වෙන්න සුදුසුකම් ලැබුවා.

ඊට කලිනුත් කළණි ජාත්‍යන්තර තරගාවලි ගණනාවකට සුදුසුකම් ඕනෑවටත් වඩා ලැබුවා. ඒත් ආර්ථික ප්‍රශ්න නිසාවෙන් ඒ එකකටවත් යන්න ඇයට බැරි වුණා. ඒ නිසාම මෙදා ඉන්දීය තරගාවලියත් අසරණ ඇයට නිකම්ම නිකං හීනයක්‌ වුණා.

කොහොම වුණත් කළණි බලාපොරොත්තු නැතිකර ගත්තෙ නෑ. යටියන මහා විද්‍යාලෙ ක්‍රීඩා උපදේශක ඩී. එස්‌. කේ. ගමගේ මහත්තයා ඉමහත් උනන්දුවකින් හා කැපවීමකින් යුතුව කළණි පුහුණු කරවීමේ කටයුතුවල යෙදුණ ස්‌වේච්ඡාවෙන්ම.

"මේ දරුවා මතු යම් දවසක සුසන්තිකා අභිබවා යනවා. රටට විශාල කීර්තියක්‌ ගේනවා." මේ ගමගේ මහත්තයා කළණිගෙ පාසලේ විදුහල්පතිතුමයි ඇදුරු මඩුල්ලයි එක්‌ක කීප දවසක්‌ම කියපු වචන.

කළණිත් එක්‌ක මේ ඉන්දීය තරගාවලියට යන්න තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක්‌ම සුදුසුකම් ලබාගෙන තිබුණා. ඒ හැම කෙනෙක්‌ම අගනුවර හා වෙනත් නගරවල සුපිරි පාසල්වල දරුවො. ඒ අයට කළණිට තිබුණු ප්‍රශ්න තිබුණෙ නෑ. ඒ අයගෙ දෙමාපියො ඇති හැකි අය. ඒ වගේම ඒ අය සමාජය එක්‌ක තියෙන සබඳතා මත තම දූ දරුවන්ට අනුග්‍රාහකයොත් සොයාගෙන තිබුණා.

තම කණ්‌ඩායමේ සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලංකාවෙන් නික්‌ම යන දවස එනතුරු ඇඟිලි ගණිද්දී කළණිට සිද්ධ වුණේ හිස්‌ අහස දිහා බලාගෙන සුසුම් හෙළන්න.

කළණියි එයාගෙ නංගිලා දෙන්නයි ගමේ පංසලේ ඒ කියන්නෙ කිතලගම බටහිර ශ්‍රී නාගරුක්‌ඛාරාම පුරාණ විහාරස්‌ථානෙ දහම් පාසලෙන් ඉගෙන ගන්නවා. විහාරාධිපති පූජ්‍ය පාද අංගුන්න බදුල්ලෙ ඥාණදස්‌සි ස්‌වාමීන් වහන්සෙට කළණි ගැන දැනගන්න ලැබුණා.

"දුව ඔයා කිසි දේකට බය වෙන්න එපා. ඔයා ඉන්දියාවෙ යන්න සූදානම් වෙන්න. මම සල්ලි හොයල දෙන්නම්." උන්වහන්සෙගෙ ඒ වදන් පෙළ කළණිට විශාල ශක්‌තියක්‌ ධෛර්යයක්‌ වුණා.

විදුහල්පතිතුමා ප්‍රමුඛ ඇදුරු මඩුල්ල දායක වුණා. කළණි ගැන විස්‌තර අහපු තවත් කීප දෙනෙක්‌ම බොහොම කැමැත්තෙන් මේ සද්කාර්යට අත හිත දුන්නා නොමඳව. ඥාණදස්‌සි හාමුදුරුවෝ රුපියල් විසි හතර දාහක්‌ම දුන්නා. එකතු වෙච්ච මුළු මුදල රුපියල් 71,000/- ක්‌ ඒකත් විශිෂ්ට ජයග්‍රහණයක්‌.

අවාසනාවක මහත මහත් බලාපොරොත්තු ඇතිව ඉන්දීය චාරිකාවට එකතු වෙන්න බලාගෙන හිටපු කළණි හදිසියෙම අසනීප වුණා. දෙමාපියො ඇයව මාතර මහ රෝහලට ඇතුළත් කළා.

ඉන්දියාවේ යන දවස දවසින් දවසම ලංවෙනවා. දවසක්‌ ගෙවිලා තවත් දවසක්‌ ලබන කොට කළණි රෝහල් ඇඳ මත වැතිර කඳුළු හෙළමින් ඉන්න විලාශය කාගෙ කාගෙත් ඇස්‌වලට කඳුළු කැන්දුවා.

ඥාණදස්‌සි හාමුදුරුවො විදුහල්පතිතුමා ඇදුරු මඩුල්ල ගමගේ මහත්තයා ඇයව සැනසූවා. බය වෙන්න එපා දුව. ඔයා ඉක්‌මනට සනීප වෙනවා. ඉන්දියාවෙ යනවා. ඒ විතරක්‌ නෙවෙයි රන් පදක්‌කම් දිනනවා. කළණි ඒ වචන වලින් හිත ගත දිරිමත් කරගත්තා.

"මේ දරුවට දැන් සති දෙකකින් කිසිම පුහුණුවක්‌ නෑ, යන්න පුළුවන් වුණත් දිනන්න පුළුවන් වෙයිද? ඇයව පුහුණු කරන ගමගේ මහත්තයයි තිලකා මහත්මියයි එහෙම හිතන්නත් බය වුණා.

නෑ. තෙරුවන් සරණින් කෙල්ල දිනාවි. ඒ දෙන්නා එහෙම හිතන්න ඇති අත්තිමට.

දවසින් දවසම දිනේට ළගා වුණා. දැන් කළණිට තරමක්‌ සුවයි. හැමෝම යළිත් බලාපොරොත්තු ඇති කර ගත්තා.

ඔන්න අදයි ඉන්දියා යන දවස විදුහල්පතිතුමයි ගුරුවරුයි කළණිගෙ ඇඳුම් පැළඳුම් අරගෙන රෝහලට ගියා. ඒ හැම දෙනාමත් ඥණදස්‌සි හාමුදුරුවොත් එකතු වුණේ දොස්‌තර මහත්වරු හමුවෙලා පිංසෙන්ඩු වුණා. බොහොම අමාරුවෙන් තමයි ටිකට්‌ කප්පවා ගත්තෙ. කළණිව සූදානම් කරගෙන කටුනායක ගුවන් තොටුපළට ගියා. කළණි එතැන හිටපු සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එකතු වුණේ හිත ගත හැඩි දැඩි කරගෙන.

නුහුරු නුපුරුදු ගුවන් ගමන, ෙච්න්නායි නුවර දේශගුණය අසනීපෙන් හිටපු කළණිට බොහොම හිරිහැර කළා. ඒත් ඒ කිසිම බාධාවක්‌ බාධාවක්‌ කරගත්තෙ කළණි නෙවෙයි. සහෝදර සිසු සිසුවියන් විතරක්‌ නෙවෙයි කණ්‌ඩායම භාර ගුරු මහත්ම මහත්මීන්ද කළණිව දිරිමත් කළා.

දෙසැම්බර් 20-21 දෙදින පුරා ඉන්දියාවෙ චෙන්නායි නුවර ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගනයේ සුමුදු තණ පලස ඒ අහිංසකාවියගෙ පුංචි දෙපා සිප ගත්තා. ඔන්න දැන් ඇය සුළං වේගයෙන් ධාවන පථය දිගේ පෙරටම දුවනවා. සුවහසක්‌ ඉන්දීය ක්‍රීඩා ලෝලීන් තම රටේ ක්‍රීඩිකාවන් දිරිමත් කරනු වස්‌ එක හŽන් නැගූ ඔල්වරසන් හඬ යටපත් කරගෙන කළණිට ඇහුණේ තම සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතලොස්‌සක්‌ දෙනා නැගූ ඔල්වරසන් හඬ. ඒ හඬින් මොනවට දිරිය හා පන්නරය ලද ඕ සිය ධාවනාන්තය පසු කළා. හැමගේ නෙත් සතුටු කඳුළින් තෙත් කරන්න ඒ දිරිය දියණිය මොනවට සමත් වුණා.

දිරිය දියණියේ.... මේ නුඹ පටන් ගත්තා පමණයි. නුඹට යන්නට තව මහා දිගු ගමනක්‌ තියෙනවා. අපේ මේ වෑයම නෙක කටු කොහොලින් පිරි ඒ කඪොරවු දිගු ධාවන පථය තුළ විල්ලුද පලසක්‌ අතුරල දෙන්නයි නුඹේ පුංචි දෙපා වලට.

"මම කවදා හරි මේ පුංචි ලංකාවට ඔලිම්පික්‌ තරගයෙන් රන්පදක්‌කමක්‌ ගේන එක ගේනවාමයි. අපි ඇගේ කටුමැටි පැල්පතෙන් එළියට බසිද්දී ඇය අපේ දෙපා නමදිමින් කඳුළු පිරි දෙනෙතින් යුතුව මහත් ආයාසයෙන් ඒ වඳන් කිහිපය පෙළ ගැස්‌සූවා."

ඇයට හැබෑ කාරුණික මිනිස්‌ හදවතක්‌ ඇති අනුග්‍රාහකයෙක්‌ අවශ්‍යයි. එහෙම දෙයක්‌ සිද්ධ වුණොත් දෙවියනේ මේ පුංචි අසරණ කෙල්ල මතු යම් දවසක ඔලිම්පික්‌ රන් පදක්‌කම් වලින් ඇගේ ගෙල නොව සිරිලක්‌ මවගේ හෙළ සරසන එක හෙට පායන හිරු මෙන් ඒකාන්තයි.

මේ දුක්‌බර කථාන්දරය කියවන ඔබට එවන් සද් සිතුවිල්ලක්‌ පහල වුණොත් මෙන්න ඊට පිවිසුම් මග 0719365818.

එච්චර ලොකු දෙයක්‌ කරන්න ඔබට ශක්‌තියක්‌ නැති වෙන්න පුළුවන්. කාරි නෑ, කඹුරුපිටිය ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙ එච්. ඩී. කළණි වසුන්දරා දියණිය මේ ලිපිය සමග අංකය පළ කිරීම සඳහාම පරිත්‍යාගශීලියකු පරිත්‍යාග කළ මුදලින් විවෘත කරපු ඉතිරි කිරීමේ ගිණුමේ අංකය 1-0086-50-2143-0යි. එම ගිණුම පරිත්‍යාගශීලී ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබ මේ දිරිය දියණියට ශක්‌ති ප්‍රමාණයෙන් අත හිත දුන්නොත් ඒ පින මතු යම් දවසක ඔබේ දරු මුණුබුරන් පසු පසක්‌ ඒවි. මුදු මොළොක්‌ හදවත් ඇති සැබෑ මිනිසුනේ, ඔබට හිතන්න කියලයි මේ අපි ආයාචනය කරන්නෙ.

කේ.ඩබ්ලිව්. ගුණවර්ධන
ජි. එල්. ජයවර්ධන

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.