සිසු සටන්වල ගෞරවය දේශපාලන පක්‍ෂයකට
අයිති වෙනවට අපි කැමැති නෑ!

- අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ
   කැඳවුම්කරු - සංජීව බණ්‌ඩාර


ඔහු අප හමුවූයේ සාම්ප්‍රදායික සාකච්ඡා මේසයකදී නොවේ. බොහෝ අයට හුරු පුරුදු, කොළඹ මහජන පුස්‌තකාලයේ ආපනශාලාවේදීය. අප සාකච්ඡාව සඳහා පුස්‌තකාලයේ සම්මන්ත්‍රණ ශාලාවේ එක්‌ පසෙක කුඩා ඉඩක්‌ තෝරා ගත්තෙමු. නොඋස්‌ කෙසඟ සිරුරකින් යුතු එහෙත් ජවය පිරි තරුණ පෞරුෂයක්‌ පෙන්නුම් කළ තරුණයා මන්දස්‌මිතයක්‌ දෙතොළඟ රඳවා ගනිමින් අප දෙස තියුණු නෙත් සඟලින් යුතුව බලා සිටියේ සාකච්ඡාව ආරම්භ වන තෙක්‌ය. අවට කලබලය හෝ කැමරාගත කිරීම ඔහුට එතරම් බාධාවක්‌ වී නොවිණි.

"අහන ඕනෑම ප්‍රශ්නයකට මම උත්තර දෙනවා". විධාන ස්‌වරූපයකට සමීප, එහෙත් ලෙන්ගතු, සෘජු කටහඬ අපට ඔහු ප්‍රශ්න කරන්නට පොළඹවයි. ඔහු කෙරෙන් පළවන සියුම් නායකත්ව සළකුණු, ඉදිරි ගමනෙහි බොහෝ තැන් අපට පෙන්වා දෙයි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්‌ඩාර ශිෂ්‍ය සටන්වල පෙරමුණ ගන්නා ආවේගශීලී තරුණයා ඔහුමද යන්න විටෙක සිතන තරමින් ම ඔහු සාකච්ඡාව ඇරඹි මොහොතෙහි සිට අවසන් වන මොහොත දක්‌වාම සංසුන්ව පිළිතුරු ලබා දුනි.

මේ ඒ සංවාදයයි.

ප්‍රශ්නය - ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිදුවීමෙන්ම අපි මේ කතාවට ප්‍රවේශයක්‌ ගනිමු. උපකුලපතිවරයා පැහැදිලිව චෝදනා කරනවා විරු සිසු ස්‌මාරකයට බෝම්බ තබා ඇත්තේ නුපුහුණු කණ්‌ඩායමක්‌, එයට කර ඇත්තේ සොඳුරු හානියක්‌ කියලා. නමුත් ඔබ චෝදනා කරන්නේ එය කරන්නේ රක්‌නා ලංකා ආරක්‍ෂක සේවාව කියලයි. මොකක්‌ද ඇත්ත කතාව.

පිළිතුර - උපකුලපතිවරයා කරන හැම ප්‍රකාශයක්‌ම හාස්‍යජනකයි. කන්‍යාභාවය පිළිබඳව කතාව ඒකට නිදසුනක්‌. එයා කතාකරන්නේ උපකල්පන මතයි. අපිට විරු සිසු ස්‌මාරකය කඩා බිඳ දැමීමේ අවශ්‍යතාවක්‌ නෑ! අපි විරු සිසු ස්‌මාරකය ගැන හෝ ඊට අදාළ දේ ගැන දේශන තිබ්බේ අද ඊයේ නෙවෙයි. ඒක වසර ගණනාවක ඉඳලා කරන දෙයක්‌. ඔය සිදුවීමට මාසයකට විතර කලින් ශිෂ්‍ය සංගමයට කඩාවැදිලා එහි තිබූ ඡායාරූප, චිත්‍ර සියල්ල විනාශ කළා. ඉවත් කරලා තර්ජනය කළා විරු සිසු ස්‌මාරකයත් ඉවත් කරනවා කියලා.

ඔය ස්‌මාරකය තියෙන්නේ රක්‌නා ලංකා ආරක්‍ෂක සේවයට පෙනෙන දුරින්. හිටපු ආරක්‍ෂක සේවාව අයින් කරලා "රක්‌නා ලංකා" දැම්මේ වැඩි ආරක්‍ෂාවට... එතකොට මධ්‍යම රාත්‍රියේ ළමයි එහෙම දෙයක්‌ කරනකොට ඒ අයට ඒක පේන්නේ නෑ, දන්නේ නෑ කියන එක විහිළුවක්‌.

සිදුවූ මොහොතේම ශිෂ්‍යයෝ එතැනට එනවා. උපකුලපතිවරයා කියන්නේ සැලසුම් සහගතව ඔවුන් පැමිණි බවයි. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉතා සුළු සිදුවීමකදි වුණත් සිසු සිසුවියන් එක්‌රොක්‌ වීම අමුතු දෙයක්‌ නෙවෙයි. මේක විශ්වවිද්‍යාලය ගැන නොදන්නා ප්‍රජාවට හරි. ශිෂ්‍යයෝ එතනට එනකොට රක්‌නා ලංකා ආරක්‍ෂක සේවාවේ මේජර්වරයෙක්‌ එතැන ඉන්නවා. එයා දුරකතනයෙන් කා සමග හෝ සම්බන්ධ වෙනවා. එතැනටයි ළමයි එන්නේ. එයාගෙන් "ඔබ කවුද" කියලා ඇහුවම "මම ආරක්‍ෂක අංශ උපදේශකවරයෙක්‌" කියනවා. එතකොට දැන් බෝම්බය පුපුරපු තැනට මුලින්ම යන්නේ රක්‌නා ලංකා ආරක්‍ෂක සේවාවේ උඩින්ම ඉන්න කෙනා. යම් සිදුවීමකදී එතැනට එන්නේ හමුදාව නම් හමුදාවේ මේජර්වරයා එතැනට ඇවිල්ලා පරීක්‍ෂා කරනවද? පහළ නිලධාරීන් කිසිවෙක්‌ නැතිව. මේකයි ඇත්ත. ඒ අය ඒ බෝම්බය තියලා අපිට අභියෝග කළා. වැඩිය දැඟලුවොත් උඹලටත් මේකම තමයි වෙන්නේ කියලා. මේ අයුරින් අපට සමස්‌ත සිද්ධිදාමයත් මේ වනකොට මතුව තිබෙන ශිෂ්‍ය අර්බුදයත් තේරුම් ගන්න පුළුවන්.

ප්‍රශ්නය - ශිෂ්‍ය ව්‍යාපාරයකට දේශපාලනයක්‌ තිබිය යුතුයි කියන කාරණය ගැන විවාදයක්‌ නෑ. නමුත් ඔබ ඔබේ ව්‍යාපාරයේ දේශපාලනය ගැන සඟවනවා කියන චෝදනාව එල්ල වෙනවා. "ජනරළ" කණ්‌ඩායම ඔබ නියෝජනය කරනවා කියන චෝදනාවේදී ඔබ එය ප්‍රතික්‍ෂේප කර තිබුණා. ඔබේ පෙර ශිෂ්‍ය නායකයන් වන කිහිප දෙනෙක්‌ම නියෝජනය කරන්නේ ජනරළ කණ්‌ඩායම. ඇයි ඔබ, ඔබේ දේශපාලන ස්‌ථාවරය සඟවන්නේ.

පිළිතුර - අපිට එහෙම සැඟවුණු ස්‌ථාවරයක්‌ නෑ. පැහැදිලිවම අපට මේ රටේ විවිධ කරුණු කාරණා සම්බන්ධයෙන් දේශපාලන ස්‌ථාවරයක්‌ තිබෙනවා. අපේ ශිෂ්‍ය ව්‍යාපාරය ගොඩනැඟිලා තියෙන්නේත් දේශපාලන ස්‌ථාවරයක්‌ පදනම් කරගෙනයි.

අපි කියන්නේ මේ ශිෂ්‍ය ව්‍යාපාරය කිසියම් දේශපාලන කණ්‌ඩායමක වුවමනාවට නෙවෙයි හැසිරෙන්නේ. අපට දේශපාලනයක්‌ තියෙනවා. හැබැයි ඒක ජවිපෙ හෝ ජනඅරගල කණ්‌ඩායමේ ව්‍යාපාරය නෙවෙයි. අපි සමාජ ව්‍යාපාරයක්‌. අපිට ආණ්‌ඩුවක්‌ හදන්න වුවමනා නෑ. අපි බලපෑම් කණ්‌ඩායමක්‌. අපිට පවතින රජයට අභියෝග කරලා, බලපෑම් කරලා. නිවැරදි ගමනකට ඒ අය යොමුකරවන්නයි. අපිට අරමුණු තියෙනවා. නිදහස්‌ අධ්‍යාපනය රැකගැනීම, ශිෂ්‍ය අයිතීන් ආරක්‍ෂා කරගැනීම මේ වෙනුවෙන් කටයුතු කරනවා. කෙනෙක්‌ ශිෂ්‍ය ව්‍යාපාරයක වැඩ කරලා තමන් කැමැති දේශපාලන ස්‌ථාවරයක්‌ අනුව පක්‍ෂයකට බැඳී වැඩ කරන්න අයිතිය තියෙනවා.

ප්‍රශ්නය - නෑ... අප මතුකරන තර්කය, මුල් යුගයේදී දුමින්ද, චමීර, උදුල් කීවෙත් ඔය කතාවමයි කියන එකයි. මේක ඉබේ හටගන්නා කාරණයක්‌ නෙවෙයි. මේ උත්තරය අන්තර් විශ්වවිද්‍යාල බලමණ්‌ඩලයේ සෑම කැඳවුම්කරුවකුටම පොදු දෙයක්‌.

පිළිතුර - ඒක හරි. ජවිපෙ වෙන්න පුළුවන්, ජන අරගල වෙන්න පුළුවන්, මේ හැම එකකටම ශිෂ්‍ය ව්‍යාපාරයේ අය සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් එස්‌. බී. ඇමැතිතුමා, එයත් ශිෂ්‍ය නායකයෙක්‌.

ප්‍රශ්නය - නෑ අපි කියන්නේ මෑතකාලීන උදාහරණ... ඕක සාම්ප්‍රදායික උත්තරයක්‌...

පිළිතුර - නෑ. අපි කියන්නේ අපේ සටන කිසියම් දේශපාලන පක්‍ෂයක ස්‌ථාවරයන් අනුව කෙරෙන එකක්‌ නෙවෙයි කියන එකයි. අපේ සටන් පාඨ ගත්තොත්, ඒවා "ජනඅරගල ව්‍යාපාරයේ" හෝ "ජවිපෙ" හෝ සටන් පාඨ නෙවෙයි. මේ මොහොතේ අපි ශිෂ්‍යයන් විදිහට පෙළගැහිලා ඉන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත, උසස්‌ පෙළ ප්‍රතිපල අවුල, විශ්වවිද්‍යාලවල පවතින ශිෂ්‍ය සුබ සාධන ගැටලු කියන කාරණා වලට අනුගතවයි. එතකොට අපි කියන්නේ මේ සටන්වල ගෞරවය හිමිවිය යුත්තේ ශිෂ්‍යයන්ට... ඒක කිසිදු දේශපාලන ව්‍යාපාරයකට දෙනවට අපි කැමැති නෑ.!

ප්‍රශ්නය - ඉදිරියේදී ඔබ ජවිපෙ හෝ ජනඅරගල කණ්‌ඩායමේ සාමාජිකයකු ලෙස හිටියොත් එදාට මේ ප්‍රශ්නයම ඇහුවොත් ඔබේ උත්තරය මොකක්‌ද?

පිළිතුර - මට විතරක්‌ නෙවෙයි. මේ රටේ ශිෂ්‍ය සංගම් වල ඕනෑම කෙනකුට තමන් කැමැති දේශපාලන පක්‍ෂයකට බැඳිලා වැඩ කරන්න හෝ රැකියාවක යෙදෙන්න ප්‍රජාතන්ත්‍රවාදී රටක්‌ වශයෙන් අයිතිය තිබෙනවා. මා ගන්නා තීන්දුව හෝ තීරණය පිළිබඳව එවැනි දිනෙක සාකච්ඡාවකට ගත යුතුයි.

ප්‍රශ්නය - ඔබ දේශපාලන පක්‍ෂයකට අනුගත නොවන, ක්‍රියාකාරිකයකු නොවන බව කිව්වා. නමුත් ඔබට න්‍යායික පදනමක්‌ ඇති, ඒ මොකක්‌ද?

පිළිතුර - කවදා ගත්තත්, කෙසේ ගත්තත් ශිෂ්‍ය ව්‍යාපාරයට වාමාංශික නැඹුරුවක්‌ තියෙනවා. මාක්‌ස්‌ ලෙනින්වාදී දෘෂ්ටිවාදයන් මත පදනම්ව කටයුතු කරනවා.

ප්‍රශ්නය - පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඉල්ලා අස්‌කරගත් බව ජනාධිපතිවරයා පවසා තිබියදිත්, ඒ සටන්පාඨය වටා ශිෂ්‍ය ව්‍යාපාරය දියත් වනවා අපි දැක්‌කා.

පිළිතුර - පනත ඉල්ලා අස්‌කරගත්තට මදි. අනික මේ සටන හුදකලා සටන්පාඨයකට ලඝූ කරන එකත් සුදුසු නෑ! මේ රටේ අධ්‍යාපනය ඇතුලේ අවුලක්‌ තියෙනවා. අධ්‍යාපන ප්‍රතිපත්තියේ, ආර්ථික ප්‍රතිපත්තියේ අවුලක්‌ තියෙනවා. දේශපාලන සංස්‌කෘතියේ අවුලක්‌ තියෙනවා. ඉතිං ඒ අර්බුදවලට ශිෂ්‍ය ව්‍යාපාර ප්‍රතිචාර දක්‌වනවා. යම් යම් තැන්වලදී විරෝධතා මතු වුණත්, සමාජය නිශ්ක්‍රීයයි. හැබැයි ශිෂ්‍ය ව්‍යාපාරය විතරක්‌ ඒවාට ප්‍රතිචාර දක්‌වනවා.

ජනාධිපතිවරයා 2005 ජනාධිපතිවරණයේදී කීවේ නිදහස්‌ අධ්‍යාපනය සුරකිමි කියලයි. දැන් ප්‍රයෝගිකව ගත්තොත් නිදහස්‌ අධ්‍යාපනය වනසනවා. උපාධිය හදාරලා ඉක්‌මනින් රැකියාවක්‌ හොයාගන්න බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අද අත්විඳින්නට සිදුවෙලා තියෙන අර්බුදය මොකක්‌ද? ඒ නිසයි මේ සටන.

ප්‍රශ්නය - අප ඔබෙන් අහන්නේ... ජනධිපතිවරයාගේ වචන ඔබට විශ්වාස නැද්ද?

පිළිතුර - ජනපතිතුමා මේ රටේ අයට කොයිතරම් නම් පොරොන්දු දීලා තියෙනවද? මහින්ද චින්තනය කියන්නේ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඒක අද කඩවෙමින් තියෙන්නේ. සුබ අනාගතයක්‌ හදනවා කීවා... තාරුණ්‍යයට හෙටක්‌ හදනවා කීවා... ඒ පෝස්‌ටර් කටවුට්‌ අතුරුදන් වෙලා. ඒවා ගහපු තරුණයෝ තමයි අද මහපාරට වැටිලා ඉන්නේ. සුබ අනාගතයක්‌ බලාපොරොත්තු වුණු දරුවෝ තමයි අද මහ පාරට වැටිලා තියෙන්නේ. සමාජය මේකට ප්‍රතිචාර දක්‌වන්නේ නෑ... මොකද? ඒක යටපත් කරලයි තියෙන්නේ.

ප්‍රශ්නය - එහෙම විශ්වාස නැතිනම්, ඇයි මේ ලිබර්ටි වටරවුමට යන්නේ, අරලියගහ මන්දිරයට යන්නේ, සංදේශ බාර දෙන්නේ, ජනාධිපතිවරයොගේ "වචනය" ඉල්ලලා. හම්බවෙන්න වෙලාවත් ඉල්ලුවා.

පිළිතුර - අපි තවදුරටත් ඒ බලපෑම කරනවා. අපිට විශ්වාස නෑ තමයි... හැබැයි බලපෑම්වලින් තොරව මොකද කරන්නේ. අපේ බලපෑම්වල එක අරමුණක්‌ තමයි මේ රටට කියන්න ඕන ප්‍රශ්නයක්‌, අර්බුදයක්‌ තියෙනවා කියලා. ජනාධිපතිවරයා කියන විදියට නම් මේ රටේ ප්‍රශ්න නෑ···

ප්‍රශ්නය - හරි... ජනාධිපතිවරයා ඒ පොරොන්දුව දීලා තියෙනවනේ...

පිළිතුර - පෞද්ගලික විශ්වවිද්‍යාල පනත "නමින්" ගෙන එන්නේ නෑ කියලයි එතුමා කීවේ. දැන් තිබෙන පනත හකුලා ගත්තා කිව්වා. නමුත් එස්‌. බී. ඇමැතිවරයා කියන්නේ වෙන කතාවක්‌. නවක ශිෂ්‍යයන්ට ලැප් ටොප් දෙන්න පොරොන්දු වුණේ ණයට, ඒ නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල අනිවාර්යයෙන් දානවා කියලා. මොකක්‌ද මේ ප්‍රතිරෝධය. මේක යටින් ක්‍රියාත්මකයි. ඒ නිසයි අපි විශ්වාස නොකරන්නේ. තවමත් මේක හකුලාගෙන නෑ.· ඔබ හිතනවද ජනාධිපතිතුමා අකමැති නම් එස්‌. බී. ඇමැතිතුමාට හිතු හිතු විදිහට නටන්න පුළුවන් වෙයි කියලා.

ප්‍රශ්නය - චෝදනාව තිබෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය තමයි ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයට මඟ අහුරන්නේ කියලයි. ලෙනින් කියන්නේ පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් "ඉගෙනුම" කියලයි. ඔබ මාක්‌ස්‌ ලෙනින්වාදී ස්‌ථාවරයක ඉන්නේ. ඉගෙනුම සමග නේද මේක බැඳිලා තියෙන්නේ, අද විශ්වවිද්‍යාල වහගෙන නේද මේ සටන ගෙනයන්නේ.

පිළිතුර - නෑ... වැරදියි.... අපි කොන්දේසි විරහිතව පෙනී සිටින්නේ ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමයි. අපි අහන්නේ මේ අය කියන්නේ උද්ඝෝෂණ නිසා අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා කියලා. එතකොට උද්ඝෝෂණ නොකර ඉන්න කියන එකද මේ කියන්නේ. උද්ඝෝෂණ කරන්නේ ඇයි. ඒකට බලපෑ ප්‍රශ්න මොනවද? ජනාධිපතිතුමා කිව්වා අපේ රට ආසියාවේ දැනුම් කේJද්‍රස්‌ථානය බවට පත්කරනවා කියලා. ඒ වගේම ක්‌ෂිතිජයට ඉහළින් ලෝකය දකින දරුවෙක්‌ බිහිකිරීම තමයි එතුමාගේ බලාපොරොත්තුව කිව්වා. ඒවා සාක්‍ෂාත් කරන්න මොනවද කරලා තියෙන්නේ. එතැනයි ප්‍රශ්නය. මොනවද ඒ වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙළ. දැන් වෙලා තියෙන්නේ ශිෂ්‍යයන්ට හිස්‌ අහස දිහා බලාගෙන කල්පනා කරන්න. තොරතුරු තාක්‍ෂණය ඉතාම දියුණුයි. පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨය තමයි ආසියාවේ හොඳම දන්ත වෛද්‍ය පීඨය. පරිගණක තිබෙන්නේ 6 යි. ළමයි 300 ක්‌ ඉන්නවා. එක ළමයකුට දවසකට ලැබෙන්නේ මිනිත්තු 13 යි. කොහොමද ක්‌ෂිතිජයට ඉහළින් ලෝකය දකින්නේ? රජරට විශ්වවිද්‍යාලයේ ළමයි 1500 ක්‌ ඉන්නවා, පරිගණක තිබෙන්නේ 60 යි. එක ළමයකුට මිනිත්තු 13 යි දවසකට. තවදුරටත් නිදසුන් අවශ්‍ය නෑ·

ප්‍රශ්නය - විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ගුරුවරු හා ශිෂ්‍යයන් අතර සම්බන්ධය බිඳිලා ගිහිල්ලා. පර්යේෂණ කරන මානසිකත්වය නෑ සටන් කරන මානසිකත්වය මිස. මේක පටන් ගත්තේ ශිෂ්‍ය ව්‍යාපාරය එළියේ ඉඳන් මෙහෙයවන කල්ලියක්‌ නවක වදයේ සිට සංවිධානය කරනව කියලයි කියන්නේ. එතකොට ශිෂ්‍ය සටන් කියන්නෙත් තවත් දේශපාලන අවශ්‍යතාවයක්‌. ඔබ කොච්චර නෑ කිව්වත්, ඔබ මේ දේශපාලන කල්ලියක ඉත්තෙක්‌ නෙවෙයිද?

පිළිතුර - කිසිසේත්ම නෑ. දේශපාලන ඉත්තෙක්‌ කියන කාරණය ඉතාම තදින් ප්‍රතික්‍ෂේප කරනවා. අපි ඒක දකින්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ බුද්ධියට කරන අවමානයක්‌ විදිහටයි. ඒක බරපතළ කාරණයක්‌. කාටවත් ඕන විදියට නටන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සූදානම් නෑ· ඔවුන්ට හරි වැරැද්ද හොඳ නරක තේරෙනවා. ඒ අනුවයි ඔවුන් සටන් කරන්නේ.

නවකවදයට අදාළ කාරණය ගැන කිව්වොත් ඒක හරි හාස්‍යජනකයි.

ප්‍රශ්නය - අතුරු ප්‍රශ්නයක්‌ ඇහුවොත් ඔබ යම්කිසි බලවේගයක්‌ විසින් මෙහෙයවනවාය කියන එක ප්‍රතික්‍ෂේප කළත් වල්පොල පියනන්ද හිමි ඒ බව සාක්‍ෂි සහිතව කළ ප්‍රකාශ යම් යම් පුවත්පත්වල පළවී තිබුණා. ඒත් එක්‌කම චෝදනා කරනවා, විශ්වවිද්‍යාල ඉතිහාසයටම ඉංගී්‍රසියෙන් පෝස්‌ටර් නොලියපු ශිෂ්‍ය ප්‍රජාව දැන් ඉංගී්‍රසියෙන් පෝස්‌ටර් ගහන්නේ විදේශීය බලපෑමක්‌ හේතුවෙන් කියලා.

පිළිතුර - හාමුදුරුවරු, ඕනෑ තරම් එවැනි ප්‍රකාශ කරන නිසා ඒක එතරම්ම සැළකිය යුතු නෑ. තවත් කරයි.

ඊළඟට ඉංගී්‍රසියෙන් පෝස්‌ටර් ගැහුවා කියන කතාව ගත්තොත්, එස්‌. බී. ඇමැතිතුමා කියන්නේ අපි ඉංගී්‍රසියෙන් වැඩ කරන්න දෙන්නේ නෑ, ඉංගී්‍රසියෙන් කතා කරන්න දෙන්නෙ නෑ කියලයි. අපි ඉංගී්‍රසියෙන් පෝස්‌ටරයක්‌ ගැහුවට පස්‌සේ කියනවා මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ කියලා. ආසියාවේ උපකුලපතිවරුන් සියලුම දෙනා එකතු කරපු සම්මේලනයක්‌ තිබුණා. එතකොට ඒ අයට අපේ ප්‍රශ්න සන්නිවේදනය කරන්න අපි ඉංගී්‍රසියෙන් පෝස්‌ටර් ගැහුවා. අපි සටන් කරන්නේ ලිප්බොක්‌කේ ඉඳගෙන නෙවෙයි. ජ'පුර උපකුලපතිවරයාට එහෙම අදහසක්‌ ඇති.

ඉංගී්‍රසියෙන් පෝස්‌ටර් ඇඳීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ නම් අපි අහන්න කැමතියි, ඇයි? අපි ජාත්‍යන්තර කුමන්ත්‍රණ කළාම මොනවද අපිට ලැබෙන්නේ. අපි ඉල්ලුවේ මොනවද? ශිෂ්‍ය මර්දනය නතර කරන්න, ශිෂ්‍ය සුබ සාධනය දෙන්න, පරිගණක දෙන්න, පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලගන්න කියලයි අපි කියන්නේ. ඒකට කියන්නේ අපි දේශෙද්‍රdaහියෝ කියලයි. ඒක හැම එකකටම ආදේශ කරනවා. මේ ආණ්‌ඩුව දේශප්‍රේමී ආණ්‌ඩුවක්‌ කියලනේ කියන්නේ, මොන දේශප්‍රේමයක්‌ද, මේ ආණ්‌ඩුව දේශප්‍රේමය හැටියට විග්‍රහ කරන්නේ මහපොළොවට තියෙන කෑදරකම. මහපොළොවට.. මේ මහපොළොව.. මේ භූමිය එයාලගේ නෑ හිතවතුන් අතර බෙදා හදාගැනීමයි එයාලා දේශප්‍රේමය කියන්නේ. දේශප්‍රේමය කියන්නේ මහපොළොවට විතරක්‌ නෙවෙයි, එහි ජීවත් වන මිනිස්‌සුන්ටත් තියෙන ආදරය. එතකොට ඒ මිනිස්‌සුන්ගේ අභිලාශයන් හා බලාපොරොත්තු අද කොතනකටද වැටිලා තියෙන්නේ. යුද්දෙන් පස්‌සේ සහන නෑ බදු පිට බදු ගැහුවා. බඩු මිල ඉහල දැම්මා, ජීවන වියදම අහස උසට නැගලා. රජයේ සේවකයන්ගේ කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම් නෑ·

හැබැයි විශ්‍රාම වැටුපට ගහන්නේ කොහොමද කියලයි කල්පනා කළේ.

ප්‍රශ්නය - විශ්වවිද්‍යාල තුළ වසර පහ හය විභාග කල් තැබෙනවා කියලා ඔබ කිව්වා. ශිෂ්‍ය නායකයන්ට චෝදනාවක්‌ තිබෙනවා වුවමනාවෙන්ම විභාගය අතපසු කරමින් දේශපාලනයේ යෙදෙනවා කියලා.

ප්‍රශ්නය - ඔය කියන කතාව හරි ශිෂ්‍ය ව්‍යාපාරයේ සමහර ශිෂ්‍ය නායකයින්ට, විභාගය කරන්න බැරිව යනවා. මොකද සියයට අසූව බලනවා. දැන් ශිෂ්‍ය නායකයෙක්‌ විදිහට වැඩ කරද්දී දේශන වලට යන්න වෙන්නේ නෑ. එතකොට විභාගයට ලියන්න හම්බ වෙන්නේ නෑ. එතකොට මේක අතාරින්න වෙනවා. අපි හැම දේම කරන්නේ දෙයක්‌ බලාපොරොත්තුවෙන්ද? පුද්ගලික අභිමතාර්ථයන් සාධනය කරගන්න විතරද? ඕක තමයි අපේ රටේ ප්‍රශ්නය. මාක්‌ස්‌වාදියෙක්‌ ට හෝ කුමන ආගමක්‌ හෝ අදහන කෙනෙකුට අපෙන් ඔය ප්‍රශ්නය අහන්න බෑ. බුදු හාමුදුරුවෝ සක්‌විති රජකම අත ඇරලා බුද්ධත්වයට පත් වුණේ. මේ ලෝකය ඉදිරියට ඇවිත් තියෙන්නෙ කැප කිරීම් කරපු මිනිස්‌සු නිසයි.

ප්‍රශ්නය - ඔබ සමානාත්මතාවය ගැන කතා කරනවා මාක්‌ස්‌ ලෙනිස්‌ වාදය ගැන කතා කරනවා. නමුත් ඔබේ ව්‍යාපාරයට චෝදනා එල්ල වෙනවා. ඕවිටිගලගේ සමන්ත ශිෂ්‍යයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හා ශිෂ්‍යයන්ට පහරදීම සම්බන්ධයෙන්. ඒ අය ශිෂ්‍යයින් නෙවෙයිද? ඒ අයත් ඔය පවුල්වල දරුවන් නෙවෙයිද?

ප්‍රශ්නය - ඉතිහාසයේ මෙවැනි සිදුවීම් වෙලා තියෙනවා. එවැනි දේ සිදු වෙන්න බලපාපු හේතු කාරණාත් තියෙනවා. අද වුණත්, ඔබ හිතනවද අපිට ගැටුම් ඕන කියලා. කොළඹ විශ්වවිද්‍යාලයේ ගැටුම් නවත්තලා එකමුතුව අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව වැඩ කරනවා. අනික්‌ විශ්වවිද්‍යාලත් එහෙමයි. ඒ අපේ මැදිහත් වීම මත. අපි ගැටුම් ඇති කරනවා කියන එක විහිළුවක්‌ ශිෂ්‍ය ව්‍යාපාරයේ ජයග්‍රහණය පවතින්නේ අපේ සාමූහිකත්වය මත, එකමුතු කම මත පමණයි. සාමකාමී උද්ඝෝෂණ පෙළපාලි හමුදාව යොදවලා මර්දනය කරන්නේ ආණ්‌ඩුව, ඒ අය තමයි ඔලු පළන්නේ. පසුගිය දිනවල පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ දින දෙකක්‌ උත්සාහ කළා. මහනුවර දක්‌වා පා ගමනක්‌ යන්න. ඔබ දකින්න ඇති ඒ පාගමන නවත්වන්න හමුදාව පෙර සූදානම් වූ හැටි නිරායුධ ශිෂ්‍යයන්ට එරෙහිව සන්නද්ධ හමුදාවක්‌ පෙළ ගැසීම කොතරම් බියකරුද?

විශ්වවිද්‍යාල වලට ස්‌වාධීනත්වයක්‌ තිබිය යුතුයි. එහි පාලකයා පත් කර ගත යුත්තේ එහි ආචාර්ය, මහාචාර්යවරු, ඔවුන්ටයි තේරෙන්නේ ඊට සුදුස්‌සා කවුද කියන එක.

ප්‍රශ්නය - අලුත් ප්‍රවණතාවක්‌ මතුව තිබෙනවා. එය මේ රළ වේගය මැඩ පවත්වන්න හැරවුම් ලක්‍ෂය නමින් එන ව්‍යාපාරයක්‌. අපි දැක්‌කා ඔබ ඉතාම අපහාසාත්මක ලෙස ඒ අය ආණ්‌ඩුවේ ඉත්තන් ඒ පිරිසක්‌ විදිහට විවේචනය කරනවා. ඒ ශිෂ්‍ය ව්‍යාපාරවල හඩට ඇහුම්කන් දීමේ ස්‌වභාවයක්‌ ඔබ තුළ නෑ.

පිළිතුර -නෑ. ඒ ව්‍යාපාරයට අපි කන්දෙන්නේ නැතිකම නෙවෙයි. මෙතන ප්‍රශ්නය. අපි කියන්නේ ඔවුන් ජනමාධ්‍ය ඉදිරියේ පෙනී සිටින ව්‍යාපාර, ඔබ දකින්න ඇති උසස්‌ පෙළ ප්‍රශ්නයට අපි කතා කළාට පස්‌සේ ඒ අය කිව්වා මාධ්‍ය සාකච්ඡා තියලා එහි ප්‍රශ්නයක්‌ නෑ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එය හොයන්නවත් අයිතියක්‌ නෑ කියලා. හැබැයි අපිට වගකීමක්‌ හා යුතුකමක්‌ තිබෙනවා. අපිත් උසස්‌ පෙළ කරලා විශ්වවිද්‍යාලයට ආපු නිසාම, ඒක ගැන කතා කරන්න එතකොට ඒ අය නියෝජනය කළේ ආණ්‌ඩුව, මොකද ආණ්‌ඩුවත් කියනවා උසස්‌ පෙළ ගැටළුවක්‌ නෑ. කියලා ඒ අයත් කියනවා. ආණ්‌ඩුව කියනවා පෞද්ගලික විශ්වවිද්‍යාල ගේන්න කියලා ඒ අයත් කියනවා. ගේන්න කියලා. මේ අය මතුවෙන්න හදන්නේ මේ කතාවටත් නෙවෙයි. ඒ අයට පවතින්න නම් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලය තිබිය යුතුයි. අපි වේදිකාවෙන් බැස්‌සොත් ඒ අයට යන එනමං නැතිවෙනවා. අපි සතුටු වෙනවා අපි නිසා රැකියා විරහිත උපාධිධාරීන් කිහිපදෙනෙක්‌ ජීවිකාව ගෙන යන එක ගැන යෑපෙන එක ගැන. අපි නිසයි එයාලාට මාධ්‍ය සාකච්ඡා තියන්නත්, වරප්‍රසාද වලට උරුමකම් කියන්නත් ලැබිලා තියෙන්නේ. ඇත්තටම ඒ අයට මේක කරවන්න බෑ.

සාකච්ඡා කළේ
මනෝජ් අබයදීර - උදේශ සංජීව ගමගේ
ඡායාරූප - නිශාන්ත එස්‌. ප්‍රියන්ත
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.