|
|
|
|


ආණ්‌ඩුවේ ඔළුව "තර්ටීන් ප්ලස්"
(13+)කියනකොට
හදවත කියන්නේ "තර්ටීන් මයිනස්" (13-)කියලයි
- එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස
එක්‌සත් ජාතික පක්‍ෂය නැවත බලයට ගෙන ආ හැක්‌කේ ඔහුට යෑයි ඇතැමකු සිතති. කවදා හෝ රටේ
නායකයා වන්නේ යෑයි ඔහු කියා තවකෙකු සිතති. ඒ තරමට ඔහුගේ දේශපාලන භාවිතය ඉතා ඉහළ
බැව් ඔවුහු සිතති. එහෙත් ඔහු පෙරට එයි, පසුපස්‌සට ද යයි. විවිධ ක්‍රමෝපායන් ද
තෝරමින් දේශපාලන පොරපිටියේ ප්‍රබල උස් චරිතයක්‌ව හේ සිටී. ඒ අතරතුර ඔහු එක්‌සත්
ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක තනතුරට ද තේරී පත්වෙයි. එ.ජා.ප. ය සහ රටේ නව දේශපාලන
ප්‍රවණතාවන් ගැන ඔහුගේ අදහස් මෙසේයි. "දිවයින ඉරිදා සංග්‍රහය" සමග සජිත් ප්‍රේමදාස
මහතා කළ සාකච්ඡාවකි මේ.
ප්‍රශ්නය - එ.ජා.ප. යේ ප්‍රධාන තනතුරු තුන සඳහා නායකයන් පත් කරගැනීමෙන් අනතුරුව මේ
දක්‌වා ගතවී තිබෙන මාසයක පමණ කාලය තුළ පක්‍ෂය ලබා ඇති ප්‍රගතිය කෙබඳුද?
පිළිතුර - පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම්
ඡන්දයෙන් මාව නියෝජ්‍ය නායකයා හැටියට පත් කළා. ඒ තුළ ලොකු කාර්යයක් මට පැවරී
තිබෙනවා. පක්‍ෂය එක්‌සේසත් කරලා විශේෂයෙන්ම අපේ පක්‍ෂය දිනන ගමනක් කරා යොමු කරන්න.
ඉතින් ඒ යුතුකම ක්‍රියාත්මක කරන්න මම සැදී පැහැදී සිටිනවා. ඒ සඳහා මේ වන විටත් මම
වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. මාතලේ, නුවර, කෑගල්ල යන දිස්‌ත්‍රික්‌ක වල පළාත් පාලන
ආයතන මන්ත්‍රීතුමන්ලා, ආසන සංවිධායකතුමන්ලා කැඳවලා සාකච්ඡා පැවැත්වූවා. බොහෝ සාර්ථක
ලෙස ඒ කටයුතු සිදුවෙමින් පවතිනවා.
ප්‍රශ්නය - එම ඡන්ද විමසුම පැවැත්වූ ආකාරය සම්බන්ධව ඇතැම් මන්ත්‍රීවරුන් විවේචන
එල්ල කර තිබුණා. මැතිවරණය පිළිබඳව ඔබේ මතය කුමක්‌ද?
පිළිතුර - එම ඡන්ද විමසීමේ කටයුත්ත පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා විසින්
සාධාරණව ඒ වැඩපිළිවෙළ කළා. එක දෙයක් තමයි පුංචි අඩුපාඩුවකට වුණේ. දැන් බැලට්
පේපර් එකක නොම්බරයක් දානවානේ. ඒ නොම්බරයත් සමග ඡන්දය දැමූ පුද්ගලයාව හඳුනා ගන්න
පුළුවන්. ඒක හැබැයි හැම ඡන්දෙකටම වලංගුයි. දැන් මහ මැතිවරණයකදී වුණත් ඡන්දේ දීපු
ආකාරය සොයා ගන්න පුළුවන්. මොකද නමට ඔබින ආකාරයට දී තිබෙන අංකය සන්සන්දනය කරලා ඒක
ගැන හොයා ගන්න පුළුවන්. ඉතින් අපි යෝජනා කළේ මෙහිදී අවසන් ප්‍රතිඵලය කුමක් වුවත්
යම් යම් චෝදනා එන්න පුළුවන් කියලා. ඒත් ඒ සඳහා වෙන කුමක් හෝ පියවරක් ගත්තේ නැහැ.
ඒ දේ තමයි මම අඩුපාඩුවක් විදිහට දකින්නේ.
සමස්‌තයක් විදිහට මහලේකම්තුමා ඡන්දය සාධාරණ ලෙස පවත්වන්න කටයුතු කළා. ඒකේ
විවාදයක් නෑ. මහලේකම්තුමා බොහෝම වුවමනාවෙන් ඒක කළා. අර කාරණාව පමණක් අඩුපාඩුවක්
විදිහට මම දකිනවා. ඒකත් සම්පූර්ණ කළා නම් කාටවත් ඇඟිල්ලක් දික් කරන්න බෑ.
ප්‍රශ්නය - කොහොම වුණත් ඊට පසුව අපි දුටුවා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට එරෙහිව
විනය පරීක්‍ෂණයක් පවත්වන්න සූදානමක් තිබෙනවා කියලා. ඒ වගේම ඔබගේ සහකරු ජයසූරිය
මන්ත්‍රීවරයාගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කරන්න කටයුතු සැලසෙනවා කියලා ආරංචි මාර්ග
සඳහන් කළා.
පිළිතුර - සැලසෙමින් තිබෙන දේවල් ගැන මට අදහස් පළ කරන්න බැහැනේ. මොකද ඕවා කටකතා
වෙන්න පුළුවන්. විවිධ පුද්ගලයන්ගේ අදහස් වෙන්න පුළුවන්. නමුත් මම එක යෝජනාවක්
කළා. පක්‍ෂ උපදේශන සභාවේදී, ඡන්දයෙන් ඉදිරියට ආපු තුන් දෙනෙක් වගේම ඡන්දෙන්
පිටුපසට ගිය තුන් දෙනෙකුත් ඉන්නවා. ඉතින් පක්‍ෂයේ එකමුතුභාවය ආරක්‍ෂා කරගන්න අර
පසුබාපු තුන් දෙනාටත් කෘත්‍යාධිකාරි මණ්‌ඩලයේ අවස්‌ථාව දෙමු කියලා. නමුත් ඒක සිද්ධ
වුණේ නැහැ. ඉතින් මේ වගේ ක්‍රියාවන් අපි මගහැර ගත යුතුයි. මොකද කරු ජයසූරිය සහ
දයාසිරි ජයසේකර කියන්නේ එ.ජා.ප. යේ අනාගතයට, සමගියට වැදගත් පුරුක් දෙකක්. ඒ
පුරුක් දෙකත් එකතු කරගෙන ඒ අයටත් වගකීම් භාරදීලා අපි මේ පක්‍ෂය ගොඩනඟන්න ඕන.
ප්‍රශ්නය - සිරිකොත පක්‍ෂ මූලස්‌ථානය නැවත ප්‍රතිසංස්‌කරණය කරන්න රනිල් වික්‍රමසිංහ
මහතා අරමුදලක් පිහිටුවා තිබෙනවා. ඒ සඳහා මුදල් එකතු කරනවා. ඊට පක්‍ෂ නියෝජ්‍ය
නායකයා ලෙස ඔබගේ දායකත්වයක් නැද්ද?
පිළිතුර - පක්‍ෂයක උන්නතියට එහි නායකයන් විවිධ ආකාරයෙන් දායක වෙනවා. ඒ සඳහා දැන්ම
පක්‍ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සුබසාධක කටයුතු ගැන හිතලා ඒ සඳහා අරමුදල්
පරිත්‍යාග කරගෙන යනවා. අපේ පක්‍ෂය වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ පවුල්වලට
උපකාර කිරීම සඳහා දානපතියන් ද සම්බන්ධ කරගෙන ආධාර උපකාර කරනවා. ඉතින් පක්‍ෂ
මූලස්‌ථානය හදන්න නායකතුමාගේ මූලිකත්වයෙන් කටයුත්තක් කෙරෙනවා. ඒ නිසා ඇත්තවශයෙන්ම
අපි නම් හිතන්නේ බදාගෙන වැඩ කරනවාට වඩා බෙදාගෙන වැඩ කරනවා නම් හොඳයි කියන මතයේ තමයි
අපි ඉන්නේ.
ප්‍රශ්නය - පක්‍ෂයේ අනුමැතියකින් තොරව රැස්‌වීම් හෝ හමුවීම් පවත්වන්න බැහැ කියලා
තිස්‌ස අත්තනායක මහතා ප්‍රකාශයක් කර තිබෙනවා. එහෙත් ඊට පිටින් යමින් ඔබ පළාත් පාලන
මන්ත්‍රීවරුන්ගේ හමුවීම් පවත්වනවා. එය එතරම් හොඳ දෙයක් නොවෙයි නේද, එය ඉදිරියටත්
වෙනවාද?
පිළිතුර - අනුමැතියකින් තොර කියන වචනය අදාළ වන්නේ පක්‍ෂයට හානිදායක නම් නේ. මේ
ආණ්‌ඩුවත් එක්‌ක කොන්ත්‍රාත් කරන අය ඉන්නවා නම් අන්න ඒ අයට ඒක අදාළයි. පක්‍ෂයට වින
කරන අය ඉන්නවා නම් අන්න ඒ අයටත් ඒක අදාළයි. ඒත් මම යන්නේ පක්‍ෂයේ යටිතලය ශක්‌තිමත්
කරන්න. බිම් මට්‌ටමේ සිට පක්‍ෂය පිළිබඳව ධනාත්මක ආකල්ප ඇති කරන්නයි. ඒ නිසා ඒක මගේ
වැඩපිළිවෙළට බාධාවක් නොවෙයි. මේ හැම දෙයක්‌ම කරන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයේ
නියෝජ්‍ය නායකවරයා විදිහට.
ප්‍රශ්නය - නමුත් ඉන් සිදු කෙරෙන්නේ පක්‍ෂයේ නායකත්වය කරා වෙනම ගමනක් යැමත්, වෙනම
යාන්ත්‍රණයක් ඇති කිරීමට යැමක් ලෙස නොවෙයිද? නැත්නම් පක්‍ෂ නායකත්වයට ඔබ විසින්
කරන අභියෝගයක් නොවෙයි ද මේ?
පිළිතුර - නැහැ. කාටවත් පහර ගහන්න නොවෙයි. අපේ පළාත් පාලන මන්ත්‍රීවරුන් තේරී
පත්වෙලා ඉන්නේ වෙනම ලාංඡනයකින් නොවෙයි නේ, අලියා ලාංඡනයෙන්මනේ.
ප්‍රශ්නය - ඒත් ඔබට සහ රනිල් වික්‍රමසිංහ මහතාට එකතුවී මේ දෙය කරන්න බැරිද?
පිළිතුර - නෑ. ඉතින් අපි මේ විවිධ කටයුතු බෙදා හදාගෙන කරගෙන යනවා. ඒකේ ප්‍රශ්නයක්
නැහැ.
ප්‍රශ්නය - බෙදා හදාගෙන කරනවා කියන දෙයින් ඔබ අදහස් කළේ කුමක්‌ද?
පිළිතුර - දැන් පුත්තලම් දිස්‌ත්‍රික්‌කයේ වැඩසටහනක් තිබුණා. ඒකට පාලිත රංගේ
බණ්‌ඩාර මන්ත්‍රීතුමාත් සහභාගි වුණා. අපි මේ ගැන රනිල් වික්‍රමසිංහ මහතාට කිව්වහම
ඔහු කිව්වා ප්‍රශ්නයක් නැහැ කියලා. මොකටද ප්‍රශ්නයක් ඇති කර ගන්නේ.
ප්‍රශ්නය - කොහොම නමුත් බැලූ බැල්මට පෙනෙන්න තිබෙනවා එ.ජා.ප. ය තුළ සමගියක් නැහැ
කියලා. ඒ තත්ත්වය තුළ සිරවී සිට කොහොමද රටේ දැවෙන ප්‍රශ්නවලදී සෘජුවම පක්‍ෂයක් ලෙස
මුහුණ දෙන්නේ.
පිළිතුර - නෑ. පක්‍ෂයත් හදාගෙන ඒ කිව්ව ප්‍රශ්නවලටත් මුහුණ දෙමින් රටේ ජනතාව
වෙනුවෙන් කරන්න තිබෙන යුතුකම් සම්භාරය අපි කරගෙන යනවා.
ප්‍රශ්නය - ඒත් පක්‍ෂය ඇතුළේ ප්‍රශ්න තිබීම නිසා රටේ ප්‍රශ්නවලට සහ ආණ්‌ඩුවට එල්ල
විය යුතු ප්‍රතිරෝධයෙහි බාලවීමක් සිද්ධ වෙනවා නේද?
පිළිතුර - අපි මීට වඩා ශක්‌ති සම්පන්න විය යුතුයි. ජනතාවාදී විය යුතුයි. ඊට ජනබලවේග
ගොඩනඟමින් ජන සවිය හරහා ජන ශක්‌තිය හරහා අපි ලොකු බලවේගයක් ගොඩනැඟිය යුතුයි. ඒක මම
පිළිගන්නවා. අපි ඒ සඳහා සූදානම් වෙනවා. දැනටත් අපි ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන
තිබෙනවා. විශ්වවිද්‍යාලවල පවතින ගැටලු, අධ්‍යාපනයේ ඇතිව තිබෙන ගැටලු, මේ රටේ ජනතාවට
සම්පත් බෙදීයැමේ ගැටලු මේවා ගැන අපි කතා කරනවා. උපාධිධාරීන් අසූ දහසක් පමණ ඉන්නවා
රැකියා නැතිව. ඒ අය වෙනුවෙන් අප සටන් කරනවා. සෞඛ්‍ය සඳහා වෙන් කරන මුදල්වලින් කරන
පිල්ලි ගැසීම්. රුපියල් ලක්‍ෂයකින් හදන්න පුළුවන් කොන්ක්‍රීට් මාර්ගයක් සඳහා ඊට
වැඩියෙන් වියදම් කරනකොට අපි ඒවා ගැන පාර්ලිමේන්තුවේත් ඉන් පිටතදීත් කතා කරනවා. ඒත්
අපි ඊට වඩා වැඩකොටසක් කරන්න ඕනා කියලා මම පිළිගන්නවා.
ප්‍රශ්නය - රජය යෝජනා කර තිබෙනවා 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට එහාට ගොස්
විසඳුමක් ලබාදිමට සහ ඒ සඳහා සෙනෙට් සභාවක් පිහිටුවිමට. ඒ පිළිබඳව ඔබගේ පෞද්ගලික
මතය කුමක්‌ද?
පිළිතුර - පක්‍ෂයක් විදිහට අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා.
ආණ්‌ඩුවයි, ද්‍රවිඩ සන්ධානයයි යම් එකඟතාවකට එනවා නම්, පක්‍ෂයක් විදිහට අපි අපේ
සහයෝගය ලබාදෙනවා. ඒක තමයි අපේ ස්‌ථාවරය. ඒ පිළිබඳ මගේ පෞද්ගලික අදහස නම්, මේ රටේ
ඒකීයභාවය සුරකිමින් විසඳුමක් කරා අපි යන්න ඕන. මේ රටේ සියලු ජනකොටස්‌වලටම අපි
ශ්‍රී ලාංකිකයෝ කියන හැඟීම එන ආකාරයට මේ රටේ නීති සම්පාදනය කරන්න ඕන. ඒකීයභාවය,
භෞමික අඛණ්‌ඩතාව, එක්‌සේසත්භාවය, ස්‌වෛරීත්වය නොකෙලෙසන විසඳුමකට අපි යා යුතුයි. දළ
වශයෙන් කියනවා නම් ඔන්න ඕකයි මගේ අදහස. හැබැයි ආණ්‌ඩුව මේ ගැන කියනකොට ආණ්‌ඩුවේ
ඔළුව කියනවා තර්ටීන් ප්ලස් කියලා. හදවත කියනවා නෑ තර්ටීන් මයිනස් කියලා.
එතකොට ආණ්‌ඩුවේ අතක් කියනවා තර්ටීන් නොවෙයි එලවන් කියලා. ආණ්‌ඩුවේ කකුලක් කියනවා,
නෑ මොකුත්ම නෑ කියලා. ඉතින් මෙහෙම එක එක දේවල් කියලා බැහැ. හරියට එක දෙයක් ප්‍රකාශ
කළ යුතුයි. එය හැබැයි සෑම ජනකොට්‌ඨාසයකටම එක ලෙස පිළිගත හැකි සර්ව සාධාරණ විසඳුමක්
විය යුතුයි.
සාකච්ඡා කළේ - අකිත පෙරේරා
|
|
|
|